ඔක්කොම ඇවිල්ලා

කෙටි කතාව

‘ලොක්කි අක්කේ... ඊයෙ රෑ අම්ම කතා කළා ද?’

‘නෑ, චුට්ටි. ඇයි?’

‘මට අම්ම කතා කළා රෑ එකොළහට විතර. ඔයාගෙ ෆෝන් එකට ගත්ත කතාවකුත් කිව්ව. අක්කේ... මේ, ඊයෙ රෑ ආයෙත් තාත්තට අමාරු වුණාලු. දොස්තරල ඇවිල්ල බැලුවලු. චුට්ටෙ මල්ලි තමයි අම්මට කෝල් කරල තියෙන්නෙ.’

‘එහෙම ද?... මං අම්මගෙන් අහල බලන්නන්කො.’

‘අම්මේ.... තාත්තා ගැන තොරතුරු කොහොම ද?’ එකෙණෙහි ම ලොක්කී අම්මා ඇමතුවා ය.

‘මෙහෙමයි ලොක්කි’ අම්මා ඇති තතු හෙළි කළා ය. ‘චුට්ටෙ ඊයෙ රෑ එක වෙලාවක කතා කරන කොට කිව්ව... ටිකක් අමාරු වුණා’ කියල. ආයෙ රෑ දොළහට විතර කතා කරල කිව්ව, ආයෙත් සිහිය ආව. ටිකක් හොඳයි වගේ ඉන්නව කියල. ඒත් මං හිතුවෙ කට්ටිය ම දවල්ට බලන්ඩ ගියොත් හොඳයි කියල. මං මහතුන්ටත්, ගාමටත් කිව්ව. ඔයා නංගිලට කියන්න. ඒ ගොල්ලො කලබල වෙයි, බලාගෙන. කට්ටිය ම මෙහාට එන්න. මෙහෙන් එකොළහට විතර ගියොත් ඇතිනේ.’

ගුණේරිස් මුදලාලි අසනීප වූයේ හදිසියේ ම ය. වයස අවුරුදු හැත්තෑ එකක් වුව ද හොඳින් සන්තෝෂයෙන් සනීපයෙන් සිටියේ ය. ඒත් උන්දැගේ මුළු ජීවිතේ ම දියැවුණේ දරුවන් වෙනුවෙන් බව ගම්මුන්ගේ තීන්දුව ය. සෝමාවතී විවාහ කර ගත් පසුවත් ඊට පෙරත් ඔහු ජීවිකාවක් එකලස් කර ගන්න නොගත් දහිරියක් නැති තරම් ය.

‘ඒයි මේ! මේ කඩ කෑල්ල කොහොමත් මගෙ නමටනෙ තියෙන්නෙ. ඒක ඩිංගක් එකලස් කොරල පුංචියට වගේ කඩ ඩිංගක් පටන් ගත්තොත් නරක ද?’ යි විවාහ වූ අලුත හාමිනේ විමසා සිටියේ බලාගෙන ඉඳලා ඉඳලා බැරි ම තැන ය.

‘ඒක හොඳයි තමා. ඉතින් කෝ ඕවට සල්ලි? එකපාරට ගහෙන් ගෙඩි එන්නා වාගෙ ඕව පටන් ගන්නෙ කොහොමෙයි?’

‘ඔහේ ඔය චන්ද්‍රසේන මහත්තෙයගෙ කඩේ වැ‍ඩ කරන එක දිගට ම කර ගෙන යන්ඩ. ඒ අතරෙ අපි සමෘද්ධියෙන් ණයක් අරගෙන පොඩියට වැඩේ කරගෙන යං.’

මෙසේ ඇරඹූ කඩය කල් යාමේ දී යම් දියුණුවක් ලබන බව මුදලාලිටත් හාමිනේටත් නො දැනුණා නොවේ. ‘අපි ඉතින් දෙයියො බුදුන් අදහගෙන ඉන්න අය නොවැ’ යි දිනක් ගුණේරිස් මුදලාලි හාමිනේට කීවේ සතුටු සාමීචියේ යෙදෙමින් සිටි මොහොතක ය.

‘ආ! ලොක්කි ඔයා ආව ද?’

‘ඔව්! අම්මේ, නංගිලා තුන්දෙනා එකොළහට කිට්ටු කරල එයි.’

‘ආ ඔන්න මහතුන් මල්ලියි, ගාමා මලයයි ගියා අර දලු කඩන කට්ටියට තේ දීල එන්න. දැන් එනවත් ඇති.’

‘ආ! කියන කොටත් මල්ලිල දෙන්න එන්නෙ. දැන් නංගිලත් ආවනං හරි.’ ලොක්කි කීවේ ඈතට විහිදූ බැල්ම අම්මා වෙතට මාරු කරමිනි.

