නින්ද නොයන රෝගයකින් පෙළුණු ෆ්‍රාන්ස් කෆ්කා

විසිවැනි සියවසේ බිහි වූ මුල් පෙළේ සාහිත්‍යධරයකු ලෙස ෆ්‍රාන්ස් කෆ්කා පිළිගැනේ. නවකතාකරුවකු මෙන්ම කෙටිකතාකරුවකු ද වූ ඔහු ජර්මන් භාෂාවෙන් නිර්මාණකරණයේ යෙදුණි. ඔහුගේ නිර්මාණ බොහෝ දුරට යථාව සහ ෆැන්ටසිය සංකලනය වීමෙන් බිහි වූ ඒවා විය.

එවක ඔස්ට්‍රෝ හංගේරියානු අධිරාජ්‍යයට අයත්ව තිබූ බොහිමියා රාජධානියේ අගනුවර වන ප්‍රාග් නුවර දී (වත්මන් චෙච් ජනරජය) ජර්මන් බස කතා කරන යුදෙව් පවුලක දරුවකු ලෙස කෆ්කා උපත ලැබුවේ 1883 ජුලි 3 වැනිදාය. විශ්ව කීර්තියට පත් ලේඛකයකු ලෙස සම්භාවනාවට පාත්‍ර වන කෆ්කා ජීවත්වූයේ අවුරුදු 40ක් පමණි. ක්ෂය රෝගය ඔහුගේ ජීවිතය උදුරා ගත්තේය. එහෙත් එම කෙටි ජීවිත කාලය තුළ The Metamorphosis, The Trial, The Judgement, The Castle, A Hunger Artist Letters to Felie Contemplation ආදී විශිෂ්ට නිර්මාණ රැසක් ඔහු සාහිත්‍ය ලෝකයට දායාද කර තිබේ.

කෆ්කාගේ බාල සහෝදරයන් දෙදෙනාම ඔහු සත් හැවිරිදි වියට එළැඹීමටත් පෙරදීම ජීවිතයෙන් සමුගත්තේ අවාසනාවන්ත අයුරිනි. කෆ්කා දෙවන ලෝක සංග්‍රාමයට වසර කිහිපයකට පෙර ජීවිතයෙන් සමුගෙන ගිය ද ඔහුගේ සොයුරියන් තිදෙනාටම ඛේදනීය ලෙස නාසි වධකාගාර තුළදී ජීවිතය අත් හැරීමට සිදු විය.

කෆ්කාගේ පියා ආත්මාර්ථකාමී, අහංකාර ව්‍යාපාරිකයකු විය. ඔහු හැඩි දැඩි මිනිසෙකි. මව, පවුලේ ව්‍යාපාරවලට දවසේ පැය 12ක් පමණ කැප කළ වෙහෙස වී වැඩ කළ කාන්තාවකි. මේ නිසා බොහෝ දුරට කෆ්කාගේ ළමාවිය යම් හුදෙකලා බවක ගිලී තිබිණි. කෆ්කා සහ පියා අතර තිබු සම්බන්ධය සමීප හා ආදරණීය එකක් නො වේ. ඔහු සිය පියාට දැඩි බියක් දැක්වීය. මේ ගැන පැහැදිලි කරමින් පිටු 100කට වැඩි ලිපියක් ද ඔහු පියාට ලියා තිබිණි.

කෆ්කාගේ ලේඛන ජීවිතයට පියාගෙන් ලද ආභාසය ප්‍රබලය. කෆ්කා නිර්මාණකරණයට නැඹුරු වූයේ ළමා කලදීම බව පෙනෙන්නට තිබේ. මවුපියන්ගේ උපන් දින වෙනුවෙන් නාට්‍යයක් රචනා කිරිම කුඩා කෆ්කාගේ සිරිතකි. මේ නාට්‍යවල චරිත නිරූපණය කළේ ඔහුගේ සොයුරියන්ය.

කෆ්කා ඉගෙනීමේ කටයුතු කළේ ජර්මන් භාෂා මාධ්‍යයෙනි. එහෙත් ඔහුට චෙච් බස කතා කිරීමට හා ලිවීමට පුළුවන් විය. ඔහු ජර්මන් උච්ඡාරණය කළේ ද චෙච් ඌරුවටය. උසස් අධ්‍යාපනය සඳහා රසායන විද්‍යාව තෝරා ගත් ඔහු දෙසතියක් ගතවන විට නීතිය හැදෑරීමට යොමු විය. මේ කාලයේදී ඔහු සාහිත්‍ය කටයුතු ඇතුළු බාහිර ක්‍රියාකාරකම්වලට සම්බන්ධ විය. කෆ්කාගේ සමකාලීන නීති ශිෂ්‍යයකු වූ මැක්ස් බ්‍රෝඩ්, කෆ්කා මියයන තුරුම ඔහුගේ සමීප මිතුරකුව සිටියේය.

