පර්යේෂණ කරන්නෙ නැතිව නාට්‍ය කරලා වැඩක් නැහැ

තුරුණු මඬල

• ඔබ ‘රජා මං වහලා’ වේදිකා නාට්‍යය රැගෙන ඉන්දියාවට පිවිසුණේ ඇයි?

19 වන ඉන්දියානු භාරත රංග මහෝත්සවය සඳහා මා ශ්‍රී ලංකාව නියෝජනය කළා. ඒ නාට්‍ය උලෙළට රටවල් 600 කට වඩා වේදිකා නාට්‍ය ඉදිරිපත් කර තිබුණා. ඉන් මේ නාට්‍ය උලෙළ සඳහා තෝරා ගෙන තිබුණේ නාට්‍ය 32 ක් පමණයි. ඒ අතරට ‘රජා මං වහලා’ වේදිකා නාට්‍යයත් ඇතුළත් වුණා.

• ඉන්දියාවේ පැවති භාරත රංග මහෝත්සවයට ‘රජා මං වහලා’ තෝරා ගන්නේ කෙසේද?

මුලින්ම අප කරන්නේ අපගේ නිර්මාණය ඩී.වී.ඩී. පටයකට නඟා ඔවුන්ගේ උලෙළට යැවීමයි. ඒ වගේ ම පිටපතේ පරිවර්තනයක් හා සිනොප්සි එකත්, ව්‍යාපෘති යෝජනාවත් ඒ සමඟ ම යැව්වා. මෙලෙස යවන ලද නිර්මාණ ඔවුන්ගේ විද්වත් විනිශ්චය මණ්ඩලයකගේ තීරණයකට අනුව වර්ග කෙරෙනවා. එලෙස වර්ග කරන ලද නාට්‍ය 32 ක් පමණයි භාරත රංග මහෝත්සවයේ දී වේදිකා ගත වන්නේ. ඒ අතරට ‘රජා මං වහලා’ වේදිකා නාට්‍යයත් ඇතුළත් වුණා.

• ඔබ ඉන්දියාවේ පැවති භාරත රංග මහෝත්සවයට සහභාගි වන්නේ පළමු වතාවට ද?

මේ දෙවැනි වතාවටයි මා දහනව වැනි භාරත රංග මහෝත්සවයට සහභාගි වන්නේ. පළමු වරට මා ඊට සහභාගි වන්නේ විශ්වවිද්‍යාල සිසුවකු ලෙස අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටියදියි. එහිදි මා නිර්මාණය කළ ‘හයිනා’ පරිවර්තන නාට්‍යයයි ඉදිරිපත් වන්නේ. මා මෙවර ඒ උලෙළ සඳහා ඉදිරිපත් වන්නේ වසර දහතුනකට පසුවයි.

• භාරත රංග මහෝත්සව උලෙළේදී ‘රජා මං වහලා’ වේදිකා නාට්‍යය වේදිකාගත වන්නේ සිංහල භාෂාවෙන්. ප්‍රේක්ෂකයන්ට නාට්‍යයේ අර්ථය සන්නිවේදනය වීමට භාෂාව නිසා යම් බලපෑමක් සිදු නොවුණා ද?

ඉන්දියාවේදී ‘රජා මං වහලා’ වේදිකා නාට්‍යය වේදිකා ගත වුණු දවසේ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාර බොහොමයි. අපේ වේදිකා නාට්‍යය සිංහලෙන් වේදිකාගත වුණත් ඒ කාරණය එහි සිටි ප්‍රේක්ෂකයන්ගේ සන්නිවේදනයට බලපෑමක් ඇති කළේ නැහැ. එහෙම බලපෑමක් වේවි යැයි සිතුණ නිසාමයි අප ඉංග්‍රීසි උප සිරසි යෙදුවේ. ඒ අවස්ථාවේදී අප දුටුවේ සමහර ප්‍රේක්ෂකයන් ඉංග්‍රීසි උප සිරසි කියවමින් නාට්‍යය රස විඳි බවයි. එහෙත් නාට්‍යය නරඹා අවසානයේ පැමිණි සමහර ප්‍රේක්ෂකයන් පැවසුවේ “ඔබගේ නාට්‍යයේ භාෂාව සිංහල වුණත්, නාට්‍යය නැරැඹීමේදී ඒ කාරණය ප්‍රශ්නයක් නොවුණ” බවයි. ඒ වගේ ම “උප සිරසි කියවමින් නාට්‍යය නැරැඹීම බාධාවක් වූ නිසා ම අප ඒ කියැවීම පැත්තකට තබා නාට්‍යය නැරැඹූ බවත්, එහෙම වුණත් මේ නාට්‍යයෙන් කියැවෙන දේ තේරුම් ගැනීමට අපහසුවක් නොමැති බවත්” ඔවුන් පැවසුවා. එමෙන්ම අප භාවිත කර තිබුණු තියටර් භාවිත පිළිබඳ ඔවුන් බෙහෙවින් සතුටට පත්වීමත් විශේෂ කාරණයක්.

