නීතිය පොඩි තැනින් ගලා බසී!

හිත රිදෙන කවි

නීතියේ ආධිපත්‍යය ගැන ද; අධිකරණයේ ස්වාධීනත්වය ගැන ද බරසාර සංවාද පැවැත්වෙයි. ඒ අතර පොඩි උන් සඳහා නීතිය අකුරට ම ක්‍රියාත්මක වෙයි. ලොකු උන් සඳහා ඒ නීතිය ම ලිහිල් වෙයි....?

සිරා කියූ සැණෙන් අප සිහියට නැ‍ඟෙන්නේ මදාවියෙකි. ඔහු සමාජ - විරෝධී ක්‍රියාවන්හි යෙදෙන හිතුවක්කාරී පුද්ගලයෙකැ’යි අප සිත්හි මෝදු වෙයි. එලෙස ම ඔහු නරමයකු ලෙසින් ද පෙනී යයි. ඇතැම්විට මරු සිරා වැනි චරිතයක් ද සිහියට නැ‍ඟෙයි. එබඳු පුද්ගලයකු කුමක් කියන්නේ දැ’යි දැන ගැනීමේ කුහුලක් අපට ඇති වෙයි. ඒ හැරත් සිරා වැනි චරිතයක් කවි ලියන්නේ නම්; ඒවා කෙබඳු විය හැකි ද? මේ කවිය සිරාගේ ආත්ම කථනයක් ලෙස ගත හැකි ය. එහෙත් සමස්ත පද්‍යයෙන් ප්‍රකාශයට පත් වන්නේ සිරාලාගේ පන්තියේ පොදු විරෝධතාව යි.

අතිශය සරල ව ගතහොත් සිරාගේ කතාව මෙසේ ය.

ඔහු උපාධිධාරියෙකි. එහෙත් සාධු - සම්මත රැකියාවක් නැත. එබැවින් ජීවත්වීම සඳහා කසිප්පු පෙරයි. සිරා විවාහක ය. නීත්‍යනුකූල බිරිය රට ගොසිනි. තරුණ සැමියෙක් බිරියගෙන් වෙන් ව හුදෙකලාව සිටින්නේ කෙසේ ද? ඔහුට අනියම් බිරියක් සිටී. ඇය බඩදරු වී ඇත. අම්මාට බරපතළ රෝගයක් පවතී. ඊට ප්‍රතිකාර ලබා දීම සඳහා නිවස හා ඉඩම උගස් කර තිබේ. වහා ම බේරා නොගතහොත් දෙක ම මුදලාලිට සින්න වනු ඇත.

සිරාට මූලික ප්‍රශ්න කිහිපයක් තිබේ. ඒවා මෙසේ ය.

(I) ඔහු ගේ පුත්‍රයාට පාසලක් නැත.

(II) අනියම් බිරිය බඩදරු වී ඇත.

(III) නීත්‍යනුකූල බිරිය රට ගොස් ඇත.

(IV) නිවස හා ඉඩම සින්නවීමට ආසන්න ය.

(V) අම්මාට තදබල රෝගයක් තිබේ.

(IV) පොලීසිය සිරා පසුපස හඹා එයි.

මේ එක ප්‍රශ්නයක්වත් සරල නැත. ඒවාට විසැඳුම් ද පෙනෙන තෙක් මානයක නැත. විරැකියාව, දුප්පත්කම, පාසල් අධ්‍යාපනයේ අවුල, කාන්තාවන් රට යෑම නිසා ඇතිවන ගැටලු ඇතුළු වර්තමාන සමාජ අර්බුදයේ හරස්කඩක් මේ ප්‍රබන්ධයෙන් නිරූපණය කෙරේ. සිරා එක අතෙකින් යුතුකම් දන්නා මිනිසෙකි. වගවීම් පිළිබඳ වැටහීමක් ඔහුට තිබේ. අම්මාගේ අසනීපය වෙනුවෙන් වද විඳින්නේ ද, දරුවාට පාසලක් සොයන්නේ ද සිරා හොඳ මිනිසකු නිසා ය. ඒ පමණක් නො ව; ඔහු අනියම් බිරිය වෙනුවෙන් ශෝක වෙයි. තමන් පොලීසියට කොටු වුව හොත් ඇයට කාගේ පිහිට දැ’යි සිරා ප්‍රශ්න කරයි.

මේ අතර ඔහු පවත්නා සමාජයත්, ඒ සමාජ ක්‍රමයත් ප්‍රශ්න කරයි. කසිප්පු ජාවාරම පොඩි උන්ට තහනම් ය. ලොකු උන්ට තහනම් නැත. අපාධවලදී තෝරු - මෝරු ඇඟ බේරා ගන්නා බව ද, හාල්මැස්සන් බෙල්ල මුලින් ම හසුවන බව ද අපි දනිමු. නීතියේ ආධිපත්‍යය පිළිබඳ ගැටලුව ද මෙයින් ඉස්මතු කෙරේ. නීතිය සියල්ලට ඉහළින් සිටින්නේ යැයි කියූව ද ප්‍රායෝගික ලෝකයේ දී එය යථාර්ථයක් වන්නේ නැත.

සිරාගේ පුත්‍රයාට පාසලක් නැත්තේ ඇයි? ඉස්කෝලය අල්ලපු වටේ පිහිටා ඇත. එහෙත් පුත්‍රයාට පාසලේ දොර ඇරෙන්නේ නැත. ඒ විදුහල්පතිට පගාවක් දීමට තරම් වත්කමක් සිරාට නැති නිසා ද? නැතහොත් කසිප්පුකාරයකු ලෙස සිරා ගර්හාවට ලක් වී ඇති බැවින් අන් අය විරෝධය දක්වන නිසා ද? ඇතැම්විට මේ සියල්ල ම හේතු - සාධක ලෙස ගත හැකි ය.

