නෙළුම් විල

දතක මහිම

ඒ පෞද්ගලික රෝහලක ආපනශාලාවයි.

වෛද්‍යවරයා මුණ ගැසීමට තවත් හෝරාවක් පමණ රැඳී සිටීමට සිදුව තිබූ බැවින් මා බිරියත්, මමත් එහි හුදෙකලා තැනක හිඳ සුළු යමක් අහරකොට ගනිමින් සිටියෙමු.

හිටි අඩියේ ම කහ සිවුරු දෙකක් දිස් වූයෙන් මම විපරම් කොට බැලුවෙමි.

තරුණ හිමිවරු දෙනමක් ආපනශාලාවට පැමිණ සිටිති.

එක් නමක් හොඳට ම ළා බාලය. අනෙක් නම ඊට තරමක් මේරූ පාට ය. දෙදෙන යමක් ගැන කසුකසු ගානු ද පෙනිණ.

භික්ෂූන් දෙන ම එහි ආ බව ආපනශාලා අයකැමි නොදත්තේ ය. දෙනම ගේ අවශ්‍යතාව කුමක්දැයි විමසීමට පවා කිසිවෙක් නාහ.

මට අපහසුවක් ඇති විය. එහෙයින් මම අයකැමි වෙත ගොස් භික්ෂූන් දෙනමක් පැමිණ සිටින බවත්, උන්වහන්සේලාගේ අවශ්‍යතා මොනවාදැයි සොයා බලන හැටියටත් ඉල්ලීමි. එහෙත් ඔහුට සිය කටයුතු ඊට වඩා ‍ලොකු විය.

ඉවසිය නො හැකි තැන මම භික්ෂූන් වෙත ගියෙමි.

‘අවසරයි හාමුදුරුවනේ, මොකක්ද කෙරෙන්ඩ ඕනැ. කැන්ටිමේ කවුරුත් හාමුදුරුවො ගැන හොයා නොබලන හින්දයි මම මේ ආවෙ’ මම කීමි.

දෙන ම මට කෘතඥ වන බව පෙනිණ. එහෙත් වුවමනාව කීමට මදක් අදිමදි කරනු දැනිණ.

‘කිසිම ප්‍රශ්නයක් නෑ හාමුදුරුවන්ට අවශ්‍ය දේ කියන්ඩ!’ මම ඉල්ලමි.

‘මේකයි මහත්තයො ප්‍රශ්නෙ’ යි කියමින් මේරූ පාට හිමිනම මවෙත හැරුණේ ය.

‘ඔව් කියන්ඩ හාමුදුරුවනෝ, පුළුවන් ඕනෑ ම දෙයක් මං කරන්නං’

‘මහත්තයො, අපි දෙන්න ආවෙ හුඟක් ඈත ඉඳල. මේ හාමුදුරුවන්ට අසනීපයක් ති‍ෙයනව. දොස්තර මහත්තයත් තාම ඇවිල්ල නෑ. අපි උදෙන් ම ආපු හින්ද උදේට යමක් වළඳලත් නෑ. දවල්ටත් නෑ. මට කෙසේ වෙතත් මේ හාමුදුරුවො රෝගී නිසා මුන්වහන්සේට මොනව හරි කන්ඩ ඕනැ. නැත්තං අප්‍රාණික වෙනව. ලෙඩේ තවත් වැඩි වෙනව....’ හාමුදුරුවෝ ප්‍රශ්නයේ මුල පැහැදිලි කළ හ.

‘දැන් මට තේරෙනව හාමුදුරුවනේ. මෙහෙම වාඩි වෙන්ඩ! මං ගිහිල්ල වළඳන්ඩ සුදුසු දෙයක් තියනවද කියල බලාගෙන එන්නම්.’

‘හොඳයි’ කියමින් දෙන ම අසුන් ගත් හ. මම කැන්ටිමේ ඇති ආහාරපානාදිය හොඳින් නිරීක්ෂණය කර ආපසු ආවෙමි.

‘හාමුදුරුවනේ කෙටි කෑම වර්ග තමයි තියෙන්නෙ. රසකැවිලිත් ටිකක් වගේ තියනව. කෙටිකෑම වර්ගයක් දෙකක් ගේන්ඩද?’

