ටෙස්ට් 100යේ සිවුවැන්නා | සිළුමිණ

ටෙස්ට් 100යේ සිවුවැන්නා

ප්‍රශාන්ත ඇල්පිටිය

සංචාරක බංග්ලාදේශය සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු හතරකින් ජය ගැනීමට බංග්ලාදේශය සමත් විය.

මෙය බංග්ලාදේශයේ සියවන (100) ටෙස්ට් තරගයද විය. ඒ අනුව තම සියවන ටෙස්ට් තරගය ජය ගත් හතරවන රට බවටද ඔවුහු පත් වූහ. මීට පෙර එවැනි දස්කමක් තම සියවන ටෙස්ට් තරගයේ දී කර තිබුණේ ඔස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ පාකිස්තානය පමණකි.

ක්‍රිකට් ක්‍රීඩා පවුලේ ටෙස්ට් වරම් ලැබූ සාමාජිකයෝ සිටින්නේ දස දෙනෙකි. ඒ අනුව මේ වන විට මෙම සියලුම රටවල් ටෙස්ට් තරග සියයකට ක්‍රීඩා කර තිබේ. ටෙස්ට් වරම් ලැබූ රටවල් ඔවුන්ගේ සියවන තරගයට ක්‍රීඩා කළ ආකාරය විමසා බැලීම කාලෝචිතය.

එංගලන්තය

ක්‍රිකට් ක්‍රීඩාව ලොවට හඳුන්වා දුන්නේ එංගලන්තයයි. ඔවුන් සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූයේ 1877 වසරේදීය. මේ වන විට ඔවුන් ක්‍රීඩා කර තිබෙන මුළු ටෙස්ට් තරග ගණන 983 කි. එංගලන්තය තම සියවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේ 1909 වසරේ ජුලි 01 සිට 03 දක්වා ලීඩ්ස් නුවර හෙඩිංග්ලි ක්‍රීඩාංගණයේදීය.

ඔස්ට්‍රේලියාව ප්‍රතිවාදීන්ය. එවර අළු බඳුන තරගමාලාවේ තෙවැනි තරගයත් එය විය. එහිදී තරගයේ කාසියේ වාසියත් සමඟ ලකුණු 126 ක ජයක් අත්කර ගත්තේ ඔස්ට්‍රේලියාවයි. ආර්චි මැක්ලරන් (එංගලන්තය) සහ මොන්ටි නොබල් (ඔස්ට්‍රේලියාව) මෙහෙයවූහ.

ඔස්ට්‍රේලියාව පළමු ඉනිම 188 (ඕවර 73.1) සිඩ් ග්‍රෙගරි 46, වර්නන් රැන්ස්ෆර්ඩ් 45, විල්ෆ්‍රඩ් රෝඩ්ස් 38 - 4, දෙවන ඉනිම 207 (ඕවර 96.1) වර්වික් ආම්ස්ට්‍රෝංග් 45, සිඩ්නි බාර්න්ස් 63 - 6.

එංගලන්තය පළමු ඉනිම 182 (ඕවර 84.3) ජැක් ෂාර්ප් 61, චාර්ල්ස් මැකාර්ට්නි 58 - 7, දෙවන ඉනිම (ඉලක්කය 214) 87 (ඕවර 37.5) ජැක් හොබ්ස් 30, ටිබී කොටර් 38 - 5.

ටෙස්ට් තරග සියයකදී එංගලන්තයට ජයග්‍රහණ 45 කි. පරාජ 38 කි. ජය පැරදුමක් නැති 17 කි.

ඔස්ට්‍රේලියාව

ලොව මංගල ටෙස්ට් තරගයට එංගලන්තය සමඟ තරග කරමින් එය ජය ගත්තේ ඔස්ට්‍රේලියාවයි. ඒ 1877 වසරේදීය. මේ වන විට ඔවුන් සහභාගි වී තිබෙන මුළු ටෙස්ට් තරග ගණන 800 කි. ඔස්ට්‍රේලියාව තම සියවන ටෙස්ට් තරගයට සහභාගි වූයේ 1912 වසරේ මැයි මස 27 සිට 28 දක්වාය. ඒ එංගලන්තයේ පැවැති තුන්කොන් තරගාවලියේ පළමු තරගයේදීය. ප්‍රතිවාදීන් වූයේ දකුණු අප්‍රිකාවයි.

