නැවක් ළඟ නතර වුණු ජීවිත

 පසුගිය සතිය ආරම්භ වූයේ ශ්‍රී ලංකාව අන්තර් ජාතික මාධ්‍යයන්හි වඩාත් අවධානයට යොමු වෙමිනි. නාවික ක්ෂේත්‍රයට සීමා වුව ද, අන්තර් ජාතික දේශපාලනය, අභ්‍යන්තර දේශපාලන මෙන් ම ජනතාව තුළ ද මහත් අවධානයක් යොමු වනු දක්නට ලැබිණි. ඒ, සෝමාලියාව බලා තෙල් රැගෙන ගිය ඇරිස් 13 දරන නෞකාව සෝමාලි මුහුදු මංකොල්ලකරුවන්ට අසුවීමත් සමඟ ය. මෙහි අට දෙනකුගෙන් යුතු කාර්ය මණ්ඩලයක් සේවයේ යෙදී සිටි අතර ඔවුහු සියල්ලෝම ශ්‍රී ලාංකිකයෝ ය.

සිකුරාදා දින සියල්ල අවසානයට ළඟා වන විට සිදුවීම් ගණනාවක් එකින් එක පෙළ ගැසෙමින් තිබිණි. වාර්තා වන අන්දමට, ඇරිස් - 13 දරන තෙල් නෞකාව මාර්තු මස අට වැනි දින ජිබුටිවලින් පිටත්වූයේ සෝමාලියාවේ මොගඩිෂු නුවර බලා යාත්‍රා කිරීමට ය. එහි කාර්ය මණ්ඩලයේ ශ්‍රී ලංකිකයන් අට දෙනකු වූ අතර, කපිතන්වරයා ලෙස ටී. නිකලස් මහතා කටයුතු කළේ ය. ඒ හැර රුවන් සම්පත් (ප්‍රධාන නිලධාරී), ජයනාත කළුබෝවිල (ප්‍රධාන ඉංජිනේරු), දිලීප රණවීර, ජනක ෂමේන්ද්‍ර, ළහිරු ඉඳුනිල්, ඒ. ෂන්මුගම්, සුනිල් පෙරේරා යන අය වූහ. අන්තර්ජාතික වේලාව 1158 වන විට තම යාත්‍රාව පසුපසින් අවි සවිකර ඇති යාත්‍රා දෙකක් හඹා එන බව ඇරිස් - 13 යාත්‍රාවෙන් ප්‍රංශ සමුද්‍රීය මුදා ගැනීම් මධ්‍යස්ථානය වෙත පණිවිඩයක් නිකුත් කෙරිණි.

මොහොතකින් නැව සමඟ පැවැති සබඳතා බිද වැටිණි. මෙය ප්‍රංශ සමුද්‍රීය මුදවා ගැනීමේ මධ්‍යස්ථානය ශ්‍රී ලංකා සමුද්‍රිය මුදවා ගැනීමේ මධ්‍යස්තානය වෙත දැනුම් දෙන ලදී. තවත් පසුව කරන ලද නිරීක්ෂණයන් හිදී නැව සෝමාලියාවේ අර්ධ ස්වයං පාලන දුපතක් වන පුන්ට්ලන්ඩ් දූපතේ වරායක නැංගුරම් ලා ඇති බව තහවුරු වී තිබේ. මේ අතර නැවේ කාර්ය මණ්ඩලය තම ඥාතීන් සමඟ සම්බන්ධ වෙමින් ප්‍රකාශ කර සිටියේ තමන් මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහනයට අසුවී සිටින බව ය.

