මාර්තු මස 08 වැනිදාට යෙදුණු ලෝක කාන්තා දින සැමරුම් උලෙළට සහභාගි වීම සඳහා තායිලන්තයේ 2016 වසරේ විවාහක රූ රැජන රායා ලුඑලායි මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණියා ය. කාන්තා කටයුතු ඇමැතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ ඇරියුමින් මෙහි පැමිණි ඇය මාතර පැවැති ජාතික කාන්තා දින සමරු උත්සවයට සහභාගි වූවාය. ඊට සමගාමීව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් මීරිගම පැවැති සැමරුම් උත්සවයට හා අම්බලන්ගොඩ පැවැති කාන්තා දින සැමැරුම් උත්සවවලටද ඕ සහභාගි වූවා ය. මේ අවස්ථා සියල්ලට 2016 වසරේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජගත් විවාහක රූ රැජන තරගාවලියේ දසවැනි ස්ථානය දිනාගත් චන්දි වීරකෝන් මහත්මිය ද සහභාගි වූවා ය. චන්දි සහ රායා යන දෙදෙනාම රූ රැජනන් ලෙස ඔවුනොවුන්ගේ රටවල කාන්තා ළමා සහ සමාජ සුබසාධන කටයුතු සඳහා තානාපතිවරියන් ලෙස කටයුතු කිරීමට බැඳී සිටිති. තායිලන්ත රෑ රැජන සිය ලංකාගමනය හා එහි අරමුණු පැහැදිලි කරමින් සිළුමිණ සමඟ සුවිශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර ඈ දැක්වූ අදහස් ඇසුරෙන් මේ ලිපිය සැකැසෙයි.
ඔබේ ශ්‍රී ලංකා සංචාරයෙහි අරමුණ කුමක්ද?
ශ්‍රී ලංකාවේ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා ලක් රජය හා කාන්තා කටයුතු අමාත්‍යාංශය ගෙන යනු ලබන වැඩපිළිවෙළට දායක වීම සහ කාන්තා දින සැමරුම් උත්සවයට සහභාගි වීම.
මෙරට වැඩසටහන්වලට ඔබේ දායකත්වය ලබා දෙන්නේ කොහොමද?
අපේ රට තාක්ෂණය අතින් පොහොසත් රටක්. එමෙන් ම අපේ කාන්තාවන් බොහෝ අත්කම් හා ශිල්ප ශාස්ත්‍ර දන්නා පිරිසක්. අපේ රට තුළ මෙන් ම විදේශ වෙළෙඳපළ ඉල්ලුමට සරිලන ආකාරයෙන් උසස් ප්‍රමිතියෙන් යුතුව සිය භාණ්ඩ නිෂ්පාදනය කරගන්නා හැටි ඇය දන්නවා. ශ්‍රී ලංකාවේ කාන්තාවන් ද බෙහෝ ශිල්ප ශාස්ත්‍ර දන්නවා. හොඳ නිෂ්පාදන කරනවා. ඒත් එතෙර වෙළෙඳපොළ ඉල්ලුමට සරිලන තත්ත්වයෙන් සිය භාණ්ඩ නිපදවීමට ඈ සතු දැනුම අඩුයි. ඒ දැනුම හා තාක්ෂණික පුහුණුව අපේ රටෙන් ලබා දෙන්නට මට සහයෝගය දක්වන්න පුළුවන්.
ඔබ වෘත්තියෙන් ව්‍යාපාරික කාන්තාවක්. ඔබ සතු ව්‍යාපාර මොනවාද?
‘රායා’ සන්නාමයෙන් නිපදවන කාන්තා අත්බෑග්, මැණික් හා ස්වර්ණාභරණ ඇතුළු කාන්තාවන්ට අවශ්‍ය භාණ්ඩ නිපැයුම් කම්හලක් සහ වෙළෙඳසල් ජාලයක් මා සතුව තිබෙනවා. තායිලන්තයට රෝල්ස් රෝයි වාහන ආනයනය කරවන ප්‍රධාන නියෝජිතයා ලෙස කටයුතු කරනවා. හෙට අනිද්දා මම මගේ ම සුපිරි පන්තියේ වෙළෙඳසලක් ඇරැඹීමට සූදානම් ඉන්නවා.
ඔබේ පවුලේ තොරතුරු බිඳක් පවසන්න
මෙග් සැමියා ගායි මැඩලින්. ඔහු එරට ප්‍රධාන පෙළේ ගෑස් සහ තෙල් අලෙවි ව්‍යාපාරයක හිමිකරුවෙක්. O.N Gas නම් වූ එයට මුල් කාලයේදී මමත් සම්බන්ධ වී සිටියා. මට 13 හැවිරිදි දියණියක හා 11 හැවිරිදි පුතෙකු සිටිනවා.
2016 දී ඔබ තායිලන්තයේ විවාහක රූ රැජන ලෙස තේරුණා. ඊට ඔබ යොමු කළේ කවුද?