මැන්චෙස්ටර් නුවර ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්විණි. කාසියේ වාසියත් සමඟ ඔස්ට්‍රේලියාවට ඉනිමකින් සහ ලකුණු 88 ක ජයකි. පා දඟ පන්දු යැවූ ජිමි මැතිව්ස් ඉනිම් 2 දීම හැට්ට්‍රික් දෙක බැගින් දවාගෙන සුපිරි දස්කමක් දැක්විය. ඒ ඔස්ට්‍රේලියාව වෙනුවෙනි. සිඩ් ග්‍රෙගරි (ඔස්ට්‍රේලියාව) සහ ෆ්‍රෑන්ක් මිචෙල් (දකුණු අප්‍රිකාව) මෙහෙයවූහ.

ඔස්ට්‍රේලියාව පළමු ඉනිම 448 (ඕවර් 122.3) වොරන් බාර්ඩ්ස්ලි 121, චාර්ල්ස් කෙලෙවේ 114, සිඩ් පෙග්ලර් 105 - 6.

දකුණු අප්‍රිකාව පළමු ඉනිම 265 (ඕවර 116) ඕබ්රි ෆෝල්ක්නර් නොදැවී 122, බිල් විටි 55 - 5

දෙවන ඉනිම 95 (ඕවර් 28.2) හර්බි ටේලර් 21, කෙලෙවේ 33 - 5.

ටෙස්ට් තරග සියයකදී ඔස්ට්‍රේලියාවට ජයග්‍රහණ 42 කි. පරාජ 40 කි. ජය පැරදුමක් නැති තරග 18 කි.

දකුණු අප්‍රිකාව

මංගල ටෙස්ට් තරගයට සහභාගි වූයේ 1889 වසරේදීය. මේ වන විට ඔවුන් ක්‍රීඩා කර තිබෙන මුළු ටෙස්ට් තරග ගණන 410 කි. දකුණු අප්‍රිකාව තම සියවන තරගයට සහභාගි වූයේ 1949 වසරේ මාර්තු 05 සිට 09 දක්වාය.

කාසියේ වාසියත් ඔවුන්ටමය. එහෙත් තරගයෙන් කඩුලු 03 ක ජය ප්‍රතිවාදී එංගලන්තයටයි. තරගය පැවැත්වූයේ පෝර්ට් එළිසබෙත් නුවර ශාන්ත ජෝර්ජ්ස් පාර්ක්හි කෘසේඩර්ස් ක්‍රීඩාංගණයේදීය. එංගලන්තය ජෝර්ජ් මෑන් සහ දකුණු අප්‍රිකාව ඩඩ්ලි නර්ස් නායකයෝ වූහ. එවර තරගමාලාවේ 05 වැනි තරගයයි.

දකුණු අප්‍රිකාව පළමු ඉනිම 379 (ඕවර 143.5) බිලි වේඩ් 125, බෲස් මිචෙල් 99, ඩඩ්ලි නර්ස් 73, ඇලෙක් බෙඩ්සර් 61 - 4, දෙවන ඉනිම 187 - 3 (ඕවර 58) බෲස් මිචෙල් 56, ජැක් යංග් 34 - 2, එංගලන්තය පළමු ඉනිම 395 (ඕවර 141.4) ජෝර්ජ් මෑන් නොදැවී 136, අතෝල් රෝවන් 167 - 5, දෙවන ඉනිම (ඉලක්කය 172) 174 - 7 (ඕවර 23.7) ඩෙනිස් කොම්ප්ටන් 42, ටෆ්ටි මෑන් 65 - 4, අතෝල් රෝවන් 65 - 3.

ටෙස්ට් තරග සියයකදී දකුණු අප්‍රිකාවට ජයග්‍රහණ 15 කි. පරාජ 52 කි. ජය පරාජයක් නැති තරග 33 කි.

බටහිර ඉන්දීය කොදෙව් දූපත්

ටෙස්ට් වරම් ලැබූ ලොව සිවුවන රටය. මංගල ටෙස්ට් තරගයට සහභාගි වූයේ 1928 වසරේදීය. මේ වන විට ඔවුන් මුළු ටෙස්ට් තරග 520 කට සහභාගි වී තිබේ. ඔවුන් තම සියවන තරගයට සහභාගි වූයේ 1965 වසරේ මාර්තු 03 සිට 08 දක්වා ජැමෙයිකාවේ කිංග්ස්ටන් නුවර සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේදීය.

එවර තරගමාලාවේ පළමු තරගයයි. කාසියේ වාසියත් සමඟ කොදෙව්වන්ට ලකුණු 179 ක ජයකි. බටහිර ඉන්දීය පිල ගාර්ෆීල්ඩ් සෝබර්ස් සහ ඔස්ට්‍රේලියාව බොබ් සිම්සන් මෙහෙය වූහ.