සෝමාලියාව යනු අප්‍රිකාවේ සහ මැදපෙරදිග පිහිටි දිගම වෙරළ තීරය හිමි රට ය. 1969දී එහි ජනාධිපතිවරයා ලෙස ජනරාල් සියද් බැරේ පත්විය. ඔහු 1991 දක්වා එරට පාලනය කළේ ය. ඔහු බටහිර හිතවත් ප්‍රතිපත්තියක් අනුගමනය කළ හෙයින් සෝමාලියානු ධීවර කර්මාන්තය නගා සිටුවීමට බටහිර රටවල් උදව් උපකාර කළේ ය. ඩෙන්මාර්කය, බටහිර ජර්මනිය, මහා බ්‍රිතාන්‍ය, ස්වීඩනය මෙන් ම ජපානය සහ ඉරානය ද ආධාර කළ රටවල් අතර ව්ය. මේ නිසා කෙටි කලකින් ම එරට ධීවර කර්මාන්තය ඉහළ ආදායමක් දෙන මාර්ගයක් විය. සෝමාලි ධීවරයන්ගේ වෘත්තීය හැකියාව දිනෙන් දින ඉහළ ගියේ ය. එහෙත් 80 දශකයේ සිට වර්ධනය වූ සිවිල් අරගලයත්, එයින් රට අරාජික වීමත් සමඟ ම සෝමාලියාවේ ධීවර කර්මාන්තය ද පරිහානියට වැටිණි. සෝමාලියානු හමුදාවට ද සිදුවූයේ රටේ අභ්‍යන්තර ආරක්ෂාව වෙනුවෙන් වෙහෙසීම ය. ඒ සමඟ ම සෝමාලි මුහුද කලාපයේ ආරක්ෂාව ද බිඳ වැටිණි. මෙය අවස්ථාව කරගත් විදේශීය යාත්‍රා සෝමාලි මුහුදු කලාපයට ඇතුළු වී, මසුන් මැරීම වේගයෙන් කරගෙන ගියේය. විදේශීය නැව් මගින් කලාපයට විෂ අපද්‍රව්‍ය මුදා හැරීමට ද පටන් ගෙන තිබිණි. මෙය සනාථ වූ අවස්ථාවක් වූයේ 2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් සෝමාලියවේ උතුරු ප්‍රදේශයට ටොන් මිලියන ගණනක අපද්‍රව්‍ය ගොඩ ගැසී තිබීමෙනි. මෙලෙස විනාශයට පත්වන තම මත්ස්‍ය සම්පතේ අයිතිය රැක ගැනීම සඳහා සෝමාලි ධීවරයෝ කටයුතු කළහ. මේ සමඟ ම ගෝත්‍ර පදනම් වූ සමාජ ක්‍රමය, රට පාලනයට මධ්‍යම රජයේ සහභාගිත්වයක් නොමැති වීම, සන්නද්ධ කණ්ඩායම් අතට ආයුධ පත්වීම ආදීයෙන් සිදුවුයේ මුහුදු කොල්ලකෑම් ඇතිවීම සඳහා හිතකර පරිසරයක් රටෙහි ඇති වීමයි. අද වන විට සෝමාලියාව ලොව දිළිඳුතම රටකි. තවත් අතකින් දරුණු නියඟයෙන් පීඩාවිදින රටකි. ලෝක බැංකු වාර්තාවලට අනුව එරට පුද්ගලයන්ගෙන් 73%ගේම දෛනික ආදායම ඩොලර් දෙකක්වත් නැත. කෙසේ වෙතත් සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගේ තත්ත්වය නරක් වී නැත. ඔවුන් නැව් කොල්ල කමින්, මිනී මරමින්, වස්තුව පැහර ගනිම්න්, කප්පම් ගනිමින් සුඛෝපබෝගී ජීවිත ගත කරයි. ඇරිස් -13 නැව පැහැර ගැනුණු පුන්ට්ලන්ඩ් ඉහත අයුරින් වෙන් වී ගිය රාජ්‍යයකි. එය ජනාධිපතිවරයකු යටතේ පාලනය වේ. එහෙත් අන්තර්ජාතිකව පිළිගන්නා දේශයක් නො වේ. ඇරිස් -13 නැව පැහැර ගැනීමෙන් පසු පුට්ලන්ඩ් ‍පෙදෙසට රැගෙන යෑමෙන් තත්ත්වය බරපතළ වූයේ එහෙයිනි. වි‍ටින් විට අන්තර්ජාතික මාධ්‍ය ඔස්සේ විවිධ දේ ප්‍රචාරය වන්නට වුයේ මේ අවස්ථාවේ හෙළි කරන්නට විය. ඒ අනුව මුහුදු කොල්ලකරුවන් විශාල කප්පම් මුදලක් ඉල්ලා ඇති බව වාර්තා විය. තවත් පිරිසක් කියා සිටියේ ඔවුන් මුහුදු කොල්ලකරුවන් නොව ධීවරයන් බවය. තවත් විටක කියවුණේ ධීවරයන් සේ පැමිණි මුහුදු කොල්ලකරුවන් බව ය. ‍කෙසේ හෝ නැව කොල්ලකෑ පිරිස සහ නැව අදාළ සමාගම සමඟ සාකච්ඡා ආරම්භ වන්නේ ඉන් අනතුරුව ය. මේ අතර ම ‍ලංකාවේ වි‍දේශ අමාත්‍යාශය, වරාය කටුයුතු අමාත්‍යාංශයට අදාළ නාවිකයන්ගේ ඥාතීන් සමඟ සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී තම ඥාතීන්ගේ ජීවිත කෙසේ රැක දෙන මෙන් ඥාතීහු ඉල්ලා සිටියහ. එමෙන් ම ඔවුන් කියා සි‍ටියේ මෙහිදී රජයේ මැදිහත් වීම අත්‍යවශ්‍ය බව ය. අදාළ අමාත්‍යාංශ මෙන්ම නැවට කාර්ය මණ්ඩලය සැපයූ සමාගම ද කියා සිටියේ තමන් නාවිකයන් බේරා ගැනීමට හැකි හැම උත්සාහයක් ම දරනා බවයි.

