ගුණ­සිංහ ගුරු­න්නාන්සේ හා සලා ගුරු­න්නාන්සේ | සිළුමිණ

ගුණ­සිංහ ගුරු­න්නාන්සේ හා සලා ගුරු­න්නාන්සේ

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මනමෙ’ නාටකයේ සාර්ථකත්වයට බලපෑ එක් ප්‍රධාන සාධකයක් වුණේ ඊට ඇතුළත් පැරැණි නාඩගම් රාගතාල. ඒ රාගතාල සරච්චන්ද්‍රයන්ට ලබා දුන්නේ පැරැණි නාඩගම් ඇදුරකු වූ අම්පේ චාල්ස් ද සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ. රාග තාල විතරක් නෙමෙයි, ‘මනමෙ’ නාට්‍යයට අවශ්‍ය නාඩගම් රංග ශෛලිය පිළිබඳව ද ඔහු සරච්චන්ද්‍රයන්ට උපදෙස් දී තිබුණා.

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට ගුණසිංහ ගුරුන්නාන්සේ මුණගැසී ඇත්තේ කොළඹ පැවැති රූකඩ සංදර්ශනයකදී. එය අම්බලංගොඩ ජී. ලව්නේරිස් ගුරුන්නාන්සේගේ රූකඩ දැක්මක් එහි රූකඩ නැටුවෙත් තිරය පිටුපස සිට ගීත ගායනා කළෙත් ගුණසිංහ ගුරුන්නාන්සේ නිවැරැදි ස්වරයන්ට අනුව ගැයුණු ඒ ගී අසා මහාචාර්ය සරච්චන්ද්‍ර විස්මයට පත්ව තිබෙනවා. ඊට පස්සෙ තමයි තමාගේ ‘පබාවතී’ නාට්‍යයට ඔහුව සම්බන්ධ කරගත්තේ. එහි ආ ගීත එකක් හෝ දෙකක් ගුනසිංහ ගුරුන්නාන්සේ ලබාදුන් පැරැණි නාඩගම් රාගතාල. එසේම පසුව ඔහු ‘පබාවතී’ නාටකයේ පොතේ ගුරාගේ චරිතයත් රඟපෑවා.

‘මනමෙ’ නාටකයේ ආ බොහෝ ගී ‘ඇහැලේපොළ’, ‘බ්‍රම්පෝඩ්’, ‘ඉවුජින්’ වැනි පැරැණි නාඩගම්වල රාගතාල ඇසුරෙන් සම්පාදිතයි. ‘ප්‍රේමයෙන් මනරංජිත වේ’ ගීතය තනිකරම දෙමළ කතෝලික ගීතිකාවක්. මේවායේ තියෙන්නේ කර්ණාටක සංගීතය. උත්තර භාරතීය රාගධාරී සංගීතය ඔළුව උඩ තියාගෙන හිටපු සරච්චන්ද්‍ර දකුණු ඉන්දියාවේ කර්ණාටක සංගීතයට, කන්තාරු ගායන සම්ප්‍රදායට ආදේශ වීම එක අතකට උත්ප්‍රාසවත් කරුණක්.

‘සිංහබාහු’ නාටකයේ එන ‘ඇසට නැතේ’ ගීතය ගුනසිංහ ගුරුන්නාන්සේගේම ‘වෙස්සන්තර’ නාඩගමේ ආ ‘කිමද අනේ’ ගීතයේ රාගතාල ඇසුරු කිරීමක්.

ගුණසිංහ ගුරුන්නාන්සේගේ දායකත්වය ගුණසේන ගලප්පත්තිගේ ‘සඳ කිඳුරු’ කවි නාඩගමටත් ලැබුණා. ඔහුගේ උපදෙස් මත මෙය නිෂ්පාදනයව ඇති බවත් සහාය නැටුම් නිර්මාණය ඔහුගේ බවත් දැක්වෙනවා.

‘මනමෙ’ සැබෑ නිර්මාතෘ සරච්චන්ද්‍රයන් නොව ගුණසිංහ ගුරුන්නාන්සේ බවට ප්‍රවාදයක් එක් කලෙක ප්‍රචලිත කෙරුණා. මහාචාර්ය එම්. එච්. ගුණතිලක, වසන්ත කුමාර යන අය ව‍ක්‍රෝත්තියෙන් එය කියා ඇති ආකාරය ඔවුන්ගේ ලිපිවල මා දැක තිබෙනවා. ගුණතිලකගේ ලිපියට නම් සරච්චන්ද්‍රයන් පිළිතුරකුත් ලිව්වා මට මතකයි.

