පොලොන්නරුව තරුණ කඳවුරේ සොඳුරු අපේක්ෂාව!

 පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තෙදින තරුණ කඳවුරේ සමාරම්භක උලෙළට සහභාගි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොලොන්නරුව රාජකීය විද්‍යාලයීය පරිශ්‍රයට රැස්ව සිටි තරුණතරුණියන් අමතා කරන ලද අවධාරණයන් සියල්ලම අද මේ රටේ සමස්ත තරුණ පරපුරටම කළ බුද්ධිමය ආයාචනයක් වැන්න. ජීවිතයේ පදනම ළමා විය ලෙස ගත හොත් එහි ප්‍රබල හා හෘදයංගම කාලය තරුණ විය බව නිසැකය. ළමා මනසේ රැඳී තිබෙන අව්‍යාජත්වය, මුදු ගුණය හා අවංකභාවය තරුණ මනස තුළද යම් ප්‍රමාණයකින් හෝ ඉතිරී වී තිබෙන බව මනෝවිද්‍යාඥයන්ගේ අදහසය. එහෙත් සමාජය හා කිසියම් අඳුරු හා කුරිරු බලවේග විසින් උදුරාගනු ලබන ළමාවියේ හා ‍යෞවනත්වයේ සුන්දරත්වය ඉන් මුදාගැනීම පාලකයන්ගේ පමණක් නොව, වැඩිහිටියන්ගේද පරම වගකීම වේ.

ශ්‍රී ලංකාවේ පමණක් නොව වෙනත් බොහෝ රටවලද අද බහුලව දැකගත හැක්කේ ළමාවිය හා තරුණවිය නොයෙක් බාධා කිරීම්, අහිමි කිරීම් හා පීඩනයන්ට ලක් වී තිබෙන ආකාරයයි. ලොව නොයෙක් තැන්වල සිදු වන ගැටුම්වල වින්දිතයන් බවට ළමයි මෙන්ම තරුණයෝද පත්ව සිටිති. විශ්වවිද්‍යාල අර්බුද මෙන්ම වෙනත් සමාජ ආර්ථික ප්‍රශ්නවලට අවිචාරශීලිව සිදු කෙරෙන බොහෝ මැදිහත්වීම්වලටද බොහෝ තරුණතරුණියෝ ගොදුරු වෙති.

ශ්‍රී ලංකාව තුළ වුවද තරුණතරුණියන් මුහුණ දී සිටින අත්දැකීම් යහපත් ඒවා නොවන බවට විවාදයක් නැත. දකුණේ මෙන්ම උතුරේද නොයෙක් ක්‍රියාකාරකම් සඳහා සිදු වී තිබෙන තරුණ මැදිහත් වීම් වැඩි වශයෙන්ම දේශපාලන හෝ බලකාමී පුද්ගල අභිලාෂයන් ලෙස හැඳින්විය හැකිය. එහෙත් ශ්‍රී ලංකාවේ තරුණ පරපුර ළිං මැඩියන් ලෙස හෝ අනුකාරකයන් ලෙස හැදින්විය නොහැකිය. තරුණයන්ගේ අපේක්ෂාභංගත්වයද ගැටුම් සඳහා මැදිහත්වීම්ද තාරුණ්‍යයට හිමි ස්වාභාවික ලක්ෂණයක් ලෙසද තේරුම් ගත යුතුය.

ශ්‍රී ලංකාවේ සමාජ, දේශපාලන හා ආර්ථික තත්ත්වය තුළ වුවද තරුණයන්ට යුක්තිය හා සාධාරණත්වය ඉටු වී නැති බව බොහෝ විට බොහෝ තැන්වල ප්‍රකාශයට පත් වන අදහසකි. එහෙත් ඒ තරුණ තරුණියන් උදෙසා විධිමත් හෝ සාධනීය සැලැස්මක් ඉදිරිපත් වූ බවක්ද කිව නොහැකිය. තරුණ පෙරමුණු, තරුණ සංවිධාන කොතෙකුත් තිබිය හැකිය. එහෙත් තරුණයෝ අපේක්ෂාභංගත්වයට පත්ව නොසිටිත්ද? තරුණ කටයුතු කාන්තා කටයුතු ආදි වශයෙන් විශේෂ අමාත්‍යාංශ පවා මේ රටේ තිබේ. එහෙත් මේ කිසිවකින් මේ රටේ ‍තාරුණ්‍යයට හෙටක් ලබා දීමට හැකි වී තිබේද?

