සාහිත්‍ය කලා ඩප්පි හා කලාකිරිඤ්ඤ | සිළුමිණ

සාහිත්‍ය කලා ඩප්පි හා කලාකිරිඤ්ඤ

 අප පාර නොදැක, අභිප්‍රාය නොදැක නිකම් යන්නන් වාලේ වැනි වැනී යන පක්ෂයක් නොවෙයි. එහෙම ඉබාගාතේ යන ආණ්ඩුවකුත් නොවෙයි. අපි දන්නව අපි යන පාර. අපි යන පාර ඒ පාර කපන්නෙ නියම මග සලකුණු දැනගෙන. පරණ ආණ්ඩුව ගිය පාරෙ නොවෙයි අපි යන්නෙ. ඒක දැන් මඩ වෙලා. ඒ පාරෙ දැන් ගස් කොළන් වැවිල, වල් බිහිවෙලා. ඒ පාර දැන් රටට අමතක වෙලා. අපි යන්නෙ අලුත් පාරක: ‘කතාව කෙටියෙන්’ ලෙස 1978. 01. 18 දින මිනුවන්ගොඩ ගනේගම පුරාණ විහාරස්ථානයේදී ජනාධිපති ජයවර්ධන කළ කතාවෙන් JRJ සූත්‍ර අංක 8 සමුනි අද තෝර ගත්තේ විශේෂ හේතුවකට.

“කලාව ඉගැන්නිල්ලෙන් මිනිසුන්ට අත් වෙන සෙතක් නැතැයි සිතූ එතුමෝ (JRJ) එතැන් පටන් සාහිත්‍යය කලා විෂයයන් විෂය නිර්දේශයෙන් ඉවත් කළහ. ඒ නිසා කාලාන්තරයක් මුළුල්ලේ පාසල් දරුවන්ට ‘කලාව’ නුගැන්විණි” යන කොටස සහිත සති අන්ත පුවත්පතක ලියවිල්ලක් සමුනිගේ ඊ මේලයට කවුදෝ එවා තිබිණි.

JRJ හොඳ සාහිත්‍යකාරයෙක්. ඒ වගේම කලා රසිකයෙක්. තර්ක ශාස්ත්‍රය, ආර්ථික විද්‍යාව, වැනි විෂයයන් වගේම ඔහු ලංකා විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි හා ලතින් භාෂාව හා සාහිත්‍යය ගැනත් හොඳින් හදාරල තියෙනව. රාජකීය විද්‍යාල සඟරාවේ සංස්කාරක විදිහටත් කටයුතු කරල තියෙනව. බුදු දහම, ඉතිහාසය, කලා ශිල්ප, නීතිය ආදි ලියා ඇති ලිපි ගණන ගණින්නට අමාරුයි! එතකොට 8 වන සූත්‍රයෙන් කියන අලුත් පාර මොකක්ද? කලාව හා සාහිත්‍යය වැනසීම ද? චීනයේ සංස්කෘතික විප්ලවයේදී මාඕ ගෙ බිරිඳ ඇතුළු හතර දෙනාගෙ කල්ලිය ගිය පාරෙ යෑමක් ද?

