මට විශ්වා­සයි මම මේ රෝගය ජය­ග­න්නවා | සිළුමිණ

මට විශ්වා­සයි මම මේ රෝගය ජය­ග­න්නවා

ප්‍රජා විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ

ඔහු වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරයෙකි. නම කියූ පමණින් ම මුළු රටම ඔහුව හඳුනන්නේ ඔහු දක්ෂ වෛද්‍යවරයකු වූ නිසා ම නොවේ. ඒ, විවිධ මාධ්‍යයන් මඟින් සාමාන්‍ය මහජනතාවට වෛද්‍ය විද්‍යාත්මක තොරතුරු දැනුම ලබාදීමට වෙහෙසන විශේෂඥ වෛද්‍යවරයකු නිසා ය. ඔහු ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතා ය. ගමගේ මහතා පොතපත මඟින් ගුවන් විදුලිය රූපවාහිනිය මඟින් මේ රටේ ජනතාව වෙත ඉතා සමීප වී සිටින විශේෂඥ වෛද්‍යවරයෙකි. මෙම අප‍ූරු වෛද්‍යවරයා පිළිබඳව පසුගියදා අසන්නට ලැබුණු පුවත ‍ඔහු පිළිබඳව තව තවත් තොරතුරු සෙවීමට අප පෙළඹවීය. ඒ; විශේෂඥ වෛද්‍ය ගමගේ මහතා පිළිකා රෝගයට ගොදුරු වී ඇති බවත්, එයට ඉතා සාර්ථක ලෙස මුහුණ දීම නිසා ඉතා ඉක්මනින් සුවය ලබමින් සිටින බවත් පිළිබඳ පුවත ය. අප ඔහු හමුවුණේ ඔහුගේ පෞද්ගලික දිවිය පිළිබඳ තොරතුරක් පිළිකා රෝගයට සාර්ථකව මුහුණදෙන ආකාරය පිළිබඳවත් තොරතුරු විමසන්නට ය.

“ගාල්ලේ ගඟබඩපත්තුවේ මාපලගම කියන සුන්දර ගම්මානයේ තමයි මම ‍උපත ලැබුවේ. මගේ තාත්තා ගමේ සිටි ගම්සභාපති. පවුලේ දරුවන් වුණේ මමයි අයියයි. 3 වැනි ශ්‍රේණිය දක්වා පාසල් ගියේ ගා/ මලාමුරේ ‍කනිෂ්ඨ විද්‍යාලයට. ඉන්පසුව ගාල්ල ක්‍රිස්තුදේව විද්‍යාලයට ගියා. ඒ වනවිට මමයි අයියයි නැවතිලා සිටියේ ක්‍රිස්තුදේව විද්‍යාලයේ ගුණසිරි ගුරුතුමාගේ නිවසේ. එතුමා මාවයි අයියවයි හොඳට බලාගත්තා. ගුණසිරි ගුරුතුමා ලේඛනයට, සාහිත්‍යයට ඉතාම ලැදි කෙනෙක්. එතුමා අපිව ලිවීමට පොතපත කියවීමට යොමු කළා‍. ඉගෙන ගැනීමට දක්වන උනන්දුව දැකලා ගුණසිරි ගුරුතුමාට තමයි ඕන වුණේ මාව වෛද්‍යවරයෙක් කරන්න. ක්‍රිස්තුදේව විද්‍යාලයෙන් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට මට යන්න පුළුවන් වුණේ විභාගයකින් සමත් වූ නිසයි.”

“පාසල් වැඩවල පමණක් නෙමෙයි විෂය බාහිර ක්‍රියාකාරකම් ගණනාවකම මම නිරත වුණා. මට හොඳට චිත්‍ර ඇඳීමේ හැකියාව තියෙනවා. රිච්මන්ඩ් විද්‍යාලයේ සිටින විට හොඳම චිත්‍ර ශිල්පියාට හිමි සම්මානයත් මට හිමිවුණා. රිච්මන්ඩ් විද්‍යාලයේ ‘සිසු පුවත’ සඟරාව සංස්කරණය කළේ මම. උසස් පෙළ හොඳින් සමත් වුණු නිසා කොළඹ වෛද්‍ය පීඨයට ඇතුළත් වෙන්න හැකි වුණා. වෛද්‍ය විද්‍යාලයේ සිටින විට කලා සංගමයක් පිහිටුවා ගත්තා. සභාපති වුණේ මම. අපේ ගුරුවරු වුණු මහාචාර්ය ‍නන්දදාස කෝදාගොඩ, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය කොල්වින් ගුණරත්න යන ගුරුවරුන්ගේ ආභාෂය අපට ලැබුණා. ඔවුන් රටට ගැලපෙන වෛද්‍යවරයෙක් පිළිබඳව හිතපු ගුරුවරු. ඔවුන්ගේ මග පෙන්වීම නිසයි ප්‍රජා වෛද්‍යවිද්‍යාවට මගේ හිත ඇදිල ගියේ. ඒ නිසා පශ්චාත් උපාධියට මම තෝරාගත්තේ ප්‍රජා වෛද්‍යවිද්‍යාව.”