නීති ක්ෂේත්‍රයෙන් ආචාර්ය උපාධියක් ලැබු කෆ්කා අනිවාර්ය අවශ්‍යතාවක් ලෙස එක් වසරක් දීමනා ලැබීමකින් තොර සිවිල් හා අපරාධ අධිකරණවල නීති ලිපිකරුවකු ලෙස ද කටයුතු කළේය. ඉන්පසු ඔහු ඉතාලි රක්ෂණ සමාගමක රැකියාවක් තෝරාගත්ත ද උදෑසන 8.00 සිට සවස 6.00 දක්වා සේවය කිරිමට සිදුවීම නොසතුටින් පසුවිය. ලිවීමට කාලයක් වෙන් කරගත නොහැකි වීම ඊට වඩාත් බලපෑවේය. ඔහු වසරකට පසු රැකියාවෙන් ඉවත් විය. යළිත් ඔහු රැකියාවක් සොයා ගත්තේ රක්ෂණ ක්ෂේත්‍රයේමය. ඒ, ශ්‍රමිකයන්ගේ අනතුරු පිළිබඳ රක්ෂණ ආයතනයේ රක්ෂණ නිලධාරියකු වශයෙනි. එය ඔහුට ගැළපුණේය. එය රැකියාව කරන අතර ඔහු මහාචාර්යවරයකු ද සමඟ එක්ව ආරක්ෂිත හිස්වැස්මක් ද හඳුන්වා දුන්නේය. වාර්ෂික වාර්තා ආදි ලේඛන ද ඔහු මනාව පිළියෙල කළේය. සාමාන්‍යයෙන් ප. ව. 2.00 ට සේවය නිමවා කාර්යාලයෙන් බැහැර වීමට හැකිවීම ගැන ඔහු වඩාත් තෘප්තිමත් වූයේ ලිවීම සඳහා කාලය තිබු බැවිනි. ඇස්බැස්ටස් කම්හලක කොටස් හිමියකු ලෙස ඔහු ව්‍යාපාර කටයුතුවල ද නියැළිණි. මේ කාලයේදී ලිවීමට කාලය සොයාගත නොහැකි වීම නිසා ව්‍යාපාර ක්ෂේත්‍රයට ද ඔහුගේ කැමැත්තක් නොවීය. කෙසේ වුවද රඟහලට යාමට ඔහු කෙසේ හෝ කාලය සොයාගත්තේය. යුදෙව් දර්ශනය ගැන ගවේෂණ කළ ඔහු මේ කාලයේදී නිර්මාංස ආහාරයට ‍පවා නැඹුරු විය. පළමු ලෝක යුද්ධයට එක්වීමට කැඳවීමක් ලැබුණ ද ඔහුගේ රක්ෂණ සමාගම ඊට කල් ලබාගත්තේ එය අත්‍යවශ්‍ය රජයේ සේවයක් බව දක්වමිනි. පසුව යුද බිමට යාමට ඔහු වෑයම් කළ ද ක්ෂය රෝගයෙන් පීඩා විඳීම නිසා එවර ද එය වැළැකිණි. රෝගී තත්ත්වය නිසාම ඔහුට විශ්‍රාම ලබාදීමට රක්ෂණ ආයතනය කටයුතු කළේය. එකල ක්ෂය රෝගයට නිසි ප්‍රතිකාර නොවූ අතර කෆ්කාගේ ජීවිතයේ වැඩි කොටසක් සත්කාරාගාරවල ගත විය.

කෆ්කා විවාහ ජිවිතයට ඇතුළත් නොවිණි. එහෙත්, කාන්තාවන් කිහිප දෙනකු සමඟම ඔහු සබඳකම් පැවැත්වීය. ගණිකා ඇසුරට ද පෙලඹී සිටියේය. මිලෙනා ජෙසන්ස්කා නම් චෙච් ජනමාධ්‍යවේදිනිය සමඟ ඔහුට දැඩි සම්බන්ධයක් තිබිණි. 1920 ගණන්වලදී ඔහු ඇයට ලියු ලියුම් Letters to Milena යනුවෙන් පසුකාලීනව කෘතියක් ලෙස ප්‍රකාශයට පත් විය.

