ශ්‍රී ලංකා - රුසියානු සබඳතා වර්ධනය කරන ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ රුසියානු නිල සංචාරය | සිළුමිණ

ශ්‍රී ලංකා - රුසියානු සබඳතා වර්ධනය කරන ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ රුසියානු නිල සංචාරය

 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් මැතිතුමාගේ ඇරියුමක් පිළිගෙන මාර්තු 22 සිට 24 තෙක් රාජ්‍ය චාරිකාවක යෙදේ. මෙම රාජ්‍ය චාරිකාව දශක කීපයකට පසුව සිදුවන්නක් බව ද වාර්තා වී ඇත. මෙවන් නිල සැරියක් අවසන් වරට කෙළේ ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නිල කාලය තුළ, 1974 දී එතුමිය විසිනි. ඒ විදේශ සබඳතා ක්ෂේත්‍රයේ, ඉතා ඉහළ තලයක වූ සමයෙකදී ය.

මෙවන් සුබ මොහොතක, අප ද්විපාක්ෂික සබඳතා පිළිබඳ ඇගැයීමක් කිරීම මෙම ලිපියේ අරමුණයි. වත්මන් යුගයේ දී අප දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරැඹීයේ 1957 පෙබරවාරි 19 වැනි දින දී ය. එහෙත් රුසියාව හා ශ්‍රී ලංකාව අතර ඓතිහාසික සබඳතා පිළිබඳ දර්ශකයත්, 15 වැනි සියවස දක්වා ආදි කාලයකට දිවේ. පුනරුදයෙන් පසු බිහි වූ දේශාටන සමය ඇරැඹෙන 15 - 16 වැනි සියවස් තුළ රුසියාව බලගතු යුරෝපීය රාජ්‍යයකි. රාජ්‍යත්වය පදනම් වූ එරට සිය විද්‍යාඥයින්, භූගෝල විද්‍යාඥයින්, දේශාටකයින් හා රජ කුමාරවරුන් පෙරදිගට පැමිණිය බවත් ශ්‍රී ලංකාව තුළ සංචාරය කළ බවත් සඳහන් වේ. යුරෝපීය නෞකා ගමන්වල දී විවිධ යුරෝපීය ජාතීන් සම්බන්ධ වූ බව ද රුසියන්වරු එක් ජාතියක් බව ද වාර්තාගතය. පෙරදිග වෙළෙඳ මාර්ග සොයා ගැනීමේදී ඒ සෑම රටක්ම දායකත්වය වූ බව වස්කෝ ද ගාමා, මැගලන් ආදි දේශාටන විස්තර වල සඳහන්ය. මුහුදු මාර්ග වලින් මෙන් ම, ගොඩබිම් මඟින් ද මෙම යුරෝපීය ආසියාතික රටවල රුසියන්වරු, ඇතුළු ජනයා අප රටවලට පැමිණියහ. එහෙත් 17 වැනි 18 වැනි සියවස් දක්වා රාජ්‍ය සබඳතා කල් යෑමට හේතුව එවකට, බලගතු දේශාටක සමාගම් පැවතුණේ, පෘතුගීසි, ස්පාඤ්ඤ, ලන්දේසි හා ඉංග්‍රීසි ජාතිකයින් අත වීමයි. 19 වැනි සියවසේදී රුසියන් රජ කුමරකු වන සාර් නිකලස් II කුමරු ලංකාවට පැමිණි බව වාර්තා වේ. පේරාදෙණි උද්භිද උද්‍යානයේ එතුමා විසින් රෝපණය කරන ලද වෘක්ෂයක් ඇතැයි ද සඳහන් වේ. එවකට ප්‍රචලිතව පැවැති කොන්සල් කාර්යාලයක් (Consals) පිහිටුවීමට 1858 දී සාකච්ඡා වී ඇතත්, එය ඇරැඹුම 1891 දී සිදු වීය. මෙම වකවානුව ලංකාව බ්‍රිතාන්‍යයනට නතුව පැවැතියත් යුරෝපයේ පැවැති රාජ්‍ය සබඳතා මත එම තීරණ ගැනිණි. මෙම කාර්යවල මුල්ම කාර්යය වූයේ එම රටවල වාණිජ්‍ය සබඳතා වර්ධනය සඳහා සමාගම්වලට ආධාර කිරීමයි. රුසියාව ද එම කාර්යයේ නිරත වෙමින්, කුළුබඩු, තේ, කෝපි ආදි භාණ්ඩ අපනයනයෙහි යෙදිණි. රුසියන්, සිටු කුමරකු වන සත්‍යකෝව් (Satyakov) 1841 දී හා 1845 දී ශ්‍රී ලංකාවේ සංචාරය කළ බව ද සඳහන් වේ. මිනායෙව් Minaev නමැති මහාචාර්යවරයකු බුද්ධාගම ඉගෙනීම සඳහාද චිත්‍ර ඇඳීමට ද ග්‍රන්ථකරණයට ද පැමිණියේය.

