කොන්දෙන් විතරක් තීන්දු ගන්න බෑ!

 තව නොබෝ දිනකින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සිය සැත්තෑ වන ජන්ම දිනය සමරන්නීය. එවන් සුවිශේෂ ඉතිහාසයකට උරුමකම් කියන පාර්ලිමේන්තුව පිළිබඳ කතාබහ දිනෙන් දින අලුත් වෙද්දී, පසුගියදා තත්ත්වය උණුසුම් වූයේ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා වෙත පැනැවුණු සතියක පාර්ලිමේන්තු තහනමත් සමඟිනි. 'සිළුමිණ' මේ කතාබහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මහතා සමඟය.

l දින හතක නිවාඩුවක් පාර්ලිමේන්තුවේ ජ්‍යේෂ්ඨයකු වන දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට දෙන්න තීරණය කළේ ඇයි?

අපේ රටේ පාර්ලිමේන්තු ක්‍රමයේ ඉතිහාසය තව මාස කිහිපයකින් වසර හැත්තෑව සම්පූර්ණ කරනවා. මේ දශක කිහිපය තුළ අප ආ ගමනේ විශාල ජයග්‍රහණ දිනාගෙන තිබෙනවා වගේම යම් යම් පසුබෑම්ද සිදු වූ අවස්ථා එමටයි. ඒ වගේම ඉතිහාසයේ වෙනස්ම බල ව්‍යූහයක් සහිත, පෙර නොවූ ආකාරයේ පාර්ලිමේන්තුවක්ද අද බිහි වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සභා රැස්වීම්වල කතා කිරීමට කාලය ලබාගැනීම් ඇතුළු ඇතැම් වරප්‍රසාද ලබාගත යුත්තේ සිය කණ්ඩායමේ නායකත්වය හරහායි. ආණ්ඩුවට පක්ෂ මතයක් හෝ විපක්ෂ මතයක් දැරුවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු දෙනාම පිළිගත් කණ්ඩායම් නායකත්වය හරහා මේ අවස්ථා ලබාගත යුතුයි. මෙහිදී පළමුවෙන්ම මතගැටුම් ඇති වුණා. එහෙත් ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳාගැනීමට හැකි වුණා. නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙන්ම ඊට මැදිහත් වූ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන්ද එහිදී පරිණත භාවයෙන් කටයුතු කළා. ඊළඟට ඇති වූ ගැටලුව වුණේ විමල් වීරවංශ මන්ත්‍රීතුමාට තමා ඇතුළු පස් දෙනකුට වෙනම ස්වාධීන පක්ෂයක් ලෙස කටයුතු කිරීමට ඉඩ දෙන ලෙස කළ ඉල්ලීම සම්බන්ධවයි.

l එහෙත් විමල් වීරවංශ මන්ත්‍රීතුමාගේ මේ ඉල්ලීම ඍජුවම ප්‍රතික්ෂේප කිරීම දේශපාලන අසාධාරණකමක් නොවේද?

කිසි සේත්ම නැහැ. විමල් වීරවංශ මන්ත්‍රීතුමා වෙනම කණ්ඩායමක් ලෙස පිළිගෙන පක්ෂ නායක රැස්වීමට සහභාගී වීමටත් 23/2 ස්ථාවර නියෝග යටතේ ප්‍රකාශයක් කිරීමටත් අයිතිය ලබාදෙන ලෙස මාර්තු 9 වැනිදා ලිපියකින් ඉල්ලා සිටියා. දැනට පාර්ලිමේන්තුවේ පක්ෂ 6ක් පිළිගෙන තිබෙනවා. ඒ හැර වෙනත් පක්ෂ පිළිගත හැකිදැයි මා දීර්ඝ ලෙස අධ්‍යයනය කළා. මේ නිසා මගේ තීරණය හදිසි තීරණයක් නොවෙයි. මේ තීරණයට පදනම් වූයේ නෛතික සාධක මිස, කිසිම දේශපාලනික හැඟීමක් නොවන බව කිව යුතුමයි.

l දිනේෂ් ගුණවර්ධන වැනි පරිණත මන්ත්‍රීවරයකු සම්බන්ධයෙන් මේ වගේ තීරණයත් ගන්න පෙර දෙපාරක් හිතන්න තිබුණා නොවේද?

