දඹුල්ලේ අර්තාපල් වගාවෙන් වාර්තාගත අස්වැන්නක්

මෙරට කෘෂිකාර්මික සංවර්ධනයේදී මධ්‍යම පළාතේ දඹුල්ල සහ ඒ අවට ප්‍රදේශයේ ගොවි ජනතාව පෙරළි කීපයක් සිදුකර ඇත. මේ පෙරළි නිසාම වසර 25කට පෙර කුඩා කඩමණ්ඩියක් ව තිබූ දඹුල්ල අද ශ්‍රී ලංකාවේ නොනිදන කෘෂි ව්‍යාපාරික නගරය බවට පත්ව තිබේ. අපනයන කෘෂිකාර්මික වැවිලි අතර පුරෝගාමි වගාවක් වූ ගර්කින් වගාව සාර්ථක වූයේ දඹුල්ල අවට ගොවි බිම්වලය. එම නිසා ප්‍රදේශ රැසක ගොවීහු නව අපනයන වගාවට පුරුදු වූහ. එම ප්‍රදේශ අතර නාඋල ප්‍රධානය. ප්‍රථම වගා අරඹන ලද්දේ 80 දශකයේය. ඒ සමඟම ශ්‍රී ලංකාවට අවශ්‍ය මිරිස් හා වියළි මිරිස් නිෂ්පාදනය ද දඹුල්ල අවට පැතිර ගියේය. පිට පළාත්වලින් පැමිණි සංචාරක වෙළෙන්දෝ ඈත ගම්දනව් පීරා වියළි මිරිස් එකතු කිරීම නිසා ගොවියා අතට පත් මුදල් විධිමත්ව පරිහරණය කිරීම සඳහා දැවැන්ත වැඩපිළිවෙළක් ඇරැඹීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය ශාඛාවන්ට සිදු විය. මැදරට වාර්ෂික බෝග ණය යෝජනා ක්‍රමය විදේශ ආධාර ඇතිව එදා ආරම්භ කළ ණය යෝජනා ක්‍රමය දඹුලු ගොවි ජනතාවට මහත් සේ ණය අරමුදල් සැපයීම ද ගොවි ආර්ථිකය සවිමත් කිරීමට මහඟු අත්වැලක් විය.

අනතුරුව එළැඹුණේ ලොකු ලූනු වගාවයි. දඹුල්ලේ ලොකු ලූනු වගාව කෘෂිකාර්මික පෙරළියක් ඇති කෙළේය. 2011 ශ්‍රී ලංකාව ලොකු ලූනු මෙට්‍රික් ටොන් 45,700ක් නිෂ්පාදනය කළ අතර එම අස්වැන්න අවුරුදු තුනකට පසු එනම් 2014 දී ටොන් ලක්ෂය ඉක්මවා ගියේය. මේසා විශාල පෙරළියක් කළ හැකි වූයේ දඹුල්ල ගොවි ජනතාව විසින් එයට ලබාදෙන ලද දිරිය නිසාය. තවත් පෙරළියක් වූයේ උඩරට එළවළු වගාව පිළිබඳ කළ පර්යේෂණ සාර්ථකව දඹුල්ලේ ගොවියා උඩරට එළවළු වගාවට අවතීර්ණ වීමයි.

දඹුල්ල යනු වියළි කලාපීය දේශගුණික ප්‍රදේශයකි. එහෙත් නුදුරින් පිහිටි නාලන්ද කඳුරට ආරම්භයයි. මේ නිසා අන්තර් දේශගුණය සහිත ප්‍රදේශ උඩරට එළවළු වගාවට ක්‍රමයෙන් හුරු විය. බෝංචි, නෝකෝල්, රාබු, ටර්නිෆ්, ගෝවා, ලීක්ස්, බීට්රූට් සහ කැරට් යන උඩරට එළවළු ක්‍රමයෙන් ජනප්‍රිය විය. දුම්කොළ කර්මාන්තයට රාජ්‍ය අනුග්‍රහය ලැබීම අඩුවෙත්ම දුම්කොළ වගා කළ බොහෝ ගොවීහු විකල්ප වගාවක් ලෙස උඩරට එළවළු වගාවට නැඹුරු වූහ.

දැන් බීට්රූට් වගාවන් වැඩි වශයෙන්ම දක්නට ලැබෙන්නේ කළුන්දැව සහ කෝන්ගහවෙල ප්‍රදේශයන්හිය. ගෝවා, රාබු සහ නෝකෝල් වගා පෝරන් වැව, වෑවල, දිගම්පතහ ආදි ප්‍රදේශයන්හි පැතිරී ඇත.වහකෝට්ටේ, පල්ලෙවෙල, ඇහැලේපොළ, දේවහුව, වල්නෝරුව ආදි ප්‍රදේශවල ගොවියෝ ඉංග්‍රිසි වගාවට බෙහෙවින් නැඹුරුව සිටිති.