තවත්, එවැනි විශේෂ සිද්ධීන් අතර ඇන්ටන් චෙකෝෆ් සහ ඉවාන් බුනින් යන රුසියන් ගත් කතුවරුන් ද 1890 වර්ෂවල ශ්‍රී ලංකාව තුළ කළ සංචාර වැදගත්ය. මෙස්ෂෙර්ස්කායා (Mescherskaya) නමැති සිටු කුමරිකාව දන්ත ධාතූන් වහන්සේ හා ශ්‍රී දළදා මන්දිරයට ගෞරව දැක්වීම ද රුසියන් - ශ්‍රී ලංකා සබඳතා අතර සඳහන්ය. තවත් මෙවැනි වාර්තාගත සිදුවීම් සඳහා ගවේෂණය කිරීම යෝග්‍ය වේ. ඒවා තුළ සංස්කෘතික වටිනාකමක් ඇති බැවිනි.

ශ්‍රී ලංකාව 1948 දී නිදහස් වන විට අප විදේශ සම්බන්ධතා පැවැතියේ බ්‍රිතාන්‍යයන්ට අවශ්‍ය විදියකට වීම නිසා සමාජවාදී කඳවුර සමඟ සම්බන්ධතා සීමිත විය. එබැවින් රුසියන් ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවත් වසර ගණනකින් ප්‍රමාද වීය. දෙවැනි ලෝක යුද්ධය කෙළවර වුණු 1940 සිට දශක කීපය තුළ අන්තර්ජාතික ක්ෂේත්‍රයේ දක්නට ලැබිණි. බල කඳවුරු දෙකකට ලෝකය බෙදීම, ඒ අතර වූ සීතල යුද්ධය (Cold War) ධනවාදී හා සමාජවාදී කඳවුරු අතර බල අරගලය හා යටත්විජිත නිදහස අරබයා කළ සටන හා නොබැඳි පිළිවෙත අප විදේශ ප්‍රතිපත්ති සාධනය කෙරෙහි බලපෑහ. 1947 සිට 1986 දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය නියමුවා වූ එක්සත් ජාතික පක්ෂ රජය, අනුගමනය කළේ බටහිරට නතු වූ විදේශ ප්‍රතිපත්තියකි. එයට හේතුව ඉහත සඳහන් ජාත්‍යන්තර අර්බුද අතරට ඔවුන් ද මැදි වූ බැවිනි. එහි ප්‍රතිඵලය වූයේ සමාජවාදී බල කඳවුර දෙසට අප විදේශ ප්‍රතිපත්තිය හැරවීම 1956 බලයට පැමිණි ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිතුමන් තෙක් කල් ගතවීමයි. දේශපාලනික ප්‍රාඥයකු වූ එතුමා, කොමියුනිස්ට් රාජ්‍යයන් වූ රුසියාව, චීනය ඇතුළු නැගෙනහිර යුරෝපීය රාජ්‍යයන් සමඟ සබඳතා ඇරැඹීය. එහෙත් නොබැඳි පිළිවෙත රාජ්‍ය විදේශ ප්‍රතිපත්තිය වීය. මේ අනුව 1957 පෙබරවාරි 19 වැනිදා රුසියාව සමඟ ශ්‍රී ලංකාව රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇරැඹීය. ඒ වසර හැටක්, මේ සබඳතාවලට ගතවී ඇති, සුබ වසරේ අප ජනපතිතුමාගේ රාජ්‍ය නිල චාරිකාව ඉතිහාස ගත වේ. 1957 සිට මේ දක්වා වූ කාලය තුළ අප ද්විපාක්ෂික සබඳතා විවිධ ක්ෂේත්‍ර තුළ වර්ධනය වී ඇත. 1958 දීම, සෝවියට් රුසියාව සමඟ ආර්ථික හා තාක්ෂණික හා සාමාජික සබඳතා වර්ධනයට ගිවිසුමක් අස්සන් කෙරිණි. ශ්‍රී ලංකාවේ හා විදේශවල ගෞරවයට පාත්‍ර වූ ප්‍රාඥයකු වූ මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා 1967 දීම ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත් කර ගැනිණි. එවැනි දක්ෂ, විචක්ෂණ පුද්ගලයින්, රුසියාව වැදගත් ස්ථානයක් සේ සලකා ඊට පසුව ද තානාපතිවරුන් වශයෙන් තෝරා ගැනිණි. ටී. බී. සුබසිංහ, දොස්තර ඇම්. ඒ. ජී. පීරිස්, නෙවිල් කනකරත්න, ආචාර්ය නිශ්ශංක විජේරත්න, ආර්. සී. ඒ. වැන්ඩර්ගර්ට්, ඇන්. ඇම්. ඇම්. අයි. හුසේන් රාජ්‍යතාන්ත්‍රිකයෝ මේ අතර වූහ.

