සරච්චන්ද්‍රයන්ට ගල් ගසන්නට ගොස් කටු අකුලක පැටලෙයි

සංවාදයට විවෘතයි

වර්ෂ 2017 ක් වූ පෙබරවාරි මස 26 වැනි ඉරිදා ‘සිළුමිණ’ සත්මඬලට බන්දුපාල ගුරුගේ මහතාණන් විසින් ලියන ලද ‘නොදන්නා දෙමළයට ගොස් වරිගය නසාගැනීම’ යන ලිපියට පිළිතුරු මම මේ ලිපියෙන් සපයමි.

ඔහු විසින් රචිත ශාස්ත්‍රීය පදනමක් සහිත ප්‍රථම ලිපියට මා ඍජු පිළිතුරු සපයා නැති බව සඳහන් කර ඇත. එහෙත්, බන්දුපාලයන්ගේ ලිපි දෙකේ ම නැත්තේ ද ශාස්ත්‍රීය පදනම බව කිය යුතු ය. ඔහු තමා ඉදිරිපත් කරන කරුණු තර්කානුකූලව සනාථ කර නැත. ශාස්ත්‍රීය ලිපියකදී වෙනත් විද්වතුන්ගේ අදහස් උපුටා ගත යුත්තේ ඒ උපුටනවලින් දැක්වෙන අදහස් බිඳහෙළීම සඳහා පමණි. තමා දරන අදහස් සනාථ කිරීම සඳහා වෙනත් විද්වතුන්ගේ අදහස්වල පිහිට පතන්නේ නැත. තමා දරන අදහස් තර්කානුකුලව හේතු සාධක සහිත ව ඔප්පු කළ යුතු ය. බන්දුපාලයන්ගේ ලිපි දෙකේ ම සඳහන් කරුණු සනාත කිරීම සඳහා අන්‍ය මතවල ආධාරය ලබාගෙන ඇත. මෙය මා දකින්නේ තනිව සිට ගැනීමට නොහැකි කොර පුද්ගලයකු කිහිලිකරුවල පිහිටෙන් හිට ගැනීමක් සේ ය. මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය පී.ඊ.ඊ. ප්‍රනාන්දු, මහාචාර්ය මීගස්කුඹුර ආදීන් විසින් අතීතයේ පළ කර තිබෙන අදහස් යළි වැමෑරීමෙන් පෙනෙන්නේ බන්දුපාලයන්ගේ අදහස්වල දුප්පත්කම ය.

බන්දුපාලයන් පවසන පරිදි මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි, සරච්චන්ද්‍රයන්ගේ අසංස්කෘතික කාම සාහිත්‍ය ව්‍යාපාරයට කිසිදු අනුබලයක් දී නැත. ඒ වෙනුවට එතුමා අර්ථ ව්‍යඛ්‍යාන ලිවීමට කැපවී සිටි බව සනාථ කිරීමට, මීගස්කුඹුරයන් පළ කළ අදහසක උද්ධරණයක් දක්වා තිබේ. මෙයින් ගම්‍ය වන්නේ හෙට්ටිආරච්චි සූරීන් ලියා ඇති පොත්පත් පිළිබඳ බන්දුපාලයන් කිසිවක් නොදන්නා බවයි. 1950 ගණන්වල පේරාදෙණි සරසවියේ සිංහල අංශයේ සිටි කථිකාචාර්යවරුනට දේශන පැවැත්වීම සඳහා විෂය ක්ෂේත්‍ර වෙන්කර තිබිණ. ඒ අනුව සරච්චන්ද්‍රයන්ට පමණ තිබුණේ නූතන සාහිත්‍යය හා නාට්‍ය ක්ෂේත්‍රයයි. ඒ හේතු කොටගෙන සරච්චන්ද්‍රයන් එම විෂයපථයට අදාළ ව පොත්පත් රාශියක් රචනා කර තිබිණ. තමා උගන්වන ක්ෂේත්‍රයට අදාළ නොවන බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථවල ආඛ්‍යාන සාහිත්‍ය සංස්කරණය කිරීමට ඔහුට කාලයක් නො තිබිණ. අනෙක් අතට, සරච්චන්ද්‍රයන්ට නවකතා, කෙටිකතා හා නාට්‍ය නිර්මාණය කිරීමට ප්‍රතිභාවක් තිබිණ. එම නිසා ඔහු නිර්මාණ ක්ෂේත්‍රයන්ට අදාළ ව ග්‍රන්ථ රාශියක් රචනා කළේ ය. හෙට්ටිආරච්චි මහතා උගන්වන ලද්දේ සම්භාව්‍ය සාහිත්‍යයි. එබැවින්, එතුමා සම්භාව්‍ය බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථවල ආඛ්‍යාන සාහිත්‍ය ක්‍රියාවලියේ යෙදීම පුදුමයට කරුණක් නො වේ. ස‍රච්චන්ද්‍රයන්ට මෙන් නාට්‍ය නිෂ්පාදනයටත්, නවකතා හා කෙටිකතා නිර්මාණය කිරීමටත්, හෙට්ටිආරච්චිට නිර්මාණාත්මක කුසලතාවක් නො තිබිණ. එබැවින්, ඔහු සම්භාව්‍ය සම්භාව්‍ය බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථවල ආඛ්‍යාන සාහිත්‍ය ක්‍රියාවලියේ යෙදුණේ, සරච්චන්ද්‍රයන්ගේ කාම සාහිත්‍යයට එරෙහිව යන බන්දුපාලයන්ගේ අදහස පිළිගත නොහැකි ය.