මේ නිසා දඹුල්ල ආශ්‍රිත ගොවිබිම් බෝග විවිධාංගකරණයට ලක්ව තිබේ. බෝග විවිධාංගකරණය කෘෂිකර්මාන්ත සංවර්ධනයකදී අවශ්‍යම අංගයකි. එසේ ම පසු අස්වනු තාක්ෂණය දියුණු කර ගනිමින් සිය බෝග අස්වනු නාස්තිය අවම කර ගැනීමට ද ඔවුහු පුරුදුව සිටිති. අපනයන වෙළෙඳ පොළ සඳහා වන ගැනුම්කරුවන් සඳහාම එළවළු නිපදවන ගොවි පරපුරක් ද බිහි වෙමින් තිබේ. බීජ කර්මාන්තයට සම්බන්ධ කෘෂි නිෂ්පාදන කර්මාන්තයක් ද සුළුවෙන් හෝ ගොඩනැ‍ඟෙමින් පවතී.

දඹුල්ලේ ගොවියෝ පසුගියදා තවත් වගාවක සාර්ථක අස්වැන්නක් ලබා ගනිමින් අර්තාපල් වගාවෙන් පල නෙළා ගැනීම ඇරැඹූහ. ඉකුත් සඳුදා දිගම්පතහ අර්තාපල් වගාවක කුලුඳුල් අස්වැන්න නෙළා ගත්හ. ගොවි ජනතාව එකට දොළහක - එකට දාහතරක තරම් සරුසාර අස්වැන්නක් ලබාගෙන සිය ප්‍රදේශයට තවත් ගෞරවයක් ලබා දුන්හ.

හිටපු කෘෂිකර්ම උපදේශක සරත්චන්ද්‍ර බණ්ඩාර මහතාගේ උපදෙස් මත ආරම්භ කරන ලද මෙම ආදර්ශ වගාව සඳහා ස්වකීය ධනය කැප කෙළේ කෘෂි ව්‍යාපාරිකයකු වූ ජේ. එන්. ජයලත් මහතාය. රජය හෝ පළාත් සභාව විසින් හෝ ආරම්භ කළ යුතුව තිබූ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ අනතුරුදායක ආර්ථික අවදානමක් බාරගත් ඒ මහතාට මේ ව්‍යාපෘතිය සඳහා කරදර කීපයකට මුහුණ දීමට සිදු විය.

“මාස් කන්නයට සුදුසු ඩිසයිරි වර්ගයේ බීජ සොයා ගැනීමට අපි නුවරඑළියට ගියා. බීජ ලැබුණේ නෑ. යාපනයේ වගා කරනු ලබන රෙඩ් ලසෝඩා නම් බීජ වර්ගය යාපනයේ ඇති බව දැනගත්තා. ඒ අනුවම කිලෝ එක රුපියල් 260 බැගින් කිලෝ 25 බර බීජ අර්තාපල් ගෝනි 20ක් අපට ලබාදීමට හේලිස් සමාගම කටයුතු යෙදුවා. මේ බීජ අර්තාපල් මාස 2 1/2න් අස්වැන්න ලබා දෙනවා” යැයි සරත්චන්ද්‍ර බණ්ඩාර මහතා පවසයි.

මෙසේ අමාරුවෙන් සොයාගත් බීජ අල සිටුවීම සඳහා දඹුල්ල, අනුරාධපුර, පොලොන්නරුව යන ප්‍රදේශවලින් ගොවීන් 20ක් තෝරාගෙන ඔවුනට අවශ්‍ය පුහුණුව ලබා දී වගාව ආරම්භ කෙළේය. ගිය ඉරිදා (13 දා) කුලුඳුල් සාර්ථක අස්වැන්න නෙළාගනු ලැබුවේ මාස 2 1/2කට පෙර සිටුවන ලද ආදර්ශ වගාවකය. එම ආදර්ශ වගාව දඹුල්ලේ ඉබ්බන්කටුව ප්‍රදේශයේ ගොවි බිමකය. සෙසු ආදර්ශ වගා බිම්වල අස්වැන්න නෙළීම ද සාර්ථක වූ බවත්, හැම ආදර්ශ වගාවක්ම සාර්ථක අස්වැන්න ලබා ඇති බවත් බණ්ඩාර මහතා කියයි.