“අල්ලපු වැටේ තිබුණත් ඉස්කෝලේ

කොලූට තහනං ඒ ඇයි රාලේ”

සිරා සමාජයෙන් ප්‍රශ්න කරන්නේ සියුම් උපහාසයක් හා විවේචනයක් ද ඉදිරිපත් කරමින් ය. “ඒ ඇයි රාලේ” යන යෙදුමෙන් එය වඩාත් හොඳින් පැහැදිලි වෙයි. මේ නිර්මාණය ඔස්සේ අපේ සමාජ විසමතා හා පන්ති පරතරය හොඳින් නිරූපණය කෙරේ. නිදසුනක් ගතහොත්; කසිප්පු ජාවාරම මහ ඉහළින් කරන අයට තහංචි නැත. බාධා නැත. ඔවුන් සමාජයේ පිළිගැනීමට ලක් වී ඇති හැටියක් ද පෙනෙයි. නීතිය ලොකු තැන්වලට නැති බවත්; දැන් ගජරාමෙට ම සුදුව පෙරන බවත් සිරා කියයි. එහෙත් සිරාගේ වෘත්තීය සගයා වූ සෝමේ බූලි කිහිපයක් සමඟ පොලීසියට කොටු වී ඇත. සිරා බේරී ඇත්තේ අනූන‍වයෙන් ය. ඊළඟ ගොදුර ඔහු ය.

සිරා ගෙවන අවදානම් සහගත දුක්ඛිත ජීවිතය දෙස ආපසු හැරී බලන කල බලවත් කම්පනයක් පාඨක සිත් තුළට කඩා වදී. ඔහු පොලීසියට කොටු ව‍ුවහොත් බරපතළ සිද්ධි කිහිපයක් ඇති විය හැකි ය. එක අතෙකින් නිවස හා ඉඩම සින්න වීමට ඉඩ තිබේ. අම්මා ගේ අසනීපය උත්සන්න වීමට ඉඩ තිබේ. අම්මාගේ අසනීපය උත්සන්න වීමට ඉඩ තිබේ. අනියම් බිරිය බලවත් අසීරුතාවකට පත්වීම නො වැළැක්විය හැකි ය. ඒ අතර පුත්‍රයාගේ ඉස්කෝල ගැටලුව තවදුරටත් සංකීර්ණ වනු ඇත. සිරා මේ සියල්ලෙන් ම පීඩනයට ලක් වී ඇති ආකාරය සිතා ගත හැකි ය.

සිරා කුදලාගෙන යෑමට එන පොලීසිය ඔහු ගේ කතාවට සවන් දෙන්නේ නැත. සිරාලාට දඬුවම් නියම කරන අධිකරණය ද ඔවුන්ගේ කතාවට සවන් දෙන්නේ නැත. සිරාලා විවේචනය කරන සමාජය ද ඔවුන් දෙස ආපසු හැරී බලන්නේ නැත. මේ ක්‍රමය මනුෂ්‍යත්වය කෙරෙහි දක්වන අඩු සැලැකිල්ල මෙයින් ප්‍රකට කෙරේ.

අවසන් ලෙස සිරා කියා සිටින්නේ කුමක් ද? තමන් බෝම්බයක් නම්; උන් ඉදිරිපිට පුපුරා යා යුතු බව ය. උන් යනු කවරෙක් ද? මේ සමාජ ක්‍රමය නඩත්තු කරන හා එය තවදුරටත් පාලනය කරන අය යි. පාලකයන්, පාලකයන්ගේ උපදේශකයන්, නිලධාරීන්, සමාජ නායකයන් යන සියලු දෙනා ඊට ඇතුළත් වෙති.

“පැනයති හිත තුළ බෝම්බයක් වාගේ

පුපුරනවා නං උං ළග මරුනේ”

මේ අදහස තවදුරටත් විමසන කල පෙනී යන්නේ සිරා මරාගෙන - මැරෙන තැනකට පත් වී ඇති බව ය. ජීවන - ගැටලු දරාගත නොහැකි ඇතැම් පුද්ගලයෝ සියදිවි නසාගනිති. දිවි නසාගැනීම අතින් ඉහළ ප්‍රතිශතයක් වාර්තා කරන රටක් හැටියට ශ්‍රී ලංකාව ප්‍රකට ය. ඇතැම් අම්මලා සිය දරුවෝ ද කැටුව කෝච්චියට පනිති. නැතහොත් ගඟට පනිති. සිරා ඒ අතින් තරමක් වෙනස් ය. ඔහු මිය යන්නට වෑයම් කරන්නේ සමාජයට ද පාඩමක් උගන්වමිනි. පලිගැනීමක් ද සිදු කරමිනි. සමාජයට වෛර කරන තැනක් වෙත පුද්ගලයා ගමන් කරන ආකාරය ද මෙයින් පසක් වෙයි.

සමාජවාදී කලාවේ සෙවණැල්ලක් ද මේ ප්‍රබන්ධය තුළ තිබේ. නිර්ධන පන්තිය, පාදඩ සමාජය එම කලාවට බෙහෙවින් ප්‍රස්තෘත වෙයි. ඉතිහාසය දෙස බලන විට සමහර කවීන් විප්ලවයට දායකත්වය සපයමින් නිර්මාණකරණයෙහි යෙදී ඇත. ජයන්ත ග. ජෝතියරත්නගේ කාව්‍ය සංග්‍රහයකින් ඉහත ප්‍රබන්ධය උපුටා ගැනිණි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.