මහාචාර්ය හෙට්ටිආරච්චි සරච්චන්ද්‍රයන් තුළ තිබුණ නිර්මාණාත්මක කුසලතා දැක දැඩි ලෙස ප්‍රසාදයට පත් වූයේ ය. එතෙක් පාලි අංශයේ සිටි සරච්චන්ද්‍රයන්, සිංහල අංශයට අනුයුක්ත කරගැනීමට මුල් වූයේ හෙට්ටිආරච්චි සූරීන් විසිනි. 1950 ගණන්වල දී සරච්චන්ද්‍රයන් නාට්‍ය නිෂ්පාදකයකු වශයෙන් රටේ කීර්තියක් ලබාගෙන සිටි බැවින් සිංහල අංශයට ඔහුව අනුයුක්ත කරගැනීමට ඊළඟට සිටි ජ්‍යෙෂ්ඨයා වූ එම්.බී‍. ආරියපාල ද එකඟ වූයේ ය. පී.ඊ.ඊ. ප්‍රනාන්දු, පීටර් සිල්වා, රම්මණ්ඩල යන කථිකාචාර්යවරු එකඟ නොවූහ. 1960 දී සරච්චන්ද්‍රයන්ට සිංහල අංශ‍යේ මහාචාර්ය ධූරයක් පිරිනැමීමට හෙට්ටිආරච්චි කටයුතු කළේ ය. බන්දුපාලයන් මේ ඉතිහාසය නොදන්නා බැවින්, හෙට්ටිආරච්චි හා සරච්චන්ද්‍ර අතර කාම සාහිත්‍යය සම්බන්ධයෙන් විරෝධතාවක් තිබුණ බව පෙන්වීමට අසාර්ථක වෑයමක් දරා ඇත. එය ඔහුගේ මතු දැක්වෙන කියමනෙන් පැහැදිලි වන්නේ ය.

“.... කාම සාහිත්‍ය පාඩම් සඳහා කාලය ගත කිරීමෙන්, මෙරට අර්ථවත් මානව සදාචාරයක් ගොඩනැඟීමට ලබාගත හැකි ප්‍රයෝජනය කුමක්දැයි මහාචාර්ය හෙට්ටිආරච්චි කල්පනා කළාට කිසිදු සැකයක් නැත...”