පවුලේ වැඩිමලා - ලොක්කි මල්ලිලා දෙදෙනා සමඟ තාත්තා ගැන කතාවට වැටුණේ නංගිලා එනතුරු ය. අම්මාත් කෑම පාර්සල් දෙක බැඳ තබා මේ කතාවට හවුල් වූයේ ඉතිහාසය යළි මතක් කර දෙන්නට ය.

‘ඔව්, පුතේ... තාත්තා - අපි කසාද බඳින්න කලින් හුඟාක් දුක් වින්ද තමයි. ඒත් දෙයියනේ කියලා මේ කඩ කෑල්ල පටන් ගත්තට පස්සෙ උඹලට - අපිට ඩිංග ඩිංග සහනයක් එන්ඩ පටන් ගත්තා. මේ ගේ, කඩේ මේ තත්වෙට හදා ගත්තේ, එතකොට ඔය තේ ඉඩම් කෑලි දෙක තුන ගත්තෙ, එතකොට අර විකුණපු ලොරිය ගත්තේ... ත්‍රීවීල් ගත්තෙ... ඔය ඔක්කොම කළේ.... දෙයියන්ගෙ පිහිටෙන් මේ කඩෙන් තමයි. මේව ඉතින් උඹල නොදන්නව යැ. තාත්තට ඉතින් සංතෝසයි කෙල්ලො හතර දෙනාත් වැඩි ඈත්වලට නැතුව කිට්ටුව පාතට ම එහෙට මෙහෙට වෙච්චි එක ගැනත්. ඒත් ඉතින් කොල්ලො තුන්දෙනත් අපි ඉද්දිම එකලාසයක් වෙනව නම් හොඳයි කියලත් ඔය හිටි හිටි ගමන් කියෝනව.’

‘අම්මේ! දැන් යන්ඩ වෙලාව හරි. යන්නත් පැයක් විතර යනව නේ’යි ගාමා කීය.

‘ඒත් පුතේ අක්කල එනකං ඩිංගක් බලන්න වෙයි නේද?’

‘එහෙම උණොත් මගදි දාගම්මු. තාත්ත බලන්න යන එකටවත් මුංට වෙලාවට එන්න බෑ’යි මහතුන් කීවේ පවුලේ සමහර අයගේ වැඩවල අපිළිවෙළ සිහිපත් කරමිනි.

‘ඇති යන්තං. එනව එනව’ යි කියමින් ගාමා ප්රූං ප්රුං ප්රුං යන හඬ නංවමින් ත්‍රීවිලරය පණ ගැන්නුවේ ය. මහතුන් ද මල්ලීව අනුගමනය කළේ ය.

ගාමාගේ ත්‍රීවිලරයට ලොක්කිත්, චුට්ටීත් නැග්ගෝ ය. බත් පාර්සල් දෙකත් වෙන අඩුම කුඩුමත් පිරවූ බෑගය ද අතැතිව අම්මාත් එයට ම ගොඩ වූවා ය. අනෙක් ත්‍රීවිලරයට ඉතිරි දූවරු දෙදෙනා ගොඩ වූහ.

පිරිස යන්නට සූදානම් වනවිට ම කඩෙන් බු කළමනා ගැනීමට අහල පහල පිරිමියෙක් සහ ගැහැනියක් පැමිණියෝ ය. ගෙදර අය යම් කලබලයකින් යනු දුටු ඔවුහු එයාට බාධා නො කළහ. ඒ සමඟම ඔවුහු එක්වර ම ආපසු හැරී නොගොස් කතාවට වැටුණාහ.

‘කවුරුවත් ලෙඩෙක්වත් ද?’ කාන්තාව සිය ඉව ප්‍රයෝජනයට ගනිමින් කතා කළා ය.

‘ඒක තමයි මාත් මේ කල්පනා කෙරුවෙ... එහෙම උණොත් කවුද ඉතින්... අපේ මුදලාලිවත් අසනීපෙන් වද්ද?’

බඩු ගැනීමට ආ දෙදෙනාගේ සැකසාංකාව දුරු කරගැනීමට වැඩි වේලාවක් ගතවූයේ නැත. ඔවුන් දෙදෙනා හිටගෙන සිටිනු දුටු අල්ලපු ගෙදර ඇසිලින් නැන්දා තකහනියේ ම දුවගෙන විත් අවශ්‍ය තොරතුරු ලබා දුන්නා ය. ‘නංගී අදනං කඩේ අරින එකක් නෑ. මුදලාලි වාට්ටුවෙ නවත්තලා නෙව. ඕං දැං කට්ටිය ම ගියා... මුදලාලිට හුඟක් අමාරුයිලු’

පිරිස හරියට ම දොළහයි පහ වනවිට රෝහල වෙත ළඟා වූයෙන් ත්‍රීවීලරවලින් බැසගත් අම්මා, දූලා, පුතාලා තකහනියේ ම ඉදිරියට ඇදෙන්නට ගත්තේ තාත්තාගේ මුහුණ දැක ගැනීමේ ආශාවෙනි.

