වම් කකුල පණ තියෙනතාක් මං නටනවා-ඇන්ටන් චාල්ස්

‘යූත් විත් ටැලන්ට්‘ ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ රියැලිටි වැඩසටහන ඔබට අමතක විය නොහැකිය. වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නැරඹූ රියැලිටි වැඩසටහන බවට වාර්තාගත වූ එහි ජයග්‍රාහකයන් තෝරා ගත්තේ පසුගිය 4 වැනිදාය. එහි අවසන් වටයට එක් වූ තනි කකුලේ නර්තන ශීල්පියා ද ඔබ පුදුමයට පත් කළාට සැක නැත. පුංචි පුංචි දේවල්වලින් සිත රිදවාගෙන දැඩි ලෙස පසු බසින අප ගැන දෙවරක් නොව තුන් හතර වතාවක් සිතා බැලීමට මෙන්ම ලජ්ජා වීමට තරම් කරුණු ඔහු අපට සපයයි. විභාග ප්‍රතිඵල අඩු වීම නිසා හෝ පෙම් හබයක් නිසා සිය දිවි නසා ගන්නට තරම් බොළඳ වන ඇතැමුන් හට මේ කතාව ජීවිතය පිළිබඳ නව පිබිදීමක් ඇති කරනු නොඅනුමානය.

ඇන්ටන් චාල්ස් ඉපදුණේ වන්නි ප්‍ර ‍ෙද්ශයේය. පුංචි කාලේ පටන් නර්තනයට ඇලුම් කළා පමණක් නොව ඔහු පාසල් සමයේ ඔහු නර්තනයේ ද යෙදුණේය. ඊට අමතරව පාපන්දු ක්‍රීඩාවටද චාල්ස් දස්කම් පෑවේය. දරුවන් සත් දෙනකුගෙන් යුත් පවුලේ තුන්වැනියා වූ ඔහුට අක්කා කෙනකුද විය.

දිනක් ආරංචි වූයේ අක්කා අතුරුදන්ව ඇති බවයි. ඒ දුක කෙසේ හෝ වවාගෙන සිටයදී 2009 දිනක ඔහුට ශෙල් ප්‍රහාරයකට මුහුණ දෙන්නට විය. එහි ප්‍රතිඵලය වූයේ මෙතෙක් නැටුමට මෙන්ම පාපන්දු ක්‍රීඩාවට යොදා ගත් ඔහුගේ දෙපයින් දකුණු කකුල අහිමි වී යෑමයි.

මෙය කෙසේ කොතැනකදී සිදු වී දැයි මතක් කිරීමට ඔහු මැළි වුවද තිත්ත ඇත්ත වූයේ එයය. තිස් වසරකට ආසන්න කාලයක් පුරා පැවැති ත්‍රස්තවාදයේ කුරිරුකම් උතුරට බලපෑ ආකාරයට එක් උදාහරණයක් චාල්ස් සපයන්නේ ඒ අයුරිනි. ජීවිතයේ සියලු බලාපොරොත්තු අතහැර දමන්නට චාල්ස් තීරණය කළේය. මින් මතු කෙසේ නර්තනයක යෙදෙන්නද, පාපන්දු ගසන්නද? කුමන රැකියාවක් කරන්නද? ඔහුට නිනව් නැත.