ශාස්ත්‍රීය පදනමින් ලිපිය ලියා ඇතැයි පවසන බන්දුපාලයන්, හෙට්ටිආරච්චි සූරීන් දැරූ අදහස මෙහිදී ඔප්පු කර නැත. එහි ඇත්තේ අනුමාන කිරීමක් පමණි. ජනතා ලේඛක පෙරමුණේ ආරම්භය ගැන බන්දුපාල සිය ලිපියේ මතු දැක්වෙන ප්‍රකාශය කර ඇත.

“.... 1969 දී ජනතාවට හිතකර වූ නව සංස්කෘතියක චින්තනයක් සහ සාහිත්‍යයක් අරමුණු කරගනිමින් ජනතා ලේඛක පෙරමුණ පිහිටුවන ලදී...”

ජනතා ලේඛක පෙරමුණ පිහිටුවන ලද අවස්ථාවේ මූලික වී ක්‍රියා කළ තවත් කිහිප දෙනෙකුගේ නම් ද බන්දුපාලයෝ සඳහන් කරති. රත්නසිරි අරංගලයන්ගේ නම ද එහි සඳහන් කරති. රත්නසිරි අරංගලයන්ගේ නම ද එහි සඳහන් කර තිබීමෙන්, පැහැදිලි වන්නේ බන්ධුපාලයන් චේතිය රජතුමන්ගේ කාර්යභාරය ඉටු කර තිබෙන බව ය. ජනතා ලේඛක පෙරමුණ පිහිට‍ුවන ලද 1969 වසරේ රත්නසිරි අරංගල මහතා කුඩා දරුවෙකි. එහි සඳහන් වෙන මයිකල් ප්‍රනාන්දු මහතා 1980 දසකයේ පේරාදෙණිය සරසවියේ නාට්‍ය විෂය ඉගැන්වූයේ ය. ඔහු සිංහල සාහිත්‍ය හා නාට්‍ය ක්ෂේත්‍රයන්ගේ උන්නතිය උදෙසා සරච්චන්ද්‍රයන් කළ සේවාව අගය කළේ ය.

බන්දුපාල තම ලිපියේ සරච්චන්ද්‍ර ඇතැම් ගුරුකුලය හඳුන්වා තිබෙන්නේ අන්ත දක්ෂිණාංශික ජපන් කාම සාහිත්‍ය කල්ලිය වශයෙනි‍. සරච්චන්ද්‍ර ඇතුළු පේරාදෙණි ගුරුකුලය අන්ත දක්ෂිණාංශික නම් නැවතිය යුත්තේ එක්සත් ජාතික පක්ෂය වටා ය. එහෙත් සරච්චන්ද්‍ර සහාය දුන්නේ 1970 – 1977 දක්වා බලයේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සමගි පෙරමුණ ආණ්ඩුවට ය. ජනතා ලේඛක පෙරමුණ පිහිටුවීමට දායක වූ විද්වතුන් යැයි බන්දුපාල පවසන මැන්දිස් රෝහණදීර, ලෙස්ලි ගුණවර්ධන, ඒ.වී. සුරවීර, ඩබ්.ඒ. අබේසිංහ, මයිකල් ප්‍රනාන්දු වරින් වර සහාය දුන්නේ ද සරච්චන්ද්‍ර සේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු අනෙකුත් වාමාංශික පක්ෂවලට ය.

