අද බොහෝවිට තිබෙන්නේ පිට කසාගැනීම්

මකරන්ද කාව්‍ය වීමංසා - 2014, ත්‍රිමාන කියවීමක් - 2015, සාහිත රසවිත - 2016 යන සාහිත්‍ය විචාර කෘති රචනා කරන ජයසිරි අලවත්ත තමාට ආවේණික වූ විචාර ශෛලියකින් නිර්මාණ දෙස බලන විචාරකයකු මෙන් ම පුවත්පත් සංස්කාරකවරයෙකි. ඔහුගේ සාහිත රසවිත කෘතියේ දෙවන මුද්‍රණය එළි දැක්වීම නිමිත්තෙන් “ශ්‍රී ලාංකේය සාහිත්‍යය සහ සාහිත්‍ය රසවිත” මැයෙන් කේ. කේ. සමන් කුමාරගේ දේශනයක් මාර්තු 28 වැනිදා සවස 3.30 ට ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට ද නියමිත ය. මේ සංලාපය ඒ වෙනුවෙනි.

• “සාහිත රසවිත” ඔස්සේ ඔබ නිර්මාණ ගොන්නක් විචාරයට ලක් කරනවා. විචාරකයකු ලෙස ඔබ විචාරය සඳහා නිර්මාණයක් තෝරා ගැනීම සිදු වන්නේ කෙසේද?

පළමුව මා පාඨකයෙක්, රසවතෙක්. මා කැමතියි මා රසවිඳි කෘතිය නිකම් ම ඉවතට දමන්නේ නැතිව තවත් පාඨකයකු අතට පත් කරන්න. ඒ වගේ ම අවබෝධයක් නැති පාඨකයකුට රසවත් කෘතියක් හඳුන්වා දී ඒ කෙරෙහි අද්දවා ගන්න මා කැමැතියි. එය තමයි සාහිත්‍ය විචාරයට මා පොලඹවන්නේ. කෙටියෙන් කියනවා නම් ඔබේ ප්‍රශ්නයට පිළිතුර භින්න රුචිකත්වයයි.

• එහෙත් විචාරය කියන්නේ නිර්මාණ ජනගත කිරීමේ කාර්යයට එහා ගිය කාරණාවක් නොවේ ද?

රස ජනනය කිරීම තමයි විචාරයේ කාර්යය වෙන්නේ. කෘතියක අපට පෙනෙන වචන, ඡේද, චරිත, සිද්ධි කියන මේ ඕනෑ ම කාරණාවකට එහා ගිය යටි පෙළ කතාවක් නිර්මාණයක තිබෙනවා. මේක ඇතැම් කෙනෙකුට නොතේරෙන්න පුළුවන්. උදාහරණයක් විදියට මා, 'ආදරණීය වික්ටෝරියා' කියන කෘතිය පිළිබඳ කෘතියක් පළ කළා. ඒ කාලෙ 'ආදරණීය වික්ටෝරියා' කියන කෘතිය තැබෑරුම්කාරයන්ගේ කෘතියක් කියලත් කිවුවා. එහෙත් එහි වෙන ම සමාජ දේශපාලන කියැවීමක් තිබුණා. එය තමයි ත්‍රිමාණ කියවීමක් ලෙස පළ වෙන්නේ. අපි කියවන කෙටිකතා, නවකතා මේ හැම එකක ම මෙවැනි වෙන ම කතාවක් කියැවෙනවා. එය පාඨකයාට හසු නොවෙන්න පුළුවන්. විචාරකයා එය හසු කර ගැනීමයි විචාරයේදී සිදු වන්නේ.

• ඔබ පවසනවා විචාරයේ කාර්යය රස ජනනය කියලා. රසවින්දනය හා විචාරය අතර වෙනසක් නැද්ද?

විචාරයේදී රසය සමඟ ම අර කියන සමාජ දේශපාලනික කාරණා සාකච්ඡා වෙනවා. කවිය ගත්තොත් කවි කියවන්න අක­ැමැති කෙනෙක්ට කවි කියවන්න කැමැත්තක් ඇති වෙනවා. විචාරයේදී අඩුපාඩු පමණක් ඉස්මතු කළොත් පාඨකයා ඒ කෘති කියවන්න කැමැති වෙන්නේ නෑ. නිල විචාරයේදී චරිත, වටපිටාව, චරිත ලක්ෂණ, වස්තු විෂය, දෙබස් වගේ බෙදීම් කරනවා. එහෙත් මගේ විචාරයේදී එවැනි බෙදීම් නෑ. මා නිල විචාරයෙන් බැහැරවයි විචාරය කරන්නේ.

• මාක්ස්වාදී හෝ පශ්චාත් නූතනවාදී හෝ කුමන නිල විචාරයකදී වුවත් මනුම් දඬු භාවිත කරනවා. ඔබ පවසන්නේ මිනුම් දඬුවලින් බැහැර වූ රස ජනනය කරන විචාරයක් පිළිබඳවයි. ඔබ රසය හා මිනුම් දඬු අතර විසංවාදයක් දකින්නෙක් ද?