මේ අතර ‘මනමෙ’ රචනා කර ඇත්තේ රඹුක්කන පී. ඇම්. සලා ගුරුන්නාන්සේ නමින් ප්‍රකට කවියාගේ පිටපතක් (සඳකිඳුරු සින්දු නාඩගම) ඇසුරෙන් බව මාර්ටින් වික්‍රමසිංහ ඔහුගේ ‘සිංහල නාටකය හා සඳ කිඳුරුව’ පොතේ කියා සිටිනවා. ඔහු කියන්නේ සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහල ගැමි නාටකය’ පොතේ දක්වා ඇති 1949 දි සරච්චන්ද්‍ර දික්පිටියේදී ඔහු දැක ඇත්තේ සලා ගුරුන්නාන්සේගේ සඳකිදුරු සින්දුව බවයි. මෙය සදොස් මතයක්.

1983 දී ස්වර්ණ ශ්‍රී බණ්ඩාර සලා ගුරුන්නාන්සේ හමුවී සකස් කළ විශේෂාංගයක් ‘නවයුගය’ පුවත්පතේ සැප්තැම්බර් 12) පළ කෙරුණා.

ඒ ලිපියට අනුව නම් ඔහු කවි පොත් කාරයෙක්. ‘ඔවදන් මිණි රුවන’, ‘රුවන් වැලි සෑ විසිතුර’, ‘දඹුලු වර්ණනාව’, ‘ඉසුරුමුණි රජමහා විහාර වර්ණනාව’ ඔහු ලියු කවි පොත්. ඔහු ජාතක කතාත් කවියෙන් ලියා ඇති බව ඒ ලිපියේ සඳහන් වුණා.

ඊටත් පසු කලෙක මහාචාර්ය සරච්චන්ද්‍ර, සුනිල් සරත් පෙරේරා, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ද මැල් හා නාරද දිසාසේකර යන අය සලා ගුරුන්නාන්සේ හමුවන්ට රඹුක්කනට ගියා. ඒ අවස්ථාවේදීවත් ඔහු වික්‍රමසිංහගේ චෝදනාව සනාථ කරන කිසිවක් කියා නැහැ. ආපසු එන ගමන් සරච්චන්ද්‍රයන් කියා ඇත්තේ සලා ගුරුන්නාන්සේ හමුවන්ට සරා ගුරුන්නාන්සේ ගිය බවය.

මහාචාර්ය සරච්චන්ද්‍ර, ගුණසිංහ ගුරුන්නාන්සේට හැම අවස්ථාවකදිම වගේ ඔහුට හිමි ගෞරවය නිසි පරිදි ලබා දුන්නා. 1962 දී ගුරුන්නාන්සේ මියගිය අවස්ථාවේ ඔහු ‘දවස’ පුවත්පතට ලියු ලිපිය ඊට මනා සාක්ෂියක්. එසේම ඔහු මේ ලෙස ද කියා තිබෙනවා.

“ලාංකිකයන් විසින්ම අවමානයට භාජනය කරන ලදුව පසෙකට දමා තිබුණු මේ නාටක කලාව (නාඩගම) කෙරෙහි යළිත් ලාංකිකයන්ගේ සැලකිල්ල යොමු කරවා එය ජාතික දායාදයක් බවට පත්කළ ඔහුට සියලුම ලාංකිකයෝ කෘතඥ වෙති.”

මෙම තීරුව අවසන් කිරීම ගැන සරච්චන්ද්‍රයන් ගුරුන්නාන්සේ ගැන ලියූ කවියක් මෙසේ උපුටා දක්වනවා.

ඔහු මුවගින් ගිලිහුණු ගී සර පබඳ

අප හමුවෙහි දැක්වූ නළු සිප් නිබඳ

එහැම කලාවක රස අප විඳින සඳ

දුක් සැමරුම් නැඟ එයි හද තුළ නොමඳ 

 

Comments