සරච්චන්ද්‍රයන් විසින් රචිත ‘මළවුන්ගේ අවුරුදු දා’, ‘වල්මත් වී හසරක් නුදුටිමි’, ‘මළගිය ඇත්තෝ’ යන නවකතා මඟින් මුදා හළ මෙරටට නො ගැළපෙන අසංස්කෘතික කාම සාහිත්‍යයක් ගැන බන්දුපාල අදහස් දක්වයි. එහෙත්, එය එය ඔප්පු කිරීමට ඔහු අසමත් වී ඇත. ජපානයේ ගත කළ අවධියේ ලැබූ ජීවිත අත්දැකීම් පාදක කරගෙන 1959 දී ‘මළගිය ඇත්තෝ’ සරච්චන්ද්‍රයන් විසින් පළකර තිබේ. 1960 දී මේ කෘතියට රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමිවුණ අතර පසුකලෙක අ.පො.ස (උ.පෙ.) සඳහා නිර්දිෂ්ට කර තිබිණ. 1965 දී රචිත ‘මළවුන්ගේ අවුරුදු දා’ නවකතාව ද අ.පො.ස. (උ.පෙ.) සඳහා 1975 – 1981 දක්වා කාලය තුළ නිර්දිෂ්ට කර තිබිණ. මේ නවකතා වලින් කාම සාහිත්‍යයක් මුදාහැර තිබේ යන්න බන්දුපාලයන් විසින් ගොතන ලද මුසාවකි. අධ්‍යාපනඥයෝ අවර ගණයේ පොත් අ.පො.ස. උසස් පෙළ සිසුන් සඳහා නිර්දිෂ්ට නො කරති. එවැනි පහත් නවකතාවලට රාජ්‍ය සාහිත්‍ය සම්මාන පිරිනමන්නේ ද නැත. බන්දුපාලයන්ගේ ලිපියේ සඳහන් පරිදි 1980 දී අන්තර්ජාතික ලෝටස් සම්මානය හිමිවී තිබෙන්නේ ගුණසේන විතානයන්ට ය. ඒ සම්බන්ධයෙන් අප සතුටට පත්විය යුතු ය. බන්දුපාල මහතාණෙනි, මීටත් වඩා වටිනා ජාත්‍යන්තර සම්මාන සරච්චන්ද්‍රයන්ට හිමිවී තිබෙන බව කිය යුතු ය. භාරතයෙන් කුමාරන් අශාන් විශ්ව සම්මානයෙන් පිදුම් ලද එකම ශ්‍රී ලාංකිකයා සරච්චන්ද්‍රයන් පමණි. එමෙන් ම, පිලිපීනයෙන් මැග්සේසේ සම්මානය ද ඔහුට පිරිනැමිණ. මෙයින් ගම්‍ය වන්නේ සරච්චන්ද්‍රයන්ගෙන් සිදු වූ සේවය වටහා ගෙන තිබෙන්නේ බටහිරට වඩා පෙරදිග රටවල් බව ය. පාට කණ්ණාඩි පැලඳගෙන සිටින බන්දුපාල මහතාට සරච්චන්ද්‍රයන් කළ සේවය නොපෙනීම පුදුමයට කරුණක් නො වේ.

දේශීය බෞද්ධ සංස්කෘතිය පිළිබඳ හැඟීමක් සරච්චන්ද්‍ර මහතාට නොතිබුණ බව පවසන අදහස ද ප්‍රතික්ෂේප කිරීමට සිදු වේ. ඔහු තම නම පවා දේශීයත්වයට ගැළපෙන ලෙසින් වෙනස් කළේ ය. ඔහුගේ මුල් නම යූස්ටස් රෙජිනෝල්ඩ් සිල්වා ය. එය පෘතුගීසි නමක් බැවින් ඉවත් කර, පසුකාලයේ එදිරිවීර සරච්චන්ද්‍ර නමින් හේ පෙනී සිටියේ ය. එතුමා ශාස්ත්‍රපති උපාධිය සඳහා හදාරන ලද්දේ භාරතීය දර්ශනයයි. හෙතෙම ආචාර්ය උපාධිය සඳහා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශනය හදාළේ ය. සරච්චන්ද්‍ර බෞද්ධ සදාචාරයට එරෙහිව කටයුතු කරන්නකු නම්, ආචාර්ය උපාධිය සඳහා The Buddhist Psychology of perception and the Theory of Bhavanga නමැති පර්යේෂණ ග්‍රන්ථය රචනා කරන්නේ නැත. මෙයින් ගම්‍ය වන්නේ සරච්චන්ද්‍රයන්ට ගල් ගසන්නට ගොස් බන්දුපාලයන් කටු අකුලක පැටලී සිටින බවය. ඒ අනුව නොදන්නා දෙමළයට ගොස් වරිගය නසාගෙන ඇත්තේ අප නොව, බන්දුපාලයන් ම ය.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.