වගාවක් කර ගෙන පෝයට සිල් අරන් නිදහසේ ඉන්න ආසයි

ඩී. එස්. සේනානායක අගමැතිතුමන් මිණිපේ ජනපදය පිහිටු වූ අවස්ථාවේ තම පියා සමඟ සිවු හැවිරිදිව සිටිය දී වලපනේ සිට උඩුදුම්බරට පැමිණි ඔහු එම ප්‍රදේශයෙන් බිහි වූ ප්‍රථම උපාධිධාරියාය. දේශපාලන පළිගැනීම් හේතුවෙන් ලැබෙන්නට තිබූ බොහෝ දේ අහිමිව දේශපාලනයට පැමිණි හෙතෙම 1977දී එජාපයෙන් උඩුදුම්බර ආසනයට තරග කර ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පත්ව ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවේ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරුවේය. ආසන සංවිධායක ධුරයට පත් වූ අවස්ථාවේ බල මණ්ඩලය කැඳවා තමන් මහ මැතිවරණ දෙකකට තරග කර දේශපාලනයෙන් සදහට ම සමුගන්නා බව පැවසුවේය. කී ලෙසින්ම 1989 වසරේදී දේශපාලනයෙන් සමුගත් අත්තනායක මුදියන්සේලාගේ රම්බණ්ඩා අත්තනායක හෙවත් ඒ. එම්. ආර්. බී. අත්තනායක මහතාට යළි දේශපාලනයට එන ලෙස පක්ෂ නායකයන් රැසක් කළ ඉල්ලීම් හෙතෙම ප්‍රතික්ෂේප කරමින් කෘෂිකර්මාන්තයේ නිරතව සිටියි. ඌරාපොළ ගමේ නිස්කලංක පරිසරයක ජීවිතයේ සැඳෑ සමය ගෙවමින් සිටින ඔහු සමඟ කළ සාකච්ඡාවකි මේ.

ඔබ උපන්නේ වලපනේ නේද?

ඔව්. අපේ තාත්තාගේ ගම වලපනේ. මිණිපේ ජනපදය පිහිටුවන කොට අපේ තාත්තා ඒ පැත්තේ මිනිස්සු කුඹුරු කරන්න එක්ක ඇවිත් ‍පදිංචි කරවලා තියෙනවා. තාත්තා කළුබණ්ඩා අත්තනායක. එයා හොඳ ගොවියෙක් වගේම ගුරුවරයෙක්. අම්මා ධනපාල මුදියන්සේලාගේ හීන්මැණිකේ. අපේ පවුලේ සහෝදර සහෝදරියෝ හත් දෙනයි. අපි පවුලම මිණිපේ පදිංචියට එනකොට මට වයස හතරයි. තාත්තා මාව කරේ තමයි අරන් ඇවිත් තියෙන්නේ.

ඔබ පාසල් ගියේ සෑහෙන්න පරක්කු වෙලා?

මම ඉස්කෝලෙට දාලා තියෙන්නේ අවුරුදු 13 දී. වලපනේ ඉඳලා මිණිපෙට 1942 එනකොට එහේ ඉස්කෝල තිබිලා නැහැ. තාත්තා ගුරුවරයෙක් නිසා මට ගෙදරදී හැමදේම කියා දුන්නා. මොරයාය ඉස්කෝලේ හැදුවේ 1951 දී විතර. ඉස්කෝලේ හදලා විවෘත කළ ගමන් අපි ඒකට ඇතුළු වුණා. ළමයි 60 ක් විතර හිටියේ. හෝඩියේ මාසයයි, එකේ මාස තුනයි, දෙකේ මාස හයයි ඉඳලා මම ඉක්මනට ඉහළ පන්ති වලට ආවා.මොකද ගෙදරදී තාත්තා උගන්වලා තිබ්බ නිසා මට පන්තියේ වැඩ ලේසි වුණා.

සාමාන්‍ය පෙළ කළේ?

