කසළින් නොකිලිටි නුවරක් බිහිකිරීම ෆෙයාර්වේ භාර ගනී

මෙරට නාගරික ප්‍රදේශවල දැවෙන ප්‍රශ්නයක් බවට පත්ව තිබූ කසළ බැහැරකිරීමේ ගැටලුවට අති සාර්ථකව විසඳුමක් ලබාදෙමින් නාගරික සංවර්ධන අධිකාරිය, මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය එක්ව 2017 මාර්තු 10 වැනිදා දියත් කරන ලදි.

“කසළින් තොර නිකසළ පුරවර“ වැඩසටහනේ ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන පාර්ශ්වකරුවන් දෙදෙනාගෙන් අයෙකු බවට පත්වීමට ෆෙයාර්වේ වේස්ට් මැනේජ්මන්ට් පුද්ගලික සමාගම සමත්ව සිටියි.

මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා, බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය, මහනගර සහ බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඇතුළු ප්‍රභූන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැති උත්සවයේදී මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අකාරය ප්‍රකාශයට පත්විය.

ඒ අනුව කසළින් නොකිලිටි නිකසළ නුවරක් යන තේමාවෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ ජාතික අවශ්‍යතාවක් ඉටුකරදීමේ දැවැන්ත කාර්යභාරය කැස්බෑව නගරසභා බල ප්‍රදේශයේ කරදියාන කසල බැහැරකිරීමේ කලාපය කේන්ද්‍රකරගනිමින් ෆෙයාර්වේ සමාගම විසින් ඉටුකරනු ඇත.


ලන්වා නවතම අලෙවි මධ්‍යස්ථානය මැදවච්චියේ

ලංවා සංස්ථා වානේ මේ වන විට මෙරට ඉදිකිරීම් ද්‍රව්‍ය සපයන්නන් අතර ප්‍රමුඛයා ලෙස විවිධ නිෂ්පාදන මාදිලි රැසක් වෙළඳපළට මුදාහරී. දශක ගණනාවක් තිස්සේ ගුණාත්මක නිෂ්පාදන සපයමින් පාරිභෝගික විශ්වාසය දිනා සිටින සංස්ථා වානේ, සිය ව්‍යාප්ති ජාලය තවදුරටත් පුළුල් කරමින් ලංවා සංස්ථා වෙළඳ නාමය ඔස්සේ පවතින සියලූ නිෂ්පාදන එකම වහලක් යටින් ලබාගැනීමේ පහසුව ද පාරිභෝගිකයා වෙත සලසා දී තිබේ.

පළමු අධියර යටතේ දිවයින පුරා සංස්ථා වානේ නිෂ්පාදන අලෙවි මධ්‍යස්ථාන 100 ක් පිහිටුවීමට නියමිතයි. එහි නවතම මධ්‍යස්ථානය උතුරු මැද පළාතේ පාරිභෝගිකයින් වෙනුවෙන් මැදවච්චියේ දි විවෘත කෙරිණ.

සියලූ සංස්ථා වානේ නිෂ්පාදන මෙහිදී පහසුවෙන් ලබගැනීමේ අවස්ථාව පවතී. ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කරන ලංවා සංස්ථා වානේ මේ වන විට දේශීය වෙළඳපළේ වැඩිම විකුණුම් ප්‍රතිශතයකට හිමිකම් කියයි.


ඉක්ටා කළමණාකාර අධ්‍යක්ෂ මූහුන්දන් කනගේ

ඉක්ටා කළමණාකාර අධ්‍යක්ෂ ලෙස මුහුන්දන් කනගේ මහතා පත්කර ඇත. ඔහු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ලෙස මල් වරට පත් වූයේ 2015 වසරේ සිදුවූ ආණ්ඩු මාරුවත් සමගය එවිට ඔහුට පැවරුණ වගකීම වූයේ ඩිජිටල් ශ්‍රි ලංකා ව්‍යාපෘතිය ප්‍රතිව්‍යුහගත කිරීම හා ව්‍යාපෘතිය සැළසුම් කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රමවේද සකස් කිරීම ක්‍රියාත්මක කිරීමයි. ව්‍යාපෘතිය සැලසුම් වූයේ මෙරට ඩිජිටල් ආර්ථිකයක් ඇතිකිරීම සඳහා යෝජනාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි ඇතුළත් කිරීම සමගය.

ඉක්ටා 2003 වසරේදී ආරම්භ කරන ලද අතර එහි කටයුතු සඳහා ලෝක බංකු ආධාර ද ලැබිණ.

කනගේ මහතාගේ නායකත්වය යටතේ ඉක්ටා ආයතනය නව පණක් ලැබූ අතර 2017 වසරේදී විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික අය වැය යටතේ රු බිලියන 15 ක මුදලක් ලබා ගැනීමට සමත් විය.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයේ වසර ගණනාවක පළපුරුද්ද සහ අත්දැකීම් සහිත කනගේ මහතා එක්සත් රාජධානියේ කීල් සරසවියෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳව පශ්චාත් උපාධියක්ද ලබා ඇත.


ස්පෙකියුලෝ 2017 ජයග්‍රාහකයන්ට ජාතික ගුවන් සේව‍යෙන් සම්මාන

ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම සංවිධාන කරන ලද ස්පෙකියුලෝ 2017 සම්මාන ප්‍රදානය මාර්තු 04 දින කොළඹ රමාඩා හෝටලයේ දී පවත්වනු ලැබිණ.

ජාතික ගුවන් සේවය විසින් සංවිධාන කරන ලද සමස්ත ලංකා චිත්‍ර තරගයේ ජයග්‍රාහකයන්ට සම්මාන ප්‍රදානය කෙරුණු අතර පාසල් හා විවෘත අංශ වලින් තෝරා ගත් චිත්‍ර ශිල්පීන් 10 දෙනෙකුට ද වෘත්තීය චිත්‍ර ශිල්පීන් 15 දෙනෙකුට ද සම්මාන, කුසලාන, ත්‍යාග හා සහතික පත් ප්‍රදානය කරනු ලැබිණ.

පාසල් අංශයේ ජයග්‍රාහකයන් වූයේ ගයාෂානි දිසානායක (සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය), කවීෂා කේ. වීරසිංහ (දේවි බාලිකා විද්‍යාලය ) සහ එන්. ඒ. ඔමාල සාලික ආරච්චිගේ (ඩි. එස් සේනානායක විද්‍යාලය) ය. විවෘත අංශයෙන් තිලක් පුෂ්පකුමාර, එස්.ඒ. එරංග ශ්‍රීමාල් සහ චාමර ප්‍රසාද් දීයමුල්ල පළමු ස්ථාන තුන සඳහා සම්මාන ලදහ. වෘත්තීය අංශයේ ත්‍යාග පිළිවෙළින් ශානක කුලතුංග, බැසිල් කුරේ සහ ඉෂාන් සේනක හේවගේ විසින් දිනා ගන්නා ලදි.

ශ්‍රී ලාංකික වියුක්ත චිත්‍ර කලාවේ පියා ලෙස සැලකෙන ලංකාවේ ජ්‍යෙෂ්ඨතම චිත්‍ර ශිල්පියෙකු වන ආචාර්ය එච්.ඒ. කරුණාරත්න කලාකරුවා වෙත විශේෂ ගෞරව සම්මානයක් පිරිනමන ලදි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.