පුතා අත්නොහැර භාවනා කරන ජාතික කැරම් ශූරිය යසිකා | සිළුමිණ

පුතා අත්නොහැර භාවනා කරන ජාතික කැරම් ශූරිය යසිකා

හතළිස් නව වැනි ජාතික ශූරතා කැරම් තරගාවලියේ පිරිමි අංශයේ ශූරතාව දහතුන්වැනි වරටත් චමිල් කුරේ ජය ගනිද්දී, තෙවැනි වරටත් කාන්තා අංශයේ ශූරතාව යසිකා රාහුබද්ධ ජයගත්තාය. මෙකී ජයග්‍රහණ අතර, යසිකාගේ ජයග්‍රහණය සුවිශේෂි වන්නේ වසර අටකට පසු ජාතික ශූරතාව හිමිකර ගැනීමය. යසිකා 2009 දී කැරම් ක්‍රීඩාවට සමුදෙන්නේ ද එකී වසරේ ජාතික ශූරතාවද හිමිකර ගනිමින්ය.

ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව හැර සෙසු ක්‍රීඩාවන්හි අඳුරු පැතිකඩට යසිකා තරම් තවත් උදාහරණ ඇවැසිදැයි සිතේ. මේ යසිකාගේ හඬයි.

ජයග්‍රාහී සමුගැනීම

2008 - 09 ජාතික කැරම් ශූරතාවලිය දිනා ගත්තට පස්සේ 2009 දී මගේ තාත්තා නැති වුණා. එතකොට මම රත්නපුරයේ හිටියේ. පුද්ගලික බැංකුවක රැකියාවක් ලැබුණා. ඔය අතර ක්‍රීඩාවට යොදවන්න කාලයක් තිබුණෙත් නෑ. පුහුණුවීම්වලට වෙලාවක් නෑ. ඔය දේවල් එක්ක තමයි කැරම් ජීවිතය නවතින්නේ. ඒක හරිම කටුක අත්දැකීමක් වුණා. ජාතික ශූරිය වෙලා කැරම් නවත්තන්න සිදුවීම ඔය අතර ගිය අවුරුද්දේ දෙසැම්බර්වල තමයි ගුවන් හමුදාවේ රැකියාව ලැබුණේ. ඊට කලින් රජයේ ආයතනයක රැකියාව ලැබුණා. පුතා හම්බවුණාට පස්සේ ඒ වැඩත් එක්ක තමයි මම එතැනින් ඉවත් වුණේ. තාත්තා නැති වුණා විතරයි මට කැරම් නවත්තලා දාන්න වුණා.

ශූරතා තුනක්

මගේ වැඩවලට ගුවන් හමුදාව සම්පූර්ණයෙන් ම සහයෝගය දුන්නා. මම එතැන ඉඳලා තමයි පිළිවෙළින් පස්වැනියා. හතරවැනියා - තුන්වැනියා අනුශූරිය විදියට ඉදිරියට ඇවිත් ජාතික ශූරතාවට එනකොට ශූරතා තුනක් හිමිකර ගත්තා.

නොසිතූ ගමනක්

ජනාධිපති කුසලානය, කැරම් සම්මේලන ශූරතා දෙකම දිනා ගෙන තමයි 49 වැනි ජාතික ශූරතාව දිනාගත්තේ. ජාතික ශූරතාවලියේ අනුශූරිය වුණේ ගුවන් හමුදාවේ මාත් එක්කම ඉන්න චලනී ලක්මාලි. ජාතික ශූරතාවලියට යන්න ලැබීම ලොකු සතුටක්. 2009 දිනලා නැවැත්තුවට පස්සේ ජාතික ශුරතාවක් දිනාගන්න, ජාතික කණ්ඩායමට එන්න පුළුවන්වෙයි කියලා හිතුවේ නෑ. ඒත් දැන් මට ලොකු සතුටක් දැනෙනවා.