පොලොන්නරු දිස්ත්‍රික්කයේ තරුණතරුණියන් උදෙසා ඔවුන්ට පෙර නොවූ අපේක්ෂාවක් ලබාදීම සඳහා තෙදින තරුණ කඳවුරක් ආරම්භ වන්නේද ප්‍රථම වතාවටය. ජනාධිපතිවරයා නිවැරදිව සඳහන් කළ ආකාරයටම පොලොන්නරුවේ තරුණ තරුණියන් අතර වැඩි දෙනෙක් වෙලේ පැලේ කමතේ නියරේ වැඩිපුර අත්දැකිම් ලද්දෝ වෙති. ඇතැම් විට මාක්ස්, එංගල්ස්, ලෙනින්, ස්ටාලින්, මාවෝ සේතුං, කැස්ත්‍රෝ ගැන දන්නා අයත් අතරින් පතර සිටිය හැකි වෙති. මහාත්මා ගාන්ධි, නෙල්සන් මැන්ඩෙලා මෙන්ම තෙ‍ාල්ස්තෝයි, මැක්සිම් ගෝර්කි, චෙකොව් හා තාගෝර් ගැනද දන්නා අය සිටිය හැකි වෙති. එසේම දේශීය සාහිත්‍යකරුවන් හා කලාකරුවන් ගැනද දත් අය සිටිය හැකි වෙති. එසේ වුවද ඒ සියලු දෙනාගේම අනන්‍යතාව ගමත්, ගමේ සංස්කෘතියත් සමඟ බැඳුණු එකක් විය හැකිය.

දේශපාලනික කැප කිරීම

පොලොන්නරුව යනු මේ රටේ ප්‍රෞඪ ඉතිහාසයක් මෙන්ම ගම්භීර සංස්කෘතියක් සමඟද බැඳුණු පුරවරයකි. එහි අගනා හින්දු සංස්කෘතියක්ද තිබිණි. එහෙත් ඒ ඉතිහාසයෙන් බිඳී ගිය වෙළෙඳ හා සමාජ ආර්ථික පරිසරයක් අද පොලොන්නරුවේද තිබිය හැකි බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

"මේ වාණිජ සමාජයේ අපේ සිත යොමු වන්නේ අනවශ්‍ය දේවලට. අපිට සුදුසු නුසුදුසු දේ මොනවද කියා තෝරාබේරාගැනීම වැදගත්. මේ රාජකීය විද්‍යාල භූමිය තුළ අධ්‍යාපනය ලද ශිෂ්‍යයකු විදිහට තෝපා වැව මහා විද්‍යාලයට ගිය ශිෂ්‍යයකු විදිහට අද ඔබ දකින ලෝකය එදා මටත් තිබුණ. ඒ ප්‍රාර්ථනා පිරි ලෝකයේ මන්ත්‍රීවරයකු වන්න ජනපතිවරයකු වන්න ප්‍රාර්ථනා තිබුණේ නැහැ. එය ජීවිතයේ දෛවය හා දේශපාලනික කැප කිරීමක් ලෙසයි මට ලැබුණේ. ඔබ අද දකින දේට වඩා එදා මා ගත කළේ ඉතා දුෂ්කර ජීවිතයක්. හරියට ප්‍රවාහන, සෞඛ්‍ය, අධ්‍යාපන ඇතුළු පහසුකම් එදා තිබුණේ නැහැ..."

ජනාධිපතිවරයා මේ තරුණතරුණියන්ට මතක් කරන්නේ සිය ළමාවියේ ගම්‍දොර, වෙල්එළියේ, වැව්තාවල්ලේ ඇවිද ගිය ජීවිතයයි. ඒ ජීවිතය ගොවියන්ගේ දුක් ගැහැට මැද ඔවුන්ගේ වේදනා කෙඳිරිලි අතර ගෙවුණත් ඒ ජීවිතය තමන්ට ජාතික නායකත්වයක් ලබා දී තිබෙන බව මේ වචනවලින් සුපැහැදිලිව ගම්‍ය වේ. එසේම එබඳු උසස් භූමිකාවක් සඳහා තමන්ට යා හැකි වූයේ කෙසේද යන්නත් ඒ වචන තුළම ගැබ්ව තිබේ. කැප වීම, අධිෂ්ඨානය මෙන්ම චාම් බව, සරල බව, විනය, සංවරය පිළිබඳ පරමාදර්ශී නායකත්වයකින් කෙරෙන ආවර්ජනයද තරුණ හද තුළ ගිගුම් දෙන්නකි.