කොටින්ම කිව්වොත්, රටත් ජනතාවත් ගොඩ ගන්නේ කොහොම ද? කියල තමුන් සැලසුම් කරල තියෙන විදිහ තමයි JRJ මේ අලුත් පාර කියල කිව්වෙ. ඇත්ත වශයෙන්ම එයා තමන්ගෙ ප්‍රඥාවෙන් අලුත්ම අලුත් දියුණුවේ මාවතක් දිග හැරියෙ හයි වේ ක්‍රමයට. තම අනාගත සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා මෙ හයි වේ එකේ පළමු අදියර අධ්‍යාපනයෙන් පටන් ගන්න අදිමදි කළේ නැහැ. මොකද JRJ ධාරාණිපාත ජනවරමකින් බාර ගත්තෙ රනිල් දැන් කියන විදිහෙ ලෝවාමහාපාය වගේ නටබුන් ගොඩක් නෙවෙයි. පසුගාමිත්වයෙ තොංගලයටම තල්ලු වුණු රටක්. පාසල් ළමයින්ට කොපි පොතක් තියා කඩදාසි තීරුවක් හරි ලැබුණ නම් ලොකු දෙයක්! සමුනිට තිබුණු එකම ඇක්සැයිස් පොතේ පැන්සලයෙන් ලියාගෙන එන සටහන් පාඩම් කරල පහුවදාට ඒ පිටුවම පාවිච්චි කරන්නෙ ඉරේසරෙන් මකල. ජනවාරියෙ අලුත් පන්ති වාරය පටන් ගන්න කොට, අච්චු පොත් හොයන්න පරණ පොත් කඩවල දෙමවුපියො පිරෙනව. බොහෝ පන්තිවල ළමයි තිස් දෙනෙක් ඉන්න කොට විෂය පොත් තිබ්බෙ දෙක තුනයි. වැඩිම ළමයි පිරිසක් ඉස්කෝලෙ ගියේ ගෙදර ඇඳුම පිටින්. රබර් සෙරෙප්පු දෙකක් හරි දාපු ළමයෙක් හිටියනම් ඒ කලාතුරකින්. හාමතය හින්ද ළමයි දහ පහළොවක් පන්ති කාමරවල කලන්තෙ දාලා දවසකට වැටෙනව. පන්දාහක් හෝඩිය පන්තියට ඇතුළු වුණොත් විශ්ව විද්‍යාලයට එකෙක් හරි ඇතුළු වෙන්නෙ අහම්බෙන් වගේ.

JRJ වැඩේ පටන් ගත්තෙ, සියලු පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමිලේ මුද්‍රිත පොත් බෙදා දීමේ දැවැන්ත පියවරෙන්. ඔහු ඒ සඳහා ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව හා රාජ්‍ය මුද්‍රණ සංස්ථාව හොඳින් කළමනාකරණය කර ගත්තා. මෙයින් කිපුණු සමාජ කණ්ඩායම් කිහිපයක්ම ඇතිවුණා. පළමු කොටස තමයි මෙතෙක් පාසල් පොත් මුද්‍රණය හා ප්‍රකාශන තුළින් හරි හම්බ කරගත්තු මුදලාලිලා. දෙවන කොටස තමයි, මේ මුදලාලිලට තුට්ටු දෙකට පාඩම් පොත් ලියල දීල අඩි ගහපු ලේඛකයො. ඊට පස්සෙ ප්‍රකාශකයන්ගෙ පොත් පාසල්වලට නිර්දේශ කරල අත යටින් ගානක් ගන්න නිලධාරීන්. පරණ පොත් නැවත නැවත විකුණා ගාන කපන පරණ පොත් කඩකාරයොත් ඒ අතර හිටිය.

ඒ කොහොම වුණත් 1960 ගණන්වල ඉඳල පාසල්වල ඉගැන්වෙන සාහිත්‍ය කලා ගැන JRJ හිටියෙ සැලකිල්ලෙන්. අවුරුදු දහ පහළොවක් ශිෂ්‍යයන් පාසල් තුළ සාහිත්‍යය හැදෑරුවත්, ඒවා සංදේශ කාව්‍ය එකකට දෙකකට, ගුත්තිලය වැනි සම්භාව්‍ය කාව්‍යයකින් කොටස් කිහිපයකට සද්ධර්ම රත්නාවලිය වැනි ග්‍රන්ථයකින් පරිච්ඡේද එක දෙකකට සීමා වුණා. ඊට අමතරව පොත් වෙළෙන්දන් නොකඩවා ප්‍රකාශයට පත් කරන කවි ආදී පොත් පාසල් සඳහා නිර්දේශ වන අන්දමත් JRJ තේරුම් ගත්තා. ප්‍රමිතියක් නැති නිර්දේශ කිරීම් නිසා මෙලෝ හසරක් නැති කවි පොත් පාසලට ඇතුළු වීමෙන් සිදුවුණේ ළමයින්ට කටපාඩමින් ඒවා කීමත්, පෙම්පත් සඳහා යොදා ගැනීමට උපකාර වීමත් පමණයි.