ආර්ථිකයට මුල් තැන

අපි ඉස්සර රත්නපුරයේ ඉඳලා කොළඹට උදේ එනවා හවස යනවා. රත්නපුරය ටවුන් එකෙන් ඇතුළටත් යන්න ඕනෑ. පාන්දර හතරට පහට ගෙදරින් ඇවිත් රෑ දහය එකොළහ වෙනවා ගෙදර යනකොට. ඒකත් කරදරයි. ආර්ථික ප්‍රශ්නත් ආවා. ඔය අතර රැකියාව හම්බවුණා. ඒ වෙලාවේ මට ආර්ථිකය වටිනවා කියලා හිතුණා. මම බැංකුවේ රැකියාව කරන අතරත් උත්සහ කළා ක්‍රීඩාව කරගන්න පුළුවන් වෙයිද කියලා. මම බැංකුවට ගිය අලුත නිසා ඔවුන් පවා එතරම් කැප කිරීමක් කරන්න ලෑස්ති වුණේ නෑ. එවෙලේ මගේ තත්ත්වය එක්ක මම තීරණය කලා ක්‍රීඩාව අතහැරලා රැකියාව කරනවා කියලා. මම කැරම් අත්හැරියේ ආයේ කවදාවත් සෙල්ලම් කරන්නේ නෑ කියලා. හැබැයි හිතපු නැති විදියට ආයෙත් මට මගේ දේවල් කර ගන්න පුළුවන් වුණා. මහත්තයා ඒකට ලොකු සහයෝගයක් දුන්නා. නවත්තලා තිබ්බ කැරම් ආයේ පටන් ගත්තේ මහත්තයා නිසා.

කැරම් ලොකු තැනක නෑ

අද ලංකාවේ කැරම් ක්‍රීඩාවට මහා ලොකු තැනක් නෑ. වෙනත් ක්‍රීඩා එක්ක ගනිද්දිත් මහා ලොකු තැනක් කැරම් ක්‍රීඩාවට රට ඇතුළේ නෑ. අපේ කැපවීම - උත්සාහය - මහන්සිය කියන දේවල් එක්ක තමයි ලංකාවේ කැරම් ක්‍රීඩාව රඳා පවතින්නේ. දැන් තමයි ත්‍රිවිධ හමුදාව මේ ගැන උනන්දු වෙලා අත දෙන්නේ. එහෙම නැති වුණා නම්, මට අවුරුදු අටකට පස්සේ ආයේ ජාතික ශුරිය වෙන්න ලැබෙන්නෙත් නැතිවෙයි. කොටින්ම රජයේ හෝ පුද්ගලික ආයතනයක රැකියාවක් දෙන මට්ටමකවත් ලංකාවේ කැරම් ක්‍රීඩාව නෑ.

ලෝක ශූරතා

2012 දී ලෝක ශූරතා තරගාවලියට යනකොට රජයේ ආයතනයක වැඩ කළේ. මම ඒකේ ලිපිකාරිනියක් විදියට වැඩ කරලා ඇවිත් පැයක් දෙකක් වගේ පුහුණුවීම් කළේ.

එතකොට මම කසාද බැඳලා, ගෙදර වැඩ ටිකත් බලා ගන්නවා. මහත්තයත් ගෙදර වැඩවලට පුළුවන් හැමවෙලාවකම උදව් කළා. කැරම් වලටම කියලා කැප වෙලා වැඩ කරන්න කාලයක් තිබ්බේ නෑ. ඒ හැම බාධකයක් එක්කම තමයි 2012 අනුශූරිය වුණේ. එතැනින් එහාට එකත් නැවතුණා.

සුමන බාලිකාවෙන්

මම කැරම් පටන් ගත්තේ රත්නපුර සුමන බාලිකා විද්‍යාලයෙන්. සුජාතා මිස් තමයි මම සෙල්ලම් කරනවා දැකලා නිවාසාන්තර තරගාවලියට අරගෙන ජාතික පාසල් තරගාවලියට සහ කැරම් සම්මේලන තරගාවලියට පිළිවෙළින් යොමු කළේ. ඒ සෙල්ලම් කරපු විදිය දැකලා. මතායස් මහත්තයා මගෙන් ඇහුවේ, ශ්‍රේණිගත කිරීම්වලට සෙල්ලම් කරන්න කැමතිද කියලා. මම කැමැති වුණා. ශ්‍රේණිගත කිරීම්වල එකට ඇවිත් කාලයක්ම පළමුවැනියා වුණා.