නීතියේ ආධිපත්‍යය

ජනාධිපතිවරයා එහි වැදගත් මෙන්ම මූලික පියවර ලෙසත් පදනම ලෙසත් අවධාරණය කරන්නේ විනයයි. සිංගප්පූරුවේ ලී ක්වාන් යූ අගමැතිවරයා එරටේ සියලු ජනතාවටම හමුදා පුහුණුවක් ලබා දෙන්නේද මේ විනය සමාජගත කිරීමට බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි. සැබැවින්ම මේ රටේ අනාගතය භාර වන තරුණයන් විනයගරුක, බුද්ධිමය සාදාචාරාත්මක පරපුරක් විය යුතුය යන්න ජනාධිපතිවරයා තිරසරව කියා සිටී.

අද ශ්‍රී ලංකා‍ව පිළිබඳ සිදු කෙරෙන බොහෝ විවේචනවල හරය ලෙස ගත හැක්කේද විනයක් සංවරයක් නැති, ආත්මාර්ථය, ස්වාර්ථය උදෙසාම කැප වූ දූෂිත හා සමාජ විරෝධි ආකල්පවලින් බහුල පුද්ගල සමාජයක් නිර්මාණය වී තිබෙන බවයි. වැඩි ඈතක නොගොස් ජේආර් ජයවර්ධනගේ සිට මහින්ද රාජපක්ෂගේ පාලන කාලය ඇතුළත මේ රටට සිදුව තිබෙන විනාශය යහපතට, සංවර්ධනයට වඩා බෙහෙවින් වැඩි බව පිළිගැනීමට සිදු වේ.

ඇත්ත වශයෙන්ම මේ හැම යුගයකම හැම නායකයකු විසින්ම හැම දෙයක්ම කරන ලද්දේ ප්‍රජාතන්ත්‍රවාදය, සාධාරණය, යුක්තිය පමණක් නොව, නීතියේ ආධිපත්‍යයද සුරැකීම සඳහා බව ප්‍රකාශ වී තිබේ. එහෙත් සැබැවින්ම සිදු වූයේ පුද්ගල කේන්ද්‍රීය පාලනයකි. ඒ පාලනය තුළ තම පවුලත් තම හිත මිතුරාත් දියුණු වු අතර, රටේ සියලු යහගුණදම් පිරිහී ගියේය. සත්‍යය වෙනුවට අසත්‍යයද යුක්තිය වෙනුවට බලය හා ශක්තියද සිංහාසනාරූඪ වෙද්දී තරුණයෝද නොයිවසිලිමත් වූහ. අවිචාරත්වය හා මුග්ධත්වය සාමාන්‍ය දෙයක් ලෙස සම්මත වීමේ වරද භාර ගත යුත්තේ තරුණයන් නොව පාලකයන්ය.

මෙහි ප්‍රතිඵලය වූයේ අධ්‍යාපන කේෂ්ත්‍රය අවුල් වීමත්, තරුණයන් තුළ අපේක්ෂාභංගත්වය වර්ධනය වීමත්ය. අද වන විට සියලු විශ්වවිද්‍යාලයීය තරුණතරුණියන් වැඩිපුර සිටින්නේ ශාස්ත්‍ර ශාලවල ගුරුවරුන් ඉදිරිපිට නොව, මහපාරේ පොලිස් ප්‍රතිචාරවලට ලක් වෙමින් දුෂ්කර ජීවිත ගෙවමිනි. මේ තතු නිසාම ඔවුන් පසුපස දේශපාලන හෝ වෙනත් බලවේගද ක්‍රියාත්මක වෙමින් තිබේ. අප මේ තරුණ ප්‍රතිචාර තේරුම් ගෙන නැත. හැම ආණ්ඩුවක්ම ඔවුන්ගේ සතුරන් බවට පත්ව සිටියි. එමතු නොව සමාජ, සංස්කෘතික, ආර්ථික, අධ්‍යාපන, දේශපාලන වැනි කිසිදු කේෂ්ත්‍රයක තරුණ පරපුරට ප්‍රමාණවත් වටිනාකමක්ද හිමි වූයේ නැත.