මොරයාය ඉස්කෝලේ සාමාන්‍ය පෙළ පන්ති තිබ්බේ නැහැ. ඒ නිසා කළුන්දෑව ඉස්කෝලෙට යන්න වුණා. සාමාන්‍ය පෙළ පන්තියේ ළමයින් 12ක් විතර හිටියේ. මමයි තව එක්කෙනෙකුයි හොඳට පාස් වුණාට ඒකේ උසස් පෙළ තිබ්බේ නැහැ. ඒ නිසා උසස් පෙළ කරන්න පාසලක් හෙව්වා. වලල ඉස්කෝලේ උසස් පෙළ තිබ්බා.මම ගෙදරටත් නොකියා ගිහින් ප්‍රින්සිපල් හම්බවෙලා උසස් පෙළ කරන්න ඕන කියලා කිව්වා. විභාගයක් තිබ්බා. දාසය දෙනෙක් පෙනී හිටිය ඒ විභාගයෙන් මම පළවෙනියා වුණා. උසස් පෙළට ඇතුළු කරගන්න ඒ කාලේ හැටියට ලොකු මුදලක් බඳින්න කිව්වා. මම කිව්වා අපි දුප්පත් මම මේකට එන්නේ නැහැ කියලා. පස්සේ තෙල්දෙණිය ඉස්කෝලේ බලන්න ගියා. ඒකේ උසස් පෙළ පන්ති භාරව හිටියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී චිත්‍රා මන්තිලකගේ තාත්තා. පන්තියේ හිටියේ අට දෙනයි. මම ඉහළින්ම උසස් පෙළ සමත් වුණා. ඒ කාලේ උසස් පෙළ සමත් වුණාට විතරක් මදි විශ්ව විද්‍යාලයට ඇතුළත් කර ගන්න වෙනම විභාගයක් තියෙනවා. ඒක පාස් වුණේ මම විතරයි. විද්‍යයෝදය විශ්වවිද්‍යාලයට තේරුණා. අද ඒක හඳුන්වන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කියලනේ.

විශ්ව විද්‍යාලයට තේරෙන්නත් කලින් ඔබට ගුරු පත්වීමක් ලැබෙනවා නේද?

ඔව්. උසස් පෙළ සමත් වුණ නිසා මට ගුරු පත්වීමක් ලැබුණා. පත්වීම ලැබිලා දවස් 14 කින් මට විශ්ව විද්‍යාලයට තෝරා ගත්ත ලියුම ලැබුණා. ඔය සිද්ධිය වුණේ 1961 සැප්තැම්බර් මාසේ. ගුරුවරයෙක් ලෙස සේවය කරද්දී විශ්වවිද්‍යාලයට යන්න බැහැ. මම හිර වුණා. සල්ලිත් ගොඩක් අතේ නැති නිසා රස්සාව තියා ගන්න ඕන කියලා මම හිතුවා. මොකක් හරි සහනයක් ගන්න ඕන කියලා හිතලා ඇමැති මෛත්‍රිපාල සේනානායක මහත්තයාව හම්බවෙන්න තනියම කොළඹ ආවා. එදා තමයි මම ඉස්සරවෙලා ම කොළඹ ගියේ. ඒවා බෑ..ඒවා බෑ.. කියලා සේනානායක මහත්තයා ගත් කටට ම කිව්වා.

ඔබ මොකද කළේ..

මට කරන්නේ මොනවද කියලා හිතා ගන්නා බැරිවුණා. කල්පනා කළා. ඩී. එස්, ඩඩ්ලි ව්‍යාපාරේ වැඩවලට මිණිපෙට ආවාම අපේ ගෙදර එනවා. මම හිතුවා ඩඩ්ලි මහත්තයා හම්බ වෙන්න ගියා නම් හොඳයි කියලා. වුඩ්ලන්ඩ්වල තිබ්බ ඩඩ්ලි මහත්තයාගේ ගෙදර හොයාගෙන ටැක්සියකින් ගියා.

විස්තරේ කිව්වම අපේ ගෙදර නැවතිලා විශ්වවිද්‍යාලේ යන්න කැමැතිද කියලා ඩඩ්ලි මහත්තයා ඇහුවා. මම කිව්වා ජොබ් එක තිබ්බා නම් හොඳයි සර් කියලා. ඩඩ්ලි මාව අරන් මැලේ වීදියේ අධ්‍යාපන දෙපාර්තුමේන්තුවට කෙළින්ම කාර් එකේ ගියා. අධ්‍යක්ෂවරයාගේ පියන් ඩඩ්ලි මහත්තයා දැක්ක ගමන් කාර්යාලය උඩට දිව්වා. මිනිහා ඩඩ්ලි ඇවිත් කියලා පණිවුඩය අධ්‍යක්ෂවරයාට කියලා. අධ්‍යක්ෂවරයා මඟට ඇවිත් එන්න සර් කිව්වා. එයාගේ පුටුවේ වාඩිවෙන්න කිව්වත් සර් වාඩි වුණේ නැහැ.