කැරම්වලට බලපෑමක් වුණේ නෑ

මම වැඩිපුරම යොමු වෙලා හිටියේ අධ්‍යාපනයට. සුමන බාලිකා කිව්වම මලල ක්‍රීඩාවට තමයි ප්‍රසිද්ධ. හැබැයි මම මලල ක්‍රීඩාවට කැමැති වුණේ නෑ. තාත්තා වුණත් කැමැති වුණේ නෑ ග්‍රවුන්ඩ්වලට යනවට.

කැරම් පාඩුවේ නිදහසේ සෙල්ලම් කරන්න පුළුවන් නිසා ලොකු බලපෑමක් තිබුණේ නෑ. මටත් තේරුණා වෙන ක්‍රීඩාවකට වඩා මට ගැළපෙන්නේ කැරම් කියලා. තාත්තා මට හොඳ බෝඩ් එකකුත් ගෙනත් දුන්නා.

2008 අපොස උසස් පෙළ ඉගෙන ගන්නකොට ජාතික ශූරිය වුණා. 2005 විතර ඉඳලා ජාතික කණ්ඩායම නියෝජනය කළා. 2008 ලෝක ශූරතාවලියට ගියා. සාෆ් තරගාවලියට ගියා. ඔය අතර ජාතික කණ්ඩායම හැම වෙලාවෙම වගේ නියෝජනය කළා.

යහළුවෝ ඉගෙන ගත්තා

මම මලල ක්‍රීඩාවට එහෙම ආසා නෑ. මම අපොස උසස් පෙළ ඉගෙන ගත්තේ බයෝ සයන්ස්. මගේ යහළුවෝ කිසිම කෙනෙක් ක්‍රීඩා කළේ නෑ. ඒ සියලුම දෙනා අද වෛද්‍යවරියන්. ඒ අය අතරින් මම විතරයි ක්‍රීඩාව තෝරගත්තේ. මම එදා ක්‍රීඩාව අතහැරියා නම් මටත් මගේ යහළුවන් ගිය දුරම යන්න තිබුණා කියලා හිතෙනවා. ජාතික කණ්ඩායමට තේරුණාට පස්සේ වැඩිපුරම හිටියේ කොළඹ. අවුරුද්දේ මාස හයක් විතර කොළඹ. මට හරියට පාසල් යන්න බැරි වුණා. පන්ති මඟහැරුණා. මගේ සටහන් පවා ලියලා දුන්නේ යහළුවන්ගේ අම්මලා.

පසුතැවීමක් නෑ

හැබැයි එහෙම නොවුණා කියලා දුකක් කනගාටුවක් පසුතැවීමක් නෑ. මම මෙතැන උපරිම තැනක ඉන්න කියලා හිතනවා. ගෙදර ඉන්නකොට අම්මා තාත්තාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඊට පස්සේ මහත්තයා එයාගේ අම්මා තාත්තා ලොකු සහයෝගයක් දුන්නා මේ ගමන එන්න.

කැරම් ක්‍රීඩාව කරනකොට අධ්‍යාපනයට වෙච්ච ලොකුම පාඩුව තමයි හරියට වැඩ ටික හරියට කරගන්න බැරි වෙච්ච එක්ක. අවුරුද්ද පුරා ජාත්‍යන්තර තරගාවලි පහකට විතර යනකොට මට අධ්‍යාපන කටයුතු මඟ හැරුණා. මට හිටියේ හොඳට ඉගෙන ගන්න යහළුවෝ ටිකක්.

ඔවුන් මාව ගෙවල්වල එක්ක ගිහින් උගන්වනවා. අම්මා - තාත්තා කිසිම වෙලාවක බලපෑම් කළේ නෑ. තාත්තත් කැරම්වලට ගොඩක් ආසයි. මම වෙන ක්‍රීඩාවකට යොමු වුණා නම් මම හිතන්නේ නෑ තාත්තා ඒක කරන්න දෙයි කියලා. මගේ පවුලේ අයියයි, අක්කයි. අයියා බාස්කට් බෝල් ක්‍රීඩා කරලා තිබෙනවා. වෙන කවුරුවත් ක්‍රීඩාවට සම්බන්ධ නෑ.