• ලැබුණු ප්‍රතිචාර සාධනීයයි ද?

‘රජා මං වහලා’ වේදිකා නාට්‍යය වේදිකාගත වනවිට සමහර අවස්ථාවලදී එහි සිටි ප්‍රේක්ෂකයන් නැඟිටලා අත්පුඩි ගැසුවා. ඒ අතර මේ වේදිකා නාට්‍යයේ නිර්මාණශීලි ලෙස නිර්මාණය කළ අශ්වයාට වගේ ම සරත් පහළ ස්ථානයකට බැසගෙන යන බව හඟවන දර්ශනය සඳහා කළ නිරූපණය සඳහාත් ඔවුන්ගෙන් වැදුණේ නොනවතින අත්පුඩියක්. වේදිකා නාට්‍යය අවසානයේ ඔවුන් වේදිකාවට පිවිසුණේ අපත් සමඟ සුහද කතාබහක නිරත වීමටයි. එහිදි අපේ නළු නිළියන්ගේ රඟපෑම ගැන ඔවුන් පැවසුවේ ප්‍රශංසා මුඛයෙන්. නාට්‍යය නරඹන්න පැමිණ සිටි පිරිසගෙන් සමහර අය එහි තිබෙන නාට්‍ය හා රංග කලා පාසලේ ශිෂ්‍ය - ශිෂ්‍යාවන්. එහිදි එහි සිටි එක් ශිෂ්‍යාවක පැවසුවේ ප්‍රේමතිලක හා නිල්මිණීගේ ප්‍රේම කතාව හා සමාන සිදුවීමක් ඉන්දියාවේදිත් සිදු වූ බවත්, ඒ සිදු වීම මේ නාට්‍යයේ දුටු නිසා බොහොම සංවේදී වූ බවත්. ඔවුන්ගෙන් සමහර අයට එදා නාට්‍යය නරඹන්නට අවස්ථාව ලැබුණේ නැහැ. ඒ අතරින් ශිෂ්‍යාවක් මට ඒ ගැන කනගාටුව ප්‍රකාශ කරමින් දුරකථන ඇමතුමක් ලබා දුන්නා. ඒ වගේ ම එහි සිටින ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අයත් නාට්‍ය නැරැඹීමට පැමිණ සිටියා. ඔවුන් පැවසුවේ බොහෝ වෙලාවට සිංහල නාට්‍ය වේදිකාගත වන විට එහි සිටින ප්‍රේක්ෂකයන් නැඟිට යන බවයි. එහෙත් ‘රජා මං වහලා’ වේදිකාගත වෙද්දී එය වෙනස් වූ බවකුයි ඔවුන් පැවසුවේ.

• භාරත රංග මහෝත්සවය නාට්‍ය උලෙළෙන් ඔබ නාට්‍ය ජීවිතයට ලබාගත් දේ තිබෙනවා ද?

මේ සංචාරය ඔස්සේ මා කල්පනා කළ දෙයක් වූයේ මුදල් වියදම් කරමින් අපව රටකට යවන්නේ විවිධ කාරණා රැසක් නිසා බවයි. එකක් නම් නාට්‍ය කලාව පිළිබඳ යම් දෙයක් අපේ රටට රැගෙන ඒම සඳහායි. අනෙක් කාරණය නම් මේ කාලය ඇතුළත මා මේ තිබුණු අන්තර්ජාතික නාට්‍ය උලෙළේ නාට්‍ය රැසක් නැරැඹීමයි. ඒ මඟින් මා මගේ නාට්‍ය කලාවට බොහෝ දේවල් එකතු කර ගත්තා. සමහර නිර්මාණවල භාවිත කළ මොඩන් තියටර් භාවිතා ගැන මාව පුදුම විදියට සතුටට පත් වුණා. අපේ වේදිකාවේදී දෙබස් මූලික වුණු ක්‍රමය වෙනුවට ඔවුන් ඒවා භාවිත කර තිබුණු විදියෙන් යමක් අපට ගත හැකි වුණා. එහි සිටි කාලයේ අපගේ වැඩි කාලය වෙන් වුණේ එහි වේදිකාගත වුණු වේදිකා නාට්‍ය නැරැඹීමටයි.

