මුහුදු මහා විහාරයේ පුරාවිද්‍යා භූමියේ ‍ගෙවල් 38ක් හැදුවේ කවුද?

 නැ‍ඟෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික මුහුදු මහා විහාරයේ බෞද්ධ ජනතාව ඉතා ගෞරව කරන පූජනීය ස්ථානයකි.

යුද්ධ සමයේදී වල් බිහිවී තිබූ මේ පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති පුණ්‍ය භූමියට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වූයේ නැත්තේ ආරක්ෂක හමුදා මඟින් ඊට ලබාදුන් ප්‍රබල ආරක්ෂාව නිසාමය.

යුද සමය නිමා වීමෙන් පසුව දැන් එහි රමණීය චෛත්‍යයක් ද පන්සල් ගොඩනැඟිලි ද ඉදිවී තිබේ. ඒ නිසා එහි වන්දනාවට යන බෞද්ධ ජනතාවගේ බුද්ධාලම්භන ප්‍රීතිය තවත් වැඩිවීමට හේතුවක් වී ඇත. ඒ ස්ථානයට යන මාර්ගය ද පුළුල්ව තිබීම නිසා විශාල බස් පවා එහි යෑමට ඉඩකඩ තිබේ.

එසේ වුවත් මුහුදු මහා විහාරයේ වත්මන් විහාරාධිකාරි උඩමලවත්තේ රත්නප්‍රිය හිමි පවසන්නේ සාමය උදාවීමත් සමඟ 1965 දි ගැසට් කළ තම විහාරස්ථානය සහිත පුරාවිද්‍යා භූමිය ඇතුළත දැනට නිවාස 39ක් ඉදිවී ඇති බවයි.

“මේ පිළිබඳ කරුණු දැක්වූ ‍උඩමලවත්තේ රත්නප්‍රිය හිමියන් පවසන්නේ 1965 දි පුරා විද්‍යාඥ චාල්ස් ගොඩකුඹුර මහා මෙම මුහුදු මහා විහාරයේ අවට පුරා විද්‍යා භූමිය අවට ප්‍රදේශය අක්කර 30 රූඩ් 2ක් බව ප්‍රකාශයට පත්කර ඇති බවයි.

මේ අතර මේ පිළිබඳ කරුණු දැක්වූ වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතා පැවසුවේ මුහුද මහා විහාරයේ මායිම් සුරැකීමට තම දෙපාර්තමේන්තුව හා වෙරළ කලාප ප්‍රතිෂ්ඨාපනය හා තිරසර ව්‍යාපෘතිය මඟින් මායිම් කනු දමා වැටක් ඉදිකර ඇති බවයි. අවට වැලි කඳු සුරැකීමටත් හා සුනාමි වැනි උවදුරක් පැමිණියහොත් ඉන් මුහුදු මහා විහාරය සුරැකීමටත් කිලෝමීටර් 10ක තුරුලතා තිරයක් වෙරළ අසල සිටුවා ඇති බවද වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

මේ පිළිබඳ උඩමලවත්තේ රත්නප්‍රිය හිමියෝ මෙසේ පවසති.

“පුරාවිද්‍යා භූමිය අක්කර 30 රූඩ් 2ක් තිබෙනවා. දැන් ඒ භූමිය තුළ ගෙවල් 38ක් ගහලා. පොතුවිල් ලංකා බැංකුවට එනකම් අල්ලලා. නමුත් තාමත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියනවා මේ ප්‍රමාණය පුරා විද්‍යාවට අයත් නිරවුල් ඉඩමක් කියලා. ඊට පස්සේ දැන් මුහු‍දේ පැත්තේ අලුත් ගෙයක් හදනවා. ඒ අනුව එය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමියේ ඉදිවෙනවා.

මේ වෙරළ සංරක්ෂණයට අයිති ප්‍රදේශයේ සුසාන භූමියක් ද පවත්වාගෙන යනවා. එයට කවුද අවසර අරන් තිබෙන්නේ? මේක අනවසර කනත්තක්. මෘතශරීර වැල්ලේ වළදාලා වැල්ලේ කෝට්ටක් ඇනලා යනවා.

ඒ කනත්තේ දේහයන් උඩින් මුහුදු රළ යනවා. නරක් වුණාම ඒ ජරාව මුහුදට යනවා. මේ පිළිබඳ වෙරළ සංරක්ෂණයත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් කටයුතු කළ යුතුයි. ඒ අය මේකට වගකිව යුතුයි. නමුත් මේකට ගල් දාලා මායිම් දාලා තිබෙන්නේ සම්පූර්ණ පුරාවිද්‍යා භූමියට නෙමෙයි. කනත්ත තිබෙන්නේ පුරාවිද්‍යා භූමිය ඇතුළත. මේවාට කවුද අවසර දුන්නේ? අපට විසඳුම් දෙන්නේ කවුද? අනවසරයෙන් මේ පුරාවිද්‍යා භූමියට ඇතුළත් වුණේ කොහොමද? චාල්ස් ගොඩකුඹුර මහතා මේක පුරාවිද්‍යා භූමියක් ලෙස ගැසට් කළේ එහි පුරාවස්තු තිබෙන නිසා. 1965 මේක ගැසට් කරලා තිබෙනවා. නමුත් දැන් මේකේ ඉවක් බවක් නැතිව ගෙවල් හදලා. පුරාවස්තු විනාශයි. අපේ බෞද්ධ උරුමය නැතිවෙලා ඉවරයි.”

මේ පිළිබඳ තීරණයක් ගැනීමට සියලු නිලධාරින් එක්වී කටයුතු කළ යුතු බව පවසන රත්නප්‍රිය හිමියෝ මේ ප්‍රදේශයේ වැලි කඳුවලටත් ඉඩම් ඔප්පු ලබා දී ඇති බව පැවසූහ.

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසුවේ මේ ගැටලුව පිළිබඳ දිස්ත්‍රික් ලේකම් ප්‍රාදේශීය ලේකම් ඉඩම් කොමසාරිස්, පුරාවිද්‍යා කොමසාරිස්, වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ, බෞද්ධ කටයුතු කොමසාරිස් යන නිලධාරීන්ගේ ඒකාබද්ධ සාකච්ඡාවක් මඟින් විසඳුමක් ලබා දෙන බවයි.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.