“මට ජීවිතේ එපා වෙලා හිටියේ. මම මොනවා කරන්නද කකුලකුත් නැතුව?“

යාපනේ නාවන්තුරෙයි ප්‍රදේශයේ පදිංචියට ගිය චාල්ස්ගේ පවුලේ අම්මා තාත්තා ඇතුළු සහෝදර සහෝදරියන් පස් දෙනකුගේ බඩ කට පුරවන්නට වගකීම ඇත්තේද චාල්ස්ටමය. ඒ නිසා ඔසුසලක සේවයට ගියද ඔහුට වැඩි වේලාවක් තනි කකුලෙන් සිටගෙන සිටිමින් ඒ රාජකාරියේ යෙදීම මහත් වේදනාකාරී විය. එයට හේතුව ෂෙල් ප්‍රහාරයට ලක් වද්දී ඇති වූ දැඩි තුවාල නිසා වම් කකුලේද හිරි ගතියක් නිතර පැවතීමයි. දුප්පත්කම බඩගින්නට එරෙහිව අවි අමෝරා නැඟිටින විට ඔහු කුමක් හෝ ඒ වෙනුවෙන් කළ යුතු වූ බැවින් ගරාජයක යතුරු පැදි වර්ණ ගැන්වීමේ රාජකාරියට ඔහු පුරුදු විය.

ත්‍රස්තවාදය පරාජය වී සාමයේ රුවන් දොරටු විවර වුවද චාල්ස්ගේ අනාගතය ගැන ඔහුට විශ්වාසයක් නොවීය.

“ඔහොම ඉද්දී මට තරුණ සේවා නිලධාරියෙක් කීවා අයිටීඑන් එකයි තරුණ සේවා සභාවයි සංවිධානය කරන ටැලන්ට් ෂෝ එකට එන්න කියලා.

මුලින්ම මට නිකන් විකාර කතාවක් වගේ ඒක දැනුණේ. මම මොනවගේ ටැලන්ට් එකක්ද පෙන්වන්නේ. ඒත් මගේ යාළුවොත් මාව ධෛර්යවත් කළා මේ වැඩසටහනට සම්බන්ධ වෙලා නැටුම් ඉදිරිපත් කරන්න කියලා. ඒ නිසා මම යාපනේ තිබුණු තරගෙට සහභාගී වුණා. ඒ තරගෙන් තේරුණු 10 දෙනා අතර මමත් හිටියා. ඒත මට ඒක ලොකුවට දැනුණේ නෑ.“

චාල්ස් කොළඹ එන්නේ තමන්ගේ ඒ නර්තන හැකියාවත් සමඟය. එක් තරගකරුවකුට ඇත්තේ මිනිත්තු තුනක් පමණක් බවවත් ඔහු දැන සිටියේ නැත. ඔහු විනාඩි 6ක ගීතයක් සූදානම් කරගෙන සිටයේය. දෙමළ බස පමණක් හුරු ඔහු බොහෝ දේවල් අසා ගත්තේ තම මිතුරන්ගෙනි. මුල් වටවලදී ඔහු නැටුම් ඉදිරිපත් කළේ සමබරතාවද නැතිවය.

“පුහුණුවීම්වලදීත් මට හිතුණා මම නටලා මොනවා කරන්නද කියලා. ඒත් විනිශ්චය මණ්ඩලෙන් හොඳ කීවාම මට ධෛර්යයකුත් ආවා.“

විනිසුරු මඩුල්ලේ සිටි ජනප්‍රිය ගායක රූකාන්ත ගුණතිලක පවසා තිබුණේ වැඩි මහන්සියක් නොවී ග්‍රෑන්ඩ් බසර් එකට සූදානම් වෙන්න කියාය. ප්‍රවීණ නර්තන ශිල්පී චන්න විජේවර්ධන අසුනෙන් නැඟිට පවසා තිබුණේ අංග චලනය, වේදිකා භාවිතය හා ජවය හොඳින් ඇති බැවින් චාල්ස් වත්මන් නර්තන ශිල්පීන්ට ආදර්ශයක් බවයි.

“ මේ දේවල් දැනගත්තාම මට මගේ හැකියාව ගැන යම් විශ්වාසයක් ඇති වෙන්න ගත්තා. මම අවසන් වටයේ ගීතවලට තෝරා ගත්තෙත් තනි පයින් හෝ ජීවිතයට මුහුණ දෙන්න ශක්තිය තිබිය යුතුයි කියන තේරුම ඇති ගීත.“

ඔහු හැඟුම්බරව කීවේය.

