වෙනසක ඇරඹුම...

“සුන්දර මොහොතවල්වල ශේෂයන්ගෙන් ම සිත පිරී ඇත. මට නම් සුන්දරත්වය ඖෂධයකි. එය ඇත්තට ම මා උමතු කරවයි. පැටි වියෙහිදී සඳලුතලාවේ කිරි බැබළෙන සඳ පහනෙහි වැතිර සිටින විට සුදු පැහැති දියරයකින් මා නහවා ගිල්වනවා වැනි හැඟීමක් මට දැනේ. මා සඳහා සොයාගත් ලෝකය සම්පූර්ණයෙන් ම ඉමහත් ආගන්තුක මානව ජීවින්ගෙන් පිරී තිබිණි. ඔවූහු සියල්ලෝ ම දිවා රාත්‍රී කිසිවක නිරත වී ඇති අතර, නීති සහ පවුර සමඟ සිටින්නෝ ය. ඔවුන්ගේ දෑස්වලින් ඕනෑ ම දෙයක් දකිනු පිණිස, ඔවුහු පරිස්සමින් තිරයකින් ආවරණය වූහ. මේ ලෝකයේ ජීවීහු අති අපූර්ව ය.‘

ඉහත සඳහන, සඳහන් අපූර්ව කෘතිය මට කියවන්නට ලැබුණේ ඉතා ම මෑතකදී ය. කේ. ජයතිලකයන් වරෙක කියා තිබූ පරිද්දෙන් ම මේ කෘතිය මගේ මොළයේ තෝන් ලණුව අතට ගත්තේ ය. එය එතරම් ම අපූර්ව කෘතියකි. මේ රමණීය ලිපිපෙළ මුලින් ම පළ වී ඇත්තේ ‘චින්තාපත්‍රවාලි‘ නමැති ලේඛනයේ ය. එය ගාමිණී කුමාර විතාන විසින් “ රවීන්ද්‍රනාත් ඨකූරයන් ඉන්දිරාට ලියූ ලිපි“ නමින් සිංහලට අනුවාදනය කර ඇත.

‘චින්තාපත්‍රවාලි‘ හි පළවීමට මත්තෙන් 1912 දී මේ පෞද්ගලික ලිපි එකතුවට සාහිත්‍යමය මුහුණුවරක් එක්කරමින් ඔපමට්ටම් කරන ලද්දේ ද ඨාකූරයන් විසින් ම ය. ඉඳින් මේ කෘතියේ අඩංගු බොහෝ ලිපිවල සොබාදහමේ වර්ණනය සහ අපූර්වත්වයත් බෙංගාලේ සුන්දර ගංගා, හරිත් පැහැය, දිළිඳු ගොවීන් ගෙවිලියන්, සඳ පහන, වන මල්, කෙත් යායවල් පිස හමා එන මියුරු සුවඳ එතී තිබෙයි. මිනිසාත්, පරිසරයත් යනු දෙකක් නොව එකක් බව මේ ලිපි පෙළින් අපූරු ලෙස සනාථ කෙරෙයි.

මනුෂ්‍යයා හා සමාජය අතර පවතින අන්‍යෝන්‍ය සම්බන්ධය වටහා ගැනීම වැදගත් යැයි සිතමි. පවතින තත්ත්වයේ හැටියට සමාජය දූෂිත යැයි ද, යහපත් ලෙස ආණ්ඩු කිරීමක් දක්නට නොලැබෙන්නේ යැයි ද අප සැමට පෙනී යයි. මේ සමාජය එබඳු වූ තත්ත්වයකට පත් කළේ මා විසිනි; ඔබ විසිනි. අප විසින් ම වෙනස් කරන ලද බැවින් යහපත් ලෙස වෙනස් කර ගත හැක්කේ ද ඔබට ය; මට ය.

