දැයෙන් සමුගත් දේශපාලන කරළියේ පෙරළිකාරිය රේණුකා හේරත්

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකාවක ද හිටපු සෞඛ්‍ය හා වනිතා කටයුතු ඇමතිනියක හා මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායිකාව ද වූ රේණුකා හේරත් රණවීර මහත්මිය පසුගියදා සදහටම දැයෙන් සමුගෙන නික්ම ගියාය.

එක්සත් ජාතික පක්ෂ දේශපාලන කරළියේ අමරණීය මතක සටහන් රැසක හිමිකාරිය වන රේණුකා හේරත් දේශපාලන පොර පිටියේ පෙරළිකාරියක් වූවාය.

සුන්දර නුවරඑළියේ ජන්ම ලාභය ලැබූ ඇයගේ පියා විදුහල්පතිවරයකු වූ බී.ඩී.එම්. හේරත් මහතා වන අතර, මව සෝමාවතී මුතුමැණිකේ මහත්මියයි. සහෝදර සහෝදරියන් සිව්දෙනකුගෙන් යුත් පවුලක ඇය තෙවැනියාය. පදියපැළැල්ල මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඇය මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් හා පොරමඩුල්ල මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළාය. ගුරුවරියක ලෙස සේවය කරන කාලයේ ගුරු මාරුවීම් 13ට ලක් වූවාය. පදියපැළැල්ල මහා විද්‍යාලයේ ගුරුවරයකු වූ විමල් බණ්ඩාර රත්නවීර මහතා සමඟ 1982 වසරේ යුග දිවියට පිවිසියාය. මේ දෙපළගේ දියණිය හිරණ්‍යා දීප්ති හේරත් රණවීර යි.

බාහිර උපාධියකට හිමිකම් කියන රේණුකා හේරත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පක්ෂ සංවිධායිකාවක ලෙස ක්‍රියාකාරී දේශපාලනයට එක් වූයේ ගුරුවරියකව සිටි යුගයේ සිටමය. හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා යටතේ 1977 දී ශ්‍රී ලංකාවේ ප්‍රථම දිසා ඇමැති (නුවරඑළිය) පදවියට ඇය පත් වූයේ ජාතික අධ්‍යාපන සේවක සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක වලපනේ කොට්ඨාසයේ ලේකම් හා සංවිධායක වශයෙන් කරන ලද‍ සේවය වෙනුවෙනි.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති පාලන සමයේ නියෝජ්‍ය සංස්කෘතික ඇමැති ධුරයටද ඇය පත් වූවාය.

රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිනිය ලෙසද රේණුකා හේරත් විශාල කාර්යභාරයක් ඉටු කළාය. 1989 ‍සෞඛ්‍ය හා වනිතා කටයුතු ඇමතිනී ලෙස අමාත්‍ය මණ්ඩලයට එක්වූ ඇය, 1977 සිට 2010 දක්වා වසර 23ක් පාර්ලිමේන්තුව නියෝජනය කළාය. 1999 දි විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නැයි ඉල්ලා පැවැත්වූ රැළිවලට සහභාගිවීම හේතුවෙන් වතුර ප්‍රහාරවලට ලක්වීමට ද ඇයට සිදුවිය. එක්සත් ජාතික පක්ෂය ගොඩනැංවීමෙහිලා කැපවීමෙන් කටයුතු කළාය.

සෞඛ්‍ය හා වනිතා කටයුතු ඇමැතිනිය ලෙස, කාන්තාවන්ගේ පෝෂණය ජීවන තත්වය, නඟා සිටුවීම හා අයිතිවාසිකම් උදෙසා ඇය කැපවීමෙන් ක්‍රියා කළාය. ලක්වනිතා පෙරමුණේ සභාපතිනිය ලෙස, කාන්තා පරපුරේ ප්‍රගමනය උදෙසා විවිධ වැඩසටහන් දියත් කරමින් පෙරමුණ ගත්තාය.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මධ්‍යම පළාත් සභාවට තේරී පත්වීමෙන් පසුව රේණුකා හේරත් මහත්මිය මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායිකාව ලෙස මියයන තෙක්ම එම ධුරයේ කටයුතු කළාය.

පසුගිය (16) බ්‍රහස්පතින්දා වලපනේ, නිල්දණ්ඩාහින්න මහජන ක්‍රීඩාංගණයේදී දැයෙන් සදහට ම සමුගෙන නික්ම ගියද දියත දිනූ කතක් වූ රේණුකා හේරත් රත්නවීර නාමය ජනතා හදවත්හි සදාතනික මතකයන් වනු නො අනුමානය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.