දේශපාලන, අධිකරණ, සෞඛ්‍ය, පරිපාලන වැනි කේෂ්ත්‍රවලද නොයෙක් පසුබැසීම් දක්නට ලැබිණි. යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියද සැකයට භාජනය විය. දූෂණය, වංචාව, අල්ලස, අනිසි බලය සමස්ත සමාජයම වෙළාගනිමින් තිබිණි. මානව හිමිකම් පිළිබඳ නොයෙක් අර්ථකථන ඇසුණද මිනිසාට මිනිසකු ලෙස බියෙන් තොරව ජීවත් විය හැකි පරිසරයක්ද නොවීය. බොහෝ විට පාලකයන්ගේත් ඔවුන්ගේ සමීපතමයන්ගේත් වත්කම් තර වුවද සමාන්‍ය ජනයාට හෝ රටේ වටිනාම සම්පත වන තරුණයාට කිසිවක් නොලැබිණි. මේ අහිමි වීම නිසා රටට පාඩම් ඉගැන්වු 1971 කැරැල්ල හා උතුරේ දෙමළ තරුණයන් බිළීබාගත් ප්‍රභාකරන්ගේ වර්ගවාදි යුද්ධය පවා අද අපට අමතක වී තිබේ.

විනයගරුක සමාජය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලොන්නරුවේ තරුණතරුණියන්ටත් එහි සිට මේ රටේ සියලු තරුණතරුණියන්ටත් පෙන්වා දෙන්නේ එලෙස උදුරාගන්නා ලද, අහිමි කරන ලද තාරුණ්‍යයේ සාඩම්බරය යළි තමන් වෙත කැඳවාගත යුතු බවයි. ඒ සඳහා විනය, බුද්ධිය, අධිෂ්ඨානය, කැප වීම වුවමනා බවයි. ඒ කිසිවක් අහසින් කඩා පාත් නොවන අතර, ඒ සඳහා සම්පත්, උපදේශනය මෙන්ම අවස්ථාවද සලසා දෙන බව ජනාධිපතිවරයා කියා සිටියි. ලෝකය ජය ගත හැක්කේ බුද්ධියෙන් බවත්, එනිසා උගතුන්ගේ වෙළෙඳපොළ සමගම තාක්ෂණ හා කාර්මික අංශවල ප්‍රබෝධයද තරුණයන්ට ලබා දීමට රජය කැප වන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

"ඔබට අවශ්‍ය යහපත් ලෝකයක, ඔබ බලාපොරොත්තු වන ඉතා වැදගත් සමාජයක, ගුණගරුක සමාජයක, විනයගරුක සමාජයක විශිෂ්ට මිනිසුන් විදියට ගොඩනැඟෙන්නයි ඔබට අවශ්‍ය මඟ පෙන්වීම කරන්නේ. ඔබේ තිබෙන දක්ෂතා, ඔබට තිබෙන නිර්මාණශීලිභාවයන්, කුසලතාවන් ආත්මධෛර්ය ය, ආත්මශක්තිය සහ ආත්මාභිමානය එක්ක ‍ඓතිහාසික පොලොන්නරු පුර‍වරෙන් වසර දහස් ගණනක මහා ශ්‍රේෂ්ඨ කතාවෙන් පැවත එන පරපුරක් විදියට ඒ මිනිසා ශ්‍රේෂ්ඨත්වය සමග මේ තරුණ දරුවනේ, ඔබ පොලොන්නරුව නොවෙයි, මේ රට නොවෙයි, ඔබ මේ ලෝකය ජයග්‍රහණය කරන්න. ලෝකයේ විශිෂ්ටයන් බවට පත් විය යුතුයි කියනඑකයි අපේ ප්‍රාර්ථනාව සහ ආශීර්වාදය වන්නේ..”