තමා කායිකව මෙන්ම මානසිකව ද දුබල අයකු ලෙස මිනිසුන් විසින් වටහා ගනු ඇතැයි කෆ්කා තුළ භීතිකාවක් තිබිණි. කෙසේ වුවද ඔහු සිය මිතුරන් සමඟ විහිළු තහළුවෙන් ගත කළ විනෝදගාමියකු ද වූයේය. මිතුරන් දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දුන් විට ඔහු ඔවුන්ට උපදෙස් ද දුන්නේය. කුඩා කල ව්‍යායාම සහ ක්‍රීඩාවලට ප්‍රිය නොකළ ද තරුණයකු ලෙස ඔහු ක්‍රීඩාවට ද නැඹුරු විය. කෆ්කා දක්ෂ අසරුවෙකි, පිහිනීමේ මෙන්ම ඔරු පැදීමේද ශූරයෙකි. සති අන්තවලදී ඔහු මිතුරන් සමඟ දීර්ඝ චාරිකාවල ද යෙදුණි. බොහෝ විට ඒවා පා ගමන්ය. සැලසුම් කළේ ද ඔහු විසින්මය. වෛකල්පිත වෛද්‍ය ක්‍රම සහ මොන්ටිසෝරි අධ්‍යාපනය ගැන ද කෆ්කා තුළ උනන්දුවක් තිබිණි.

මේ සියල්ල අතර ඔහු ඉහළම අවධානය යොමු කළේ ලිවීමටයි. ශබ්දය ගැන ඔහු තුළ වූයේ අධි සංවේදී බවකි. ලිවීමේ යෙදෙන විට කිසිදු කලබගෑනියකින් තොර නිස්කලංක පරිසරයක් ඔහුට අවශ්‍ය විය. කෆ්කා රාත්‍රී නින්ද නොයාමේ රෝගයෙන් පෙළුණ අයකු ලෙස ද ප්‍රකටය. මේ නිසා බොහෝ විට ඔහු නිශාචර ලේඛකයෙකි. රාත්‍රී 11.00 ට පමණ ලිවීම අරඹන ඔහු රාත්‍රී 2 - 3 හෝ උදෑසන 6.00 පමණ දක්වා එහි නිරත වේ.

දොම්නසෙහි ඇලී ගැලී නොසිටි නමුදු කෆ්කා අවම වශයෙන් එක් වරක් සියදිවි නසා ගැනීමට ද වෑයම් කර තිබේ. කෆ්කා සමාජවාදී දේශපාලන දැක්මක් තිබූ ලේඛකයෙකි. ඔහුගේ නිර්මාණ ඔස්සේ ද ඒ බව පළ වේ. කෙසේ වෙතත් ඔහු දේශපාලන ලේඛකයකු වී ද යන්න අදටත් විවාදාපන්නය.

ඔහු ලියූ දෑ අතුරින් ජීවිත කාලයේදී ප්‍රකාශයට පත් වූ දෑ අල්පය. ඇතැම් විට සිය නිර්මාණ ගිනි තබා විනාශ කිරිමට පවා ඔහු පෙලඹිණි. නිර්මාණකරණයේදී ඔහු වඩාත් ආභාසය ලැබු ලේඛකයා ගුස්ටාව් ෆ්ලොබෙයාය. කෆ්කාගේ ප්‍රමුඛ නිර්මාණයක් ලෙස සැලකෙන The Judgment ඔහු ලිව්වේ 1912 සැප්තැම්බර් 22 වැනිදා රාත්‍රියේදී නිර්මාණවේශයෙන් යුතුවය. මේ කෘතිය ඔහු පිදුවේ ෆෙලිස් බෝවර් වෙතය. එය අධිපතිවාදී පියකු සහ පුතු අතර වූ සම්බන්ධය විදහාලන කතාවකි. කෆ්කාම විස්තර කරන පරිදි ලිවීම යනු සිරුර මෙන්ම ආත්මය ද මුළුමනින්ම විවර කිරිමකි.

ක්ෂය රෝගයෙන් පෙළෙමින් මරණ මංචකයේ වැතිර සිටියදී ෆ්‍රාන්ස් කෆ්කා සිය අතිජාත මිත්‍ර මැක්ස් බ්‍රෝඩ්ගෙන් අවසන් ඉල්ලීම වශයෙන් කළේ මෙතෙක් පළ නොවූ සිය නිර්මාණ සියල්ල ගිනි තබා විනාශ කරන ලෙසය. එසේ වුවද, මැක්ස් ඒ ඉල්ලීම නම් එයාකාරයෙන්ම ඉටු නොකළේය. ඔහු එම කෘතීන් ප්‍රකාශයට පත් කළ අතර එසේ නොවිණිනම් කෆ්කාගේ නිර්මාණ ජිවිතය මෙතරම් පුළුල් ලෙස ලෝකයට විවර නොවීමට ඉඩ තිබිණි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.