නිදා සිටින යෝධයන් අවදි කරන්න නව ආර්ථික වැඩපිළිවෙළක් | සිළුමිණ

නිදා සිටින යෝධයන් අවදි කරන්න නව ආර්ථික වැඩපිළිවෙළක්

 මූල්‍ය විනය, මනා කළමනාකරණය, විධිමත් පරිපාලනය, අවංකව, කැපවීමෙන් නිසි දැක්ම ඇතිව වැඩ කිරීමට සියලු දෙනා සූදානම් නම් රජයේ ව්‍යාපාර ගොඩනැංවීමට අපහසු නොවන බව මුදල් අමාත්‍යාංශයේ ‍රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ. ඩී. එන්. රංජිත් අසෝක මහතා ප්‍රකාශ කරයි.

දශක හතකට අධික දිගු ඉතිහාසයකට හිමිකම් කියන රාජ්‍ය ව්‍යවසායන්ගේ නවෝදයක් ඇති කරලීම තුළින් සමස්ත ආර්ථිකයටත්, පොදු ජනතාවටත් සුවිසල් ජයග්‍රහණ හිමිකර දිය හැකි බව කී අධ්‍යක්ෂ ජනරාල්වරයා රාජ්‍ය ව්‍යාපාරවල ඇරඹුම, වර්තමාන තත්ත්වය හා අනාගතය පැහැදිලි කරමින් මෙසේ ද කියා සිටියේය.

මෙරට පොදු ජනතාවට සේවා සැපැයීමට ඇරඹි දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ ක්‍රියාදාමයන් වේගවත් නොවන සංදර්භයක් තුළ වසර 1950 ගණන්වල රාජ්‍ය ව්‍යාපාර ජාලයක් බිහි විය. එදා මෙරට ක්‍රියාත්මක වූ දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ යනාදියේ අණ පනත්, රෙගුලාසීන් වල පැවැති ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමේ අපහසුතාවය දුරු කොට රටවැසි ජනතාවට කඩිනමින් සේවා සැපැයීමට රාජ්‍ය ව්‍යාපාර බිහි විය. ඒවා රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, සමාගම් ලෙස ස්ථාපිත කැරණි. මේවායින් සේවා සැපැයීම මෙන්ම වාණිජ කටයුතු ද සිදු කැරිණි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු රට තුළ ඇති වූ ජනතා අවශ්‍යතා සපුරාලීමට මේ ව්‍යාපාර බිහි විය.

රාජ්‍ය ව්‍යාපාර බිහිවීම හා එතුළින් රටවැසි ජනතාවට, රටේ ආර්ථිකයට සිදු විය යුතු වටිනා සේවාව පිළිබඳ ලොවට කී දේ පිළිබඳ අපට මේ මොහොතේ සිහිපත් වේ. මෙරට සිටි කීර්තිමත් මුදල් ඇමැතිවරයෙකු වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා ප්‍රකාශ කළ කියමනක් මේ සටහන එක් කිරීමට සිත් වේ.

රාජ්‍ය ව්‍යාපාර, රාජ්‍ය ව්‍යවසායන් වෙනුවෙන් කරනු ලබන ආයෝජනයන්ගෙන් ප්‍රමාණවත් තරම් ප්‍රතිලාභ නැවත රජයට, රටට ලැබෙනාකාරයට කටයුතු කළ යුතුය. එහෙයින් මේ ‍රාජ්‍ය ව්‍යාපාර වඩාත් කාර්යක්ෂමව, මනා පරිපාලනයකින් යුතුව පවත්වාගෙන යා යුතුය. එයට හේතුව වනුයේ මේ ව්‍යාපාර හා ව්‍යවසායන් ආරම්භ කොට තිබෙනුයේ ඒවාට ආරම්භ ප්‍රාග්ධනය සපයා තිබෙනුයේ මහජනතාව ගෙවන බදු මුදල් වලින් නිසාය.

‍රටේ සුබ සාධනයට, සංවර්ධනයට යෙදවිය හැකි යෙදවීමට තිබෙන මුදල් රාජ්‍ය ව්‍යාපාරවලට යොදවා තිබේ. එසේ මහජන මුදල් යෙද වූ රාජ්‍ය ව්‍යාපාර දිගින් දිගටම පාඩු ලබමින් මහා භාණ්ඩාගාරයේ අතදීම් මත යැපේ නම් ඒ පිළිබඳව අප සිතා බැලිය යුතු වේ. ඒ අනුව සලකා බලන කළ ශ්‍රී ලංකාවට මේ වන විට රාජ්‍ය ව්‍යාපාරවල කාර්යසාධනය ඉහළ නංවා ගැනීමට යම් උපායමාර්ගික වැඩපිළිවෙළකට යොමු විය යුතුවම ඇත.