කෙසේ හෝ හවස් වරුව වනවිට තත්ත්වය තවත් වෙනස් ම ස්වරූපයක් ගත්තේ ය. ඒ වන විට ඇරිස්-13 නැවට කොල්ලකරුවන් 70 දෙනකු පමණ ඇතුළත් වී තිබී ඇත. ඒ සමඟ ම නැව දෙස තවත් කොල්ලකරුවන්ගේ යාත්‍රාවක් ගමන් කරමින් තිබූ අතර, එහිදී ක්‍රියාත්මක වූ පුන්ට්ලන්ඩ් හි නාවික හමුදාව ඒ යාත්‍රාවට ප්‍රහාර එල්ල කර ඇත. සමුද්‍රීය බළකායේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වු මොහොමඩ් හසන් එහිදී කියා සිටියේ පැහැරගත් නෞකාව දෙසට යාත්‍රා කරමින් තිබූ බෝට්ටුව නැවැත්වීමට දැරූ අවස්ථාවේ නෞකාවේ සි‍ටි කොල්ලකරුවන් වෙඩි තැබූ බව ය. මේ බෝ‍ට්ටුව කොල්ලකරුවන්ට ආහාර සැපයීම සඳහා පැමිණ තිබෙන බව විශ්වාස කෙරේ. කෙසේ හෝ මේ සමඟ ම නැවේ සිටි පිරිස නොසන්සුන්වි තිබේ. මෙහිදී කොල්ලකරුවන් නාවිකයන්ට තර්ජනය කරමින් කියා සිටියේ බලධාරීන් අමතා ප්‍රහාර නැවැත්වීමට කටයුතු‍ නොකලොත් පැයක් ඇතුළත ඔවුන් ව මරා දමන බවය. මේ සම්බන්ධයෙන් නැවේ කපිතාන්වරයා ලංකාව දැනුවත් කළේය.

“නැවේ ෆයර් එකක් යනවා. ඒ අයගේ 70ක් විතර ඉන්නවා. පයර් එක නැවැත්වූයේ නැත්නම් උඹලව මැරෙන්න ඉස්සරහට දානවා. පැයක් විතර තියෙන්නේ කරන්න පුළුවන් දෙයක් කරන්න” ඔහු කිවේය.

මේ අනුව ලංකාවේ රජය ක්‍රියාත්මක විය. තවත් පාර්ශ්ව මැදිහත් කරගෙන පුන්ට්ලන්ඩ් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කටයුතු ආරම්භ කළේ ය. ඒ සමඟ ම ලංකාව ඉල්ලා සිටියේ වහාම ප්‍රහාර නැවැත්වීමට කටයුතු කරන ලෙස ය. පසුව පැයක් පමණ ඇතැළත ප්‍රහාර නැවැතිණි. කෙසේ වෙතත් රජය ඇතුළු පාර්ශ්ව සහ පුන්ට්ලන්ඩ් අතර සාකච්ඡා ඉදිරියට ගියේය. අවසානයේ සිකුරාදා උදෑසන ප්‍රකාශයට පත්වූයේ මුහුදු කොල්ලකරුවන් විසින් නැව කිසිදු වන්දි මුදලකින් තොරව මුදාහැර ඇති බවය.