බිතු සිතුවම් රූමෙන් පිටු නොපාන මිතුරන් පිරිසක් චාල්ස්ට සිටීම ඔහුට කකුල් සියයක ශක්තිය ගෙන ආවේය. කිසිදු හේතුවක් නිසා මනසින් ඇද වැටීමට ඉඩ නොදුන් මිතුරෝ චාල්ස්ගේ අවසන් වටයේ නර්තනය දක්වා ඔහුගේ චිත්ත ධෛර්යය වඩවමින් ඔහු සමඟම සිටියහ.

“ටිකෙන් ටික මට හිතුණා දිනන්නත් පුළුවන් වෙයි කියලා. මම හිතුවා පළමුවෙනි පස් දෙනා අතරට නම් එයිමයි කියලා. කොහොම හරි මම අවසන් වටයේ 11 අතරට ආවා. යාළුවෝ නම් හිතුවේ මම තුන් වෙනියා වත් වෙයි කියලයි. ප්‍රතිඵල කීවාම ඒ අය මාව වට කරගෙන ඇඬුවට මට දුක හිතුණේ නෑ.“ ඔහු කිසිදු සසල වීමකින් තොරව අපට කීවේය.

ඔහුගේ දස්කම් දුටුවන් ඔහුට කකුලක් ප්‍රදානය කර තිබුණත් ඒ කකුල පැලඳ නර්තනයේ යෙදීම වේදනාකාරී නිසා ඔහු තනි කකුලෙන්ම සියලු අංගවලට පෙනී සිටියේ අසීමිත මානසික ශක්තියකිනි.

ස්වාධීන රූපවාහිනිය හා ජාතික තරුණ සේවා සභාව චාල්ස් වැනි තවත් අය හඳුනාගෙන තිබුණි. අප සංහිඳියාව ගැන සිහින ලෝකවල සිට කතා කරද්දී එම ආයතන එක්ව එය සැබෑ ලෝකයේ යථාර්ථයක් බවට පත් කොට හමාරය.

යූත් විත් ටැලන්ට් දෙවැනි අදියරේදී එය තවත් ඉදිරි පිම්මක් ගනු ඇති බව විමසිල්ලෙන් බලන්නෙකුට ඉතා පැහැදිලිව පෙනේ.

දුප්පත්කම, භාෂාව, ජාතිය, ආගම, උපන් ප්‍ර‍ෙද්ශය මේ කිසිවක් මිනිසකුගේ හැකියාවට හා ධෛර්යයට බාධාවක් නොවේ. සැබෑ සංහිඳියාව වන්නේ ඒ සියල්ලන් හට සම සිතින් සැලකීම පමණි. ඇන්ටන් චාල්ස් ඒ සංහිඳියාවේ සෙවණ භුක්ති විඳි අයුරු ඔහුගේ වචනවලින් හෙළි කළේ මෙසේය.

“ගෙදරක කුණු වගේ මුල්ලකට විසි වෙලා හිටිය මට මේ ‘යූත් විත් ටැලන්ට්‘ රියැලිටි ෂෝ එක නිසා අලුත් දොරටු ඇරුණා, අලුත් අරමුණක් ඇති වුණා. මම යූත් ටීවී, වසන්තන් ටීවී, අයිටීඑන් නාලිකාවල තවදුරටත් නැටුම් ඉදිරිපත් කරනවා. මට දැන් අරමුණක් තිබෙනවා. මම මගේ වම් කකුල පණ තියෙනතාක් නටනවා. අනිත් අය සතුටු කරනවා!“

අනුන්ගේ සතුට තමන්ගේ සතුට වන තරමට සිත වෙනස් කරගන්නට හැකි වූ චාල්ස්ගේ ජීවිත කාලය පුරාම වම් කකුලේ ආධාරය ඔහු වෙත පවතින්නටත් ඔහුගේ යහපත් අරමුණු එලෙසින්ම ඉටුවන්නටත් ‘සිළුමිණ‘ අපි සුබ පතමු. 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.