මේ අලකලංචි ඔක්කොම අස්සෙ, JRJ සාහිත්‍යය හා කලාව පාසල් තුළ ගුණාත්මක මට්ටමකට ගෙන ඒමට කටයුතු කළා මිස සාහිත්‍යය කලා මාර්ගවලින් ජාතික ආදායමට සතයක්වත් ලැබෙන්නෙ නෑනේ කියල සාහිත්‍යය විෂය ඉස්කෝලවලින් අතුගාලා දාන්න උත්සාහ කළේ නැහැ. JRJ ගෙ අදහස වුණේ ‘සාහිත්‍යය’ නමැති විෂය ‘සිංහල’ නම් විෂය තුළට අන්තර්ග්‍රහණය කරල, චිරාගත සම්භාව්‍ය කෘතිවලට තැනක් දෙන ගමන්ම නූතන සිංහල හා විදේශ සාහිත්‍යාංග සිසු සිසුවියන් අතර වඩාත් ජනප්‍රිය කිරීමයි. හය හත සිංහල පන්ති පොත්වල ඉඳලම මේ වෙනස දක්නට ලැබුණා. මාර්ටින් වික්‍රමසිංහ, ජී. බී. සේනානායක, ගුණදාස අමරසේකර, සිරි ගුණසිංහ, මොනිකා රුවන් පතිරණ මේ ආදි වශයෙන් බොහෝ සාහිත්‍යධරයන්ගේ නිර්මාණ සිංහල පන්ති පොත්වලට ඇතුළත් වුණා. උසස් පෙළ නාට්‍ය සඳහා බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගෙ උසස් ජර්මන් නාට්‍යයක් හෙන්රි ජයසේන පරිවර්තනය කළා හුණුවටයේ කතාව විදිහට එය පන්ති පොතක් වුණා. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළිය එසේ උසස් පෙළ නවකතාව ලෙස නිර්දේශ වූ අතර JRJ ගේ රූපවාහිනී ව්‍යාපෘතිය යටතේ උසස් පෙළ පන්ති සහිත පාසල්වලට රූපවාහිනී යන්ත්‍රයක් සමඟින් හුණුවටයේ හා ගම්පෙරළියේ වීඩියෝ කැසට්පට දෙක බැගින් පරිත්‍යාග ලෙස ලැබුණා.

මීට අමතරව චිත්‍ර නැටුම් හා සංගීතය වැනි සෞන්දර්යාත්මක කලා විෂයයන් කිසිම විටෙක පාසලින් තුරන් නොකොට පුහුණු ගුරුවරුන් පත් කරන්නත් උනන්දු වුණා. ශිෂ්‍ය පිරිස්වලට ආදර්ශයක් විදිහට තරුණ සේවා සභාව තුළින් සාහිත්‍යයම හා සෞන්දර්යාත්මක විශාල වැඩ කොටසක් ඉෂ්ට කළා. සිසු ප්‍රජාව තුළ සාහිත්‍ය - සෞන්දර්යය කලා ප්‍රවර්ධනයට JRJ ගත් උපරිමය විදිහට 1986 නොවැම්බර් මස සිට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ආරම්භ කළ නම්නීකරණ වැඩ සටහන හඳුන්වන්න පුළුවන්. සියලු සයන්ස්කාරයෝද, කොමස්කාරයෝද, කලාකාරයෝද ඇතුළත් සෑම පීඨයකම නවක සිසුන් සඳහා මුල් වාරය සාහිත්‍යය - සෞන්දර්යය හා ක්‍රීඩාව මිශ්‍රිත වැඩ සටහනක් අධ්‍යාපන ඇමැති රනිල් ලවා මෙහෙව්වා. මේ වැඩසටහනට එකතු වීමට සමුනිත් වාසනාව ලැබුවා. ඉංග්‍රීසි අංශය මෙහෙයවූ භාෂා හා සාහිත්‍යය වැඩසටහන නිසා සමුනි ඇතුළු බොහෝ දෙනෙක් අද ඉංග්‍රීසි - සිංහල සාහිත්‍යය පරිවර්තනයකට පවා පිවිසිල ඉන්නව. ඒත් ‘පළමුව මව්බිම - දෙවනුව සරසවිය’ නම් සටන් පාඨය නිසා නම්නීකරණය නිමා වුණා.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.