“අපේ ජීවිත නතරවෙලා තිබුණේ. දැන් තමා අපිට මනුස්සයෙක්ගේ මුණ දිහා බලලා කතා කරන්න හයියක් ආවේ” නෞකාවේ කාර්ය මණ්ඩලයේ සිටි සුනිල් බුලත්සිංහල මහතාගේ බිරිය කීවේ ය. ඒ සමඟ ම නෞකාවේ ප්‍රධාන නිලධාරී රුවන් සම්පත් මහතා අප සමඟ මෙසේ තම අත්දැකීම් විස්තර කළේය.

“13 හවස ඒ අය ඇටෑක් කරලා අපිව අල්ලා ගත්තා. ආයුධ ගොඩක් එක්කයි ඒ අය හිටියේ. පස්සේ ගොඩබිමට අරගෙන ගියා. ඊළඟට වෙනත් කණ්ඩායමකට අපිව බාර දුන්නා. පස්සේ මේ අය දැන‍ගත්තා ආමි එකෙන් ඒ අයට ඇටෑක් කරනවා කියලා. පස්සේ එදා රෑම නැව වෙනත් තැනක‍ට අරන් ගියා. නැවේ ලයිට් පවා නිවලා තිබුණේ. තව වෙලාවක් යද්දී වෙනත් කණ්ඩායමක් ආවා. ඒ අය හැඳින්වූයේ ෆලූලා කියලයි. ඔහොම ටීම් දෙක තුනකට මාරු වෙවී ඉද්දි තමයි ‍හමුදාව ඇවිල්ලා ෆයර් කරන්න පටන් ගත්තේ. පහර දෙන හැම වෙලාවෙම ඔවුන් කිව්වේ අපි උඹලව මරනවා කියලයි.”

කෑම බීම ගැන ලොකු ගැටලුවක් අපිට තිබුණේ නෑ. ඒත් උන් නැවෙන් යද්දී කිසිම දෙයක් ඉතිරි කරලා ගියේ නෑ. අපිට කිසිම ඩැමේජ් එකක් වුණේ නෑ. ඒත් හෑන්ඩ් ‍‍ෆෝන් එකයි. ඇඳගෙන හිටපු ඇඳුම් ටිකයි විතරයි ඉතිරිවුණේ”

නැව පැහැර ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වා තිබූ පැහැරගත් කණ්ඩායමේ නායකයා යැයි හඳුනාගත් අබ්ඩිෂාකුර් මොහොමද් ඉසේඅයකු බී.බී.සී පුවත් සේවයට පවසා තිබුණේ

“අපි නැවෙන් කිසිම කප්පම් මුදලක් ලබාගත්තේ නැහැ. නැවේ හිමිකරුවන් සමඟ අපි සාකච්ඡා කළේවත් ඔවුන්ගෙන් කප්පම් ඉල්ලුවේවත් නෑ”

“අපි ප්‍රදේශයේ වැඩිහි‍ටියන් එක්ක කතා කළා. අපේ දුක්ගැනවිලි ඔවුන්ට කිව්වා. අපට කප්පම් අවශ්‍ය නෑ. නමුත් මේ ප්‍රදේශයේ සිදුවන නීති විරෝධී මසුන් මැරීම සහ විෂ ද්‍රව්‍ය මුහුදට මුදාහරින නැව් ගැන ලෝකයට කියන්න අවශ්‍ය බව අපි ඔවුන්ට කිව්වා”

මේ අයුරින් සිකුරාදා වන විට සියල්ල අවසන් වෙමින් පැවැතිනි. එහෙත් මුහුදු කොල්ල කරුවන්ගේ අර්බුදය මෙතකින් නිමවේයැයි සිතිය නොහැකිය. මේ අර්බුදය මුළු ලොවට ම බලපා තිබෙන බරපතළ තර්ජනයකි. එය දරුණුව ව්‍යාප්තව තිබිණි. උත්සන්න ව පැවැති අවස්ථාව වූ 2011 වර්ෂයේදී පැහැර ගැනීම් 237ක් වාර්තා වී තිබිණි. කෙසේ වෙතත් පසුගිය වසර කිහිපය තුළ ඉතා අවම තත්ත්වයට පත්වී තිබිණි. ඒ අනුව 2012 සිට මේ දක්වා වාණිජ නෞකා පැහැර ගැනීම් සිදුවුයේ නැත. එහෙත් මේ සිදුවීමත් නැවැතත් හිස ඔසවාවිදැයි යන සැකය පැන නගිමින් තිබේ.

