වයස හතළිහට වැඩිද?

විෂන් 2020 වැඩසටහනේ ජාතික සම්බන්ධීකාරක අක්ෂි ශල්‍ය

වි‍ශේෂඥ වෛද්‍ය මුදිතා කුලතුංග

ලෝක ග්ලූකෝමා දිනය මාර්තු මස 13 වැනිදාට යෙදී තිබිණි. ඒ නිමිත්තෙන් අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය හා විෂන් 2020 - වැඩසටහන එක්ව දීපව්‍යාප්ත ජනතාව දැනුවත් කිරීමේ සහ පුහුණු වැඩසටහන් මාලාවක් පවත්වනු ලැබිණි. විශේෂ ග්ලූකෝමා අක්ෂි සායන ද දිවයිනේ රෝහල් කිහිපයකම අරඹා තිබේ.

අක්ෂි ස්නායුවට ස්ථිර හානි සිදු වීම නිසා අන්ධභාවයට පත්වීම ග්ලූකෝමාව යනුවෙන් හැඳින්වේ. අන්ධභාවයට බලපාන හේතුවන කරුණු අතර තුන්වැන්න ග්ලූකෝමාවය. ග්ලූකෝමාව නිහඬ සතුරෙකි. එහි රෝග ලක්ෂණ කිසිවක් රෝගීනට නොදැනීම එහි ඇති අවාසනාවන්තම තත්ත්වයයි. කල් ඇතිව රෝගය හඳුනාගත් විට වෛද්‍ය උපදෙස් නිසි පරිදි පිළිපැදීමෙන් පෙනීම ආරක්ෂා කර ගත හැකි වේ. වයස අවුරුදු 40ට වැඩි ඕනෑම අයකුට ග්ලූකෝමාව වැලඳීමට ඉඩ තිබේ. එහෙයින් වයස අවුරුදු හතළිහෙන් ඉහළ ඕනෑම පුද්ගලයකු ග්ලූකෝමාව සඳහා ඇස් පරීක්ෂා කරවා ගැනීම වැදගත් වන බව විෂන් 2020 වැඩසටහනේ ජාතික සම්බන්ධීකාරික අක්ෂි ශල්‍ය වි‍ශේෂඥ වෛද්‍ය මුදිතා කුලතුංග මහත්මිය පවසයි. ග්ලූකෝමාව සඳහා වැඩි අවධානමක් දරන කණ්ඩායම් වන්නේ දෙමවුපියන්ගෙන් කෙනෙකුට ග්ලූකෝමාව ඇති පුද්ගලයන්.

සහෝදර සහෝදරියන්ගෙන් කෙනෙකුට ග්ලූකෝමාව ඇතිවීම.

වයස අවුරුදු 60ට වැඩි අය.

ඇස් යට තැල්මක් ඇති වී ඇත්නම්.

ඉතා ඝනකම් කණ්ණාඩි පලඳින අය වේ.

මින් අමතරව දියවැඩියාව වැනි රෝගවලින් පෙළෙන්නන් ද අවධානම් කාණ්ඩයට අයත් වන බව දැන් හඳුනාගෙන ඇතැයිද වෛද්‍ය කුලතුංග පවසයි.

‍ලෝක ජනගහනයෙන් මිලියන 4.2ක් ග්ලූකෝමාව නිසා ඇතිවන අන්ධභාවයෙන් පෙළෙති. ග්ලූකෝමාවට වළක්වා ගත හැකි අන්ධභාවයෙන් දෙවැනි තැන හිමිවේ. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 250,000 ක් පමණ ග්ලූකෝමාවට ‍ගොදුරුව සිටිති. එය මුළු ජනගහනයෙන් 6%කි. ශ්‍රී ලංකා ජාතික අන්ධභාවය පිළිබඳ සමීක්ෂණයෙන් ඉහත කරුණු හෙළි වී තිබේ. පසුගිය වසර දහය ඇතුළත මෙරට ජනතාවගෙන් 12.5%ක් ග්ලූකෝමාවට ගොදුරු වී ඇතැයි එහිදී ගණන් බලා තිබේ. මේ පිළිබඳ නිශ්චිත දත්ත නැතත් මෙරට ග්ලූකෝමාවෙන් අන්ධභාවයට පත්වූවන් ජනගහනයෙන් 1%ක් පමණ වෙතැයි වෛද්‍ය කුලතුංග කියයි.

සංවර්ධිත රටවල ග්ලූකෝමා රෝගීන්ගෙන් 50%ක්ම තමාට රෝගය ඇතැයි නොදනිති. ඌන සංවර්ධිත රටවල රෝගීන්ගෙන් 70%ක්ම රෝගය ඇතැයි නොදනිති. රෝගයෙහි මුල් අවධියෙහි දී සාමාන්‍ය පෙනුමක් තිබෙන අතර රෝග ලක්ෂණ පෙන්නුම් නොකෙරේ. රෝගය හඳුනා ගැනීමට ඇති එකම ක්‍රමය රෝගය ඇත්දැයි ඇස් පරීක්ෂා කර ගැනීමය. එහෙයින් අවුරුදු 40ට ඉහළ සෑම පුද්ගලයකුම ග්ලූකෝමාව සඳහා ඇස් පරීක්ෂා කර ගැනීම වටී. අක්ෂි රෝහල සහ සියලුම ‍රෝහල්වල අක්ෂි සායනවලින් නොමිලේ ඒ සඳහා ඇස් පරීක්ෂා කරවා ගත හැකිය. වයස අවුරුදු හැටට වැඩි නම් සහ පවුලේ සාමාජිකයකුට ග්ලූකෝමාව ඇත්නම් ඇස් පරීක්ෂාව අනිවාර්යයෙන් ම කළ යුතුය.

අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය සහ විෂන් 2020 වැඩසටහන එක්ව සියලුම අක්ෂි ආබාධ සඳහා ප්‍රතිකාර කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර ඇසේ සුද, ළමා අන්ධභාවය, ග්ලූකෝමාව, දියවැඩියා රෙටිනෝපති සහ අල්පදෘෂ්ඨිතාව ඒ අතර ප්‍රධාන වේ. ඉදිරි වසර දහය ඇතුළත ශ්‍රී ලංකාවේ අන්ධභාවය 25%කින් අඩු කිරීම තම සංගමයේ අරමුණ බවද වෛද්‍ය කුලතුංග පවසයි.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.