අ‍ක්කේ! මං දැන්ම මැරෙන එකක්

පාර්ලිමේන්තුවටත් විවාහ මංගල්‍යයකට අස්සන් තැබීමටත් යා යුතු යැයි පවසමින් නිවෙසින් පිටව ගිය නරේන්ද්‍ර හෝරාවකට නොවැඩි කාලයකදී ආපසු ආවේ මාධවී සොහොයුරිය ගේ දියණිවරුන් දෙදෙනා ද මහගෙදර පැමිණෙනවා යැයි ඇසීමෙන් රාජනී සොහොයුරිය කඩා පැනීමට ඉඩ ඇතැයි සැකයෙනි.

තමාගේ ඡන්ද කොට්ඨාසයේ අනුප්‍රාප්තිකයා ලෙස මනෝහාරි තෝරා ගන්නැයි මාධවී නොකියා කියා සිටීම රාජනීගේ සවන් සොයා ගොස් ඇත. එයින් ඇයට ද දේශපාලන තෘෂ්ණාවක් හට ගත්තා නිසැකය.

“රාජනී අක්කා, මං හිතන්නෙ මං දැන්ම මැරෙන එකක් නැහැ කියලා. ඒ නිසා ටිකක් ඉවසන්නකො. කරන්න ඕනැ මොනවද කියලා හිතනකල්.”

“හිත හිතා ඉන්න කොට මල්ලි පෙරහැර ගිහින් ඉවර වෙයි. මරණය නම් ඉතින් අද ද හෙට ද කාටද කොහොමද කියන්න බැහැනෙ.”

කී ඇය උපහාසයෙන් සිනාසුණේ පෙරදින සැන්දෑවේය.

පුත්‍රයා තම සොහොයුරාගේ නිවෙසට නැතිනම් මහගෙදරට එනවා දැකීමටවත් අකැමැතියි නිතර පැවසූ රාජනී ඊයේ සැන්දෑවේ සිට ඇදහියි නොහැකි වෙනසකට ලක්ව සිටින්නීය. සොහොයුරියන් අතර තර්ක විතර්ක ගැටුම් එමට වුණත් දේශපාලන කරළිය මත ඇතිවන ගැටුම් කවරාකාරයකින් අවසානය සොයා ගනීදැයි අවිනිශ්චිත.

මිනිසුන් සහ ස්ත්‍රීන් තුළ ඇති උනුන් පරයා නැගී සිටීමේ ඊර්ෂ්‍යා සිත සමාජය බිඳ දමන, පවුල් සංස්ථාව දෙදරවා හරින, සිත් කිලිටි කරන අවගුණ යැයි විටක නරේන්ද්‍ර පවසන්නේ සොහොයුරියන්ට රිදෙන ලෙසටය. ඊර්ෂ්‍යාව කවර මොහොතක, කුමන හේතුවක් නිසා කාගේ සි‍තක් ගිනි ගනු ඇද්දැයි කිව නොහැකි නිසා කරනු ලබන පිං දහම්වල ප්‍රතිඵල ලැබීමට නම් ඊර්ෂ්‍යාවෙන් තොර වීම වැදගත් යැයි පවසන විට රාජනී කෝපයෙන් දැවෙන සැටි නරේන්ද්‍රට විහිළුවක් වී ඇත. නිවෙසට පැමිණි නරේන්ද්‍ර බන්දුලගෙන් පළමුව විමසුවේ ‘ආවෝ නාවෝ” කවුදැයි ප්‍රශ්නයයි.

‍රුක්ෂාන්, ම‍නෝහාරි, රවිහාරි සහ රාහුල විශාල පුස්තකාලයේ සංවාදශීලීව සිටින්නේ යැයි බන්දුල පිළිතුරු දුන්නේ සතුටෙනි.

“එතකොට රාජඍෂි පුංචි සර්?”

“පුංචි සර් ගියා කාවද එක්ක එන්න.”

“හ්ම්.”

නරේන්ද්‍ර පුස්තකාලයට එබී බැලුවේ ය. විශාල මේසය වටා යහළු යෙහෙළියෝ අසුන් ගෙන සිටිති. රෝජා සඳපාණි සහ රාජඍෂි පමණක් පෙනෙන්නට නැත.

