ගුරුසේවයේ රසකතා | සිළුමිණ

ගුරුසේවයේ රසකතා

මිසි නෝනගෙ සබන් කැටේ

රිච්මන්ඩ් විජේසේකර

බෙන්තොට සමූහ

මා හබුරුගල කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ලෙස වැඩ බාරගෙන මාසයක් පමණ ගතවූ තැන විද්‍යාලය අසල පිහිටි තුඩුව, ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ දිනක් විද්‍යාලයට පැමිණ මට ආරාධනයක් කළහ. පෝය දින විහාරස්ථානයේ සල්පිලක් පවත්වා එය අවසානයේදී කවියෙන් ධර්ම දේශනාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත්, සල්පිල විවෘත කිරීම සඳහා එදින රාත්‍රී 7ට විහාරස්ථානයට පැමිණෙන ලෙසත් උන්වහන්සේ මට ආරාධනා කළහ.

උන්වහන්සේ ඒ කාලයේ සිටි දක්ෂතම කවියෙකි. උන්වහන්සේගේ කවි බණ ඇසීමට මහජනයා දැක්වූයේ ලොකු උනන්දුවකි. සල්පිලේ වැඩකටයුතු මෙහෙයවීම බාරව සිටියේ කවි චන්ද්‍ර නමැති තරුණයෙකි. විහාරාධිපති ස්වාමීන් වහන්සේ ද දක්ෂ කවියෙකු නිසා සල්පිලේ සියලුම වැඩ කවියෙන්ම ආරම්භ කොට කවියෙන්ම අවසන් කරන ලෙස අණකර තිබුණි. හරියටම රාත්‍රී 7ට සල්පිලේ වැඩ ආරම්භ කිරීම සඳහා ඔහු රස කවියක් කීවේ මෙසේය.

“කවියෙනි, රසිකයෙනි හිනැහෙන එකට හැපී
කවි කාරියනි ඇති වන මල් විලස පිපී
යන්නට සියලු වස් දොස් දෙක තුනට කැපී
අරඹමු සල්පිලේ කටයුතු මෙතන අපී”

වෙන්දේසිය සඳහා ප්‍රදේශවාසීන්ගෙන් භාණ්ඩ රාශියක් ලැබී තිබුණි. ඒ අතර පොල් පැළ, තැඹිලි පැළ, කෙසෙල් පැළ ආදී පැළ වර්ගද, සබන්, සුවඳ විලවුන්, වත්සුනු ආදී සුවඳ විලවුන් වර්ගද, ඉදල්, කොහු, පාපිසි ආදී උපකරණ ද විය. ප්‍රදේශයේ එක් උපාසිකාවක් “මිසී නෝනාගෙන් සල්පිලට පරිත්‍යාගයකි” යනුවෙන් ලියන ලද වැකියක් සහිත කඩදාසියක ඔතන ලද සුවඳ සබන් කැටයක් පරිත්‍යාග කර තිබුණි. දැන් කවි චන්ද්‍ර එක එක භාණ්ඩ අතට ගෙන කවි කියමින් වෙන්දේසියේ වැඩ කරගෙන යයි. ටික වේලාවකින් ඔහු අතට ගත්තේ මිසි නෝනා විසින් පරිත්‍යාග කර තිබුණු සබන් කැටයයි. සබන් කැටය අතට ගත් ඔහු මෙසේ කීය.

සුවඳ ගහන මේ මිසි නෝනගෙ බඩුව
ලංසුව තබනු රුපියල් පහකට අඩුව

ඔහු කවිපද දෙක කියා අවසන් කරනවාත් සමඟම ඒ අසල සිටි මිසි නෝනා උපාසිකාවට හොඳටම කේන්ති ගොස් සල්පිලේ තිබුණ කොස්සක් ගෙන කවි චන්ද්‍රට පහර දෙන්නට පටන් ගත්තාය. ඔහු අත තිබුණ මයික්‍රෆෝනයත් රැගෙන පාරට පැන යම්තම් ගුටි නොකා බේරුණු අතර පාරේ සිට මෙසේ කීය.