ඩඩ්ලි මොකද කිව්වේ.

මිණිපේ ව්‍යාපාරයෙන් විශ්වවිද්‍යාලයට ‍තේරුණ පළවෙනි ළමයා මේ කියලා පටන් ගෙන විස්තරේ කිව්වා. මෙයාට සහනයක් දෙන්න ඕන. ගුරු සේවයේ අවුරුදු දෙකක් හිටියට පස්සේ තමයි වැඩිදුර අධ්‍යාපනයට පඩි එක්ක නිවාඩු අනුමත කරන්නේ. මේ ළමයාට මොකක් හරි සාධාරණයක් කරන්න මම බලනවා කියලා අධ්‍යක්ෂවරයා කිව්වා. එළියට ඇවිත් කාලා අද ගෙදර නතර වෙලා හෙට උදේ යන්න පුළුවන් කියලා ඩඩ්ලි සර් කිව්වා. මම කිව්වා මාත් එක්ක එකට ඉගෙන ගත්ත යාළුවෙක් ඉන්නවා මරදානේ. එයා ඉඩම් දෙපාර්තුමේන්තුවේ වැඩ කරන්නේ. එයාගේ ගෙදර ඉඳලා මම උදෙන්ම යන්නම් කියලා. මොනවත් නොකියා මහත්තයා වාහනේට නැග්ගා. මම ආයෙත් පස්සෙන් නැග්ගා. වාහනේ මරදානේ මම කිව්ව යාළුවගේ ගෙවල් පැත්තේ නතර කළා. නම කියලා කට්ටියකගෙන් අහලා ගේ හොයා ගත්තා. ගේ ළඟට ගිහින් හෝන් කළාම යාළුවා ආවා. එයාගේ නමත් අත්තනායක. මම ඩඩ්ලි සර්ගේ කාර් එකේ පිටි පස්සේ දොර ඇරගෙන බහිත්දී මිනිහා බයවෙලා වගේ බලන් හිටියා. ඩඩ්ලි සර් ගියාට පස්සේ මිනිහා මට කිව්වා ඈ ගොනෝ...ඩඩ්ලි කාරෙක එළවත්දී පස්ස ෂීට් එකේ යන්න ඩඩ්ලි උඹේ ඩ්‍රයිවර්ද කියලා? එතකොට තමයි මට තේරුණේ මම වරදක් කරලා තියෙන්නේ කියලා. මම හිතුවේ ඉස්සරහින් නඟින එක හොඳ නැහැ කියලා. එතකොට‍ අපි මෝරලා නැහැනේ.

ඔබ පහුවදා ගෙදර යනකොට ටෙලිග්‍රෑම් එකක් ඇවිත් තිබුණා නේද ?

ඔව්, මම ගෙදරට යනකොට හවස 3.00 පහුවෙලා. ගෙට ගොඩ වෙනකොට ම තාත්තා කිව්වා ආං මොකක්දෝ ෂොකඩයක් ඇවිත් තියෙනවා කියලා. මට නම් මොනවත් තේරෙන්නේ නැහැ බලපන් උඹටවත් තේරෙනවාද කියලා. මම බැලුවා මටත් තේරෙන්නේ නැහැ. තව ටිකක් හොඳට බලනකො‍ට තමයි වැඩේ තෙරුණේ.ඉංග්‍රීසී අකුරුවලින් සිංහල වචන ලියලා තිබ්බේ. දැන් ඔය ළමයි එස්.එම්.එස්. ගහන්නේ ඒ විදිහටලුනේ.

විශ්ව විද්‍යාලයේදී ඔබට රැග් කළාද?

මම ටිකක් පරක්කු වෙලා විශ්වවිද්‍යාලයට ඇතුළු වුණ නිසා මම යනකොට රැග් එක ඉවරයි. අනික මම රැවුලත් වවලා විශ්වවිද්‍යාලේ ගියේ. මට කවුරුත් වැඩිය පාට් දාන්න ආවේ නැහැ. දෙවැනි වසරේදී මම අලුත් ළමයින්ට රැග් කළා.