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම 239 (ඕවර 69.2) ටෝනි වයිට් නොදැවී 57, ලෝරි මෙයින් 43 - 4.

දෙවන ඉනිම 373 (ඕවර 152.4)

කොන්රඩ් හන්ට් 81, ජෝ සොලමන් 76, බැසිල් බුචර් 71, මෙයින් 56 - 4.

ඔස්ට්‍රේලියාව පළමු ඉනිම 217 (ඕවර 95.4) නීල් හෝව්ක් නොදැවී 45, නෝර්මන් ඕ නිල් 40, වෙස්ලි හෝල් 60 - 5 දෙවන ඉනිම (ඉලක්කය 396) 216 (ඕවර 78.5) බ්‍රයන් බුත් 56, හෝල් 45 - 4.

ටෙස්ට් තරග සියයකදී කොදෙව් දූපත්ට ජයග්‍රහණ 35 කි. පරාජ 33 කි. ජය පැරදුමක් නැති 31 කි. ලකුණු සම වීම් එකකි.

නවසීලන්තය

1930 වසරේදී නවසීලන්තය මංගල ටෙස්ට් තරගයට සහභාගි විය. මේ වන විට ඔවුන් සහභාගි වී තිබෙන මුළු ටෙස්ට් තරග ගණන 421 කි. ඔවුන් තම සියවන තරගයට සහභාගි වූයේ 1972 වසරේ මාර්තු 23 සිට 28 දක්වාය. බාර්බෙඩෝස් දූපතේ බ්‍රිජ්ටවුන් නුවර කෙන්සිංග්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමඟ පැවැති එවර තරගමාලාවේ තෙවැනි තරගයේදීය.

බටහිර ඉන්දීය ගාර්ෆීල්ඩ් සෝබර්ස් සහ නවසීලන්තය බෙවන් කොංග්ඩන් විසින් ද මෙහෙයවූහ. තරගයට ජය පරාජයක් නැත. කාසියේ වාසිය කොදෙව්වන්ටය.

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම 133 (ඕවර 49.3) මයික් ෆින්ඩ්ලේ නොදැවී 44, බෲස් ටේලර් 74 - 7.

දෙවන ඉනිම 564 - 8 (ඕවර 214) චාර්ලි ඩේවිස් 183, සෝබර්ස් 142, කොංග්ඩන් 66 - 2.

නවසීලන්තය පළමු ඉනිම 422 (ඕවර 163.2) කොංග්ඩන් 126, බ්‍රයන් හේස්ටිංග්ස් 105, සෝබර්ස් 64 - 4. නවසීලන්තයට ටෙස්ට් තරග සියයකදී ජයග්‍රහණ 07 කි. පරාජ 46 කි. ජය පැරදුමක් නැති තරග 47 කි.

ඉන්දියාව

මංගල ටෙස්ට් තරගයට සහභාගි වූයේ 1932 වසරේදීය. මේ වන විට ඔවුන් සහභාගි වී තිබෙන මුළු ටෙස්ට් තරග ගණන 511 කි. ඉන්දියාව තම සියවන ටෙස්ට් තරගයට සහභාගි වූයේ 1967 වසරේ ජූලි 13 සිට 15 දක්වාය. එංගලන්තයට එරෙහිව බර්මින්හැම් නුවර එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවන තරගයේදීය.

මෙම තරගයේ කාසියේ වාසියත් සමඟ ලකුණු 132 ක ජය එංගලන්තයටයි. බ්‍රයන් ක්ලෝස් එංගලන්තයත් මන්සුර් අලි ඛාන් (ටයිගර් පතවුදි) ඉන්දියාවත් මෙහෙයවූහ.

එංගලන්තය පළමු ඉනිම 298 (ඕවර් 106) ජෝන් මරේ 77, කෙන් බැරිංග්ටන් 75, එරප්පලි ප්‍රසන්න 51 - 3.

දෙවන ඉනිම 203 (ඕවර 76.5) ක්ලෝස් 47, ඩෙනිස් ඒමිස් 45, ප්‍රසන්න 60 - 4

ඉන්දියාව පළමු ඉනිම 92 (ඕවර 36.3) ෆාරුක් ඉංජිනියර් 23, ඩේවිඩ් බ්‍රවුන් 17 - 3.

දෙවන ඉනිම (ඉලක්කය 410) 277 (ඕවර 112.4) අජිත් වඩේකාර් 70, පතවුදි 47, රේ ඉලිංග්වර්ත් 92 - 4, ක්ලෝස් 68 - 4.

