වෘත්තීය ජීවිතයේ හිරකාරයකු නොවුණා නම් මට තවත් දේවල් කරන්න තිබුණා | සිළුමිණ

වෘත්තීය ජීවිතයේ හිරකාරයකු නොවුණා නම් මට තවත් දේවල් කරන්න තිබුණා

• 'සිත්තරකුගේ ආදර කතාවක්', 'චාරයක් නැති මිනිහෙක්', 'ගැහැනියක් සහ ඛේදවාචකයක්', 'සමීප ආගන්තුකයා' ආදි වශයෙන් නවකතා කිහිපයක් ම රචනා කළ ඔබ මේ නවකතාව ලියන්නේ වසර ගණනාවකට පසු ව. මෙපමණ කල් ඔබ තුළ සිටි නවකතාකරුවාට මොක ද වුණේ?

මම එළියට එන්නේ ලේඛකයකු විදිහට. මම 'කෑම්ප් වත්ත' නවකතාව ලියන්නේ හරියට ම වසර තිස්පහකට පස්සේ. මම 1979 දී 'ඇත්ත' පුවත්පතට සම්බන්ධ වෙනවා. ඒ කාලේ මම වෘත්තිය පත්තරකාරයෙක්, විචාරකයෙක්, පාර්ලිමේන්තු වාර්තාකරුවෙක් ආදි විවිධ භූමිකාවල කටයුතු කරනවා. 1980 කාලේ සිනමා විචාර ජනප්‍රිය වෙනවා. එකල තිබුණු සිනමාව අපි දුටුවෙ වෙනස් ම විදිහට. විශේෂයෙන් ම ධර්මසේන පතිරාජ වැනි සිනමාකරුවන්ගේ චිත්‍රපට අප දුටුවෙ වෙනස් ම විදිහට. ඒ කාලේ මම වැඩි-වැඩියෙන් චිත්‍රපට බලන්න නැඹුරු වුණා. මම හිතනවා මා තුළ සිටි සිනමා විචාරකයා විසින් නිර්මාණකරුවා ගිල ගත්තා. ඒත් නවකතාවක් කරන්න තරම් විවේකයක් තිබුණේ නැහැ. ඒ කාලේ මම හිතුවේ ලේඛකයෙක්, පුවත්පත් කලාවේදියෙක් විදිහට මගේ එකල දේශපාලන ක්‍රියාකාරිත්වය පිළිබඳ ලිවීම මගේ යුතුකමක් කියලා. මේ නිසා නිර්මාණකරණය පස්සට ගියා.

• 'කෑම්ප් වත්ත' නවකතාව කියවන කෙනකු හිතන්න පුළුවන් නේද එය ස්වයං අපදානයක් කියලා.

කිසි සේත්ම නැහැ. 'කෑම්ප් වත්ත' කියන්නේ නවකතාවක්. මෙය මගේ ජීවන වරිතය නොවෙයි. ඒත් මම කුඩා කාලයේ ලබපු අත්දැකීම්. ඒ කියන්නේ මම කුඩා කාලයේ ජීවත් වුණේ, තරුණ අවධියේ ජීවත් වුණේ මේ පරිසරයේ. මට ලියන්න ඕනෑ වුණේ මේ පරිස‍රයේ තිබුණු අපූරු බව. මේ පරිසරයේ විවිධ ජාතීන් හිටියා; විවිධ ආගම්වල අය හිටියා. අර්ධ නාගරික පරිසරයක මධ්‍යම පාන්තික පහළ ස්තරයේ අය තමයි මෙහි ජීවත් වුණේ. මම මේ පරිසරයේ දුටුව අපූරුව තමයි මට නවකතාවක් ලෙස ලියන්නට ඕනෑ වුණේ. මට මා ගැන ලියන්න වුවමනාවක් තිබුණේ නැහැ. විවිධ හැලහැප්පීම්වලට ලක් වුණ කෑම්ප් වත්තේ සමාජ පරිසර ආර්ථික වෙනස්කමයි මට ලියන්න ඕනෑ වුණේ.

• මේ නවකතාවේ ප්‍රධාන චරිතය ජිනසෝම. එය නාගරික කටුක පරිසරය තුළ හැදෙන සම-වයස් තරුණයන්ගෙන් වෙනස් ම චරිතයක් වන්නේ කෙසේ ද?