• ‘මකරට’ වේදිකා නාට්‍යයෙන් ඔබ වෙස් මුහුණුවලට වෙනස්ම අර්ථයක් අරගෙන ඇවිත් තිබුණා. ඉන් වෙනස් වීමට මේ නාට්‍යයට ඔබ දුන් හැඩය කුමක් ද?

‘රජා මං වහලා’ වේදිකා නාට්‍යයෙන් මා උත්සාහ කරන්නේ කතන්දර කියන කලාව වේදිකා නාට්‍යයට ගෙනෙන්නටයි. ඒක මමම ගෙනෙන කලාවක් කියලා මා කියන්නේ නැහැ. මේ කලාව ලෝකයේ තිබුණා. බොහෝවිට නාට්‍ය කලාව ආරම්භ වෙන්නේ කතන්දර කියන කලාවත් එක්කයි. ග්‍රීසියේ හෝමර්ගේ ඉලියඩ් සහ ඔඩිසි කියන මහා වීර කාව්‍ය දෙක විශාල ප්‍රේක්ෂකාගාරයකට කියලා දෙන අය සිටියා. මහභාරතය, රාමායණය වගේ කතා විශාල ප්‍රේක්ෂකාගාරයකට කියලා දෙන කතන්දරකාරයන් සිටියා. අපිත් කතන්දරවලින් නේ රසවත් වෙලා තියෙන්නේ. බොහෝවිට ලංකාවේ නාට්‍යයක් කළොත් කතන්දරයක් තියෙන්න ඕනෑ. විශේෂයෙන්ම ආසියාවේ මිනිස්සු කතන්දර කලාවට කැමැතියි. පුංචි කාලයේ අපි වුණත් ආච්චිලාගෙන්, අම්මලාගෙන්, සීයලාගෙන් ඇතැම් විට තාත්තාලාගෙන් කතන්දර අහලා රස විඳලා තියෙනවා. ඒ නිසා මේ මගින් මම උත්සාහ කරන්නේ මේ කතන්දර කියන කලාව වේදිකා නාට්‍යයට රැගෙන එන්නයි.

• ‘රජා මං වහලා’ කියන්නේ පර්යේෂණ වේදිකා නාට්‍යයක්. පර්යේෂණ නාට්‍යයක් කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි.

මම අපට පූර්වයෙන් ඉන්න නාට්‍යකරුවන් ගැන අධ්‍යයනයක නිරත වුණා. ඒ මගේ දර්ශනපති උපාධිය සඳහා මා කළ ශ්‍රී ලංකාවේ රංග ශෛලියේ සිදු වුණු පර්යේෂණ ගැනයි. එහිදි සරච්චන්ද්‍රයන්, සුගතපාද ද සිල්වා, හෙන්රි ජයසේන වගේ නාට්‍ය ශිල්පීන් මගේ අවධානයට ලක් වුණා. එවිටයි මට තේරුණේ ඔවුන් කොයිතරම් දේවල් නාට්‍ය කලාවට කරලා තියෙනවද කියලා. එහෙම බලන විට අපි කරන්නේ එකම නාට්‍යය කියලා හැඟෙන්න ගන්නවා. මේ නිසා මම කියන්නේ එකම නාට්‍යයක් කරලා වැඩක් නැහැ. පර්යේෂණ සිදුවිය යුතුයි කියන මතයේයි මා ඉන්නේ. එකම නාට්‍යයක් කරනවා වගේ නොවෙයි පර්යේෂණයක් කිරීම අපහසුයි. ඒ කියන්නේ සමාජ අන්තර්ගතයෙන් විතරක් නොවෙයි නාට්‍යයක ආකෘතියෙනුත්, කතා කරන දෙයත් පර්යේෂණයට ලක් විය යුතුයි. ඒ වගේ නිර්මාණයක් සමාජයට ආව ගමන් බොහොම අමාරුවකයි වැටෙන්නේ. එහිදි මිනිස්සු ප්‍රශ්න කරනවා; ඒ වගේම කුඩු වෙන්න ගහන්නත් පුළුවන්.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.