ඉන්දියාවට ටෙස්ට් තරග සියයකදී ජයග්‍රහණ 10 කි. පරාජ 40 කි. ජය පරාජයක් නැති තරග 50 කි.

පාකිස්තානය

1952 වසරේදී මංගල ටෙස්ට් තරගයට සහභාගි විය. මේ වන විට ඔවුන් සහභාගි වී තිබෙන මුළු ටෙස්ට් තරග ගණන 407 කි. පාකිස්තානය තම සියවන ටෙස්ට් තරගයට සහභාගි වූයේ 1979 වසරේ මාර්තු මස 10 සිට 15 දක්වාය. ඒ ඔස්ට්‍රේලියාවට එරෙහිව මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු තරගයේදීය.

මේ තරගයේ කාසිය වාසිය ඔස්ට්‍රේලියාවටයි. එහෙත් තරගයෙන් ලකුණු 71 ක ජය පාකිස්තානයටයි. මුස්තාක් මොහොමඩ් පාකිස්තානයත් ග්‍රෙහැම් යැලොප් ඔස්ට්‍රේලියාවත් මෙහෙයවන ලදහ.

පාකිස්තානය පළමු ඉනිම 196 (ඕවර 61.7) මුස්තාක් මොහොමඩ් 36, සෆ්රාස් නවාස් 35, රොඩ්නි හොග් 49 - 4, ඇලන් හර්ස්ට් 55 - 3,

දෙවන ඉනිම 353 - 9 (ඕවර 81.5) මජිඩ් ඛාන් 108, සහිර් අබ්බාස් 59, හොග් 75 - 3

ඔස්ට්‍රේලියාව පළමු ඉනිම 168 (ඕවර 61.6) ඩේව් වට්මෝර් 43, යැලොප් 25, ඉම්රාන් ඛාන් 26 - 4

දෙවන ඉනිම (ඉලක්කය 382) 310 (ඕවර 92.4) ඇලන් බෝඩර් 105, කිම් හියුස් 84, සෆ්රාස් නවාස් 86 - 9.

පාකිස්තානයට ටෙස්ට් තරග සියයකදී ජයග්‍රහණ 19 කි. පරාජ 26 කි. ජය පරාජයක් නැති තරග 55 කි.

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව තම මංගල ටෙස්ට් තරගයට 1982 වසරේදී සහභාගි විය. මේ වන විට ශ්‍රී ලංකාව මුළු ටෙස්ට් තරග 258 කට සහභාගි වී තිබේ. ශ්‍රී ලංකාව තම සියවන ටෙස්ට් තරගයට සහභාගි වූයේ 2000 වසරේ ජූනි 14 සිට 17 දක්වාය. ඒ පාකිස්තානයට එරෙහිව කොළඹ සිංහල ක්‍රීඩා සමාජය (එස්. එස්. සී.) ක්‍රීඩාංගණයේදී පැවැති පළමු තරගයේදීය.

කාසියේ වාසිය පැරදුනත් තරගයෙන් කඩුලු 05 ක ජයක් ලැබුවේ පාකිස්තානයයි. වසීම් අක්රම් තරගයේ වීරයාය. නායකයෝ වූයේ ශ්‍රී ලංකාව සනත් ජයසූරිය සහ පාකිස්තානය මොයින් ඛාන්ය. මේ අතර තම රටේ මංගල සහ සියවන ටෙස්ට් තරගවලට සහභාගි වූ ලොව මුල්ම සහ එකම ක්‍රීඩකයා බවට ශ්‍රී ලංකාවේ අර්ජුන රණතුංග ලෝක වාර්තාවක් පිහිටුවිය.

ශ්‍රී ලංකාව පළමු ඉනිම 273 (ඕවර 97.2) මහේල ජයවර්ධන 77, මාවන් අතපත්තු 73, අර්ෂාඩ් ඛාන් 62 - 4, දෙවන ඉනිම 123 (ඕවර 61.3) අතපත්තු 40, අක්රම් 45 - 5.

පාකිස්තානය පළමු ඉනිම 266 (ඕවර 120.5) අක්රම් 78, සයිඩ් අන්වර් 56, මුරලිදරන් 115 - 5.

දෙවන ඉනිම (ඉලක්කය 131) 131 - 5 (ඕවර 42) යුනිස් ඛාන් නොදැවී 32, අක්රම් නොදැවී 20, මුරලිදරන් 53 - 3.

ශ්‍රී ලංකාවට ටෙස්ට් තරග සියයකදී ජයග්‍රහණ 18 කි. පරාජ 40 කි. ජය පැරදුමක් නැති තරග 42 කි.