රවිහාරි මඳක් තිගැස්සුණාය. නරේන්ද්‍ර මාමා ඔහුගේ පුස්තකාලයට අනවසරයෙන් කිසිවකු ඇතුළු වනවාට අප්‍රසාදය පළ කරන්නෙකි. අනවසරයෙන් වාහනය සෝදනවාටවත් කැමති නැත. ඒ ඔහුගේ හැටිය. ඡන්ද කොට්ඨාසයක අධිපතිකම ගෙදරටත් ගෙන ඒම විහිළුවක් සේ දකින්නේ මනෝහාරි පමණි. නරේන්ද්‍ර දුටු හැම දෙනෙ ම නැඟී සිටියහ. ඔහු හැමටම පොදුවේ මිත්‍රශීලී සිනාවක් පෑවේය.

“වාඩි වෙන්න. වාඩි වෙන්න. ඔය පොත් ඇදලා එහෙ මෙහෙ දාන්නෙ නැහැ.”

නරේන්ද්‍ර අනතුරු හැඟවීමක් කළා වැනිය. රවිහාරි රුක්නාද්ගේ මුහුණ බැලුවේ “අපේ මාමාගේ හැටි ඔහොම තමා” නොකියා කියන්නා සේය.

“නෑ. අපි වාඩිවෙලා කතා කර කර හිටියා විතරයි. පොත් රාක්ක ළඟටවත් ගියේ නැහැ.” රාහුල නිදොස් බව ප්‍රකාශ කරන්නට විය.

“රාහුල පොත් තියෙන්නෙ කියවන්න. සුවඳ දුම් අල්ල අල්ලා වැඳ වැඳ ඉන්න නෙමේ. ඇත්ත. ඒත් සමහරුන්ට පොතක් ගෙනිච්ච ම ගෙනත් දෙන්න මතක නැහැ. කවුද පොත ගෙනිච්චෙ කියලා මට අමතක වුණොත් පොත එතැනින් ඉවරයි. මේ ළඟදි මට ඕන වුණා මැකියාවෙලීගෙ “ද ප්‍රින්ස්” පොත කියවන්න. මං ළඟ තිබුණා. දැන් නැහැ.”

“ද ප්‍රින්ස්” තමා ළඟ ඇති බව රුක්නාද්ගේ මතකය කියන්නට විය. එහෙත් එය නරේන්ද්‍රගේ පොතක් නොවේ. ඔහුට ප්‍රංස දේශපාලනඥයකු විසින් තිළිණ කරන ලද්දකි. දේශපාලනඥයාගේ අත්සන නොතිබුණා නම් එය නරේන්ද්‍රට දෙන්නට වුණත් පුළුවන. පොතක් යනු ජීවිතයකි. ජීවිතයකින් තවත් ජීවිතයකට ලබා ගත හැකි දෑ බොහෝය. එය භෞතික හා අධ්‍යාත්මික වශයෙනි. පොතක් ද එවැනි වටිනාකම් මිනිසුන්ට ප්‍රදානය කරන්නේ ප්‍රතිලාභ ප්‍රාර්ථනා ඇතිව නොවේ. රුක්නාද්ට පොතක් පිළිබඳව මෙවන් අර්ථ කථනයක් දුන්නේ ‘ද ප්‍රින්ස්’ තෑගි කළ දේශපාලනඥයා විසින්මය.

“නරේන් මාමාත් එන්න අපිත් එක්ක රණ්ඩු වෙන්න.”

මනෝහාරි නරේන්ද්‍රට ඇරියුම් කළාය.

“රණ්ඩු ‍වෙන්? ඇයි රණ්ඩු වෙන්නෙ?”

“මේ රාහුල කියනවා මැති ඇමැතිවරු කියන්නෙ තමන් කවුද, තමන්ගෙ වටිනාකම් මොනවද, තමන් කියන්න ඕනෑ මොනවද, නොකියන්න ඕනෑ මොනවද කියලා නොදන්න නොහිතන මනුෂ්‍ය කණ්ඩායමක් කියලා. ඒ ගොල්ලො දන්නෙ කාටහරි හිනාවෙන්නලු. මිනිස්සුන්ට නින්දා අපහාස කරන්නලු. බලය රැක ගැනීමේ සහ බලය අල්ලා ගැනීමේ චේතනාව ඇරෙන්න වෙන කිසිම සිතුවිල්ලක් දේශපාලන හදවත් තුළ නැතිලු. රුක්නාද් අයියා පරාජය බාර අරන් වැටෙන්නයි යන්නෙ. නරේන් මාමා ඇවිත් එයාව නැගිට්ටවන්න.”

