පංච මහා බොරු !

ක්ලෝඩියස් ටොලමිගේ ඉපැරැණි ජ්‍යොතිෂ ආප්තයන් හෙවත් නක්ෂත්‍ර සිද්ධාන්ත පිරික්සන විට පුදුමාකාර දේවල් හමුවෙයි. ඒ ඇතැම් ඒවා අභිරහස් ය. තවත් ඒවා හාස්‍යජනක ය. ඒ දෙකට ම අයත් නොවන ඒවා අතර එකල සමාජයේ පැවති පුරාවෘත්ත ද විශ්වාස සහ ඇදහීම් ද අරුමය උපදවන ජීවන තොරතුරු ද දක්නට ලැබෙයි. එයින් එකක් පිළිබඳ සූත්‍රයක් පහත දැක්වෙයි. බටහිර ජ්‍යොතිෂයට රාහු සහ කේතු යන ග්‍රහයන් දෙදෙනා එකතු කර ගත්තේ ඉතා මෑතකදී ය. North Node / South Node හෝ Dragons Head / Dragons Tail යනුවෙන් එය දැක්වෙයි. එහෙත් ක්‍රිස්තු පූර්ව 06 වැනි සියවසටත් එහා කාලයේ සිට ග්‍රීසිය සහ පුරාණ මිසරය වැනි රටවල පැවති ජ්‍යොතිෂයේදී රාහු සහ කේතු යන ග්‍රහයන් දෙදෙනා භාවිතයට ගත් බවට පැහැදිලි සාක්ෂි තිබේ. ටොලමිගේ පුරාණ ආප්තවල රාහු ග්‍රහයා Caput ලෙස ද කේතු ග්‍රහයා Cauda ලෙස ද දක්වා තිබේ. මෙහි මතු දැක්වෙන්නේ රාහු සහ කේතු සම්බන්ධ කැර ගත් හරි අපූරූ සූත්‍රයකි.

1. E/A + caput ( a) /(f) = ?

2. E + jupiter(-e /-a ) = ?

3. E + mercury saturn (-e /a)= ?

4. E + caput mercury saturn ( e / a ) = ?

5. A + caput mercury ( a / -e) = ?

ඉහත දැක්වෙන සූත්‍ර පංචකයෙන් පොදුවේ කියැවෙන්නේ පංච මහා බොරුකාරයන් ගැනයි. ඒ පිළිබඳව සරල කෙටි විස්තරයක් මෙසේ දැක්විය හැකිය.

1. භාව කේන්දරයේ දෙවැන්න පඨවි හෝ වායු ( වෘෂභ කන්‍යා මකර මිථුන තුලා කුම්භ ) බලයෙන් යුක්තව තිබියදී රාහු ග්‍රහයා එහි වායු හෝ ගිනි ක්ෂූද්‍ර සූක්ෂ්මස්ථානයක පිහිටීම.

2. භාව කේන්දරයේ දෙවැන්න පඨවි ( වෘෂභ කන්‍යා මකර ) බලයෙන් යුක්තව තිබියදී දුබල ගුරු එහි පඨවි හෝ වායූ ක්ෂූද්‍ර සූක්ෂ්මස්ථානයක පිහිටීම.

3. භාව කේන්දරයේ දෙවැන්න පඨවි බලයෙන් යුක්තව තිබියදී එහි පඨවි හෝ වායූ ක්ෂූද්‍ර සූක්ෂ්මස්ථානයක බුධ සහ සෙනසුරු දුබලව සංයෝග වී සිටීම.

4. භාව කේන්දරයේ දෙවැන්න පඨවි බලයෙන් යුක්තව තිබියදී එහි පඨවි හෝ වායූ ක්ෂූද්‍ර සූක්ෂ්මස්ථානයක රාහු සහ බුධ සංයෝග වී සිටීම.