දෙපාරක් නොවෙයි, මම කිහිප විටක්ම හිතලා තමයි මේ වගේ තීරණයක් ගත්තේ. ජ්‍යේෂ්ඨයකු ලෙස මම ඔහුට ගරු කරනවා. ඒ අවස්ථාවේදී මම නව වරක් විතර ඔහුට ආයාචනා කළා. මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ කටයුතු කරගෙන යෑමට මට වෙන ක්‍රමයක් තිබුණේ නැහැ. ඒත් මම තවමත් විශ්වාස කරනවා අපට ඉදිරියේදී තවදුරටත් සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් බව. කථානායකවරයා ලෙස පාර්ලිමේන්තුවේ සැම මන්ත්‍රීවරයකුගේම කථා කිරීමේ අයිතිය මම සලසා දී තිබෙනවා.

l එහෙත් ඔහු පවසා තිබුණා මෙය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ මරුපහරක් බව...

රටේ ඕනෑම කෙනකුට ඕනෑම මතයක් ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙත් මම කටයුතු කළේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ ඉඳිමින්; ඒ වගේම ස්ථාවර නියෝගවලට අනුකූලව. පාර්ලිමේන්තුවේ වැඩකටයුතු කරද්දී දිනකට රුපියල් ලක්ෂ 45ක් පමණ වැය කරනවා. මේ නිසා මහජන මුදල් නාස්ති නොකර කටයුතු කළ යුතුයි.

l විවිධ අය චෝදනා නඟනවා ඔබ 'කොන්ද පණ නැති' තීන්දු තීරණ ගන්නවා කියලා. තවත් අය චෝදනා කරනවා ඔබ විපක්ෂයේ හඬ යටපත් කරන්න උත්සාහ දරනවා කියලා...

කථානායකවරයකුට කොන්දෙන් පමණක් තීන්දු තීරණ ගන්න බැහැ. කොන්ද වගේම හෘදය සාක්ෂියකුත්, ඕනෑම දෙයක් දරාගැනීමේ ආත්ම සංයමයකුත් කථානායකවරයකුට අවශ්‍යමයි. ඒ ආත්ම සංයමය ආගමට දහමට නැඹුරු මට හොඳින්ම පවතිනවා. ඒ වගේම අටලෝදහම ගැනත්, ජීවන අත්දැකීම් ගැනත් හොඳ අවබෝධයක් තිබෙනවා.

l එක්සත් ජාතික පක්ෂය චෝදනා නඟනවා ඔබ කටයුතු කරන්නේ එකාබද්ධ විපක්ෂයේ න්‍යායපත්‍රයට අනුව කියලා. එකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා ඔබ එක්සත් ජාතික පක්ෂයේ න්‍යායපත්‍රයට අනුව වැඩ කරනවා කියලා. මොවුන්ගෙන් කවුරුද නිවැරදි..?

මේ කවුරුත් නිවැරදි නැහැ. කථානායකවරයා ලෙස මට තිබෙන්නේ පක්ෂයක න්‍යායපත්‍රයක් නොවේ. මට තිබෙන්නේ මගේ රටත්, ජනතාවත් වෙනුවෙන් වූ න්‍යායපත්‍රයක්. අනාගත පරපුර වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන ගෞරවනීය පාර්ලිමේන්තුවක් බිහි කිරීම තමයි මගේ එකම අරමුණ. ඒ වෙනුවෙනුයි මම මගේ ශක්තිය වැය කරන්නේ.

l ඔබ පක්ෂ-විපක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තුවේ කොයි-කාගේත් විස්වාසය ගෞරවය දිනාගෙන සිටියා. එහෙත් දිනේෂ් ගුණවර්ධන මහතා සබාගැබෙන් ඉවත් කිරීමේ සිදුවීම නිසා ඔබ 'දේශපාලනික සතුරන්' ඇති කරගත්තා වෙනවා...