ඒ කාලේ රැග් එක අදට වඩා වෙනස්ද?

අද රැග් නෙවෙයිනේ මහත්තයෝ තියෙන්නේ. අද රැග් එක මුවාවෙන් කරන්නේ අපරාධ. ළමයින්ගේ ඇඳුම් ගලවලා ගහනවා. කී දෙනෙක් මැරුණද රැග් එක නිසා. මේ ළමයි මානසික රෝගීන්ද කියලා වෙලාවකට මට හිතෙනවා. අපේ කාලේ රැග් එක හරිම විනෝදයි. කවියක් කියන්න කියනවා. කිව්වට පස්සේ උඹ කාටද කවිය කිව්වේ අහනවා. ඔයාට කිව්වම මම වගේ ජ්‍යෙෂ්ඨ උතුමෙක් ඉස්සරහා උඹ කවි කියන්න..වැඳපං මට..ඕං රැග් එක. අද එහෙමද? කුලියට කාමර අරගෙන ළමයින්ව ඒවට අරන් ගිහින් රැග් කරන්නේ...

ඔය අතරේ දේශපාලනයත් කළා නේද?

මම 1965 මැතිවරණයේ එජාප වේදිකාවේ කතා කළා. උඩුදුම්බර රැස්වීම් ගොඩක් සංවිධාන කළේ මමයි.

උපාධිය සමත්වීමෙන් පසු මහනුවර ධර්මරාජයට ලැබුණු ගුරු මාරුව ඔබ ප්‍රතික්ෂේප කළා.

මම විශ්වවිද්‍යාලයට ආවේ උඩුදුම්බර අති දුෂ්කර ප්‍රදේශයකින්. මිණිපේ ව්‍යාපාරයේ පළමුවෙනි උපාධිකාරයා ධර්මරාජේ උගන්වලා හරියනවද? මම කිව්වා මට මගේ ගමේ කොල්ලෝ කෙල්ලන්ට උගන්වන්න ඕන කියලා. උන් මම එනකං බලාගෙන ඉන්නවා කියලා. එහෙම කියලා මම මුලින්ම අකුරු කරපු මොරයාය ඉස්කෝලේට මාරුව හදා ගත්තා. කීන පැලැස්ස ඉස්කෝලේ පුස්තකාලය හැදුවා. මමත් විදුහල්පති විදිහට ලී කඳන් වලට කර ගහලා තමයි පුස්තකාලේ හැදුවේ. නෝනත් ඒ ඉස්කෝලෙම ඉගැන්නුවා. අපි ගුරු නිවාසේ හිටියේ. ඉස්කෝලේ ඇරුණා ම ළමයි ගෙදර තියාගෙන උගන්නනවා. දැන් ඉස්කෝල වල ටීචර්ලා ගොඩක් ළමයින්ට උගන්වන්නේ ඉස්කෝලේ නෙවෙයි ටියුෂන් පන්තියේනේ. ඒ කාලේ ඇත්තටම ගුරුවරුන් හැම ළමයා ම සැලකුවේ තමන්ගේ ළමයෙක් විදිහට.

පරිපාලන විභාගය සමත්වුවත් ඔබට ඊට අදාළ තනතුරු හිමිවුණේ නැහැ.

මම බුද්ධි පරීක්ෂණයෙන් 1969 දී සමත් වුණේ ලංකාවෙන්ම පළවෙනියා විදිහට. ඒත් සී.එස්. ඉන්ටර්වීව් මට ආවේ නැහැ. දේශපාලන වශයෙන් මම යූ.එන්.පී නිසා කැපිල්ලක් ආවා. ඊට අවුරුද්දකට පස්සේ අධ්‍යාපන පරිපාලනය ලිව්වා. ඒක සමත් වුණා. සිරිමා ආණ්ඩුවෙන් 1971 දී මාව දාහත් පොළකට මාරු කළා. අධ්‍යාපන නිලධාරී පත්වීම වැලිමඩට ආවත් වැඩ භාර ගන්න දුන්නෙම නැහැ. 1976 වෙනකොට පළිගැනීම් අන්තිම දරුණු තත්ත්වයට පත්ව තිබුණා. පශ්චාත් උපාධිය කරන්න කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළු වුණා .එතකොට මාරු කරන්න බැරි වුණා. මට දේශපාලන බලය පාවිච්චි කරලා ගහන නිසා ඒකෙන් ගොඩ එන්න නම් දේශපාලනයට බහින්න ඕන කියලා මට හිතුණා. ඩඩ්ලි 1965 දී ඡන්දේ ඉල්ලන්න කිව්වත් මම එදා කැමැති වුණේ නැහැ. සර් මම උපාධිය අරන් ඉන්න ඕන කියලා එදා මම කිව්වා.