මිසි නෝනාට මගෙ රස කවි අරහං ය
අද සල්පිලේ වැඩ මෙතනින් අවසන් ය

විදුහල්පති ආරච්චි

සරත් විජ­ය­රත්න
ලුණුවිල

  දැනට දශක කිහිපයකට ඉහත වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලේ, 20 වැනි සියවසේ මුල්භාගය තේමා කරගත් ශෛලිගත සම්ප්‍රදාය අනුව නිර්මාණය කළ නාට්‍යයක් වේදිකාගත කෙරිණි. එම නාට්‍යය රචනා කරනු ලැබුවේ තිමෝති පෙරේරා සහ විලියම් පෙරේරා යන විදුහල්පති සොහොයුරන් දෙදෙනෙකි. නාට්‍යයේ රඟපෑම සඳහා නළු නිළියන් තෝරාගනු ලැබුවේ අධ්‍යාපන කොට්ඨාසයේ විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරින් වීම විශේෂත්වයකි. අධ්‍යක්ෂණය, සංගීතය, වේශ නිරූපණය සහ වේදිකා සැරසිලි එකිනෙකාගේ නිපුණත්වය අනුව ගුරු සිසු සහභාගිත්වයෙන් සිදු කෙරිණි. පාඨශාලා පරීක්ෂක මුහන්දිරම් මහතා නිෂ්පාදන කළමනාකරු වශයෙන් ඉතා දක්ෂ ලෙස සැලසුම් ක්‍රියාත්මක කෙළේය. මේ වන විට මා හලා / බණ්ඩිරිප්පුව රජයේ විදුහලේ සේවය කරමින් සිටි අතර, පනස්විය ඉක්මවූ අපේ විදුහල්පති ජෝශප් පීටර් මහතා ‘ආරච්චි’ ලෙස ප්‍රධාන චරිතයක් සඳහා තෝරා ගනු ලැබිණි. පසුබිම් කථකයා ලෙස මා තෝරා ගැනිණ. නළු නිළි සියයකට අධික සංඛ්‍යාවකින් සැදුම්ලත් මෙම දැවැන්ත නාට්‍ය නිර්මාණය නැරැඹීම සඳහා සම්භාවනීය විශාල පිරිසක් පැමිණ තිබුණු අතර ප්‍රධාන චරිත රඟපාන නළු නිළි පිරිස, වේශ නිරූපණය සඳහා වෙන් කළ පන්ති කාමරයක වෙස් ගැන්වීම්වලට සහභාගිවෙමින් සිටියහ. අපේ විදුහල්පතිතුමා ආරච්චි ලෙස බාපන සහිත නිල ඇඳුමින් සැරසී, නැමිපනාව හිස ගසා, කැටයම් කළ යෂ්ටිය අතැතිව තේජස් විලාශයෙන් අසුන්ගෙන සිටියේය. සුදුජාතික ඒජන්ත නොහොත් දිසාපති හාමුදුරුවන් ලෙස රඟපෑවේ ගුරුවර‍යකු වූ එතුමාගේ ගෝලයෙකි. ඔහු ටොප් හැට් එක දමා ටේල්කෝට්එක සහිත යුරෝපීය ඇඳුමින් සැරසී, කළු උපැස් යුවළක් පැලඳ විරාජමානව සිටියේය. ඔහු තම ගුරුවරයා වූ විදුහල්පති ආරච්චිට විහිළුවක් කරනු රිසියෙන්, නාට්‍යයට අදාළ නොවූ දෙබස් ඛාණ්ඩයකින් ඇමතීය.

“ඒයි ආරච්චියා උඹට විරුද්ධව පෙටිෂන් ගොඩක් මට ඇවිත් තියනවා. උඹ කෂිප්පු ගහලා මිනිෂ්ෂු නැති වාරෙ වැයික්කියෙ ගෙවල් අෂ්ෂට රිංගන්ඩ හදනව කියල... බෝම කෙතයි ආරච්චියා මං උඹව ඉන්ටඩික්ට් කරල උඹේ ම දඬු ක‍ඳේ ගෂ්ෂනවා” එහි සිටි පිරිස එවිට හඬ නඟා සිනාසෙන්න වූහ.

තම ගෝලයා තමාට කළ මදිපුංචිකමත්, පිරිසේ නිසා හඬත් නොඉවසූ විදුහල්පති ආරච්චි යක්ෂා වේෂ විය.

“බොල ගෙරියා තෝ මොන දිසාපතියෙක් ද බොල? මං කව්ද කියල තොට අමතක වුණාද මූසලයෝ?” කියමින් ඔහු වෙත කඩා පනිද්දී පිරිස මැදිහත්ව අමාරුවෙන් සමතයකට පත්කර ගත්හ.

නාට්‍යය ආරම්භ විය. ප්‍රේක්ෂකයන්ගෙන් ශාලාව පිරී ඉතිරී තිබුණි. ගායන වාදන මධ්‍යයේ පුරා පැය දෙකක්, විවිධ චරිත ඉතා සාර්ථක ලෙස ළගන්නා ස්වරූපයෙන් නිරූපණය කළ ගුරු සිසු පිරිස ‘සියවසරයි නවෝදයයි’ නාට්‍ය නිර්මාණය අත්පොළසන් හඬ මැද සමාප්ත කළහ.

විශිෂ්ට රඟපෑම් සඳහා අපේ විදුහල්පති ආරච්චිට ගෞරව සම්මානයක් හිමිවිය. සම්මානය ලබාගත් එතුමා කලබලයෙන් පන්ති කාමර පිරික්සනවා දුටු ‘පොතේ ගුරා ලෙස රඟපෑ ස්ටීවන් ඉස්කෝලෙ මහතා

“මොනවද ලොකු මහත්තය හොයන්නෙ?”

“කෝ ඕකා! දිසාපති ගුරා?” එතුමා කෝපයෙන් ගෝරනාඩු කරමින් ඔහු දෙසට හැරුණේය.

“ඒ ඉලංදාරිය නාට්‍ය ඉවුර වුණු ගමන් දිසාපති ඇඳුම් පිටින්ම බයිසිකලේක නැගල ඉගිල්ලුණා... තොප්පියත් ඔළුවේ”

“එහෙමද?” දිග සුසුමක් පිටකළ අපේ විදුහල්පති තුමා මහපාර දෙස බලා යෂ්ටිය ඔසවා වේගයෙන් බිමට ඇන්නේය. 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.