මම හිතන්නේ නැහැ පාර්ලිමේන්තුවේ කිසිවකු මේ වගේ දේවල් පෞද්ගලික කෝන්තර බවට පත් කරගනී කියලා. අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු ක්‍රමය ගැන හොඳ අවබෝධයක් තිබෙනවා. විශේෂයෙන්ම මේ සිදුවීමත්, මෙයට දිනේෂ් ගුණවර්ධන මහතා නම් කිරීමේ තීන්දුවත් මා කණගාටුවෙන් ගත් තීන්දුවක්. ඊට මෙපිටින් මේ තත්ත්වය පාලනය කරගන්න මම විශාල උත්සාහයක් ගත්තා.

* හිටපු කථානායක විජමු ලොකුබණ්ඩාර මහතා 2005 වසරේ ජනතා විමුක්ති පෙරමුණට ස්වාධීන වෙන්න අවසර දුන්නා. එහෙත් ඔබ මෙයට විරුද්ධ වුණා...

එය මීට වඩා වෙනස් තත්ත්වයක්. ජනතා විමුක්ති පෙරමුණ තමන්ගෙන් වෙන්ව ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් පොදුජන එක්සත් පෙරමුණේ හෝ වෙනත් කිසිම කණ්ඩායමක හෝ විරෝධතාවක් එල්ල වුණේ නැහැ. පක්ෂ අතර සාකච්ඡා පවත්වා අභ්‍යන්තරව එය විසඳාගෙන කථානායකවරයාට ඉදිරිපත් වූ පසු ඔහු අනුමැතිය දුන්නා. ඒත් මෙවර විමල් වීරවංශ මහතා ඇතුළු කණ්ඩායම වෙන් වීමට විරෝධය දක්වා සන්ධානයේ මහ ලේකම්වරයා මට ලිඛිතව දැනුම්දීමක් කර තිබෙනවා. ඔහු යෝජනා කර ඇත්තේ වෙන් වීමට අවශ්‍ය නම් වෙන වෙනම ඉල්ලා අස්වීමේ ලිපි ඒ ඒ අය ලබා දිය යුතු බවයි. කෙසේ වෙතත් මේ පක්ෂ අභ්‍යන්තර ප්‍රශ්නවලට අත දමා එක පාර්ශ්වයක ඉල්ලීම් ඉටු කිරීමෙන් අනෙක් පාර්ශ්වයේ චෝදනාවලට ලක් වීමෙන් වළකින්නට බැහැ. ඒ නිසා කථා නායක හැටියට සුදුසුම දේ පක්ෂ අභ්‍යන්තර ගැටලු ඔවුන්ටම විසදා ගැනීමට ඉඩ හැරීම කියලයි මම හිතන්නේ.

l එසේ නම් දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වය යටතේ ඒකාබද්ධ විපක්ෂයට වෙනම කටයුතු කරන්න ඉඩ දී ඇත්තේ කුමන පදනමකින්ද?

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කණ්ඩායම් නායකයා නිමල් සිරිපාල ද සිල්වා මහතා. එහි නියෝජ්‍ය නායකයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා පිළිගන්නා ලෙස එකඟත්වය පළ කර තිබෙනවා. ඒ අනුව 23/2 ස්ථාවර නියෝග යටතේ විශේෂ ප්‍රකාශයන් කිරීමටත්, පක්ෂ නායක රැස්වීම්වලට සහභාගී වීමටත් එමඟින් ඉඩ සලසා දී තිබෙනවා. එමෙන්ම පාර්ලිමේන්තුවේදී මේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන්ට වේලාව වෙන් කිරීමේදී කථානායකවරයාගේ සීමාවේ සිටිමින් උපරිම සාධාරණයක් කිරීමට මා කටයුතු කළා. ඒ ගැන ඔවුන්ගේ ප්‍රශංසාව පවා හිමි වුණා.

l පාර්ලිමේන්තුවේදී යම්කිසි පක්ෂයක කොටසක් ස්වාධීනව කටයුතු කිරීමෙන් පාර්ලිමේන්තුවේ පැවැත්මට වන හානිය පැහැදිලි කළොත්...