ඔබ 1977 මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්න ආසන සංවිධායකකම ගත්තෙත් උපක්‍රමශීලීව නේද?

මම කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය කරනකොට වැඩිපුර හිටියේ සිරිකොතේ. ජේ. ආර්. මහත්තයා ජයතිලක කියලා කෙනෙක් උඩුදුම්බර ආසනයට දාන්න ගියා. මම කිව්වා සර් එයා හරියන්නේ නැහැ. මට දෙන්න මම දිනලා පෙන්නන්නම් කියලා. ජේ.ආර්. කිව්වා පරීක්ෂාවක් කරන්න ඕන කියලා. මම කිව්වා පුළුවන් නම් එයාට හොඳ රැස්වීමක් ආසනේ කරලා පෙන්වන්න කියන්න කියලා. ජේ. ආර්. මහනුවර ඊ. එල්. සේනානායකට කිව්වා ජයතිලකට රැස්වීමක් සංවිධාන කරන්න දීලා ඒක අධීක්ෂණය කරලා වාර්තාවක් එවන්න කියලා. මම ටක් ගාලා උඩුදුම්බරට ගිහින් හැමෝටම කිව්වා රැස්වීමට යන්න එපා කියලා. ඊ. එල්. රැස්වීම බලන්න ගියාම හිටියේ 19 යි. එදා ඊ.එල් ගේ තොප්පියත් කවුදෝ හොරකම් කරලා. පහුවදා මම ගියා ඊ.එල්. හම්බවෙන්න.මම ඇහුවා රැස්වීම හොඳද කියලා.මොන හොඳක්ද 19 යි හිටියේ. ඒ මදිවට මගේ තොප්පියත් හොරකම් කරලා. ඊ.එල්. හිටියේ තරහින්. මම කිව්වා සර්ගේ තොප්පිය ගෙනත් දෙන්න කියලා මම කියන්නම්. ඒක අරන් තියෙන්නේ මම දන්න කෙනෙක් කියලා.

ඔබ ආසන සංවිධායක වුණා.

1977 පෙබරවාරී 12දා ආසන සංවිධායක පත්වීම ජේ. ආර්. දුන්නා. පහුවදා මම ආසනේට ආවා. මම ආව ගමන් උඩුදුම්බර ආසනයේ ශ්‍රීලනිප සංවිධායක ලෙස හිටපු එච්. එම්. නවරත්න ආසනය අත්හැරලා නුවරට ගියා. මම මිනිස්සු එක්ක හිටියේ. පොඩි කාලේ මම ගමේ පොළේ කිරි අල වික්කා. කිරි අල රාත්තලක් සත 15 යි. පතෝල අක්කර 05 ක විතර වැව්වා. ඒවගෙන් තමයි ඉගෙන ගන්න සල්ලි හොයා ගත්තේ. මම මිනිස්සු එක්ක ඉන්න නිසා මාව පරද්දවන්න අමාරු බව දැන ගත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහනුවර ඒ වෙලාවේ හිටපු මහ දිසාපතිවරයාව විශ්‍රාම ගන්නවලා උඩුදුම්බර සංවිධායක විදිහට පත් කළා.

දිසාපතිවරයා පරාජය කරන්න ඔවුන්ගේම දුර්වලතා ඔබ ප්‍රයෝජනයට ගත්තා.