වර්ධනය වූ ද්විපාක්ෂික සබඳතා තානාපති සබඳතා ඇරැඹි 1957 සිට 1965 දක්වා වූ කාල පරාසය තුළ ආර්ථික, තාක්ෂණික, අධ්‍යාපනික සංස්කෘතික, වෙළෙඳ හා සංචාරක ගිවිසුම් කීපයක්ම අත්සන් කැරිණි. ඒ අනුව ඔරුවල වානේ කම්හල, කැලණි ටයර් කම්හල, පිටි කර්මාන්ත හල, නාරාහේන්පිට නිවාස සංකීර්ණය, රුසියානු ශිෂ්‍යත්වය, කොළඹ සංස්කෘතික මධ්‍යස්ථානය, හා වර්ධනය වූ සංචාරකයින්ගේ ගණන මෙම සබඳතාවල ප්‍රතිඵල විය. අපගේ කර්මාන්ත ව්‍යුහය සංවර්ධන කරවීම, රුසියාවේ පරමාර්ථය විය. පාරිභෝගික අර්ථ ක්‍රමයෙන් කර්මාන්ත ආර්ථික ඉදිරියට ගෙන යාමත් රට තුළ ඇති විය. කෘෂිකර්මය දියුණුව අරබයා මහවැලි හා උඩවලවේ වාරි ක්‍රම දියුණුවට අත දුන් රුසියාව නාවික ක්ෂේත්‍රයේ සමුද්‍රදේවි නෞකාව පරිත්‍යාග කෙළේය. රට තුළ ඇතිවූ දේශගුණික ආපදාවලදී දුන් ආධාර විශේෂිත විය. මොස්කව් නගරයේ බෞද්ධ විහාරයකට ඉඩමක් ද පරිත්‍යාග කරන ලදී.

60 - 70 දශකවලදී ගුවන් පරිවහණය, ධීවර කර්මාන්තය, මත්ද්‍රව්‍ය වැළැක්වීම හා ආගමන විගමන පිළිබඳ ගිවිසුම් අස්සන් කිරීමත් සමඟ ද්විපාක්ෂික වෙළෙඳාමේ ශීඝ්‍ර වර්ධනයක් ඇතිවීය. රුසියානුන්ගේ ගෞරවය පෙන්වන තවත් සංකේතයක් නම් ගාලු මුවදොර පිහිටුවූ ගරු බණ්ඩාරනායක අගමැතිතුමාගේ ලෝකඩ ප්‍රතිමාවයි.