තරුණ තරුණියන්ගේ විශ්වාසය

ජනාධිපතිවරයා එලෙස තරුණතරුණියන්ට ආශීර්වාද කරන්නේ හැඟීම්බරවය. එය කිසි සේත්ම මූණිච්ඡාවට කරන කතාවක් නොවේ. වේදිකාවෙන් බැස තරුණතරුණියන් අතර සිටි ජනාධිපතිවරයා දුටු ඔවුන් තුළ ඇති වන්නේ හෘදයංගම බැඳීම්ය. තරුණතරුණියන් අතර ඔවුන්ගේ නිල ඇඳුමින්ම සැරසී නිරහංකාරව බිම වාඩි වීමට ජනාධිපතිවරයාට හැකිය. ඒ තමන් ඔවුන්ගේම කෙනකු වන නිසාය. ඒ පොළොවෙන් මතු වූ ඒ දූවිල්ලෙන් ඒ සුළඟ විඳින, ඒ ගහකොළ ඇළදොළ වැව් ගංගා හඳුනන රජරැටියකු ලෙසය; මේ රටේ ගොවියකුගේ පුතකු ලෙස සාමාන්‍ය ජනතාවගේ දරුවකු ලෙස සිට ‍රාජ්‍ය නායකයකු වීමේ භාග්‍යය මෙන්ම දෛවයේ අනුබලයද ලද ගැමි දරුවකු ලෙසය. මේ තරුණ නායකයන් අතරින් මේ රටේ අනාගත අගමැතිවරයකු ජනාධිපති‍වරයකු බිහි වේවායි ජනාධිපතිවරයා ප්‍රාර්ථනා කරන්නේ හදවතින්ම බව ඒ තරුණතරුණියෝ දනිති. පොලොන්නරුව මනරම් පුරවරයක් කිරීමටත්, එහි සියලු ජනතාවට අලුත් ජීවිත නිර්මාණය කිරීමටත් කැප වී සිටින, රජරටින් රජ පුටුවට තේරී පත් වූ පොදු ජන නායකයකු ලෙස තරුණතරුණියන්ගේ විශ්වාසයද ‍ගෞරවයද ජනාධිපතිවරයාට හිමි වී තිබේ.

තතු එසේ වුවද මේ රටේ දේශපාලනය ගැන තවමත් තරුණයන්ට විශ්වාසයක් නැත; පැහැදීමක් නැත. ජනතාව අතරද 'කොයි ආණ්ඩුවත් එකයි' කියන අය සිටිති. පක්ෂය, බලය, පවුල, ස්වාර්ථය උදෙසා යන දේශපාලන මෙරිගෝ රවුමක් ලෙස එදා මෙදා තුර ක්‍රියාත්මක වූ දේශපාලන ධාරාව තරුණයන්ගේ විරෝධයට ලක්ව තිබීමද සාධාරණය. තරුණයන් පාරට බසින්නේ ඒ විශ්වාසය නැති නිසාය. එහෙත් පොලොන්නරුව තරුණයන්ට ඇස් පනාපිට පෙනෙන සත්‍යයක් තිබේ. ඒ, ඉතිහාසයේ පළමු වරට විශාල තරුණ නියෝජනයකින් යුතු තෙදින කඳවුරක් තම ප්‍රදේශයට ලැබී තිබෙන බවයි. ඒ වෙනස සිදු වූයේ තමන්ගේ දෙමවුපියන්ගේත් තමන් වැනි තරුණතරුණියන්ගේත් විශ්වාසය, ප්‍රසාදය හිමි වූයේ වත්මන් ජනාධිපතිවරයා නිසා බවද ඔවුහු දනිති. විනයක් නැති හරයක් නැති අරමුණක් නැති දේශපාලනයට ගෞරවයක්, අපේක්ෂාවක් ලබාදීමට ජනාධිපතිවරයා කැප වී සිටින බවද ඔවුහු දනිති.

'මං නැතිදා මේ රට නුඹටයි නුඹේ යහළුවන්ටයි' සිතන දේශපාලන චරිත අදටත් හිඟ නැත. බලය සඳහා ජාතිවාදය ආගම්වාදය පතුරුවන දේශපාලන චරිතද අදටත් හිඟ නැත. එහෙත් ඒ අතරම මේ රටට ආදරය කරන, මේ රටේ ජනතාව පීඩා විදින දුගී බව ගිලන් බව නැති කළ යුතුයැයි හිතන දේශපාලන චරිතද තිබේ. විනයක් ඇති ජාතියක් ලෙස මේ රට ගොඩනැඟිය යුතුයැයි අධිෂ්ඨාන කරගත් චරිතද තිබේ. ඒ උදෙසා පොලොන්නරු තරුණතරුණියන් සමඟ පුළුල් අර්ථවත් පරමාදර්ශි දේශපාලන සංස්කෘතියක් ගොඩනඟාගැනීමට ජනාධිපතිවරයා කැප වී සිටියි.