ඇඳ වෙත ළඟා වෙද්දි තාත්තා අපහසුවෙන් නමුත් ඇඳ මත වාඩිවී සිටිනු පෙනේ. ඒ අසලින් ම චුට්ටෙ මල්ලීත් වාඩිවී සිටී. මෙම දසුන සියලු දෙනාට ම ගෙන දුන‍්නේ ඇදැහිය නොහැකි තරමේ සතුටකි. චංචලව තිබූ ඔවුන්ගේ සිත් යම් තරමකට නිශ්චල වූවාක් මෙන් විය.

දරුවන් දකිද්දී ගුණේරිස් මුදලාලිට ද යම් සතුටක් දැනෙන්නට ඇත. එහෙත් මේ ලෙඩ ගානේ ඒ සතුට කෙසේ පළ කරන්නද? ඔය අතරේ දූ දරුවන්ගෙන් සමහරුන් ‘තාත්තේ’ යි කියමින් තාත්තාගේ අත අල්ලා ගත්තේත්, සමහරුන් උරහිස් අල්ලා ගත්තේත් දුක් බරිතව වුව ද සෙහෙස පාන්නට ය. තාත්තාත් එකිනෙකා දෙස බැලූයේ පුළුවන් හැටියට ය.

‘අද ඔන්න තාත්ත බලන්න කට්ටිය ම ආව’ යි අම්මා කීවේ දරුවන්ගේ ආදරය තවත් වැඩි වී ඇති බව කියන්නට ය. නැවත වටයක් සියලු දෙනා දෙස දෘෂ්ටිය හෙලූ තාත්තා යමක් කීමට වැර දරනු දුටු දූ පුත්තු තවත් ළං වූහ.

‘කො... කෝ චුට්ටෙ? ගුණේරිස් මුදලාලි අපහසුවෙන් වුව ද සිය බිරියගෙන් විමසා සිටියේ ය.

‘ඔය ළඟම ඉන්නෙ’ යි අම්මා පිළිතුරු බැන්දා ය.

‘කො... කෝ සුදූ?

අම්මා සුදූව ඉදිරියට රැගෙන පෙන්නුවේ ‘මේ ඉන්නේ’ යි පවසමිනි. පසුව මෙලෙස ම ඉතිරි අය ගැනත් අපහසුවෙන් නමුත් විමසද්දී අම්මා සියලු‍ දෙනා ම වරින් වර ගෙන පෙන්නුවා ය. අවසානයට ම විමසුවේ කුමාරි ගැන ය. අම්මා ඇයව ඉදිරියට ගෙන පෙන්වද්දී ගුණේරිස් මුදලාලි ඇඳට ඉහළින් සිරි සිරියේ කැරකෙමින් තිබූ විදුලි පංකාව දෙසට දෑස් යොමු කළේ ය. එම බැල්ම හෙළූයේ විදුලි පංකාව දෙසට ද නො එසේ නම් උඩට කර ගැට ගසා තිබූ මදුරු දැලට ද එසේත් නැත්නම් සුළං පාරට හසු වී නැටුම් නටමින් සිටි සීලිමේ ස්ථිර පදිංචිය දරමින් සිටි මකුළු දැල දෙස දැ යි හරියට ම කිසිවකුටත් පැහැදිලි නොවුණි. එසේ බලා සිටි ගුණේරිස් මුදලාලි එක්වරම ඔළුව කරකවා පවුලේ අය දෙස පුළුටු බැල්මක් හෙළද්දී ගාමාගේ හිතට නම් ආවේ ‘තාත්තාට ඇති ලෙඩක් නෑ’ කියා ය.

දැන් ගුණේරිස් මුදලාලි තවත් යමක් කියන්නට පෙරුම් පුරනු සියලු දෙනාම බලා ගෙන ය. තකහනියේ ම සියලු දෙනාම තව තවත් ළංවී සිය කන් තාත්තාගේ මුවගට ම එල්ල කළහ.

‘හත්... හත්තිලව්වෙ, මෙතන... හැත්ත බුරුත්ත ම ඇවිල්ල... කවුද යකෝ කඩේ? යි ගුණේරිස් මුදලාලි නින්දෙන් අවදි වූවකු මෙන් එක්වර ම ඇසූ විට සියලු දෙනා ම අඩියක් පස්සට යැවුණේ ඉබේට ම ය.

අම්මාත්, චුට්ටේත් සිටිය දී ඉතිරි සියලු දෙනා ම තකහනියේ ම දෙකට නැවී තාත්තාට වැඳ හෙමින් හෙමින් එළියට ගොස් ත්‍රීවීලර් දෙක ළඟට වී අම්මා එනතුරු ගොළුගැහී බලා සිටියෝ ය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.