සිම්බාබ්වේ

1992 වසරේදී ඔවුන්ගේ මංගල ටෙස්ට් තරගයට සහභාගි වූහ. මේ වන විට ඔවුන් සහභාගි වී තිබෙන මුළු ටෙස්ට් තරග ගණන 101 කි. සිම්බාබ්වේ තම සියවන ටෙස්ට් තරගයට සහභාගිවූයේ 2016 වසරේ ඔක්තෝබර් 29 සිට නොවැම්බර් 02 දක්වාය. ඒ ශ්‍රී ලංකාවට එරෙහිවය.

මෙම තරගය පැවැත්වූයේ හරාරේ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදීය. එය එවර තරගමාලාවේ පළමු තරගයයි. කාසියේ වාසියත් ලකුණු 225 ක ජයත් ශ්‍රී ලංකාවටයි. රංගන හේරත් සහ ග්‍රෙහැම් ක්‍රීමර් දෙරට මෙහෙයවූහ. ක්‍රීමර් තරගයේ වීරයාත් විය.

ශ්‍රී ලංකාව පළමු ඉනිම 537 (ඕවර 155) කුසල් පෙරේරා 110, උපුල් තරංග නොදැවී 110, කෞශාල් සිල්වා 94, ක්‍රීමර් 142 - 4, දෙවන ඉනිම 247 - 6 (ඕවර 61.5) දිමුත් කරුණාරත්න 110, කාර්ල් මුම්බා 50 - 4.

සිම්බාබ්වේ පළමු ඉනිම 373 (ඕවර 107.5) ක්‍රීමර් නොදැවී 102, පීටර් මුවර් 79, සුරංග ලක්මාල් 69 - 3 දෙවන ඉනිම (ඉලක්කය 412) 186 (ඕවර 90.3) ක්‍රීමර් 43, ෂෝන් විලියම්ස් 40, ඩිල්රුවන් පෙරේරා 34 - 3.

සිම්බාබ්වේට ටෙස්ට් තරග සියයකදී ජයග්‍රහණ 11 කි. පරාජ 63 කි. ජය පරාජයක් නැති තරග 26 කි.

බංග්ලාදේශය

2000 වසරේදී මංගල ටෙස්ට් තරගයට සහභාගි විය. මේ වන විට ඔවුන්ට මුළු ටෙස්ට් තරග 100 කි. බංග්ලාදේශය තම සියවන ටෙස්ට් තරගයට සහභාගි වූයේ 2017 වසරේ මාර්තු 15 සිට 19 දක්වා කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදීය. ප්‍රතිවාදින් වූයේ ශ්‍රී ලංකාවයි.

එය එවර තරගමාලාවේ දෙවැනි තරගයයි. කාසියේ වාසිය ශ්‍රී ලංකාවටයි. නමුත් තරගයෙන් කඩුලු සතරක ජය බංග්ලාදේශයටයි. එය ඔවුන් ශ්‍රී ලංකාව හමුවේ ලැබූ ප්‍රථම ටෙස්ට් තරග ජයත් වේ.

රංගන හේරත් සහ මුෂ්ෆිකර් රහීම් දෙරට මෙහෙයවන ලදහ. තරගයේ වීරයා වූයේ තමිම් ඉක්බාල්ය.

ශ්‍රී ලංකාව පළමු ඉනිම 338 (ඕවර 113.3) දිනේෂ් චන්දිමාල් 138, සුරංග ලක්මාල් 35, මෙහෙඩි හසන් 90 - 3, මුස්ටාෆිෂුර් රහ්මන් 50 - 2.

දෙවන ඉනිම 319 (ඕවර 113.2)

දිමුත් කරුණාරත්න 126, ඩිල්රුවන් පෙරේරා 50, ලක්මාල් 42, ෂකිබ් අල් හසන් 74 - 4, මුස්ටාෆිෂුර් රහ්මන් 78 - 3.

බංග්ලාදේශය පළමු ඉනිම 467 (ඕවර 134.1) ෂකිබ් අල් හසන් 116, මොසැඩෙක් හොසෙයින් 75, හේරත් 82 - 4, ලක්ෂාන් සඳකැන් 140 - 4)

දෙවන ඉනිම (ඉලක්කය 191) 191 - 6 (ඕවර 57.5) තමිම් ඉක්බාල් 82, ෂබිර් රහ්මාන් 41, ඩිල්රුවන් 59 - 3, හේරත් 75 - 3.

බංග්ලාදේශයට ටෙස්ට් තරග සියයකදී ජයග්‍රහණ 09 කි. පරාජ 76 කි. ජය පැරදුමක් නැති තරග 15 කි.

 

Comments