5. භාව කේන්දරයේ දෙවැන්න වායූ ( මිථුන තුලා කුම්භ ) බලයෙන් යුක්තව තිබියදී රාහු සහ බුධ එහි වායු හෝ පඨවි ක්ෂූද්‍ර සූක්ෂ්මස්ථානයක සංයෝගව සිටීම.

ඉහත සඳහන් කළ ආකාරයේ ග්‍රහ පිහිටීමක් යම් පුද්ගලයකුගේ ජන්ම කේන්දරයේ දක්නට ලැබේ නම් ඔහු පංච මහා බොරුකාරයන් අතරට වැටීමට බෙහෙවින් ම ඉඩ තිබේ. සමස්තයක් වශයෙන් ගත් කළ බොරු සඳහා පඨවි සහ වායු රාශීන් ද රාහූ සහ බුධ ග්‍රහයා ද සම්බන්ධවන බැව් පෙනෙයි. ගුරු ග්‍රහයාගේ දුබල පිහිටීම සහ සෙනසුරු ග්‍රහයා දුබලව බුධ සමඟ සංයෝග වීම ද ඒ සඳහා ඇති තවත් හේතු දෙකකි.

බොරු පට්ට බොරු ගජබින්න කෙබර පච ගල් පැලෙන බොරු ආදී වශයෙන් සිංහල බසින් බොරු සඳහා විවිධ විශේෂණ යොදා තිබුණත් ටොලමි අදහස් කරන පංච මහා බොරුවලට ඒ කිසිවක් සමාන නොවෙයි. මේ සිංහල යෙදුම් සියල්ලම යාන්තමට හෝ ගෑවී යන්නේ පංච මහා බොරුවලින් එකකට පමණි. ' බොරුවට වැඩි ආයුෂ නෑ .. ' යනුවෙන් එන සිංහල කියමන නිසාදෝ අපේ මිනිසුන් අතර පංච මහා බොරු පිළිබඳව උනන්දුවක් නොතිබුණා වන්නට ද පුළුවන්. ඇත්ත නැත්ත කිරීම. නැත්ත ඇත්ත කිරීම. තමා නොදන්නා දේ දන්නවා ලෙස හැඟවීම. කළ දේ නොකීම සහ නොකළ දේ කළ බව කීම. කට ඇරියොත් බොරු කීම. අනෙකාට රිදවීමට හෝ වංචා කිරීමට බොරු කීම. බොරු තර්ක කිරීම. දුටු දේ නොදුටු බව හෝ ඇසූ දේ නෑසුණු බව හෝ නොදුටු දේ දුටු බව හෝ නෑසූ දේ ඇසූ බව කීම යනාදී වශයෙන් අපට සාමාන්‍ය ජීවිතයේදී බොරු කරන ස්ත්‍රීන් සහ පුරුෂයන් කොතෙකුත් දක්නට ලැබේ. කෙසේ නමුත් ටොලමි විසින් අදහස් කරනු ලබන පංච මහා බොරු මොනවාදැයි සාධාරණ ලෙස පරිවර්තනය කිරීමට ප්‍රමාණවත් සිංහල වචන සොයා ගැනීම ඉතා දුෂ්කරය. එහෙයින් ඒවායේ අර්ථ පමණක් විස්තර කිරීමට සිදුවෙයි.

1. ලෝකය සහ සත්ත්ව සම්භවය පිළිබඳව යථාභූතව නො දැන එහෙත් සර්වඥතා ඥානය ලැබූවකු ලෙස බොරු දේශනා පැවැත්වීම. මෙය ඇදහිලි සහ විශ්වාසයන් සමඟ ද විද්‍යා ශාස්ත්‍ර කලා ශිල්ප සමඟ ද මතිමතාන්තර සහ දර්ශනවාද සමඟ ද ඍජුවම සම්බන්ධ වෙයි.