ජිනසෝම මගේ තාත්තා දකුණු පළාතෙන් කොළඹ ආව කෙනෙක්. ජිනසෝමගේ තාත්තාගේ භූමිකාව ඔහුගේ චරිතය කෙරෙහි බලපානවා. කටුක පරිසරය තුළ වුණත් පුද්ගලයා වෙනස් වෙන්න පුළුවන්. ජිනසෝම කියන චරිතය තනිව ගොඩනැගෙනවා. ඔහුට බොහෝ දේ අහිමි වෙනවා. විටෙක ඔහුගේ ප්‍රේමය කඩාවැටෙනවා. එ්ත් ඔහු කඩාවැටෙන්නේ නැහැ. එකල තාක්ෂණය දියුණු නෑ. එකල දැඩි විරැකියාවක් තිබෙන්නේ. හැත්තෑ එකේ කැරැල්ල විරැකියාවට පිළිතුරු දෙනවා. ඒත් ජිනසෝම කියන චරිතය අරගල කරන්නේ නැහැ. ඔහු අරගලකාරයෙක් නොවෙයි; පොතපත කියවන, කලාව රසවිඳින කෙනෙක්. මේ නිසයි ජිනසෝම ඒ පරිසරය තුළ වැඩෙන අනෙක් අයගෙන් වෙනස් වන්නේ.

• ජිනසෝමගේ පෙම්වතිය 'වත්සලා' ඔබ බලෙන් රිංගවපු චරිතයක් ද?

එය තීරණය කරන්නේ පාඨකයා. එහෙත් වත්සලා කියන චරිතය බලෙන් ඇතුළත් කරපු චරිතයක් නෙමෙයි. අද නම් ටෙලිෆොන් තියෙනවා; 'ෆේස් බුක්' තියෙනවා. ඒත් එදා මේ එකක් වත් නැහැ. වත්සලාගේත් ජිනසෝමගේත් ප්‍රේමය එකිනෙකා අතර හුවමාරු වන්නේ ලියුම්වලින්. ඔවුන් ප්‍රේමය විඳින්නේ ලියුම්වලින්. ඒත් වත්සලාගේ ප්‍රේමය බිඳවැටුණ වෙලාවේ ජිනසෝම සැලෙන්නේ නැහැ. ඔහු ස්ත්‍රීත්වයට වෛර කරන්නේත් නැහැ.

• මේ නවකතාවේදී ඔබ යම් යම් යුග පිළිබඳව පාඨකයාට මතක් කරදෙන්න සංකේත යොදාගන්නවා...

නවකතාවක් ලිවීමේ දී ඇතැම් නවකතාකරුවන් ඒ නවකතාවට අදාළ චරිත ජීවත් වුණ යුග පිළිබඳ පරිච්ඡේද ගණන් ලියනවා. ඒත් මං මේ කතාවේදි එක් පින්සල් පහරකින් සිතුවමක් අඳිනවා වගේ පරිච්ඡේද ගණන් ලියන්නේ නැතිව යම් යම් සිද්ධි පිළිබඳව පේළියකින් දෙකකින් ලිව්වා. 59 බණ්ඩානායක අගමැති තුමාගේ ඝාතන සිදුවීම පිළිබඳව පරිච්ඡේද ගණන් ලියන්නේ නැතිව කෑම්ප් වත්තේ අය 'ගමනක අවසානය' වාර්තා චිත්‍රපටය කඳුළු සලමින් බැලුවා කියලා ලිව්වා. ඒ වගේ ම එක තැනෙක තිබෙනවා කෑම්ප් වත්තේ චිත්‍රපට රූගත කිරීමකට සන්ධ්‍යා කුමාරි, විජිත මල්ලිකා එනවා කියලා. එතකොට මෙය කියවන අයට වැටහෙනවා මේ නළු නිළියන් නියෝජනය කරපු කාලවකවානුව පිළිබඳව. ජිනසෝම කියන ළමයා තරුණයකු වන විට ඔහුත් මේ සමාජයේ තිබෙන විරැකියාව කියන ප්‍රශ්නයට මුහුණ දෙනවා. ජිනසෝමගේ මෙන්ම ඒ යුගයේ සිටි තරුණයන්ගේ විරැකියා ප්‍රශ්නය පිළිබඳව පිටු ගණන් නොලියා 71 කැරැල්ල පිළිබඳව කෙටි සටහනක් ලියැවෙනවා. ඒ යුගයේ තරුණ අරගලයත් ජිනසෝමගේ විරැකියා ප්‍රශ්නයත් ඒ ඇතුළේ තියෙනවා. මං විශ්වාස කරනවා පාඨකයා මේ සියුම් තැන් අවබෝධ කරගනිවී කියලා. මොකද: අද පාඨකයා බොහෝම බුද්ධිමත්.