සමාජයේ වෙනස් කර ගැනීමේ අරමුණ අද ඊයේ ඇති වුවක් නොවේ. එය හැම කල්හිම හැම දෙනාගේ ම සිහිනයකි. ඒ ගැන විවිධ මත පළ කරමින්, සමාජය කෙලෙස සකස් විය යුතුද කියා වාද, විවාද කළ, ග්‍රන්ථ සම්පාදනය කළ, නාට්‍ය, චිත්‍රපට නිපදවූ දාර්ශනිකයෝ, නිර්මාණකරුවෝ එදත් සිටියහ; අදත් සිටිති. බටහිර ලෝකයේ පමණක් නොව ආසියාතිකයේ පවා මේ ගැන විප්ලව ද ඇති වී ඇත; ඇතිවනු ද ඇත. සමාජය වෙනස් කිරීමට ලෝකය ආශා කරන්නේ එපරිද්දෙනි. වාමාංශිකයෝ හා සමාජවාදියෝ අදටත් මේ වෙනස කිරීමට බලා සිටින්නෝ ය.

ලෝකය වෙනස් කිරීමට මත්තෙන් අප, අප දෙසට හැරුණොත් අප වෙනස් වී තිබේද? අප හැම මොහොතක ම කල්පනා කරන්නේ දියුණු වන්නේ කෙසේ ද කියා ය. එහෙත් ඒ දියුණුව කවරාකාර දියුණුවක්දැයි අප මොහොතකටවත් සිතා තිබේද? වැඩි ඈතකට නොයා ඔබ දෙස ට හැරී බලන්න! මම යම් අවස්ථාවන්හි මිනිසුන්ගේ ක්‍රියාකලාප දෙස බලා සිටිමි. බොහෝ අය දවසේ බොහෝ වේලාවක් හූල්ලති; සාප කරති; පශ්චාත්තාප වෙති; සැම විටම තමන්ට නැති, අනුන්ට ඇති දේ ගැන සිතති; දුක් වෙති. මහමඟ පයින් යන්නා සිතන්නේ පා පැදියක් මිලට ගන්නේ කෙසේද කියා ය; පා පැදියක් ඇත්තා සිතන්නේ යතුරු පැදියක් මිලට ගන්නේ කෙසේද කියා ය; යතුරු පැදිය ඇත්තා වාහනයක් ගන්නා අයුරු ද; කෙසේ හෝ වාහනයක් ගත් තැනැත්තා ඊට වඩා සුඛෝපභෝගී වාහනයක් ගන්නා අයුරු ද සිතති. ලද දෙයින් සතුටු නොවෙති.

මා මේ කියන්නට යන්නේ මේ සිතිවිල්ල වැරදි යැයි කියා නම් නොවෙයි. මානව ස්වභාවය ආශාවයි; තණ්හාවයි. නමුත් අපි, අප සතුව ඇති දේ ගැන කිසිවිටෙකත් සෑහීමකට පත් නොවෙමු. එය ගැටලුවකි. තමා සතුව මේ වන විට ඇති දේ හොඳ ම දේ ලෙසින් සලකා ආරක්ෂා කර ගැනීම වෙනුවට එයට සාප කරමින්, නිග්‍රහ කරමින් සහ පීඩාවට පත් වෙමින් සිටියි. තම සිත තමන්ට පාලනය කර ගැනීමට හෝ අවනත කර ගැනීමට නොහැකි සඳ ලෝකය වෙනස් කරන්නේ කෙසේදැයි ගැටලුවක් පැන නැගේ.

ඔබ සතුව මේ වන විට ඇත්තේ හොඳ ම දෙය ය; එය ආරක්ෂා කර ගැනීම, එයට සැලකීම අප සතු යුතුකමකි. සියලු ආගම්හි ලද දෙයින් සතුටු වීම ගැන උගන්නවන්නේ එබැවිනි.

වෙනස් වීම ඇරඹිය යුත්තේ ඔබ ඇතුළතින් ය. එවිට සමාජය වෙනස්වීම ගැන මූලික පියවර තැබේ. ඔබට, මට අනන්‍යතාවක් සහිත ව මේ සමාජයේ ජීවත් විය හැකි නම් එය ම වෙනසට මූලික වන්නේ ය. එබැවිනි, මුලින් ම තමා දෙස බැලිය යුතු වන්නේ; වෙනස තමාගෙන් පටන් ගත යුතු වන්නේ.

මේ ලොව වෙනස්වීම් බොහොමයක ඇරඹුම සටහන් වන්නේ එපරිද්දෙනි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.