දිසාපතිවරයාගේ සම්පතයන් වාහනවලින් අරක්කු ගෙනත් ආසනේ බෙදන්න පටන් ගත්තා.මම හසලක පොලීසියට මේ බව කිව්වා. අපි මඟ රැකලා කා‍ර් එකේ අරක්කු ගේන කොටම පොලීසියට අල්ලලා දුන්නා.අරක්කු බෝතල් ටික ෆොටෝ ගහලා පත්තරේට දැම්මා.දිසාපති නොකවුට්.

ඡන්ද ව්‍යාපාරය කළේ පාපැදියෙන්.

මම ෆූට් බයිසිකල් 200 කින් මැතිවරණය කළේ. මි‍ණිපේ ඉඳලා කොළොංගොඩට හැතැප්ම 58 යි. බයිසිකල්වලින් අපි මේ අතර තියෙන ගෙවල්වලට ගිහින් මිනිස්සුන්ට කතා කළා. ඡන්දේ තිබ්බේ 77 ජූලි 22 වෙනිදා. ආසනේට පත්වෙලා මාස හතරයි. රුපියල් 96000යි මට වියදම් වුණේ. වැඩි ඡන්ද තුන් දහස් ගාණකින් මම දිනුවා.

ජේ.ආර්. අණ්ඩුවේ ඔබ උසස් අධ්‍යාපන නියෝජ්‍යය ඇමැතිවරයා.

ඔව්. ජේ.ආර්. ජනාධිපති වගේම උසස් අධ්‍යාපන ඇමැති. මම නියෝජ්‍ය ඇමැති. ජනාධිපති නිසා ජේ. ආර්. ම‍ගේ අමාත්‍යාංශයට ඇඟිලි ගැහුවේ නැහැ. මම එනකොට කාර්මික විද්‍යාල 17ක් තිබුණා. ඒක මම 32ක් දක්වා මගේ කාලය තුළ වැඩි කළා. රුහුණු, නැඟෙනහිර, රජරට, සබරගමුව, ඌව විශ්වවිද්‍යාල මගේ කාලයේ පටන් ගත්තේ.

රුසියාව සමඟ වෛද්‍ය සිසුන්ට ආදාළ ගිවිසුමක් අත්සන් කළෙත් ඔබගේ කාලයේ.

රුසියාවේ වෛද්‍ය උපාධිය ලංකාවේත් අපේ වෛද්‍ය උපාධිය රුසියාවේත් පිළිගන්න අවශ්‍ය ගිවිසුම අත්සන් කළේ මගේ කාලයේ. අපි කණ්ඩායමක් ඒ සඳහා රුසියාවට ගියා. ලාම්පු කළ ගෙඩි ඡන්දේ තිබ්බේ ඒ දවස්වල. මේ ගිවිසුමේ පස්වන වගන්තිය වුණේ අපේ වෛද්‍ය උපාධිය රුසියාව පිළිගන්නා නමුත් රුසියාවේ වෛද්‍ය උපාධිය සමත්වන අයකු ශ්‍රී ලංකාවේ වෛද්‍යවරයකු ලෙස කටයුතු කරන්න නම් මෙහි වෛද්‍ය සභාව මගින් පවත්වන විභාගය සමත්වීම අනිවාර්යයි යන්නයි. වෛද්‍ය බිලිබියන් රුසියාවේ නියෝජිතයා කිව්වා අපේ උපාධිය කෙළින්ම පිළිගන්න ඕන කියලා. මම විරුද්ධ වුණා. සතියක් සාකච්ඡා කෙරුණා. අවසානයේ ඒ අය අපේ යෝජනාවට කැමැති වුණා.

මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් ලැබුණෙත් ඔබගේ යෝජනාවකට අනුව නේද

ඡන්දේ දින්නට පස්සේ මට කොළඹ යන්න කාර් එකක් දුන්නේ උඩුදුම්බර මුදලාලි කෙනෙක්. මිනිහා කාර් එක දීලා ඒ වෙනුවට මගෙන් නොයෙක් වාසී ගත්තා. මේක හරියන්නේ නැහැ කියලා මම ජනාධිපතිතුමාට කිව්වා සර් අපිට පඩියෙන් කපා ගන්නා වාහනයක් දෙන්න කියලා. යෝජනාව පාර්ලිමේන්තුවෙන් අනුමත වුණා. මුලින් වාහනේ දුන්නේ ඒකේ වටිනාකම පඩියෙන් කපා ගන්න. පස්සේ පර්මිට් එක දෙන්න පටන් ගත්තා. අවුරදු 12 ක් පාර්ලිමේන්තුවේ ඉන්නකොට මට වාහන තුනක් හම්බ වුණා. එක පර්මිට් එකක් මම ගාමිණි අතුකෝරලට දුන්නා. එය මගේ ළඟින් පාර්ලිමේන්තුවේ ඉඳින් හිටියේ. තාත්තට වාහනයක් අරන් දෙන්න පර්මිට් එක දෙනව ද කියලා ගාමීණී ඇහුවා. මම පාර්ලිමේන්තුවේදී ම අත්සන් කරලා පර්මිට් එක දුන්නා.

