අවුරුදු උලෙළ ජ්‍යෝතිෂය පදනම් වූ සශ්‍රීක උලෙළකි | සිළුමිණ

අවුරුදු උලෙළ ජ්‍යෝතිෂය පදනම් වූ සශ්‍රීක උලෙළකි

 ආර්යයන් ලංකාවට සංක්‍රමණය වී අවුරුදු දෙදහස් හයසීයක් පමණ වෙයි. ඔවුන් ඉන්දියාවේ මධ්‍ය - උතුරු - වයඹ යන ප්‍රදේශවල සිට කණ්ඩායම් වශයෙන් නැව් නැඟී ලංකාවට පැමිණි අතර ජාතක පොතේ වලහස්ස ජාතකය - මහාවංශයේ විජය කුවේණි පුවත - ඒ පිළිබඳ ජනප්‍රවාද මිශ්‍රව කියයි. ආර්යයන් ලංකාවට ඒම පිළිබඳ වකවානු මීට වඩා පැරැණි විය හැකි බව පුරාවිද්‍යා කැණීම්වලින් අනුමාන කළ හැකිය. වයඹදිග ඉන්දියාවේ පැවැති දියුණු මොහෙන්ජදාරෝ - හරප්පා නාගරික ශිෂ්ටාචාරයට හවුල් ඒ දැන සිටි පිරිස් විජයට පෙර පැමිණියා විය යුතුයි. ඔවුන් ලංකාවේ මන්නාරම - අනුරාධපුර - උපතිස්සගම - මාගම - තිස්ස කතරගම - කැලණිය අවට කුඩා ග්‍රාමවල පදිංචිව ඇත. ඒ ග්‍රාම ඒකකවල නායකයා “ගාමණී” නම් විය.

ලංකාව ඉන්දියාව සමඟ එක්ව තිබූ යුගයේ මුහුදු මට්ටම පහළ වැටී ගොඩබිම එක ම මාර්ගයක් ලෙස යාවී තිබූ යුගයේදී ඉන්දියාව හරහා “ඉන්දියාවේ සිටි මනුෂ්‍ය සත්ව ප්‍රජාව ලංකාවට සංක්‍රමණය විය.

රත්නපුර හා බළන්ගොඩ සංස්කෘතිවලට අයත් කැණීම්වලදී අවුරුදු 28000 තරම පැරැණි ඇටසැකිලි මෙවලම් ගල්ගුහාවලින් හමු විය. රාක්ෂස - යක්ෂ - දේව - නාග - නිට්ටෑ - වැදි ලෙස මානව විශේෂ පූර්ව ආරීය ආදිකාලීන වාසීන්ය. ඉන්දියාවේ සිට ආ ආර්යයන්, ඔවුන් පරදවා රට තුළට නෙරපා - ඔවුන් සමඟ මිශ්‍රව පදිංචි විය. යකුන් ගිරි දිවයිනට තෙරපීම - පණ්ඩුකාභය - කාලවේල හා සම අසුන් ගැනීම - ගෝඨයිම්බර - රිටිගල ජයසේන යුද්ධය මේ පිළිබඳ සිහිවටනයි. ඉන්දියාව සිට ආර්යයන් පැමිණීමට පෙර ලංකාවේ සිටි දේශීය ජනකොට්ඨාස හා ආර්යයන් මිශ්‍රව ලංකා ජනතාව බිහි වී ඇත. ලංකාවේ වූ ස්වදේශීය ජනකොට්ඨාසවල ඇදහිලි - විශ්වාස දඹදිව සිට ආ ආර්ය ජන සංස්කෘතියට මිශ්‍ර විය.

දඹදිව සිට ආ ආර්යයන් වෛදික යුගයේ ආ බැවින් ජ්‍යොතිෂ්‍යය පිළිබඳ දැනුම හසළ විය. විජය ඇවෑමෙන් කෙටි කලක් පාලනය කළ උපතිස්ස බමුණෙකි. පණ්ඩුකාභය කුමරාට ශිල්ප ඉගැන්වූ‍ෙය් පණ්ඩුල බමුණාය. ඉන්දියාවේ සිට ආ ජ්‍යොතිෂ කටයුතු - මතිමතාන්තර - ඉගැන්වීම් - ලංකාවේ ස්වාධීනව වැඩුණි. ඉන්දියාවේ පැවැති උත්සව - ආගමික ඇදහිලි - ලංකාවේ පාරම්පරිකව පැවැති ආගමික අදහස් හා මිශ්‍ර වී ජ්‍යොතිෂ්‍යය පදනම් කරගත් සරල චාම් ගොවිජන ජීවිතයක් ලංකාවේ ක්‍රමයෙන් බිහි විය.