නරේන්ද්‍ර මනෝහාරීට සවන් දුන්නේ විහිළුවක් වුණත් සිනාසීමට නොහැකියාවක් ඇතැයි හඟවන බැල්මක් දෙනෙතේ ඇතිවය. ඔහු පුස්තකාලය සිසාරා බැල්මක් හෙළුවේය.

අතුරුදන්වී සිටින්නේ මැකියාවෙලී පමණකි. කාල්මාක්ස්, එංගල්ස්, කැස්ත්‍රෝ, මාඕසේතුං, කිං ඉල්සුං, මහත්මාගාන්ධි, ශ්‍රී නේරු, වින්සන්ට් චර්චිල්, ඩී.එස්. සේනානායක සහ සිරිමාවෝ බණ්ඩාරනායක වැනි විවිධ දේශපාලන චරිත පුස්තකාල රාක්කවල සුවසේ වැතිරී සිටී. චරිතාපදාන සඳහා වෙන ම රාක්කයක් ඉදි කිරීමේ යෝජනාව රාජඍෂිගේය.

නරේන් සෙමින් ගොස් ම‍නෝහාරි සමීපයෙන් හිඳ ගත්තේය.

මෑතක සිට ඔහුගේ හිතට දැනෙන නොදැනෙන ලෙසින් කිසියම් හු‍ෙදකලා වේදනා සහගත සිතුවිල්ලක් සිතට පහර දෙන්නට පටන් ගෙන ඇත. සෙසු ඥාති දරුවන් එක් වන තැනක රෝජා සඳපාණි දියණිය දකින්නට නොලැබෙන විට සිතෙහි සියුම් වේදනාවක් ඇතිව නැති වෙයි. යළි නැතිව ඇති වෙයි.

“මනෝ ඔයාලා ඔය මැති ඇමැතිවරුන්ට කරන ‍චෝදනා, දෝෂාරෝපණ, බැණුම්, අවලාද, සරදම් අපිට අමුතු දේවල් නෙමේ. අවුරුදු දහස් ගානක් තිස්සේ අහලා අහලා කම්මලේ බල්ලන්ට හෙණ ගැහුවත් කාරි නෑ තත්ත්වයට ඇවිල්ලා. ඉස්සර මගෙ යාළුවෙක් හිටියා. නම ප්‍රියදෝණි මහමායා. එයාගෙ එකම රාජකාරිය මට බණින එක.”

“නරේන් මාමා, ඒ දවස්වල ප්‍රියදෝණි මහමායා මැතිනිය මාමාට හුඟක් බැන්නද? තාමත් දුකයි වගේ අපට පේන්නෙ.” රවිහාරි විහිළු කළාය.

“එහෙම දුකක් නෙමේ. ඒත් ඇත්ත ඇති සැටියෙන් කියන්න ඕනැ. එයාගෙ ලොකු ම දුර්වලකම ඉතිහාසය දිහා දේශපාලන ඇහැකින් බලපු එක.”

“නරේන් සර් මට හිතෙන්නෙ ඔය කියන ප්‍රියදෝණි මහත්මිය හරි කියලා. ඉතිහාසය කියන්නෙත් සම්පූර්ණ දේශපාලනයක්.”

රුක්නාද් මන්ත්‍රිවරයා කීවේ කල්පනාවෙනි. තමා වටා සිටින සියල්ලන්ගේ ම කතා බස්වලට විමසිල්ලනේ සවන් දෙන තරුණ මන්ත්‍රිවරයා හැම වචනයක ම අර්ථය හිතින් ග්‍රහණයට ගන්නා සැටියක් නරේන්ද්‍රට වැටහිණි.

“ඉතිහාසය කියන්නෙ දේශපාලනය වගේ ම දේශපාලනය කියන්නෙ ඉතිහාසය.”

රාහුල කීවේ නරේන් මවිත කරවමිනි. ඔහු දේශපාලන විෂයයෙහි කතා නැත්තෙකි.