මෙය ඉතා සංකීර්ණ තත්ත්වයක්. එහිදී පාර්ලිමේන්තු ක්‍රියාදාමය කඩාවැටෙන්න පුළුවන්. ඒ වගේම පාර්ලිමේන්තු වරප්‍රසාද අයුතු ලෙස භාවිත කරන්නත් පුළුවන්. ඒත් යම් මන්ත්‍රීවරයකුට ස්වාධීනව කටයුතු කරන්න ඕනෑම අවස්ථාවක පුළුවන්. එහෙත් ඒ වෙනම හෝ පක්ෂ නායකයන් ලෙස හෝ නොවේ.

l කථානායක ධුරයට පත් වුණාට පසු ඔබ සිරිකොතට පවා නොගිය බවයි ආරංචි...

සිරිකොත කියන්නේ එක්සත් ජාතික පක්ෂ නායකයන් දහඩිය කඳුළු වැගිරූ, ඔවුන්ගේ සුවඳ රැඳුණු භූමියක්. අප නිර්මාණය වුණේ එතැනින්. එහෙත් කථානායක වූ පසු මම එතැනට නොගියේ ගෞරවය අඩු වීම නිසා හෝ අමතක වීම නිසා නොවේ. රටේ කථානායකවරයා ලෙස මා ස්වාධීනව කටයුතු කරන තරමට, මා කථානායක පුටුව දක්වා ගෙන ආ ඒ සිරිකොතට ඒ ගෞරවය හිමි වනු ඇති.

l පසුගියදා ඇතැම් සමාජ වෙබ් අඩවිවල පළ වුණා, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කථානායක ධුරයට පත් කරන්න එක්සත් ජාතික පක්ෂයේම තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් යෝජනා කරන බව...

ශ්‍රී ලංකාව ත්‍රස්තවාදි අර්බුදයකට මුහුණ දී සිටි අවස්ථාවේ රට නිදහස් කරගැනීමට විශිෂ්ට දායකත්වයක් දුන් හමුදාපතිවරයකු වන ඔහුට ඕනෑම තනතුරක් හෙබැවීමේ හැකියාව පවතින බවයි මාගේ හැඟීම.

l අද උත්තරීතර පාර්ලිමේන්තුවේ කාලය නිරපරාදේ 'කාබාසිනියා' වෙනවා. මෑතක වටිනා බුද්ධිමය සංවාදයක් ඇති වූ කාලයක් නම් සිහි කරන්න වත් නැහැ...

පාර්ලිමේන්තුවේ වාද-විවාද මීට වඩා හරවත් හා කාලෝචිත අන්දමින් සිදු විය යුතුය යන අදහස සියලු පක්ෂ නායකයන් තුළ තිබෙනවා. එහෙත් හදිසියේ මේ වගේ දේවල් වෙනවා. මේ නිසා අපි පාර්ලිමේන්තුව හරවත් තැනක් බවට පත් කරන්න වෑයම් කරනවා. මේ වන විට අපි ස්ථාවර නියෝග පවා වෙනස් කරමින් යනවා. දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු කණ්ඩායමත් පූර්ණ වශයෙන් ඒ සඳහා සහයෝගය දෙනවා.

l අද පාසල් දරුවන් මෙන්ම ගුරුවරුන්ද පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙනවා. මෙවැනි ආකාරයට පැවතිය හොත් පාර්ලිමේන්තුව ජනතාවට තහනම් කලාපයක් කරන්න වෙයිද?

මම කිහිප අවස්ථාවකදීම ගරු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කළා මේ ස්ථානයට දරුවන් ඇවිත් ඉන්නවා කියලා. ඒ සමඟම මේ දේත් කිව යුතුමයි. පාර්ලිමේන්තුවේ ඉතා වැදගත් බුද්ධිමය සංවාද යනවා. එහෙත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන්නේ අසුබවාදි දේ පමණයි. මේ බුද්ධිමය සංවාද දරුවන්ට ඉතා ප්‍රයෝජනවත්. මම විශ්වාස කරනවා සියලු පක්ෂ නායකයන්ගේ සහයෝගය ලැබුණොත් මීට වඩා ආදර්ශවත් පාර්ලිමේන්තුවක් ඇති කරන්න අපට පුළුවන් වෙයි.

සුභාෂිණි ජයරත්න
සේයාරුව - තිලක් පෙරේරා 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.