මිනිසත් බවට එරෙහි වන ව්‍යාජ බෙහෙත් | සිළුමිණ

මිනිසත් බවට එරෙහි වන ව්‍යාජ බෙහෙත්

නියමිත ප්‍රමිතියට අනුව නිෂ්පාදිත භාණ්ඩ අනුකරණය කරමින් නිෂ්පාදනය කරන ව්‍යාජ භාණ්ඩ ලෝකයටම තර්ජනයක්ව පවතී. එවැනි ව්‍යාජ භාණ්ඩ නිෂ්පාදනයන්හි යෙදෙන නිෂ්පාදකයන්ට හානි කරනවා පමණක් නොව රටක ආර්ථිකයටද පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම්වලටද හානි කරයි. ව්‍යාජ භාණ්ඩ නිෂ්පාදනය ලෝක ව්‍යාප්ත මට්ටමින් සිදු කෙරෙන අතර ඒවා බෙදාහැරීම සඳහාද සංවිධාන ජාලයක් ක්‍රියාත්මක වෙයි.

මෙලෙස නිෂ්පාදනය කෙරෙන ව්‍යාජ භාණ්ඩ අතර ගුවන්යානා කොටස්, ආහාර ද්‍රව්‍ය, මත්පැන්, සුවඳ විලවුන්, ඇඳුම් පැලඳුම් පමණක් නොව බෙහෙත් ද්‍රව්‍යද අයත් වේ. සැබෑ භාණ්ඩ අනුකරණය කරමින් නිෂ්පාදනය කෙරෙන ව්‍යාජ භාණ්ඩ නිෂ්පාදනයෙන් ගැලවුණු කිසිදු කර්මාන්තයක් නැත.

මේ අතරින් ව්‍යාජ බෙහෙත් නිෂ්පාදනය හා බෙදා හැරීම මිනිස් ජීවිතයට බරපතළ තර්ජනයකි. ව්‍යාජ බෙහෙත් මරණයට අතවනයි. එබැවින් ව්‍යාජ බෙහෙත් නිෂ්පාදනය සහ බෙදාහැරීම මුලිනුපුටා දැමීම ප්‍රමුඛ අන්තර්ජාතික අවශ්‍යතාවක් වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ව්‍යාජ බෙහෙත් වර්ග වෙළෙඳපොළට නිකුත් කරනුයේ ව්‍යාජ ලෙස සකස් කළ දවටන සහ ඇසුරුම් යොදා ගනිමිනි. මෙවැනි ව්‍යාජ බෙහෙත් අතර නිවැරැදි බෙහෙත්ද තිබිය හැකිය. එමෙන්ම වැරැදි බෙහෙත් ද්‍රව්‍යද තිබිය හැකිය. සමහර අවස්ථාවල කිසිදු බෙහෙත් ද්‍රව්‍යයක් අඩංගු වී නොතිබිය හැකිය. තවත් සමහර අවස්ථාවල බෙහෙත් ද්‍රව්‍යවල නියමිත මාත්‍රා ගණන අඩංගු වී නොතිබිය හැකිය. තවත් සමහර අවස්ථාවල බෙහෙත් ද්‍රව්‍යවල නියමිත මාත්‍රා ගණන අඩංගු වී නොතිබිය හැකිය. ග්රෑම් 50ක බෙහෙත් තිබිය යුතු පෙත්තක ග්රෑම් 10ක බෙහෙත් තිබීම නිදසුනක් වශයෙන් දැක්විය හැකිය. බෙහෙත් පාවිච්චි කිරීමෙන් සුවය ලබා ගැනීමට රෝගියා අපෙක්ෂා කරයි. එහෙත් ව්‍යාජ බෙහෙත නිසා රෝගියා ඇත්තටම පාවිච්චි කරන්නේ ඔහුගේ රෝගයට අවශ්‍ය සහ සුදුසු බෙහෙත හෝ නියමිත මාත්‍රා ගණන හෝ අඩංගු බෙහෙත නොවේ. මේ නිසා රෝගියකුට ලබාදෙන ටී.එන්.ටී. පෙත්ත ව්‍යාජ ලෙස සකස් කළ එකක් නම් එම රෝගියාට අයත් වන්නේ මරණයයි. මෙය අතිශයින්ම භයානක තත්ත්වයකි. ව්‍යාජ ඖෂධ මුලිනුපුටා දැමීමේ අරමුණින් ප්‍රංසයේදී පැවැත්වූ සම්මේලනයකදී මහාචාර්ය ඩෝරා න්ක්මේ අකුහිලි මහත්මිය තමා නයිජීරියාවේ දී ලැබූ අත්දැකීම් විස්තර කළාය. තමාගේ විසි එක් හැවිරිදි සොහොයුරිය දියවැඩියා රෝගයෙන් පෙළුණු බවත් එහෙත් ඇය මියගියේ දියවැඩියාවෙන් නොව ව්‍යාජ ලෙස නිෂ්පාදනය කළ ඉන්සියුලින් ගැනීම නිසා බවත් පැවසුවාය. සිහි නැති කිරීමට භාවිත කරන ඖෂධ ව්‍යාජ ඒවා වීම නිසා නයිජීරියාවේ ලාගෝස් නුවර දරුවන් සිව් දෙනකු ශල්‍ය මේසය මතම මිය යාමේ පුවතක් ඇය හෙළිදරවු කළාය. 2001 වසරේ නයිජීරියාවට ආනයනය කළ බෙහෙත් ද්‍රව්‍යවලින් සියයට අසූවක්ම ව්‍යාජ ඖෂධ බව සමීක්ෂණයකින් හෙළිවූ බවද ඇය පෙන්වා දුන්නාය. මෙය ව්‍යාජ ඖෂධ නිසා සිදුවන හානිය පිළිඹඳ සුළු නිදර්ශනයක් පමණකි.