ඉන්දියාවේ පැවැති නැකැත් කෙළිය ගැන ජාතක කතාවල එයි. වී ඇස්වැන්න කපා ගත් පසු සරල ගොවි ජීවිතයට විරාමයක් ලැබුණි. ස්වභාව ධර්‍මය අනුව ජීවත් වූ නිසා අව්ව - වැස්ස බොහෝවිට බලාපොරොත්තු වකවානුවේ ලැබුණි. ගංගා අද්දරවල ජනාවාස නිසා වී ගොවිතැනට ගංගා ජලය - වැව් වතුර විය.

ගව පාලනයෙන් පස්ගෝරස විය. පණ්ඩුකාභය රජුකල නැකැත් කෙළියක් “මහාවංශය” විස්තර කරයි. අස්වැන්න නෙළාගත් පසු ඊළඟ ගොවිතැන් වාරය තෙක් මාස එක හමාර දෙකක විවේකයක් ලැබෙයි. ඒ කාලය අස්වැන්න ලබා දුන් දේවත්වයෙන් පිදූ ස්වභාවධර්මයට ස්තුති කිරීම වස් ඇතැම්විට කාමෝත්සවයන් ස්වරූපය ගත් ඉර - හඳ - ගින්දර - ජලය පිදීමේ පරිසර උලෙළ ලෙස නැකැත් කෙළිය විය.

නැකැත් කෙළියට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව හවුල් විය. සශ්‍රීකත්වය පදනම් කර ගත් ස්වභාව ධර්මයේ වස්තූන් එහිදී දේවත්වයෙන් පිදුම් ලැබීය. ඒ කළගුණ සැලකීමකි. පරිසරය පූජනීය ලෙස පිදීමකි. ජ්‍යොතිෂ්‍යය මුළු ජීවිතය වෙලාගත් නැකැත් උලෙළක් පැවැත්වුණි. අවුරුදු උලෙළ පමණක් නොව පරණවිතාන මහතා පෙන්වා දෙන පරිදි වෙසක් උලෙළ පවා මුල් කල ඒ ආකාරයේ උලෙළක ලකුණු තිබුණි. නැකැත්කෙළිය සමඟ දියකෙළිය, දඩයම් කෙළිය, විවිධ කාමෝත්සව, අභිචාර පුදපූජා විය. බුදුදහම පැමිණි පසු ක්‍රමයෙන් කාමෝත්සව - අභිචාර පූජා යටපත් වන්නට විය.

අවුරුදු උලෙළ කලින්කලට සූර්ය සංක්‍රාන්තිය අනුව පැවැති දින වකවානු වෙනස් විය. රොබට් නොක්ස්ගේ ලංකා විස්තරයෙන් ද ඒ බව පෙනෙයි. අස්වැන්න නෙළා ගැනීමෙන් පසු ලැබෙන සශ්‍රීකත්වය - සතුට - විවේකය - විරාමය - සතුටින් සැමරීම මෙහි පළමු අරමුණයි. අස්වැන්න - සශ්‍රීකත්වය ලබා දුන් පරිසරය - වස්තූන් - දේවත්වයෙන් පිදීම දෙවැනි අරමුණයි.

ඊළඟ උදාවන නව වර්ෂය වඩාත් ශුභදායක වීමට ජ්‍යොතිෂය අනුව වැඩ කටයුතුවලට මුල පිරීම තුන්වැනි අරමුණයි. එයට ජ්‍යොතිෂ්‍ය පමණක් නොව ආයුර්වේද අංග ද එකතු කරගෙන ඇත.