භාවනා කරනවා

පුහුණුවීම්වලට අමතරව දවසකට පැයක් - පැය භාගයක් භාවනා කරනවා. දැන් නම් පුතත් එක්ක ටිකක් අමාරුයි. පුහුණුවත් එක්ක තරගයට ගියහම ඔලුව කොහෙවත් දුවන්න දෙන්නේ නෑ. ගුවන් හමුදාවෙන් පුතාගේ අසනීපයකට හරි කොච්චර නිවාඩු ඉල්ලුවත් දෙනවා. ඒනිසා මට හොඳ මානසික නිදහසකින් අද ආයෙත් ක්‍රීඩා කරන්න පුළුවන් වෙලා තියෙනවා.

මගේ දුර්වලතා

ගිය පාර ලෝක ශූරතාවලියේ කණ්ඩායම් තරගාවලියේ ඉන්දියාවේ ජාතික ශූරිය තමයි මට හම්බ වුණේ. සුවිස් ලීග් තරගාවලියෙන් අතර එයාව හම්බවුණේ. ඒ තරගය දිනනවා. කණ්ඩායම් තරගාවලියේ දෙවැනිවටය දිනලා තුන්වැනි වටය ඉදිරියෙන් ඉන්නකොට මට ඇහෙනවා අපේ අනෙක් දෙන්නා පරාදයි කියලා. ඒ දෙන්නා ගෙන් කවුරු හරි දිනලා මගේ වටය දිනුවා නම් අපි ලෝක ශූරියෝ වෙනවා. මට හරි අවුල්. මම තරගය පරාද වුණා. මම හරියට ඒ තරගය ක්‍රීඩා කළා නම් හොඳයි කියලා හිතනවා.

ඒ වගේ තැන්වල වැටෙන එක මගේ දුර්වලතාවක්. මම ඒ තරගය දිනුවත් වැඩක් නෑ වගේ හැඟීමක් තමයි ඇතිවුණේ. මට ඒ තරගය අතහැරුණා. මමම තමයි ඒවා හදා ගන්න ඕනෑ.

ආදරය කරන්න

මම දිනන්න බලාගෙන ඉඳගත්තොත් මට හරියට ගහන්න බෑ. මගේ ගේම් එක මගේ උපරිමයෙන් හොඳට සෙල්ලම් කරනවා කියලා තමයි ඉඳ ගන්නේ. මම දිනනවා, මෙයාව පරද්දනවා කියලා හිතුවොත් මට මාවම පාලනය කරගන්න බැරුව යනවා.

ආයෙත් කැරම් පටන් ගත්තට පස්සේ අර්ධ අවසන් පූර්ව තරගවල හම්බ වුණේ රොෂිටාව. මම එයාට එක දිගට පරාදයි. මම ඉදිරියෙන් හිටියත් අන්තිම වෙනකොට හිතනවා, මෙයා හොඳම කෙනා කියලා මම පරාදයි. පස්සේ මම හිත හදාගෙන ක්‍රීඩා කරන්න ගත්තා.

තමන් කරන දේට ආදරය කරන්න. කැප කිරීම් කරන්න තමන්ගේ උපරිමයෙන් ක්‍රීඩා කරනවා නම් ඉදිරියට එන්න පුළුවන්.

මුල් තැන පුතාට

මට පුතාව අතහරින්න බෑ. එයාගේ දේවල් බලන්න ඕනා. පුතාට මාස තුනක් වෙන කොට තමයි මම ආයේ කැරම් පටන් ගත්තේ. මම පැය 4 - 5 පුහුණුවීම් කරනකම් මහත්තයා පුතාව බලා ගන්නවා. දැන්නම් පුතාත් ඒවට හුරුයි. පුතාගේ හැම දෙයක්ම මම කරන්නේ. පුතාගේ කිසිම වැඩක් අපි මඟ හරින්නේ නෑ.

ගුවන් හමුදාපතිතුමා ඇතුළු මගේ මේ ගමනට අතහිත දෙන අය හුඟක් ඉන්නවා. ඒ සියලුම දෙනා මේ වෙලාවේ ආදරයෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා.

Comments