ඉන්දියා‍වේ ආන්ද්‍රා ප්‍රදේශයේ ගොවියකු ලෙස උපත ලැබ ආන්ද්‍රා ප්‍රදේශයෙහි මහ ඇමැතිවරයා බවට පත්ව නූතන තාක්ෂණය සමඟ බැ‍‍ඳෙමින් ආන්ද්‍රා ප්‍රදේශයට ලෝකයේම අවධානය යොමු කරවාගත් චන්ද්‍ර බාබු නායිදු මෙන් රජරට ගොවි නායකයකුගේ පුතකු ලෙස රජරට ගම්දනවු මැද වැඩුණු ගොවි දරුවකු වන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාටත් මේ රටේ තරුණ පරපුර නූතන ශ්‍රී ලංකාවේ අභිනව සංවර්ධනය ක්‍රියාදාමයේ ප්‍රමුඛ බලවේගයක් බවට පත් කළ හැකි වුව හොත් එයම තවත් ලෝක වාර්තාවක් වනු නිසැකය. තෙලිඟු දේසම් පක්ෂයේ මහ ලේකම් ධුරය හෙබවු චන්ද්‍ර බාබු පසුව ආන්ද්‍රා ප්‍රදේශයේ මහ ඇමති විය. ශ්‍රීලනිපයේ මහ ලේකම් ධුරය හෙබවු මෛත්‍රීපාල සිරිසේනද එසේම රාජ්‍ය නායකත්වය සඳහා තේරී පත් විය. චන්ද්‍ර බාබු නායිදුත් තම ප්‍රදේශයේ දිළිඳු ජනතාවගේ දුගී බව නැති කිරීම සඳහා ඔසු සෙවූ අයුරින්ම ජනාධිපතිවරයාද තම ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සොයා සැලසුම් ඉදිරිපත් කර තිබේ. දුගී භාවය පිටු දැකීම හා මත් උවදුර දුරලීම එහි ප්‍රමුඛ ව්‍යාපෘති දෙකකි. පොලොන්නරුවේ තරුණ කඳවුරේදීත් මත් උවදුර දුරලීම සඳහා ඔවුන්ගේ ක්‍රියාකාරි සහාය අයැද සිටියේද ඒ අනුවය.

1956 ඇස්ඩබ්ලිව්ආර්ඩී බණ්ඩාරනායක මහතා මෙරටේ රාජ්‍ය නායකත්වයට පත් වීමෙන් පසු විශේෂයෙන්ම ගම්බද ප්‍රදේශවල ජනතාවට මෙන්ම ඔවුන්ගේ දරුවන්ටද පෙරට ඒමේ අවස්ථාව වැඩි විය. ගම්බද දරුවා දැනුමෙන් බුද්ධියෙන් පෙරමුණට පැමිණි අතර, විශ්වවිද්‍යාලය පද්ධතියේද ගැමි තරුණයන්ට වැඩි ප්‍රතිශතයක් හිමි විය. තරුණයන්ට ඥාන ගවේෂණ මාර්ගය විවර කළ බණ්ඩාරනායක රජය විචාරශීලි තරුණ පරපුරට ඉහළ සමාජ වටිනාකමක්ද දුන්නේය. එහෙත් කාලයාගේ ඇවෑමෙන් ඒ තරුණ පරපුරට සිදු වී ඇත්තේ යහපතට වඩා අයහපත බවද කිව යුතුය. මේ තරුණ සංයුතියේ සිංහල, දෙමළ, මුස්ලිම් යන සියල්ලෝම සිටිති. මේ සියල්ලෝම යුක්තිය හා සාධාරණය වෙනුවෙන් ඉදිරිපත් වූවෝය. එහෙත් ඔවුන් අයැද සිටි යුක්තිය හෝ සාධාරණය හෝ ඔවුන්ට ලබාගත නොහැකි වූ බව අමුතුවෙන් කිව යුතු නැත. පොලොන්නරුවේ තෙදින තරුණ සමුළුව ඒ බිඳී ගිය තරුණ අපේක්ෂා පිළිබඳ තරුණයන්ට මෙන්ම ඔවුන්ගේ දෙමවුපියන්ට දෙන ලද ‍ගෞරවනීය ප්‍රතිඥාවක් පමණක් නොව, සාධනීය මෙහෙයුමක්ද වේ. ඒ සියල්ලෙහි ප්‍රතිඵල හෙට තරුණතරුණියන්ට මෙන්ම අපගේ මාතෘ භූමියටද හිමි වන බව නිසැකය.

ඡායාරූපය - සුදත් මලවීර

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.