පරිසරය වැනසුවොත් කාලගුණය දරුණු වෙයි

 අපේ රටේ නාය යෑම්, ගංවතුර, නියඟය වැනි ස්වාභාවික කාලගුණ ආපදාවලට ප්‍රධාන හේතුව ඉවක් බවක් නැතිව පරිසරය විනාශ කිරීම යැයි අපේ රටේ පරිසර හා භූ විද්‍යා මහාචාර්යවරුන්ගේ ප්‍රබල මතයකි.

කාලගුණය අද අපේ ජීවිතයේම අංගයක් බවට පත් වී තිබේ. නියඟය ගංවතුර හා නායයෑම්, සුළි සුළං, ටොනේඩෝ අකුණු අධික වර්ෂාව යනාදිය කාලගුණ වෙනස්වීම් අනුව සිදු වේ.

පසුගිය කාලයේ මෙරටට දීර්ඝ කාලයක් නියඟයක් පැවතිණි. එහෙත් දැන් අන්තර් මෝසම් වැසි ආරම්භ වී ඇත. කෙසේ නමුත් මේ අන්තර් මෝසම් වැසි ආරම්භ කළ මේ වකවානුවේ ලෝක කාලගුණ විද්‍යා දිනය ද යෙදී තිබීම විශේෂත්වයකි.

ලෝක කාලගුණ විද්‍යා දිනය සෑම වසරකම මාර්තු 23 වැනිදාට යෙදෙයි. වර්ෂ 1873 දී වියානාහිදී පිහිටුවා ගන්නා ලද අන්තර්ජාතික කාලගුණ විද්‍යා සංවිධානය 1950 මාර්තු 23 වැනිදා ලෝක කාලගුණ විද්‍යා සංවිධානය ලෙසට ස්ථාපිත කරන ලදී. එය පිහිටුවා ගැනීම නිමිත්තෙන් වර්ෂ 1961 සිට සෑම වසරකම මාර්තු 23 වැනිදා ලෝක කාලගුණ විද්‍යා දිනය සමරනු ලැබේ. මෙවර කාලගුණ විද්‍යා දින තේමාව වලාකුළු පිළිබඳ අවබෝධයයි. ජාතික උත්සවය 24 වැනිදා පෙරවරුවේ ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

වැස්ස, අව්ව, උණුසුම, පීඩනය, වර්ෂාව, ස‍ූර්ය රශ්මිය, සුළං හා වාතයේ ආර්ද්‍රතාව, ගිගුරුම්, පිනි, සුළි සුළං ටොනේඩෝ වැනි පරිසරය වෙනස්වීමේ සංසිද්ධි සියල්ල යම් ස්ථානයක කාලගුණ වෙනස්වීම්වලට අයත් වෙයි. කෙටි කාලයක් ඇතුළතදී ඉහත සාධකවලින් කිහිපයක් හෝ සියල්ලට සාමූහිකව බලපැවැත්වීම කාලගුණයයි.

දේශගුණය යනුවෙන් හැඳින්වෙන්නේ කාලගුණික සාධකවල දිගුකාලීන හැසිරීමක සාමාන්‍ය තත්ත්වයයි. ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශවල තෙත් සහ සිසිල් දේශගුණයක් පවතින බවත් මොනරාගල, හම්බන්තොට, පුත්තලම වැනි ප්‍රදේශවල වියළි දේශගුණයක් පවතින බවත් මින් පැවසේ. එම ප්‍රදේශවල කාලයක් තුළ පවතින කාලගුණ රටාව මත එම ප්‍රදේශවල දේශගුණය තීරණය වන බව මෙහිදී පැහැදිලි වේ. කෙසේ වුවත් මෑතක සිට අපේ දේශගුණ රටාවත් කාලගුණ රටාවත් වෙනස් වෙමින් පවතින බව කාලගුණ විද්‍යාඥයෝ පවසති.

අපේ කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා ද පවසන්නේ අපේ රටේ කාලගුණය ද පෘථිවිය උණුසුම් වීමේ ආදීනව නිසා විවිධ ආකාරයෙන් වෙනස් වෙමින් ඇති බවයි.‍

ඒ අනුව අප මේ පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු වකවානුවක් දැන් පැමිණ ඇත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනූෂා වර්ණසූරිය මහත්මිය පවසන්නේ 2100 පමණ වන විට මුහුදු මට්ටමේ සාමාන්‍ය ඉහළයෑම සෙන්ටි මීටර් 88ක් පමණ විය හැකි බවයි. 1992 සිට ගෝලීය මුහුදු මට්ටම ඉහළ යෑමේ ශීඝ්‍රතාව වසරකට මි.මී. 3.2 සිට 0.4 විය. ඊට පෙර සියවසේදී මේ ශීඝ්‍රතාව වසරකට මි.මී. 1.7 ක් හා 0.3 ක් අතර විය‍.