• හැත්තෑවේදී ලේඛනය පටන් ගත් ඔබ පසුව 'කැටපත' නමින් පොත් ප්‍රකාශන ආයතනයක් පටන් ගන්නවා. ඒත් කාලයක් 'කැටපත' කියන නම අපට දකින්නට නැතිව යනවා. නමුත් කෑම්ප් වත්ත නවකතාවත් සමඟ කැටපත නම යළිත් දකින්ට ලැබෙනවා.

ඊට පස්සේ මම 'තිරතරු' පත්තරයට යනවා. එහි විශේෂාංග කර්තෘ හැටියට කටයුතු කරන්නේ. මම සිනමාව පිළිබඳව පොත් ලියන්න ගන්නවා. 1960 ගණන්වල පටන් ගත් සිනමා සාහිත්‍යය 1980 කාලය වන විට මිය යමින් තිබෙන්නේ. මම සිනමා විචාර ලිව්වත් ඒවා පළ කරන්නේ මමමයි. කැටපත ප්‍රකාශන අවුරුදු දහයක් පමණ කරගෙන යනවා. ඒත් මම අගමැති කාර්යාලයේ ප්‍රවෘත්ති නිලධාරි ලෙස කටයුතු කරනවා. 'ලංකා ඊ නිව්ස්' එකට ගියාට පස්සේ අන්තර්ජාලයට යොමු වෙනවා. ඉන් පසුව තවත් පුවත්පත් කිහිපයකට විටින් විට සේවය කරනවා. පුවත්පත්වල ගෙවුණ තිස්පස් වසර තුළ මම පොත් 41ක් පමණ ලියා පළ කර තිබෙනවා. කොහොම වුණත් මම 'කැටපත' පටන් ගත්තේ මගේ සිනමා විචාර පොත් පළ කරන්න. ඒ කාලේ මම වෙනත් ලේඛකයන්ගෙත් පොත් පළ කළා. කාලයක් 'කැටපත' වැහිලා ගිහින් තිබුණේ. මම ආයෙත් කැටපත පටන් ගත්තා. එහි මුල්ම පොත තමයි 'කෑම්ප් වත්ත' නවකතාව. ඉදිරියේදී වෙනත් ලේඛකයන්ගේ හොඳ කෘති 'කැටපත' මඟින් ප්‍රකාශයට පත් කරන්න මම බලාප‍ොරොත්තු වෙනවා.

• ඔබ ඔබේ රැකියාව පිළිබඳ තෘප්තිමත් වෙනවාද ?

මම මගේ රැකියාව පිළිබඳ තෘප්තිමත්. මම කවදාවත් හිතාමතා පත්තරකාරයෙක්, ලේඛකයෙක් වුණ කෙනෙක් නෙමෙයි. මම දැඩි සේ සාහිත්‍යය, සිනමාව රස වින්ද කෙනෙක්. ඒවා විඳ දරාගන්න බැරි වුණාම මම ලේඛකයෙක් වුණා; මම විචාරකයෙක් වුණා. මගේ වෘත්තියේ නියැළෙන අය කියනවා වැඩ වැඩියි කියලා. ඒත් මම කලාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා කෙනෙක්. මම කරන සහ කර තිබෙන වැඩ පිළිබඳව සෑහීමකට පත් වෙනවා. මගේ වෘත්තීය ජීවිතයේ හිරකාරයෙක් නොවුණේ නම් මට තවත් දේවල් කරන්න තිබුණා. කොටින්ම කිව්වොත් මගේ මාධ්‍ය ජීවිතයේ කලකිරීමක් මට නැහැ.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.