කල් පවතින අන්දමේ ශිෂ්‍යයන් පුහුණුව සඳහා විවිධ ක්ෂේත්‍රවල අධ්‍යාපන පහසුකම් ශ්‍රී ලංකාවට රුසියන්වරු ප්‍රදානය කළහ. එහි ප්‍රතිඵලය අද වෛද්‍ය, ඉංජිනේරු, කලා අංශවල උපාධිධරයින් දහස් ගණනක් සේවය සඳහා යොදවා ගත හැකි වීමයි. අපගේ වෙළෙඳ ද්‍රව්‍ය, විශේෂයෙන් තේ රුසියාවට ආනයනය වීය. දැනට සංචාරකයෝ 70,000කට වැඩි ප්‍රමාණයක්, රුසියාවෙන් ශ්‍රී ලංකාවට පැමි‍ෙණති.

ත්‍රස්තවාදය මැඬීම - දේශපාලන වශයෙන් 1990-91 දී සෝවියට් දේශය රුසියාව බවට පත්වූ ග්ලාස්නොස්ට් හා ෆෙරෙස්ට්‍රොයිකා, Glasnost - Perestroika - ලිබරල් වාදය සමඟ ජනපති, ගොර්බචෝව් සමඟ ශ්‍රී ලංකාව අත්වැල් බැඳ ගැනීම වැදගත් සන්ධිස්ථානයක් වීය. මෙම යුගවලදී රුසියාව ශ්‍රී ලංකාවේ, ඒකීය භාවය සුරැකීමට විශේෂ ආධාර දුන්නේය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී හා විවිධනේතර්ජාතික සමුළුවලදී (මානව හිමිකම් ඇතුළු) ශ්‍රී ලංකාවේ සහායට පැමිණියේත්, ත්‍රස්තවාදය මැඬීමට අපට ආධාර කළේත් රුසියාව හා චීනයයි. නවීන යුද අවි පුහුණුව, මිග් යානා ප්‍රදානය සහ බටහිර රටවලින් ආ න්‍යායික තර්ක වැළැක්වීම පිළිබඳව රුසියාවට ශ්‍රී ලංකාව තුති පුද කළ යුතුය. චැනල් 4 ව්‍යාජ චෝදනා, එක්සත් ජාතීන්ගේ, විවිධ වාර්තා ආදිය රුසියාව විසින් පිළිකෙව් කරද්දී ඇතැම් රටවල් විසින් තවමත් අපට විරුද්ධව යෝජනා මෙහෙයවේ. රුසියාව නැවත ලෝක බලවතකු වීම - 1990 දශකයේදී රුසියාවේ ලෝක බලවතකුගේ තත්ත්වය ගිලිහී යෑම වැළැක්වී ඇත. චීනය සමඟ සම්බන්ධ වී ආසියානු ස්ථාවරත්වය ඇති කිරීමට ව්ලැඩිමීර් පුටින්ට හැකි වී තිබේ. ෂැංහායි සබඳතා මණ්ඩලය, අග්නිදිග ආසියා සබඳතා, ෆැසිෆික් සබඳතා ආදිය මඟින් මෙම ලෝක බලවත් තත්ත්වය ආරක්ෂා කරගැනීමට රුසියාව සමත් වී ඇත. ශ්‍රී ලංකාව ද මෙම සංවිධානවලට සම්බන්ධ වී කටයුතු කළ යුතුය.

ඒ අනුව ජනපතිතුමාගේ රාජ්‍ය සංචාරය, දේශපාලනික ආරක්ෂක, ආර්ථික, සංස්කෘතික හා අධ්‍යාපනික වශයෙන් ද, ශ්‍රී ලංකාවට ලබාගත හැකි අන්තර්ජාතික කීර්තිය අරබයා ද ඉතා වැදගත් සන්ධිස්ථානයක් වශයෙන් අවධාරණය කළ හැකිය.

සතරතිලක බණ්ඩා අටුගොඩ
ශ්‍රී ලංකා විදේශ සේවාවේ තානාපති

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.