හාමුදුරු දෙන ම පිළිතුරක් නොදී මොහොතක් ම දෙස බලා සිටිය හ.

‘ඇයි හාමුදුරුවනේ? බඩගින්නට මොනව හරි කන්ඩ එපායැ.’

‘බත් ටිකක් කෑවොත් හොඳයි. බත් නැද්ද?’

මම වහා ආපසු ගියෙමි. ආපනශාලාකරුට හිමිවරුන්ගේ අවශ්‍යතාව කීමි.

‘නෝමල් බත් නෑ. තියෙන්නෙ ෆ්රයිඩ් රයිස්’ ඔහු කීවේ ය.

මම පෙරළා හිමිවරුන් වෙත පැමිණ ඒ බව කීමි.

‘බත් ටිකක් ම කෑවනම් තමයි හොඳ’ මේරූ හිමියෝ කීහ.

මම නැවත ආපනශාලාව හිමිකරු කරා ගොස් අවශ්‍යතාව කියා තැනට සුදුසු හැටියට ෆ්යිඩ් රයිස් දෙකක් සරල කර හදවා ගෙන හිමි දෙන ම වෙත ගෙන ගියෙමි.

‘හාමුදුරුවනේ, වෙලාවෙ හැටියට මේක වළඳන්ඩ! මොනව හරි කන්ඩ එපෑ. බඩගින්නෙ ඉන්ඩ බෑනෙ. මේවට මුදල් මං ගෙවනව. දැන් ඉතින් සැනසිල්ලෙ වලඳන්ඩකො’ කියා මම බිරිය ළගට ගියෙමි.

හාමුදුරුවරුන් එය වළඳනු අපට පෙනිණ.

මා බිරිය එදෙස බලා සිටියේ සැදැහැ සිතිණ.

‘ඔයා අදත් පිනක් කර ගත්ත’ ඇය මට කොඳුළා ය.

‘පොඩි පොඩි පින්කම්වල බලය එකතු වෙලා ලොකු බලයක් ගොඩනැගෙයිනේ. ඒ බලයෙන් හරි ඔයා ඉක්මනට සනීප වේවිනේ’ මම කීමි. ඇය කිසිත් නොදොඩා මා අත අල්ලා ගත්තා ය.

ඒ සංසාරගත මුදු පහසින් මම තුටු වීමි.

අනන්‍යතාව හෙළි කිරීමට අකැමැති පාණදුර ප්‍රදේශයේ සිළුමිණ පාඨකයකු විසින් යොමු කරන ලද සටහනක් ඇසුරෙනි.

පැන් පොද

නිතර වැහි ලැබ හරිත පෑයෙන් බැබළුණු හොරණ පෙදෙස වේළෙමින් තිබිණි.

‍නෙතු රවටමින් ආ ගන කළු වලාවෝ වියළි හුළ‍ඟේ නෙතු මානයෙන් ඈතට පාව ගියෝ ය.

මම වත්ත පහළට ගියෙමි.

හරිත පෑයෙන් දිස්වන්නේ පුරන් කුඹුරු යාය පමණි. එය නෙතට රසඳුනක් සේ ය.

වෙල් යායේ ගවයන් ලැගි වළවල් ද සිඳී ගොසිනි. උඩහඳයන්ට, වැලිගොව්වන්ට, කාවයියන්ට සිදු වූ දෙය හිතා ගැනීම පවා අපහසු ය.

මිනිස් කටහඬක් නෑසෙන ගාන ය. ඇසෙන්නේ කුරුලු කූජනය ම පමණි.

‘කොහොමද මෙහෙ ඉන්නෙ?’ නගරයෙන් එන ඥාතීහු මගෙන් අසති. එවිට මම සිනාවෙන් පමණක් පිළිතුරක් දෙමි.

මම ගම්මිරිස් පැළවලට වතුර දමන්නට වීමි. ඒවා ඉකුත් මාසයේ ගෙවතු වගා වැඩසටහනකදී මා ලද පැළ ය. සියයක් ලදිමි. දැන් වැඩෙමින් තිබේ.