මගේ මිතුරියක්. ඇත්තෙන් ම ඇය එරට රූප රාජනී තරග සංවිධායකවරියක්. දිනක් මා හමු වී ඇමෙරිකාවේ ෆ්ලොරිඩාහි පැවැත්වෙන 2016 ලෝක විවාහක රූප රාජනී තරගය සඳහා ඉදිරිපත් වෙන්නට කැමැති දැයි ඇසුවා. ඒ වනවිට මගේ රූපය ගැන එතරම් ඉහළ තක්සේරුවක් මා තුළ වූයේ නෑ. එහෙත් ඒ තරගයේදී සළකා බලන්නේ වයස රූපය හෝ තරාතිරම නොව, තමාගෙන් රටට ජනතාවට ඉටු කෙරෙන මෙහෙවර බව ඇය මට පහදා දුන්නා. අනතුරුව තායිලන්තයේ පැවැති තරගයෙන් මා ජය ගත්තා. ෆ්ලොරීඩාවට ගියා. ඒ තරගයෙන් ජය ගත් ලංකාවේ චන්දි සමඟ ඇරැඹුණු මිතුදහමත් මෙවර මගේ ලංකාවට පැමිණීමට හේතු වුණා.
ඔබ දෙදෙනා එක්ව කෙරෙන සමාජ සත්කාර මොනවාද?
චන්දි ලංකාවේ අපයෝජනයට පත්වන ළමයින් එයින් බේරා ගන්නට විවිධ ප්‍රදේශවල දැනුවත් කිරීමේ වැඩසටහන් කර තිබුණා. ඇය අපේ රටේ ළමා ගණිකාවන් හා වහල් සේවයේ යොදවන අසරණ දරුවන් පුනරුත්ථාපන වැඩසටහන්වලටත් සහභාගි වුණා. ඇගේ ඇරයුම පිට ඉදිරියේදී මම ශ්‍රී ලංකාවේ ළමයින් සහ කාන්තාවන් ගේ සුබසාධනය උදෙසා සිදු කරන කටයුතු වලට සහය දක්වනවා. කාන්තාවන්ට ස්වයං රැකියාවකින් නිසි ඵල ලබා ගන්නේ කොහොමද? නිෂ්පාදන සඳහා උසස් තාක්ෂණය යොදා ගන්නේ කොහොමද? විදෙස් වෙළෙඳ පොළ අවශ්‍යතා සපුරන්නේ කොහොමද යන දැනුම ලබා දීමට අපි අපේක්ෂා කරනවා. ඒ සඳහා ලංකා රජයෙන් අපට සහාය ලැබෙනු ඇතැයි මා අපේක්ෂා කරනවා.
ඔබ ලංකාවේ කාන්තාවන් දකින්නේ කොහොමද?
ඔවුන් ඉතාම සංග්රහශීලීයි; කරුණාවන්තයි; දක්ෂයි. උත්සාහවන්තයි. හොඳ සහයක් ලැබෙනවා නම් ඔවුන් ආර්ථික අතින් සවිබල ගන්වන්නට පුළුවන්.
ඔබේ මවු බිම හා ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාව කවරාකාරදැයි ඔබට හැඟෙනවාද?
ලංකාව බොහෝ දුරට තායිලන්තයට සමානයි. අපි දෙගොල්ලම බෞද්ධයෝ. ශ්‍රී ලංකාවේ ථෙරවාද බුදු දහම හොඳින් ක්‍රියාත්මක වෙනවා. අපි බෞද්ධ වුණත් ආමිස පූජාවට වැඩි තැනක් දෙනවා. ලාංකිකයන් ප්‍රතිපත්ති පූජාවට වැඩි බරක් දක්වන බව මට දැනෙනවා. මා සෝමාවතී චෛත්‍යයේ දළදා පූජාවට සහභාගි වුණා. පූජාව ඇරැඹුමේ සිට නිමාව දක්වාම මගේ දෙනෙත්වල සතුටු කඳුළු නවත්වාගන්නට මට අපහසු වුණා. එය මා ජීවිතයේ දුටු අසිරිමත්ම දසුනක්. හාමුදුරුවන් පැවැසුවේ පෙර සසරේ මා ලංකාවේ ඉපදී සිටින්නට ඇතැයි කියායි. දෙරට අතර බොදු දැනුම හුවමාරු කරගැනීමත් අපේ රටවල් දෙකේ ජනතාවගේ සුබසිද්ධියට හේතු වනු ඇතැයි මා සිතනවා.
ශ්‍රී ලංකාවේදී ඔබේ සිත වඩාත් ම ආකර්ෂණයට ලක් කළේ කුමක්ද?
ජනතාව. ශ්‍රී ලාංකිකයින්ගේ ආගන්තුක සත්කාරය ඉස්තරම්. කලින් දැන හැඳින නොසිටියත් ඔවුන් හැම දෙනෙකු සමඟම සිනා වෙනවා. සිරුරට අත තියා ළෙන්ගතුව කතා කරනවා. අමුත්තන්ට හැකි තරම් ඉහළින් සත්කාර කරනවා. මට දැනුණේ මා දැන හැඳින සිටි ඥාති පිරිසක් බලන්න ආවා වගෙයි. ආයෙමත් මම ලංකාවට එනවා. කාන්තාවන්ට උදවු කරන්නට පමණක් නොවෙයි. සංචාරය සඳහාත් ශ්‍රී ලංකාව ඉතා සුදුසු සුන්දර දිවයිනක් යැයි මට සිතෙනවා.
ඡායාරූප - සරත්