මෙලෙස මුහුදු මට්ටම ඉහළ යෑමට ප්‍රධාන හේතුව පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යෑමය. ඒ අනුව පසුගිය අවුරුදු 60 ඇතුළත ඇක්ටාක්ටික් මහාද්වීපයේ උෂ්ණත්වය අංශක 1.5 ක සාමාන්‍ය අගයකින් ඉහළ ගොස් ඇතැයි කාලගුණ විද්‍යාඥයන්ගේ මතය වී තිබේ.

මුහුදේ ඇති අයිස් කඳු දියවීම, ග්ලැසියර දියවීම, ස්ථිර අයිස් දියවීම නිසා මෙලෙස මුලින් ම සිදු වන්නේ ධ්‍රැවීය දේශගුණ වෙනස්වීම ය. ඒ පිළිබඳව ලෝක වාසී සියලු දෙනාම අවධානය යොමු කළ යුතු ය. ග්‍රීන්ලන්ත සහ ඇන්ටාක්ටික හිම තට්ටු පිළිවෙළින් ලෝකයේ ඇති හිම තට්ටුවලින් සියයට 9ක් හා 90ක් නියෝජනය කරයි. ඒ අයිස් තට්ටු සම්පූර්ණයෙන් දිය වුව හොත් මුහුදු මට්ටම මීටර් 77 ක් ඉහළ යනු ඇතැයි ගණනය කර ඇත.

කෙසේ වුවත් දැනට ගණනය කර ඇති පරිදි මේ මුහුදු මට්ටම ඉහළ යෑම නිසා අපේ රටේ පහත් බිම් හා වෙරළබඩ ප්‍රදේශ ලබන වසර 15 – 30 ඇතුළත යට වීමේ තර්ජන පවතී.

කෙසේ ‍වුවත් පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ තාක්ෂණික උපදේශක මහාචාර්ය ඩබ්ලිව්.එල්. සුමතිපාල මහතා පැවසුවේ ලෝකයේ අමෙරිකාව වැනි දියුණු රටවල් හරිතාගාර වායු විමෝචනය කරන ආකාරය දෙස බලන විට 2100 වසර වන විට ලෝකයේ උෂ්ණත්වය සෙන්ට්‍රිග්‍රේඩ් අංශක 3 – 4 දක්වා ඉහළ යෑම දැන් වැළැක්වීමට නොහැකි වී ඇති බවයි. මේ අනුව රටවල් 85ක් පමණ අස්සන් කළ පැරිස් සම්මුතිය ක්‍රියාත්මක කිරීමට ගැටලු රැසක් මතුවී ඇත. විශේෂයෙන් ඇමෙරිකාව මේ ගැටලුවේදී දරදඬු ලෙස කටයුතු කරන බවත් හරිතාගාර වායු විමෝචනය ඒ රටදී දරුණු ලෙස සිදු කරන බවත් මහාචාර්ය සුමතිපාල මහතා පවසයි.

කරුණු මෙසේ වුවත් කාලගුණ විපත් අවම කර ගැනීමට පරිසරය සුරැකීම මගින් පියවර ගත හැකි බව පසුගිය කාලයේ අපේ රටට සිදු වූ ස්වාභාවික ව්‍යසනවලදී පැහැදිලි විය.

පසුගිය 2004 සුනාමි ව්‍යසනයේදී රටේ වැඩියෙන් ම විනාශ වූයේ වෙරළ අසල තිබූ වැලිකඳු කැපූ, හුනුගල් කැපූ කැලෑව ඉවත් කළ ප්‍රදේශවලටය. එහෙත් වෙරළ අසල වැටකෙයියා, කඩොලාන බහුලව වවා තිබූ ප්‍රදේශවලට් වැලි කඳු වෙරළ අසල තිබූ ප්‍රදේශවලටත් මුහුදු කොරල්පර තිබූ ප්‍රදේශවලටත් සිදු වූ විනාශය ඉතා අඩු ය.

පසුගිය සමයේ මෙරට සිදු වූ නායය‍ෑම්වලට ප්‍රධාන හේතුව වී තිබුණේ ද ඒ නාය ගිය ස්ථානවල අවිධිමත් ඉඩම් පරිහරණය බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසා ඇත.

මේ පිළිබඳව අපට කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ හිටපු කාලගුණ අධ්‍යක්ෂ කේ.ආර්. අභයසිංහ මහතා පැවසුවේ පරිසරය විනාශ නොකර අවිධිමත් ඉඩම් පරිහරණය වැනි කටයුතුවලට යොමු නොවී සිටීමට ජනතාව ද අවධානය යොමු කළ යුතු බවයි.

ඒ අනුව පරිසරය සුරකිමින් පොළොව රත් වීම වැළැක්වීමට අපේ රටේ ජනතාවත් ආයතනත් කටයුතු කළ යුතු කාලය එළඹ ඇති බව පවසන අභයසිංහ මහතා ලොව දියුණු රටවල් ඊට උදවු දිය යුතු බව ද පෙන්වා දෙයි.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.