මුලින් ම දඹදිව තිබී ආර්යයන් සමඟ ලංකාවට අවුත් ස්වදේශික ගෝත්‍රවල තිබූ චාරිත්‍ර ද එක් වී නිර්මාණය වූ නැකැත් කෙළිය අවුරුදු උලෙළේ මුලයි. එහි කාමෝත්සව ලක්ෂණ බුදුදහම මඟින් යටපත් විය. අස්වැන්නට පසු සතුට වෙනුවෙන් ප්‍රීති උත්සවය - නෑයින් හමුවීමට යෑම - මුළු පවුල ම එකට එකතු වීම - වැඩිහිටි - ගුරු දෙගුරුන් පිදීම, කැවිලි පෙවිලි සැකසීම - කෑමබීම හුවමාරු කර ගැනීම - විවිධ ක්‍රීඩාවල යෙදීම - නඩ ලෙස වන්දනාවට යෑම - සොකරි - සඳකිඳුරු - අං ඇදීම වැනි සාම්ප්‍රදායික ක්‍රීඩා කිරීම පසු කල එකතු විය.

ස්වභාව ධර්මය දේවත්වයෙන් පිදීම - අස්වැන්න ලබාදුන් පරිසරයට - දේවත්වයෙන් පිදීම උතුම් කළගුණ සැලකීමකි. අවුරුදු උලෙළේ අංග අදත් ඒ සංකේතාත්මකව පෙන්නුම් කරයි. පරණ අවුරුද්දට හා නව අවුරුද්දට සඳ බැලීම එදා සඳ දේවත්වයෙන් පිදීමකි. අස්වැන්න ලබාදීමට මුල් වූ හිරු දේවත්වයෙන් පිදුවේය. පහන් දැල්වීම - ළිපගිනි නැකැතට දැල්වීම හිරු උපහාරයකි. ජලය දේවත්වයෙන් පිදීම එදා විය. (සරස්වතී දෙවඟන එදා ඉන්දියාවේ ගඟත් දේවත්වයෙන් පිදීමකි.) ළිඳ සමඟ ගනුදෙනු කරයි. නැකැතට ඉසතෙල් ගා ස්නානය කරයි. ශුභ මොහොතින් ළිප මෙළවීම ගින්දර (අග්නි) මෙන් ම හිරුගේ උපහාරයකි.

ජ්‍යොතිෂ්‍ය හා ආයුර්වේදය පදනම් කර ගෙන ගැන ‍වේලා කලින් සැකසීම - සැකසූ දින හා වේලාවන් රටේ බෙදා හැරීම - අවුරුදු උදාව - නොනගතය - ළිපගිනි මෙළවීම - ආහාර අනුභවය - ගනුදෙනු කිරීම - නැකැතට ගමන් ආරම්භය සිදු වෙයි. කිරි ඉතිරවීම - කිරිබත් පිසීම්, ඉසතෙල් ගෑම - ආයුර්වේද බලපෑම පෙන්වයි.

මහනුවර යුගයේදී සෙංකඩගල නාථ දේවාලයේ සිට ඉසතෙල් බෙදාහැරීම සිදු විය. නාථදෙවි ‍රෝග සුවකිරීමේ බලයක් ඇතැයි විශ්වාසයක් විය.

බුදුදහමේ බලපෑමෙන් කාමෝත්සව අංග යටපත් වීම, ගුරු දෙගුරුන් නැමදීම - නොනගතය තුළ පුණ්‍ය ක්‍රියාවල යෙදීම - ආගමික ස්ථානවලට ගොස් මල් - පහන් පිදීම - වට වන්දනාව යෑම - එකතු විය. මේ අනුව අවුරුදු උලෙළ පැරැණි ඉන්දියාවේ ආර්යයන් සමඟ ලංකාවට අවුත් දේශීය පදිංචිකරුවන්ගේ චාරිත්‍ර සමඟ මිශ්‍ර වී අස්වැන්න නෙළාගත් පසු ස්වභාවධර්මය හා දේවත්වයෙන් පිදූ ස්වභාව ධර්මයට උපහාර පිණිස ජ්‍යොතිෂ්‍යට හා ආයුර්වේදය සමඟ එකතු වී ඇරැඹුණු නැකැත් කෙළිය බඳු උලෙළක් ඇරැඹී එහි කාමෝත්සව අංග බුදුදහමින් යටපත්ව ඉන්පසු විවිධ බලපෑම්වලට වෙනස් වෙමින් අදත් පැවැතීම වැදගත් කරුණකි.

එස්.කේ. ජයවර්ධන
වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ 

Comments