පාර්ලිමේන්තුවේ එදා සහ අද වෙනස ඔබ දකින්නේ....

එදා පාර්ලිමේන්තුවේ හොඳ බුද්ධිමත් සංවාද පැවතුණා. අද මොනවද මේ අය කරන්නේ. එදා පාර්ලිමේන්තුවේ වැඩි හරියක් හිටියේ උගතුන් බුද්ධිමතුන්. ඕනෑම තැනක වගේ එදත් අඩු දැනුමක් ඇති හික්මීමක් නැති පිරිස් කිප දෙනෙක් හිටියා. උගතුන් බුද්ධිමතුන් සමඟ එකට වැඩකරලා ඔවුන් යමක් ඉගෙන ගෙන හැදුණා. අද වෙලා තියෙන්නේ ඒකේ අනිත් පැත්ත. මොකද වැඩියෙන් ඉන්නේ දෙවන කාණ්ඩයේ අය. ඔවුන් සමඟ වැඩකරලා දැන් උගත් බුද්ධිමත් අයත් අර තාලෙට පුරුදු වෙනවා. අබුද්දස්ස කාලේ. අද බලන්න පාර්ලිමේන්තුවේ බාර් ලයිෂන් තියෙන මන්ත්‍රීවරුන් කීදෙනෙක් ඉන්නවාද. උපාධීධාරීන් මම හිතන්නනේ පනහක්වත් නැහැ. විශ්ව විද්‍යාලයකට පය නොතබා ආචාර්ය පට්ටම් ගත්ත අයත් ඉන්නවා. කතානායකට ගරු සරුවක් නැහැ. මේ අයගේ අධ්‍යාපනයේ අඩුකම තමයි මේ ප්‍රදර්ශනය කරන්නේ. ජනතාවගේ ප්‍රශ්න ගැන මෙලෝ හැඟීමක් නැහැ. තමන්ගේ වැඩ තමයි ප්‍රධාන කරගෙන තියෙන්නේ. එදා යම් කෙනෙක් පාර්ලිමේන්තුවේ වැරදියට හැසිරුණොත් අපි පස්සේ එයාට අවවාද කරනවා. අද මොකද කරන්නේ වැරදි කරන මිනිහට උඩගෙඩි දෙනවා. මෙහෙම රටක් හදන්න පුළුවන්ද

ජේ. ආර්. අයින් වෙනකොට ඒ සමඟ ඔබත් අයින් වුණා.

1989 මාර්තු 09 වෙනිදා 9.20 ට ජේ.ආර්. අයින් වුණා. මමත් එදාම දේශපාලනයෙන් ඉවත් වුණා.

ඇයි?

මම දේශපාලනයට එනකොටම ජනතාවට කිව්වා මම දෙපාරයි ඉන්නේ කියලා. ඒ පොරොන්දුව අනුව මම අයින් වුණා. මට ගොඩක් අය දේශපාලනයට එන්න ආරාධනා කළා. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මට මධ්‍යම පළාත් ආණ්ඩුකාරකම බාර ගන්න කිව්වා. මම බෑ කිව්වා. මට වගාවක් කරලා පෝයට සිල් අරගෙන නිදහසේ ඉන්න එක තරම් වටින තවත් දෙයක් නැහැ.

ඔබ දේශපාලනයෙන් අයින් වෙනකොට‍ දරුවන් ලොකුයි. ඒත් ඔබ ඔවුන් හෝ බිරිය හෝ දේශපාලනයට යොමු කළේ නැහැ.