දඹුල්ල අවට අන්තර් දේශගුණික කලාප ප්‍රදේශයන්හි ඉදිරි මාස් කන්නයන්හිදී අර්තාපල් වගාව සාර්ථකව කළ හැකි බව මේ ආදර්ශ වගාවෙන් ඔප්පු වූ බව පවසන බණ්ඩාර මහතා අවශ්‍ය බීජ අල සපයා ගැනීමට ගොවි ජනතාවට පහසුකම් තිබිය යුතු යැයි ද කියයි.ඔහු පවසන අන්දමට අක්කරයක් සිටුවීමට බීජ අල කිලෝ 800ක් පමණ අවශ්‍ය වේ. සාමාන්‍යයෙන් අක්කරයකින් කිලෝ 6000 ඉක්මවා අස්වැන්නක් මාස 2 1/2ක සුළු කාලයකින් ලබාගත හැකි යයි ඒ මහතා කියයි.

දඹුල්ලේ ලොකු ලූනු වගා ආරම්භක අවස්ථාවේ ගොවීන් ඊට පෙළඹවීමට මහත් ආයාසයක් ගැනීමට සිදුවූ බව මතක් කරන ඒ මහතා යාපනය, පුත්තලම සහ කල්පිටියේ අර්තාපල් වගා කරන්නේ නම් දඹුල්ලේ අර්තාපල් වගා කිරීමට නොහැකි ද යන ප්‍රශ්නයට පිළිතුරු සපයා ගැන්ම සඳහා තමන් මේ ව්‍යාපෘතියට සම්බන්ධ වූ බව ද කියයි. දඹුල්ලේ ලොකු ලූනු වගාව ප්‍රචලිත කිරීමට දැරු උත්සාහය අගය කිරීම් වස් රාජ්‍ය සම්මාන දිනාගත් කෘෂිකර්ම නිලධාරියකු වූ ඒ මහතා දඹුල්ලේ දේශීය ලොකු ලූනු බීජ නිෂ්පාදනයේදී ද ක්‍රියාකාරී දායකත්වය සැපයුවෙකි.

දේශීය අර්තාපල් වගාව ව්‍යාප්ත කිරීමට දඹුල්ලේ ගොවි ජනතාව පෙළඹවීම කෘෂිකර්ම අංශයේ වගකීමකැයි ද සරත්චන්ද්‍ර මහතා පවසයි. එසේ නැත්නම් පෞද්ගලික ව්‍යාපාරික සමාගම් මේ අවස්ථාව ඩැහැගැනීමට පෙරට එනු ඇතැයි ඔහු බිය පළ කරයි.අපට වඩා පසුපසින් අර්තාපල් නිෂ්පාදනයේ යෙදී සිටි බංගලාදේශය දැන් අර්තාපල් අපනයනය මඟින් විදේශ ආදායම් උපදවා ගනියි. එහෙත් අපි තවම අප රටට අවශ්‍ය අර්තාපල් ආනයනය කරනු ලබන රටකි.

සතුටට පත්විය හැකි කරුණක් වන්නේ වාර්ෂිකව අර්තාපල් වගා බිම් ප්‍රමාණය හා අස්වැන්න වැඩිකර ගැනීමය.

වර්ෂය වගා බිම් ප්‍රමාණය අස්වැන්න මෙ. ටොන් දහස්

2011 හෙක්ටයාර් 4479 59.4

2012 හෙක්ටයාර් 4648 72.2

2013 හෙක්ටයාර් 5138 78.8

2014 හෙක්ටයාර් 5365 82.4

2015 හෙක්ටයාර් 5496 97.4

දඹුල්ල අවට නව අර්තාපල් වගා ඇරැඹීමත් සමඟ දේශීය නිෂ්පාදනය ඉහළ ගොස් අපනයනය අඩු වේ. එසේම අර්තාපල් ආනයනය සඳහා පිටරට ගොවීනට ගෙවන ජාතික ධනය ද ඉතුරුවට මඟ පාදයි. රටට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රටේම නිපදවා ගැනීමේ වැඩපිළිවෙළට ද එය විශාලතම රුකුලකි. ලංකාවේ අර්තාපල් වගාව ආරම්භ කිරීමේ පුරෝගාමි වූ නෝමන් ගුණතිලක මහතා ද අදහස් කෙළේ අර්තාපල් වගාව රටේ සියලු ප්‍රදේශවල ව්‍යාප්ත කිරීමට යැයි සරත්චන්ද්‍ර බණ්ඩාර මහතා කියයි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.