“සෞඛ්‍ය විද්‍යාත්මක ලිපි පුවත්පත් වලට මුලින් ම ලියන්න පෙළඹුණේ ප්‍රවීණ පුවත්පත් කලාවේදී සුන්දර නිහතමානි ද මෙල් මහතා නිසා. ඔහු මගේ පාසල් මිතුරෙක්. සුන්දර ගියේ මහින්දයට. මම ගියේ රිච්මන්ඩ් එකට. පුවත්පතකට මුලින් ම ලිව්වේ ‘ර‍ෙජක් වුණත් ලෙඩෙක් වුණොත්’ ලිපි පෙළ. ඉන්පසුව ‘දියවැඩියාව දැන් සුවයි’, ‘ඇදුම දැන් සුවයි’, ලිංගික අධ්‍යාපනය ගැන කියවෙන ‘පුද්ගලිකයි රහසිගතයි’, දොස්තර විස්තර’ වැනි ලිපි රචනා කළා‍. එම ලිපි පොත් වශයෙන් පළවුණා.”

“දේශීය වෛද්‍ය ක්‍රම ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණය සඳහා යොදගන්නේ කෙසේද කියා මම පර්යේෂණයක යෙදුණා. ඒ මගේ පශ්චාත් උපාධිය සඳහා. ඒ වෙනුවෙන් ඉන්දියාව නේපාලය, බුරුමය, තායිලන්තය, ඉන්දුනීසියාව සහ චීනය වැනි රටවලත් ලංකාවේත් දේශීය වෛද්‍යක්‍රම පිළිබඳව පර්යේෂණ කළා. අවුරුද්දක් පමණ ඉන්දියාවේ රැඳී සිටියා. එහිදී ආයුර්වේදය පිළිබඳව බොහෝ දේ ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. මේ විදියට ලබාගත් දැනුම මහජනතාව වෙත ලබාදීම මට ප්‍රීතියක් ගෙන දුන්නා‍. පේරාදෙණිය වෛද්‍යපීඨයේත්, වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයේත් බාහිර කථිකාචාර්ය වරයෙක් ලෙසත් මම කටයුතු කරනවා.”

“මම විවාහ වුණේ මා සමඟ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගත්ත මානෙල් දිසානායක සමඟ‍. ඇයත් වෛද්‍යවරියක්. ඇය එස්.බී. ඇමැතිතුමාගේ නැගණිය. මගේ දියණියන් දෙදෙනාත් වෛද්‍යවරියන්. ඔවුන් විවාහ වෙලා සිටින්නෙත් වෛද්‍යවරු සමඟයි.

විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතා එසේ පැවසුවේ ඔහුගේ සුන්දර පාසල් දිවියත් පෞද්ගලික දිවියත් පිළිබඳ තොරතුරු ය. පිළිකා රෝගයට ගොදුරුවීම පිළිබඳවත් එයට සාර්ථකව මුහුණදීම පිළිබඳවත් ගමගේ වෛද්‍යතුමන් දැක්වූයේ මෙවන් අදහසකි.

“මම හොඳ සෞඛ්‍ය සම්පන්නව සිටි කෙනෙක්. ප්‍රජා වෛද්‍ය විශේෂඥයෙක් වගේ ම ජනතාවට අමතන කෙනෙක් හැටියට ජනතාවට ආදර්ශයක් වෙන විදියට උසට ගැළපෙන ශරීර බර තබාගෙන, දිනපතාම ව්‍යායාම කරමින් හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කළා. මගේ දැන් වයස අවුරුදු 65 යි. මගේ අම්මත් තාත්තත් හොඳ ආයුෂ වින්ද අය. අම්ම තවමත් ඉන්නවා.‍ මගේ තක්සේරුව වුණේ අවුරුදු 85 ක්වත් මම ජීවත් වෙයි කියලයි. කවදාවත් අදහසක් තිබුණේ නෑ පිළිකා රෝගයක් මට ඇතිවෙයි කියලා.”