ජේ. ආර්. බලයට ඇවිත් කිව්වා මගෙන් පස්සේ ඔටුන්න හිමි කුමාරවරුන් නැහැ. තමන් කැමැති කෙනෙක් පත්කර ගන්න ජනතාවට අවස්ථාව තිබෙනවා කියලා. ජේ.ආර්. ට ඔළුවක් නැති නිසා ඔටුන්න දාන්න ඔළුවක් තියෙන කුමාරයෙක් නැහැ කියලා සමහරුන් එදා ඒ කතාව හාස්‍යයට ලක් කළා. අද බලන්න සම්පූර්ණයෙන් ම පවුල් දේශපාලනය. ගමේ වැඩක් කරන තරුණයකුට ඉස්සරහට එන්න පුළුවන් ද. මහත්තයා පාර්ලිමේන්තුවේ. නෝනා පළාත් සභාවේ. නැත්නම් තාත්තයි පුතයි දෙන්නම පාර්ලිමේන්තුවේ. රට ගැන නොවෙයි පවුල ගැන හිතන්නේ. මම අයින් වෙනකොට ගාමිණී දිසානායක මහත්තයා නෝනට දේශපාලනයට එන්න ආරධනා කළා. මම ව‍ගේම එයත් කැමැති වුණේම නැහැ. දරුවන්ට මම හොඳට ඉගැන්නුවා. දුව දොස්තර කෙනෙක්. එක පුතෙක් කෘෂිකර්ම අංශයේ ආචාර්ය උපාධිධාරියෙක්. අනෙක් පුතත් ලන්ඩන් උපාධියක් කරනවා. මම දරුවන්ට කිව්වේ හොඳට ඉගෙන ගෙන රටක් වැඩක් කරන්න කියලයි. අද පාර්ලිමේන්තුවේ උගතුන් අඩුයි. ඒ අඩුව පාර්ලිමේන්තුවේ සිදුවන දේවල්වලින් හොඳට පේනවා. අද මන්ත්‍රීකමක් ගන්න අවශ්‍ය සුදුසුකම උගත්කම නෙවෙයි. මොන ක්‍රමයට හරි හොඳට සල්ලි හම්බ කරලා තියෙනවා නම් මහජන නියෝජිතයෙක් වෙන එක හරිම ලේසියි.

තිස්ස අත්තනායකට එජාප සංවිධාවක ධුරයක් ලබා දීමට මුල් වුණෙත් ඔබ ද?

තිස්ස විශ්වවිද්‍යාලයට තේරුණා ම මම උදව් කළා. මම 24 ඇලේ. තිස්සලා 31 ඇලේ. උපාධිය අරන් තිස්ස උප පොලිස් පරීක්ෂකයෙක් වෙන්න ඇප්ලිකේෂන් දාන්න ගියා. මම කිව්වා එපා උඹ සිරි‍කොතේ වැඩට පලයන් කියලා. මම මයි සිරිකොතට තිස්සව එක්ක ‍ගෙන ගියේ. ආසනේ මම බාර දෙන්න හිතාගෙන හිටියේ ප්‍රේමරත්න කියලා හාදයකු‍ට. මිනිහා 1988 ජේ.වී.පී එකට ගියා. මම අයින් වෙලා සිරිකොතට ගිහින් තිස්සට කිව්වා ලියුමක් ලියලා උඩුදුම්බර ආසනේ භාර ගන්න කියලා. මම කිව්ව මිනිහට දෙනවට මම කැමතියි කියලා. මගෙන් පස්සේ තිස්ස ඒ විදිහට ආසනේට අවා.

අද දේශපාලනය ගැන ඔබ තෘප්තිමත් ද?

ජාතික ආණ්ඩුවක් හැදුණ එක හොඳයි. මේක රටේ අවශ්‍යතාවක්. ජාතික ආණ්ඩුව තුළ පක්ෂ දෙකේ කට්ටිට එකඟතාවකින් වැඩ කරන බවක් පේන්න නැහැ. මහ මැතිවරණයකට තව කල් තියෙත්දී මේ අය මැතිවරණය දිහා බලලා වැඩ කරන බව පේනවා. නමට ජාතික ආණ්ඩුවක් තිබිලා වැඩක් නැහැ. ආණ්ඩුවේ ක්‍රියාවලිය තුළ ඒ බව අපට දැනෙන්න ඕන.

අසේල කුරුළුවංශ

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.