හරි වහර

1. කොළඹ - ඇතැම්හු (දන්තජ) ‘ල’ කාර සහිත ‍කොට කොලඹ යනුවෙනුදු මෙය ලියති. එහෙත් නිවැරැදි වනුයේ, පුරාතන සම්භාව්‍ය ව්‍යවහාරයට සපුරා එකඟ වනුයේ (මූර්ධජ) ‘ළ’ කාරවත් කොළඹ යන්න ම ය. අද මෙරට ප්‍රධාන නගරය මෙ නම් වතුදු පෙර පටන් තොටමුණ හෙවත් වරාය මෙ වදනින් හැඟැවුණු බව රුවන් මල ආදියෙන් පෙනේ. කොළඹ (නගරය) මෙ නම් වනුයේ එහි පිහිටි වරාය (කොළොම් තොට) නිසා යැයි ඇතැම්හු කියත්. විශේෂණ වැ යෙදෙන කල්හි (කොළොම් පුර, කොළොම් තොට ආදි වශයෙන්) ‘කොළොම්’ යැයි යෙදෙන බැවින් මෙහි මුල් වදන ‘කොළඹ’ විය යුතු ය යනු ඇතැමුන් ගේ අදහසයි.

සංස්කෘතයෙහි, පාලියෙහි එන ‘කදම්බ’ ශබ්දය හා අනුරූප වැ සිංහලයෙහි ‘කොළොම්’ යනු දු යෙදේ. කොළොම් හොය වැනි යෙදුම් මඟින් එ බව පෙනී යයි. වෘක්ෂ විශේෂයක් ද මෙයින් ගැනේ. කොළඹ යනු ඒ හා සබැඳි වදනක් ද යනු තව දුරටත් විමැසිය යුතු ය. සිදත් සඟරාවෙහි (කොළඹ කරළු ඈ නිපන් යැ යි) දැක්වෙන ලෙසට නම් කොළඹ යනු සිංහලයෙහි ම නිෂ්පන්න වචනයෙකි.

2. කෝණ - සංස්කෘත - පාලි තත්සමයෙකි. ඇතැම්හු (දන්තජ) ‘න’ යොදා ‘කෝන’ යැ යි ලියත්. එය ඉඳුරා වැරැදි ය. මෙහි (මූර්ධජ) ‘ණ’ යෙදෙනුයේ ණ ක්ව හේතුවන් නැති වැ ස්වභාවයෙන් ම ය.

3. කෝෂ / කෝශ - මේ සංස්කෘත තත්සමයෙකි. මෙහි ලා (මූර්ධජ) ‘ෂ’ මෙන් ම (තාලුජ) ‘ශ’ යොදනු ද නිවැරැදි සේ සැලැකේ. ඇතැම්හු (තාලුජ) ශ මෙහි ලා යොදනු වරදකැ යි සලකා ‘කෝශ’ යනු බැහැර කරති. එහෙත් එ ද නිවැරැදි වන බව වෙසෙසින් සැලැකිය යුතු ය.

4. කෝවිද - මෙ ද සංස්කෘතයෙහි මෙන් ම පාලියෙහි ද යෙදෙන වදනෙකි. එහෙත් සාමාන්‍ය ව්‍යවහාරයෙහි නිතර යෙදෙන්නක් නො වේ. කෙසේ වුව ද, මෙහි (අල්පප්‍රාණ) ‘ද’ විනා (මහාප්‍රාණ) ‘ධ’ නො යෙදේ. එ හෙයින් ‘කෝවිධ’ යැයි ලිවීම වරදෙකි. පණ්ඩිත, විද්වත් යනු මෙහි අරුත යි.

5. කෘත - මේ සංස්කෘත පදය සෑදෙනුයේ (කිරීමෙහි) ‘කෘ’ ධාතුවට (ක්‍රියා මූලයට) අතීත කාල වාචී ‘ත’ ප්‍රත්‍යයය එක්වීමෙනි (කෘ + ත = කෘත). කරන ලද යනු අරුත යි. සංස්කෘතයෙහි අතීත කෘදන්ත පද සාධනයෙහි යෙදෙනුයේ ‘ත’ ප්‍රත්‍යයය යි. එ හෙයින් ‘කෘථ’ යි (මහාප්‍රාණ) ‘ථ’ සහිත වැ මේ පදය ලිවීම සපුරා වැරැදි වේ. මේ හා සමාස වැ ව්‍යවහාරයේ නිතර යෙදෙන කෘතගුණ, කෘතඥ, කෘතෝපකාර, කෘතක, කෘතහස්ත ආදි සියල්ලෙහි ම යෙදිය යුතු වන්නේ ද (අල්පප්‍රාණ) ‘ත’ යනු ම බව විශේෂයෙන් සැලැකිල්ලට ගත යුතු ය.

6. කෘති - මේ, පෙර දක්වන ලද ‘කෘත’ යන්නට ම ‘ඉ’ ප්‍රත්‍යයය එක්වීමෙන් නිපැදුණු වදනෙකි. එ හෙයින් මෙහි දු (අල්පප්‍රාණ) ‘ත’ ම යෙදේ. (මහාප්‍රාණ) ‘ථ’ යොදා ‘කෘථි’ යි ලිවීම වරදෙකි. සිංහලයෙහි මේ නාමයක් සෙයින් යෙදේ. මෙයට ම උපසර්ග එක් වැ යෙදෙන ආකෘති, සංස්කෘති, අනුකෘති ආදි සියල්ල ද (අල්පප්‍රාණ) ‘ත’ සහිත වැ ම ලිවිය යුතු බව සැලැකුව මනා ය. කෘති යන්නෙන් කරන ලද දේ හැඟැවේ. දැන් නම් බොහෝ දෙන පොත (පුස්තක) යන්නට පර්යාය පදයක් වශයෙන් මෙය යොදනු දක්නා ලැබේ.

7. කෘෂි - මේ සංස්කෘත තත් සමයෙහි (මූර්ධජ) ෂ විනා (තාලුජ) ශ නො යෙදේ. එ හෙයින් ‘කෘශී) යන්න සාවද්‍ය වේ: අරුත ගොවි යන්න හා සබැ‍ඳේ. මේ හා සමාස වැ යෙදෙන කෘෂිකර්ම, කෘෂි ව්‍යාපාර, කෘෂිභෝග වැනි සියලු යෙදුම් හි ද (මූර්ධජ) ‘ෂ’ ම යෙදෙන බව සැලැකිල්ලට ගත යුතු ය.

8. කීල / ඛීල - මේ දෙ වදන ම නිවැරැදි වේ. (අල්පප්‍රාණ) ‘ක’ සහිත කීල යනු සංස්කෘතයෙහි ද (මහාප්‍රාණ) ඛ සහිත ‘ඛීල’ යනු පාලියෙහි ද යෙදේ. එහෙයින් වාක් පරිසරය අනුව ගැළැපෙන වදන යෙදිය යුතු ය. ඉන්දු / ඉන්ද හා සමාස වන කල්හි ඉන්ද්‍රකීල (සංස්කෘත) යනු ද ඉන්දඛීල (පාලි) යනු ද යෙදෙන අයුරු විමැසුව මනා ය. ‘කණුව’ යනු අරුත යි. සිංහලයෙහි මෙයට අනුරූප වැ ‘කිල්’ යනු යෙදේ.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.