ලෝකයේ බෙහෙත් ද්‍රව්‍ය නිෂ්පාදනයෙන් සියයට හතත් දහයත් අතර ප්‍රමණයක් ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරන ලද ඒවා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවලින් අනාවරණය වී ඇත. සංවර්ධනය වන රටවල වෙළෙඳපොළේ ඇති ඖෂධවලින් සියයට 25ත් 30ත් අතර ප්‍රමාණයක්ද ව්‍යාජ බව එම වාර්තාවෙන් වැඩිදුරටත් හෙළිදරවු කර ඇත. ලෝකය පුරා නිපදවන ව්‍යාජ බෙහෙත් වර්ගවල වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 32 සිට 46 දක්වා වේ. (WHO fact sheet No 225, 2003)

ව්‍යාජ ලෙස ඖෂධ නිපදවීම විශාල වශයෙන් ලාභ ලැබිය හැකි කර්මාන්තයක් වුවත් එය දඬුවම් ලැබිය යුතු බරපතළ අපරාධයකි.

නීත්‍යනුකූලව නියමිත ප්‍රමිතියට අනුව නිපදවූ ඖෂධවල දවටන සහ ඇසුරුම් ඒ ආකාරයෙන්ම පිටපත් කරගත හැකි සංකීර්ණ තාක්ෂණයක් ඇති බැවින් ව්‍යාජ බෙහෙත සහ සැබෑ බෙහෙත හඳුනා ගැනීම පාර්භෝගිකයන්ට ගැටලුවක් වී ඇත. එම ව්‍යාජ ඇසුරුම් කොතරම් සූක්ෂ්ම ලෙස සකස් කරන්නේද යත් පළපුරුදු වෛද්‍යවරයකුට හෝ ඖෂධවේදියකුට පවා එහි ඇති වෙනස හඳුනාගත නොහැකිය. මේ ව්‍යාජ බෙහෙත් අලෙවි කිරීමේ මාෆියාවක්ද ක්‍රියාත්මක වෙයි.

අන්තර්ජාලය හරහා ඖෂධ ඇණවුම් කිරීමේදී පාරිභෝගිකයා සහ සැපයුම් කරන ආයතනය අතර ඍජු සම්බන්ධයක් ඇති වන අතර, මේ ගනුදෙනුව තුළ ව්‍යාජ ඖෂධ අලෙවිය වැඩියෙන් සිදු වන බව අනාවරණය වී ඇත.

බෙහෙත් ආනයනයේදී රේගුවේදී තත්ත්ව පරීක්ෂාවක් කිරීම බොහෝ සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල සිදු කෙරේ. සමහර රටවල ඒ සඳහාම පිහිටුවූ රසායනාගාර ගුවන් තොටුපොළවල සහ වරායවල පිහිටුවා ඇත. එමගින් තම රටවල ජනතාව ව්‍යාජ බෙහෙත්වලින් ආරක්ෂා කිරීමට එම රටවල් කටයුතු යොදා ඇත.

ව්‍යාජ ඖෂධ වර්ග මුලිනුපුටා දැමීම සඳහා රෝමයේ පැවති අන්තර්ජාතික සම්මේලනයකදී සම්මුතියක් ඇති කරගන්නා ලදී. එම සම්මේලනයේදී යෝජනා රාශියක් සම්මත කර ඇත. ඒ අතර පහත සඳහන් යෝජනාද ඇතුලත් විය.

1.අන්තර්ජාතික සංවිධාන සහ අන්තර්ජාතික ආයතන ව්‍යාජ ඖෂධ නිෂ්පාදනය කරන ආයතන පිළිබඳව දැනුම්වත් විය යුතු අතර, එම ආයතන මුලිනුපුටා දැමීම සඳහා සහයෝගයෙන් කටයුතු කළ යුතුය.

2. එත් එක් රටවල රජයන් ව්‍යාජ ඖෂධ පිළිබඳව දැනුම්වත් කොට ඒවා නිෂ්පාදනය, බෙදා හැරීම සහ අලෙවිය මැඩලීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කළ යුතුය. එවැනි ක්‍රියා සිදුකරන අයට දැඩි දඬුවම් දිය යුතුය.

3. ව්‍යාජ ඖෂධ හඳුනාගත් විට ඒ පිළිබඳව සියලු පාර්ශ්වයන් දැනුම්වත් කළ යුතුය.

4. ව්‍යාජ ඖෂධ නිෂ්පාදන වැළැක්වීම සඳහා සහ ව්‍යාජ ඖෂධ හඳුනාගැනීම සඳහා නවීන තාක්ෂණික ක්‍රමවේදයන් සකස් කළ යුතුය.

5. ව්‍යාජ ඖෂධවලට එරෙහිව කටයුතු කරන සමාජ සංවිධාන අතර සහයෝගීතාවක් ඇති කළ යුතුය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.