“මීට මාස 5 කට පමණ කලින් දවසක් මට දැනුණා මගේ කිහිල්ලේ වේදනාවක් නැති පුංචි ගෙඩියක් තියෙන බව. ඒ වෙලාවේ මම හොඳ සෞඛ්‍ය සම්පන්නව සිටියා. ඒ වුණත් ESR, CRP, WBC, RBC වැනි වෛද්‍ය පරීක්ෂණ ටික කරගත්තා. ඒ පරීක්ෂණවල ප්‍රතිඵල වලින් විශේෂ යමක් දැන ගන්න ලැබුණේ නෑ. ඉන්පසුව මා දැනටමත් වැඩ කරන පේරාදෙණිය වෛද්‍යපීඨයෙන් මේ ගෙඩිය ඉවත් කරගන්න ඕන කියලා ශල්‍ය කර්මයකට මුහුණ දුන්නා. එම ගෙඩිය පරීක්ෂාවේ ප්‍රතිඵල මට දින 5 කින් දැනගන්න ලැබුණා. ඒ ප්‍රතිඵලය වුණේ මම බලාපොරොත්තු නොවූ දෙයක්. මගේ කිහිල්ලේ තිබුණු ගෙඩිය ශීඝ්‍රයෙන් පැතිරෙන non – Hodgkin’s lymphoma (නොන් හොජ්කින් ලිම්ෆෝමා) නම් පිළිකාවක් බව මට දැනගන්න ලැබුණා. මෙය ඉතාම වේගයෙන් වර්ධනය වන පිළිකාවක්. ඒ ආරංචිය දැනගත්තට පස්සේ මේ පිළිබඳව දීර්ඝ ලෙස සොයන්න මම පෙළඹුණා. පිළිකා සඳහා ලබාදෙන රසායනික ප්‍රතිකාර (Chemotherapy), ප්‍රතිශක්ති කරන ප්‍රතිකාර (Immunotherapy), සහ විකිරණ ප්‍රතිකාර (Radio therapy) වලට යොමු වුණා. මගේ හිස කෙස් ගියා. දින 11 ක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගත්තා.”

Face book එකේ මට මිතුරන් 5000 ක් පමණ ඉන්නවා. ඒ අය සමඟ මගේ රෝගය ගැන පැවසුවා. X – ray පිටපත් පවා Face book එකට දැම්මා. එහිදී විදෙස් රටවල ඉන්න මගේ මිතුරන් මේ ගැන විවිධ අදහස් මට යොමු කළා. රෝගය ගැනත් ප්‍රතිකාර ගැනත් විස්තර විශාල ප්‍රමාණයක් මට ලැබුණා. මම තීරණය කළා පිළිකා රෝගයට ගොදුරු වුණු ප්‍රජා වෛද්‍ය විශේෂඥයෙක් හැටියට මගේ අත්දැකීම් ඇසුරින් ම මේ රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කරන්න. අපේ සමාජයේ බොහෝ දෙනෙක් පිළිකාව ගැන කතා කරන්න බයයි. රෝගය හංගාගෙන තමයි බොහෝ දෙනෙක් ප්‍රතිකාර ගන්නේ. ඒ වගේ ම බොහෝ දෙනෙක් හිතන්නේ පිළිකාවක් හැදුණොත් මැරෙනවාම තමයි කියලයි. නිවැරැදි ප්‍රතිකාර මඟින් සියයට සීයකින් ම මෙම රෝගයෙන් මිදෙන්න අද පුළුවන් කියලා බොහෝ දෙනෙක් දන්නේ නැහැ.‍ මට හොඳ විශ්වාසයක් තියෙනවා මම මේ රෝගයෙන් ජයගන්නවා කියලා. සමහර විට එය සියයට අනූවක් වෙන්න පුළුවනි. මට අවශ්‍යයි පිළිකා රෝගය හංගන එක නවත්වන්න. ‍පසුගිය කාලය තුළ පිළිකා රෝගීන් දාහකට ආසන්න සංඛ්‍යාවක් මගෙන් ප්‍රතිකාර අ‍රගෙන තියෙනවා.”

“දැන් මට 65 යි. මේ අවුරුදු 65 ක කාලය තුළ අවුරුදු 100 ක වැඩ මම කරලා තියෙනවා. මගේ පවුලේ උදවියටත් රටටත් මම හොඳින් යුතුකම් කළ කෙනෙක්. ලෝකය පුරා ඉන්න බොහෝ දෙනකුගේ ආශිර්වාදය මට තියෙනවා. මේ රෝගයෙන් ගොඩ එන්න විකල්ප ක්‍රමවලට ගියේ නෑ. මිත්‍යා මත පස්සේ ගියේ නෑ. හැබැයි ආගමික වැඩකටයුතුවල නිරත වුණා. බෝධි පූජාවලට සහභාගි වුණා. මට විශ්වාසයි මට මෙය ජයගත හැකිවෙනවා” ආරියසේන යූ. ගමගේ වෛද්‍යතුමන් අප සමඟ පැවසුවේ ඉතා බලාපොරොත්තු සහගතව ය. 

Comments

I hope Dr. Ariyasena remembers me . I am sorry to hear about your illness. I have heard that you were doing well. I am glad to hear that you are doing well now and have got over your health problems. I am now in Australia with my two daughters. I hope God will bless you and give you good health to continue your healing work for many years to come. I shall be praying for you. God bless you. Rachel de Silva.

පිටු