මුහුදු කොල්ලකරුවන්ගේ ඉතිහාසය ඉතා අතීතයට දිවයන අතර, ඒ අතීත සිදුවීම් සහ සලකා බලන විට ඉතා දියුණු කාලයක් ලෙස ලොව පිළිගන්නා මෙකල ද මෙවැනි සිදුවීම දක්නට ලැබීම අභාග්‍යයකි. පැරණි කාලයේ නැව්වලට කඩා වදින කොල්ලකරුවෝ නැව්වල තිබූ වස්තුව පැහැර ගැනීම සිදු කළහ. අද වන විට තත්ත්වය වෙනස් ආකාරයක් ගෙන ඇත. ඒ අනුව නැව් පමණක් නොව සාමාන්‍ය මට්ටමේ ධීවර යාත්‍රා ද පැහැර ගන්නා කැරලිකරුවෝ එහි සාමාජිකයන් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගෙන රජයන්ට, සම්ගම්වලට බලපෑම් කර අධික කප්පම් මුදලක් නියම කරති. මෙය ඔවුන්ට සල්ලි ආකරයක් වී තිබේ. එහෙත් ලෝක ආර්ථිකයට ඔවුන් මහා බරක් වී තිබේ. මේ පිළිබඳ තහවුරු වන අවස්ථාවක් වනුයේ ‍‍ වන් වර්ල්ඩ් ෆියුචර් ෆවුන්ඩේෂන් මගින් 2012 ජනවාරියේදී ඉදිරිපත් කළ වාර්තාවක් සාක්ෂි දරයි. ඒ අනුව මුහුදු කොල්ලකරුවන්ට එරෙහිව කරන ලද ක්‍රියාන්විත සඳහා 2011 වර්ෂයේදී ඩොලර් බිලියන 6.9ක් වැය කර තිබේ. ඒ නිසා මේ මහා ව්‍යසනයෙන් ලොවම ගලවා ගත යුතු ව පවතී. අනෙක් අතට ලෝකයේ ආහාර ප්‍රවාහනයෙන් 19%ක් ම සිදු වනුයේ මුහුදු මාර්ගය ඔස්සේ ය. තව ද අප්‍රිකාව සහ ආසියාව තුළ බිහි වන නව නිෂ්පාදන බටහිරට යැවෙන්නේ මේ මුහුදු මාර්ගය ඔස්සේ ය. මේ නිසා මේ වෙරළ තීරය අද දවසේ ලෝක ආර්ථිකයට ඇති කර තිබෙන බලපෑම සුළුපටු නොවේ.

මීට පෙර පැහැර ගැනීමවලට ලක්වූ නාවිකයක් මුහුන දුන් මෙවැනි සිදුවීම් විසැඳී තිබුණේ ඛේදවාචක ලෙස ය. 2010 වර්ෂයේදී ලාංකිකයන් හය දෙනකු ඇතුළුව 23 දෙනකු සෝමාලි කැරලිකරුවන් ප්‍රාණ ඇපයට ගත්තේ ය. ඒ, එම්.වී. ඇල්බෙඩෝ නම් නැව පැහැර ගනිමිනි. ඒ අවස්ථාවේ මුහුදු කැරලිකරුවන් මිලියන අටකට ආසන්න මුදලක් ඉල්ලා සිටියේය. නමුදු ඒ අවස්ථාවේ නැව අයිති සමාගම මඟ හැරියේය. එහෙත් පකිස්තාන ජාතිකයන් මුදා ගැනීමට එරට සමාගම් හිමියා කටයුතු කළ හෙයින් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා විය. එහෙත් අනෙක් ජාතිකයන් පිරිසට සිදුවූයේ දැඩි දුෂ්කරතාවන් මුහුණ දීමට සිදුවිය. කිහිප දෙනකුගේ ජීවිත අහිමිවූහ. ඉතිරි පිරිස් වාසනාව අවාසනාව සමඟ සටන්කර ජීවිත බේරා ගත්හ. ඒ සඳහා ඔවුන්ට වසර තුනකට වැඩි කාලයක් අපමණ දුක් විදින්නට සිදුවිය. එවැනි තත්ත්වයක් මෙවර උදා නොවීම සෑම වැසියකුගේම ජයග්‍රහණයකි.

ඡායාරූප - විමල් කරුණාතිලක, රුක්මල් ගමගේ

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.