අංක 8 නපුරට බර ද? | Page 2 | සිළුමිණ

අංක 8 නපුරට බර ද?

අංක විද්‍යාව තුල අංක 8 යනු ඉතා වැදගත් අංකයකි. මෙහි අධිපතියා සෙනසුරු ය. සෙනසුරු අංක 8 මගින් ලෝක දෙකක් නියෝජනය කරයි. එනම් ලෞකික ලෝකය සහ ආධ්‍යාත්මික ලෝකයයි. පෞද්ගලික අංක 8 න් එනම් ඕනෑම මාසයක 8, 17, 26 දිනවල උපදින අයට අංක 8 හි ශක්තිය හෙවත් ශනිගේ ශක්තිය ප්‍රබලව ලැබේ.

මොවුන්ගේ දරා ගැනීමේ ශක්තිය ප්‍රබල වන අතර බොහෝ අය කෘෂ ශරීර දරයි. ජේසු ස්වාමි දරුවන් උදාහරණයක් ලෙස සිහි කරගන්න.

මොවුන්ගේ ගති ස්වභාව අංක 4 අයට තරමක් දුරට සමානය. අනිත් අය විසින් මොවුන්ව වරදවා වටහා ගනු ඇත. කරන යහපත් දේවල පවා අනිත් අයට අඩුපාඩු වැරදි පෙනේ. මොවුන් හදවතින් තනිවනු ඇත.

පෙර භවයේ යම් කර්ම ශක්තීන් මෙම අංක හිමියන් පසුපස පැමිණෙන අතර උපන් වසරේ සහ උපතේ සිට වයස අවුරුදු 4, 13, 17, 22, 26, 31, 35 යන වයස් සීමාවන් තුළදී ඒ සඳහා විපාක ගෙවීමට සිදුවනු ඇත. එමනිසා මෙම වයස් සීමාවන් වල ඉතා ප්‍රවේශම් විය යුතුය. මොවුන් ගුප්ත විද්‍යා කටයුතු වලට සම්බන්ධ වී එම කටයුතු කරන්නේ නම් ඉතා හොඳින් එම ක්ෂේත්‍ර වල ඉදිරියට යාමේ වාසනාව ඇතිවේ.

මෙම දිනවල උපන් අය එක්කෝ ඉතා සාර්ථක වනු ඇත. නැතිනම් ප්‍රබල ලෙස කඩාවැටෙනු ඇත. කෙතරම් ඉහළ තත්වයන් යටතේදී වුවද යම් කඩා වැටීමේ අවදානමක් ඇත. පෙර සඳහන්කළ වයස් සීමාවන් වලදී එම කඩාවැටීම සිදුවීමට බොහෝ අවදානමක් ඇත. මොවුන් සතුරන් සාදාගන්නා අතර හැඟීම්බර භාවයෙන් යුක්ත වෙයි. නමුත් අන් අය ඉදිරියේ හැඟීම්බර භාවය නොපෙන්වනු ඇත.

අවදි වූ සහ අවදි නොවූ සැටර්නියන්වරු ලෙසින් මොවුන් කණ්ඩායම් දෙකකට බෙදා වෙන් කරන අතර අවදිවූවන් යහපත් පුද්ගලයින් බවටද අවදි නොවූවන් දුෂ්ඨයන් බවටද පත්වනු ඇත.

8, 17, 26 උපදින පුද්ගලයන් ලෙහෙසියෙන් වෙනස් නොවන අතර මවුබිමට ඉතා කැමතිය. රැකියාව පදිංචිය ආදිය ලෙහෙසියෙන් වෙනස් නොකරනු ඇත.

දෙසැම්බර් 21 සිට පෙබරවාරි 19 දක්වාද, සැප්තැම්බර් 21 සිට ඔක්තෝබර් 20 දක්වාද ශනි බලවත් වනු ඇත.

ඔබ 8, 17, 26 දිනවල නව කටයුතු ආරම්භ කිරීම සුබදායක වන්නේ එම දිනවල ශක්ති සංඛ්‍යාත ඔබේ ශක්ති සංඛ්‍යාත සමග වඩා ගැලපෙන නිසාය. 1, 10, 19, 28 දිනවල ද කටයුතු යොදාගැනීම සුබය. 4, 13, 22, 31 සමග අංක 8 සබඳකම් දක්වන නමුදු කිසිසේත් එම අංක සුබ අංක ලෙස දැක්විය නොහැක.

අංක 8 සියලු කටයුතු සඳහා සුදුසු යැයි නොකියමි. උදාහරණ ලෙස කුමන අංකයකින් ඉපදුණද අංක 8 සහ අංක 4 හි වාහන කිසිවෙකුට සුබදායක. නොවනු ඇත.

3, 6, 9 අංකයන් ඔබට සතුරු වන අතර අංක 9 ඉතා ප්‍රබල ලෙස සතුරුය. එනිසා ඔබට විවාහය සඳහා 9, 18, 27 උපන් අයෙක් ලැබුන හොත් ඒ ඔබේ අවාසනාව වනු ඇත. කිසි සේත් එවැනි විවාහ සාර්ථක නොවනු ඇත. 8,17, 26 උපන් ඔබට විවාහය සඳහා ගැලපෙනුයේ 2, 7, 11, 16, 20, 25, 29 වැනි මධ්‍යස්ථ දිනවල උපන් අයය. මොවුනට තම ශ්‍රේණියේ එනම් 8, 17, 26 උපන් අයද සුබ නොවනු ඇත.

මෙම දිනවල උපන් අය ඉක්මනින් මානසික පීඩනයට ලක්වන අතර පිත්තාශය, ආමාශය ආශ්‍රිත රෝග කොන්ද, වළලුකර සම්බන්ධ රෝග සහ රිදීම්, පපුව රිදීම්, කොණ්ඩය යෑම, නළල පළල් වීම, අර්ශස්, නහර ගැටගැසීම, වයසට යාමේදී අංශභාගය වැනි තත්ව ඇතිවේ.

තද නිල් පැහැය සෙනසුරුට අයත් වර්ණය වන අතර එම වර්ණය භාවිතය ඔබට සුබදායක ය. සුබ මැණික වන්නේ කාක නිල ය.

ශාස්ත්‍රවේදී රන්දෙව්

රන්දෙව් ගුරුකුලයේ නිර්මාතෘ,

ෆේට්‍රෝ සාමාජික

Comments