2. තමා ප්‍රායෝගිකව නො දන්නා සහ භාවිතා නොකරන දේ ප්‍රත්‍යක්ෂයෙන් දන්නා බව හඟවමින් අන් අයට නිර්දේශ කිරීම. තමා ප්‍රායෝගිකව භාවිතා කරමින් සිටියදී එය ප්‍රත්‍යක්ෂයෙන් දැන සිටියදී ඒ බව වසං කොට අන් අයට එකී අවස්ථාව අහිමි කිරීම සඳහා එය ඵල රහිත යැයි බොරු කීම.

3. තමා ප්‍රත්‍යක්ෂ ලෙස ම නොදන්නා දේ දන්නා බවට තර්ක කිරීම. එළඹගත් මතය හරි හෝ වැරදි බව දැන හෝ නො දැන හෝ එය සත්‍යයක් බව කීමට බොරු තර්ක ඉදිරිපත් කිරීම.

4. සහජයෙන්ම උරුම වූ අඥාන හෝ ප්‍රඥා හීන හෝ ස්වභාවය හේතුකොට ගෙන නොදැනුවත්බව නිසාම බොරු කීම.

5. පුරුද්දක් ලෙසම බොරු කීම. අනෙකා වංචාවට හෝ ප්‍රයෝගයට ගොදුරු කිරීමට දෙයක ඇති ගුණ නුගුණ ලෙස දැක්වීම හෝ ඇති නුගුණ ගුණ ලෙස දැක්වීම හෝ ඇති පමණට වඩා අතිශයෝක්තියෙන් හෝ අවතක්සේරුවෙන් හෝ බොරු කීම. කිසිදු හේතු ප්‍රත්‍යයක් හෝ සාධකයක් නැතිව දෙයක් පිළිබඳව බොරු කීම.

ඉහත කී පංච මහා බොරුවලින් නරක ම එක නම් අංක 01. ලෙස සඳහන් කළ බොරු වර්ගය බව පවසන ටොලමි සමාජයට අති මහත් හානියක් සිදු කිරීමට ඒ බොරුව හේතුවක්වන බවත් කියා තිබේ. කෙසේ නමුත් ඉහත දක්වන ලද ආකාරයේ පංච මහා බොරු අද අපට කොතෙකුත් දක්නට ලැබේ. පුදුමයකට මෙන් ක්‍රි.පූ. 6 වැනි සියවසේදී පුරාණ මිසරය සහ ග්‍රීසීය කේන්ද්‍ර කොටගෙන ලේඛනගත කෙරුණු ඒ පංච මහා බොරුවලට සමාන්තරව පුරාණ දඹදිව සහ පෙරදිග ලෝකය කේන්ද්‍ර කොටගෙන ද පංච මහා බොරු ලේඛනගත වී තිබේ.

ඒවා පිළිවෙළින් 1.මහ මුසා 2. උර්ධව මුසා 3.ජින්ත මුසා 4. තමක මුසා 5. ක්ෂූද්‍ර මුසා යනුවෙන් දක්නට ලැබේ. මේ කියන පංච මහා බොරු සහ ටොලමිගේ ආප්තයන්හි සඳහන් වන පංච මහා බොරු අතර ඇති සමානකම් හෝ වෙනස්කම් විමසා බැලීම වියතුන් සතු කාරියකි. ඔබේ කේන්දරයේත් පෙර දක්වන ලද ග්‍රහ පිහිටීම් තිබේ නම් පංච මහා බොරුකාරයකු බවට පත් නොවී සිටීමට ඔබට උත්සාහ කළ හැකිය. යම් පුද්ගලයකු පෙර කී ලෙස බොරුවෙන් රටත් ලෝකයත් මුලා කරමින් සිටින්නේ නම් ඔහුගේ කේන්දරයේ නිසැකයෙන් ම රාහු බුධ යන ග්‍රහයන් දෙදෙනා නරකට පිහිටා ඇතැයි උපකල්පනය කළ හැකිය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.