“ගෝලීයකරණය වෙන ලෝකෙට ඉතිහාසයේ ඇති ප්‍රයෝජනේ මොකක්ද? මිනිස්සුන්ට කාල බීලා සතුටෙන් ඉන්න තියෙනවා නම් ලෝකය ගෝලීයකරණය නෙමේ ත්‍රිකෝණකරණය වුණත් සමචත්‍රරස්‍රකරණය වුණත්, මොකද? පාලකයා ධාර්මික නම්, අවංක නම්, පොදු රටවැසියාට ජීවත් වීමේ නිදහස දෙන්න ඕන කියලා හිතනවා නම් එච්චරයි. චේතිය කියන චක්‍රවර්ති එක බොරුවක් කියලා පොළොව පළාගෙන අපාගත වුණාලු. බොරුවේ ආදිනව එහෙමයි.”

රාහුල පවසන විට නරේන්ද්‍ර මහ හඬින් සිනාසෙන්නට විය.

“නරේන් මාමා හිනාවෙන්නෙ ඇයි?”

මනෝහාරි පුදුමයෙන් ඇසුවාය.

“චේතිය චක්‍රවර්ති එක බොරුවකට ඔය විදිහට අපාගත වුණා නම් අපි කී සැරයක් අපාගත වෙන්න ඕනද? ඒත් අපි චාතුර්මහාරාජිකාදී දිව්‍ය සැප විඳිමින් මේ අපුරුවට වැජඹෙන්නෙ?”

“නරේන් මාමා මොනවා කියනවද කියලා මට තේරෙන්නෙ නැහැ.” මනෝහාරි සංවේගාත්මක වූවාය.

“මං කියන දේ දැන් මටවත් තේරෙන්නෙ නැහැ.”

“පිස්සු කතා.!”

“මනෝ අපි හරි ආත්මාර්ථකාමී දේශපාලනඥයො. ජනතා ප්‍රශ්න අපිට දේශපාලන බලය තහවුරු කර ගන්න ආයුධ විතරයි. අපි කට අරින්නෙ ජනතාව වෙනුවෙන් නෙමේ අපි වෙනුවෙන්. මේක තමා වර්තමාන දේශපාලනයේ මහා ප්‍රාතිහාර්යය. මිනිස්සු රට අයිති තමන්ටය, තමන්ගෙ දූ දරුවන්ගෙ අනාගත උරුමයක් ය, කියලා හිතන තාක් කල් මේ ජරාජීර්ණ පක්ෂ දේශපාලනය ඉස්සරහට ම යයි. අපේ මිනිස්සුන්ට ජනතා පරමාධිපත්‍යය කියන්නෙ ඉඳලා හිටලා පත්තරේක දකින වචනයක් විතරයි. මිනිහා මිනිහා වෙනුවෙන් හඬ අවදි කරන්න ඕනැ. පුද්ගල පරමාර්ථ නෙමේ පොදු පරමාර්ථ ජයග්‍රහණය කරවන්න ඕන.”

“ඔහොම හිතන දේශපාලනඥයො පාර්ලිමේන්තුවට ගැළපෙන්නෙ නැහැ. කාට හරි ආසනේ බාර දීලා ගෙදර යන්න ඕන.”

රවිහාරි අමනාපය පළ කළාය.

“ඔව්. ගැළපෙන්නෙ නැහැ. ඒත් ඡන්දෙ දුන්න මිනිස්සු දැන ගන්න ඕන රටට, දරුවන්ට, අනාගතයට, යහපතක් වෙන විදිහට දේශපාලනඥයෝ හදා ගන්න. බත් පැකට් එකටයි කසිප්පු වීදුරුවටයි වඩේ දෙකටයි පෙරේත වෙලා මැතිවරණ කාලෙට පෝස්ටර් ගැහුවට මදි. රට අයිති රටවැසියන්ට. දේශපාලනඥයන්ට නෙමේ. මිනිස්සු තමන්ගෙ නියෝජිතයව හදාගන්න ඕන.”

නරේන්ද්‍ර කීවේ රවිහාරිගේ අමනාපය නිෂේධ කරන්නට මෙනි. දේශපාලනඥයන් විවේචනය කිරීමට විරුද්ධවීම ඔහුගේ දේශපාලන උද්ධච්ච කමකැයි රාහුලට සිතිනි.

වත්මන් ලෝකයේ වඩා ප්‍රබල විෂය ක්ෂේත්‍රය වී ඇත්තේ ආර්ථික ප්‍රවේශයන් හා බලපෑම් යැයි තරුණ පිරිසට පහදා දීමෙන් පලක් වේදැයි නරේන්ද්‍ර සිතන්නට විය.

ලබන සතියට

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.