පැහැදිලි ව ම විසංවාදයක් තිබෙනවා. පශ්චාත් නූතනවාදී විචාරය අපට වඩා දියුණුයි තමයි. අතීතයේ සිට ආවත් මාක්ස්වාදී විචාරයත් වෙනස් එකක්. මහාචාර්ය සුචරිත ගම්ලත් වැන්නන්ගේ විචාරය එන්නේ මාක්ස්වාදී විචාරය හරහායි. ඔවුන් නිර්මාණයක සෑම අංශුවක ම දේශපාලනික තැන් ස්පර්ශ කරනවා. (එය කළ යුතුම යැයි මා පිළිගන්නේ නැ.) පශ්චාත් නූතනවාදීනුත් එවැනි සියුම් තැන් ස්පර්ශ කරනවා. මගේ විචාරය ඊට වෙනස්. මා විචාරය සහ රසවින්දනය කියන දෙක ම සමඟයි යන්නේ. සාහිත්‍ය කෘතියක් රසවිඳිනවා කියන්නේ වරප්‍රසාදයක්. මා සිදුකරන්නේ ඒ වරප්‍රසාදය නැති අයට ඒ වරප්‍රසාදය ලබා දීමයි. නිර්මාණයක් නොතේරෙනවා කියන තැනින් පාඨකයා මුදා ගැනීමයි එයින් සිදු වන්නේ.

• ඔබ නිර්මාණයක් විඳින්නේ ඔබේ මානයෙන්. ඔබේ විචාරයේ මූල බීජයත් එයයි. විචාරයකට විචාරකයාගේ ආත්මීය ලක්ෂණ අන්තර්ගත විය හැකිද?

ඇත්තෙන් ම මගේ භින්න රුචිකත්වය මගේ විචාරයට බලපානවා. කෙනෙක්ගේ රුචිය එය නොවෙන්න පුළුවන්. මා ගෙනයන්නේ මගේ භින්න රුචිකත්වය, මගේ දේශපාලනික දැනීම, ආගමික කියැවීම, මගේ සමාජ ස්ථර පිළිබඳ දැනීම කියන වපසරිය තුළයි මා විචාරය කරන්නේ. එතනින් එහා හෝ අඩු රසවින්දනයක් කෙනෙක්ට තිබෙන්න පුළුවන්. ඒ අනුව චිවාරය තුළ විවාදයක් ගොඩනැඟෙන්න පුළුවන්. විචාරකයා තමන්ගේ වපසරිය තුළයි විචාරයක කරන්නේ. මිනුම් දඬුවලින් සියල්ල දැකීමෙන් පාඨකයාටවත් විචාරකයාටවත් සාධාරණයක් වෙන්නේ නෑ.

• නිර්මාණ විචාරයේදී විචාරකයාගේ ආත්මීය ලක්ෂණ ඊට බලපාන්නේ නම් විචාරය එක් අතකින් නිර්මාණයේ විකෘතියක් වීමටත් ඉඩ තිබෙනවා නොවේද?

එවැනි අවස්ථාත් තිබෙනවා. ඒත් එහිදී වන්නේ විකෘතියක් නෙවෙයි රස විවිධත්වයයි. එය ඇතැම් විට ලේඛකයා නොසිතූ මානයක්. එවැනි උදාහරණ මටත් තිබෙනවා. ඔබ පවසන ආකාරයට ඇතැම් විකෘති බිහි වෙන්නත් පුළුවන්. ඒත් මට තවම එවැනි ප්‍රතිචාරයක් නෑ.

• අද වන විට නිර්මාණ කෘති එළිදැක්වීම්වලදීත් ඒ නිර්මාණ පිළිබඳව සැලසුම් කළ විචාර ඉදිරිපත් කරනවා. මෙසේ පාඨකයාට කෘතිය කියවීමටත් පෙර විචාර ඉදිරිපත් වීම කොතරම් දුරට සුදුසු ද?

ඒක පාඨකයාටත් ලේඛකයාටත් කරන අසාධාරණයක්. අද වන විට කෘතියේ තිබෙන අන්තර්ගතයේ දොස් සෘජු ව ම විචාරය කරන විචාරකයන් සිටිනවා. එසේ නොවන අවස්ථාත් තිබෙනවා. ඒත් සාර්ථක වන්නේ කෘතිය එළිදක්වා මාස කීපයක් පාඨකයාට කියවන්න ඉඩ දීලා විචාරයක් කරනවා නම් තමයි. කෘති එළිදක්වන අවස්ථාවන්හිදී සාහිත්‍යය පිළිබඳ ව යම් දේශනයක් හෝ විචාරයක් ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැතුව එළිදක්වන කෘතිය පිළිබඳව සාකච්ඡා කිරීම වටින්නේ නෑ. පුද්ගලබද්ධ විචාරය නැත්නම් පිට කසාගැනීම් තමයි අද බොහෝවිට දකින්න තිබෙන්නේ.

• ඔබ පුවත්පතක සංස්කාරකවරයෙක්, ඒ වගේ ම විචාරකයෙක්. ඔබේ විචාරවලට බලපාන්නේ පුවත්පත් සංස්කරණය ඇසුරින් විවිධ ක්ෂේත්‍ර පිළිබඳව ඔබ ලබන යාවත්කාලීන දැනුමද, නැත්නම් විචාරය පිළිබඳව කළ අධ්‍යයනයක්ද?

වෘත්තීය සංස්කාරකවරයකුට සමාජ, දේශපාලනික, ආගමික, ඓතිහාසික යන කාරණා විශාල ප්‍රමාණයක යම් මට්ටමේ දැනුමක් අවශ්‍යයි. බහු විෂයයික දැනුමක් නැතිව සංස්කරණය කළ නොහැකියි. සාහිත්‍ය විචාරය තුළ ලේඛකයා ප්‍රකාශ කරන දෙයින් එහා ගිය දෙයක් දැනෙන්න නම් ඔබ මතු කරන මේ බහුවිධ දැනුම අවශ්‍ය වෙනවා. කෘතිය තුළ තිබෙන දේශපාලනය හෝ සමාජය හෝ ආගම හෝ දැනෙන්න නම් ඒ පිළිබඳව අධ්‍යයනයක් අවශ්‍යයි. සංස්කරණය හා විචාරය වෙන ම විෂයය දෙකක් වුණාට ඒ අතර මනා සම්බන්ධයක් තිබෙනවා.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.