බාල්දි කළගෙඩි රැගෙන වෙල් නියරක යමින් සිටි ගම්මු කිහිපදෙනෙක් මා දැක නැවතුණ හ.

‘ආයිබෝං මහත්තය, පැළවලට දාන්ඩත් වතුර තියනවද?’ ඔවුන් ඇසුවේ තරමක පුදුමයෙනි.

‘පහුගිය කාලෙ මහ වැහි වහිනකොට මං වහලෙ පීල්ලට බටයක් හයි කරල ලොකු ටැංකියකට වතුර පුරෝ ගත්ත. ඒව තමයි මේ!’ මම පැහැදිලි කළෙමි.

‘අපූරු වැඩක් නොවැ’ කෙනෙක් පුදුමය පළ කළ හ.

‘මහත්තයගෙ ළි‍ඳේ වතුර තියනව ද?’

‘ඔව්’

‘ඇත්තට? අපි මේ බොන්ඩ වතුර නැතුව විඳින වදයක් බලන්ඩකො! මුළු ගමේ ම වගේ ළිං හිඳිල! මහත්තයට වතුර හිඟයක් නැත්තෙ කලින් ආත්මවල ලෝබ නැතුව වතුර දීල තියන හින්ද ‍වෙන්ඩ ඇති’

‘මේ ආත්මෙත් එහෙම්ම ම තමයි. අර බලන්ඩකො අර වතුර මෝටර ගෙයි කොන්ක්‍රීට් වහලෙ දිහා. බලන්ඩකො එතන තියන වතුර භාජනේ ළඟ ඉන්න කට්ටිය දිහා. කට්ටිය වතුර බිබී නාගන්න දිහා.’

මම අත දිගු කොට ඉහළ පෙන්වීමි. පිරිස ඒ දෙස නෙතු යොමු කළ හ.

කොණ්ඩ කුරුල්ලෝත්, දෙමළිච්චෝත් දිය බීමෙන් නොනැවතී එහි බැස පියා විදහා නාගනිති. උන් ගිය විගස තවත් රංචුවක් ඉගිළ එති. ඒ අතර මයිනෝ, ගිරවු, කොබෙයියෝ වෙති. හිටිඅඩියේ ම එහි කඩා වැදුණු කෑදැත්තෝ කිහිප දෙනා සෙස්සන් පසෙකට කර දිය බී පසෙක ඇති අහර ද බුදින්නට වූහ.

‘අපූරුයිනෙ මහත්තයගෙ වැඩේ!’

‘හවස්ජාමේ ඔතෙන්ට මොනරුත් එනව’ මම කීමි.

මේ සතුට මගේ ජීවිතයට අත්කර දුන්නේ මපියා ය. පියාගේ මඟ පෙන්වීම යටතේ මා මේ කටයුත්ත පටන් ගත්තේ නගරයේ විසූ පුංචි සන්දියේ ම ය. මදුරු උවදුර ගහන වූ ඉකුත් කාලයේ මේ කටයුත්ත තාවකාලිකව අත්හැර දැමුවෙමි. එහෙත් දැන් භාජනය දිනපතා පිරිසිදු කර එහි ඇල්දිය පුරවමි.

‘පහුගිය කාලෙ වතුර නැතුව කුරුල්ලො හුඟක් විනාශ වුණා කියල අන්තර් ජාලෙත් තිබුණ. මිනිස්සුන්ට වගේ ම සත්තුන්ටත් වතුර නැතුව බෑ’ මම පැහැදිලි කළෙමි.

‘ඒක තමයි ඕව පින් අතේ වැඩ. අපි යන්නං මහත්තයො’

‘ඔයගොල්ලො වතුර ගේන්ඩ දුර යන්ඩ ඕනැ නෑ. අපේ ළි‍ඳෙන් අර ගන්ඩ!’ මම කීමි.

එ වදන් ඔවුන් සවන මත ලූ මධු ගීයක් මෙන් විය. මුහුණු පෙළ සතුටින් පිරී ගියේ එබැවිනි.

ම සිත ඊට වඩා ලොකු සතුටකින් පිරී ගියේ ය.

හඳපාන්ගොඩ, ප්‍රදීප් සමරසිංහ මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.