මෙරට ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යවසායන් 400 අතුරින් 200ක් පමණ පසුගිය කාලයේ පාඩු ලබා තිබේ. එනමුත් වසර 2015න් පසු එම තත්ත්වයෙන් මිදුණු ආයතන මේ වන විට පාඩු ලබන්නේ සංඛ්‍යාත්මකව 50ක් පමණි. මේ ආයතන සංඛ්‍යාව ද ඉදිරියේදී ලාබ ලබන තත්ත්වයට පත් කිරීම රජයේ ඒකායන අරමුණයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලබාදෙන උපදෙස් හා මඟ පෙන්වීම් මත මුදල් ඇමැති රවි කරුණානායක මහතාගේ දැඩි උනන්දුව මත මේ රාජ්‍ය ආයතන පුනර්ජීවන අවබෝධතා ගිවිසුම්වලට එළැඹීමට අපට හැකියාව ලැබුණි.

කෙසේ වෙතත් මේ වන විට පෙර පැවැති කනගාටුදායක තත්ත්වයෙන් මිදී රාජ්‍ය ආයතන ඉදිරි ගමනක් යෑමට මුල පුරා ඇත. එය නිරන්තරයෙන්ම අධීක්ෂණය කිරීම අප දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලැබේ.

මෙහි දී මහා භාණ්ඩාගාරය ලෙස අප රාජ්‍ය ආයතනවලට ලබා දී තිබෙන සහ එම ආයතන විසින්ම සැලසුම් කළ උපායමාර්ගික වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීම ඒ ආයතනවල සභාපතිවරු, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සාමාජිකාවන්ගේ පොදුවේ සමස්ත කාර්ය මණ්ඩලවලම වගකීම හා යුතුකම බවට පත්ව ඇත.

නිදා සිටින යෝධයන් අවදි කොට ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකය නඟා සිටුවීමේ නවාකාරක වැඩපිළිවෙළක් මේ වන විට රජය ආරම්භ කොට තිබේ. ඒ අනුව පොදු ජනතාවගේ බදු බර අඩු කොට රාජ්‍ය ව්‍යවසායන් පහක් වඩාත් කාර්යක්ෂම හා ඵලදායි සේවා සහ වාණිජ ව්‍යාපාර බවට ඔසවා තැබීම රජයේ අරමුණ බවට පත්ව ඇත.

දැනට ශ්‍රී ලංකා රජය සතු රාජ්‍ය ව්‍යවසාය හා ව්‍යාපාර සංඛ්‍යාව 400ක් පමණ වේ. මේ අතුරින් ඉතා ගැඹුරින් කළ ඇගැයීමක් අනුව ජාතික ආර්ථිකයට හා රටේ පොදු මහජනතාවට ඉතාම වැදගත් හා අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන පහක් පළමුව නියමු ව්‍යාපෘතියක් සේ තෝරාගෙන තුන් අවුරුදු කාලසීමාවක් ඉලක්ක කොට පුනර්ජීවනයට පත් කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුම්වලට එළැඹ ඒ ඔස්සේ කටයුතු කිරීම මේ රජයේ නව වැඩපිළිවෙළ වී තිබේ.

ජලය, විදුලිය, ඛනිජ තෙල්, වරාය සහ ගුවන් තොටුපළ යනාදී රටක ආර්ථිකයට දැවැන්ත ශක්තියක් වන අංශ 5ක රාජ්‍ය ව්‍යවසායන් පහක් තෝරාගෙන මේ අවබෝධතා ගිවිසුම්වලට එළැඹියේ මේ වසරේ පෙබරවාරි මස 28 වැනිදා පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී එකඟතාව ලබා ගැනීමෙන් අනතුරුවය.

අප රටේ පමණක් නොව ලොව ඕනෑම රටක ආර්ථික දියුණුවට මඟ කියන උගත් බුද්ධිමත් පිරිස් අනුමත කරන එක් මතයක් මේ මොහොතේ සිහිපත් වේ.

එනම් ඉහළ කාර්යඵල සාධනයක් සහිත රාජ්‍ය අංශ වේවා පෞද්ගලික අංශ වේවා ව්‍යාපාර ව්‍යවසායක පිරිසක් වෙසෙන රටක ආර්ථිකය දියුණුව කරා යෑම වැළැක්විය නොහැකිය යන්න එම කරුණය.

ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍යය කිරී‍ටයෙන් නිදහස ලැබී දශක හතක කාලසීමාවකට ආසන්න කාලයක් ගත වුව ද සැබෑ ලෙසම ශ්‍රී ලාංකේයිය ජනතාවට ආර්ථික නිදහස උරුම වී තිබේදැයි අප අපම විමසා බැලිය යුත්තකි. නිදහසින් පසු ශ්‍රී ලංකාව පාලනය කළ විවිධ ආණ්ඩු රට වැසි ජනතාවගේ සුබසාධනය, රටේ ආර්ථිකය, මහජන උපයෝගිතා, යටිතල පහසුකම් දියුණු කිරීමට විවිධ සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නංවා තිබේ. මානව සංවර්ධන දර්ශකවලින් ලොව දියුණුම සංවර්ධිතම රටවල ජනයා හා නොබියව කරට කර සිට ගත හැකි තත්ත්වයට අප රටේ සෞඛ්‍ය, අධ්‍යාපන සංවර්ධන දර්ශක අගයන්ගෙන් අප පෝෂිතව ඇත. ඒ සඳහා විවිධ ආණ්ඩු ගත් ක්‍රියාමාර්ග ඉවහල් වී ඇත. එනමුත් රටවැසි ජනතාව ආර්ථිකඅතින් තවමත් ඉහළ මැදි ආදායම් ලබන රටක තත්ත්වයට ළඟා වී නැත. එසේ නම් අප ඒ සඳහා කළ යුත්තේ කුමක්දැයි යන ප්‍රශ්නය අප ඉදිරියේ ඇත.

ඊ‍ට පිළිතුරු සොයන විට පසක් වූ එක් වැදගත් කරුණක් වූයේ ජනතාවගේ බදු බර මතින් මහා භාණ්ඩාගාරයේ අතදීම් මතින් තවදුරටත් රාජ්‍ය ව්‍යාපාර පවත්වාගෙන යෑම පිළිබඳව අපට දෙවරක් සිතා බැලිය යුතුයි යන්නයි.

රටේ ආර්ථිකයට ඉතාම දැඩි හා සෘජු බලපෑමක් සිදු කරන විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම යනාදී ආයතන වඩාත් කාර්යක්ෂම හා ඵලදායි සේවා සපයන සහ ලාබ ලබන ව්‍යාපාරයන් බවට පත් කරලීමේ දැඩි අවශ්‍යතාවයක් මතු විණි. ඒ අනුව මේ ආයතන විසින් ඉදිරි අවුරුදු තුනට (2017 - 2019) අදාළව සිය සේවා හා ව්‍යාපාරික කටයුතු කරගෙන යෑමේ උපායමාර්ගික වැඩසටහන් අධීක්ෂණය හා නිරන්තර සොයාබැලීමකට ඉඩ කඩ සපයා ගනිමින් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය සමඟ අවබෝධතා ගිවිසුම්වලට ඉකුත් 16 වැනිදා මුදල් අමාත්‍යාංශයේදී ගිවිස ගත්හ.

මෙම අවබෝධතා ගිවිසුම්වලට පාර්ශ්වයන් තුනක් අස්සන් තැබූහ. මුදල් අමාත්‍යාංශයේ හා මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා අදාළ ආයතන පහ අයත් රේඛීය අමාත්‍යාංශවල ලේකම්වරු හා ඒ ඒ ආයතනවල සභාපතිධුරය දරන පස්දෙනා මේ ගිවිසුම්වල පාර්ශ්වකරුවෝ වූහ.

මෙවන් ගිවිසුමක් අස්සන් තැබීමෙන් පමණක් රටේ ආර්ථිකයේ ප්‍රගමනයට මේ ආයතන ලබා දෙන සේවාව ජනතාවගේ බදු මුදල් ලබා ගනිමින් තවදුරටත් නඩත්තු වීමේ කණගාටුදායක තත්ත්වය බැහැර වන්නේද? එසේ නොමැති නම් දැනට ඒ ඒ ආයතනවල ඇති ණයබරතාවය අඩු කර ලාබ ලබන්නේ නම් එය තව තවත් වැඩි කර ගැනීමට මේවා ඉවහල් වන්නේද? පැනයක් විචිකිච්ඡාවක් කාගේ වුව සිත්වල පහළ විය හැකිය.

අප මේ මොහොතේ අවධාරණය කළ යුතු වන ප්‍රමුඛතම කරුණ වනුයේ සියලු ජයග්‍රහණ මේ තුළින් ළඟා කර ගැනීමට නොහැකි වූවත් අඩුම තරමේ එවන් බලාපොරොත්තු දැල් වූ ඉලක්කයක් හෝ මේ ආයතන පහට ලබාදීමට සමත්වීම ම ජයක් බවය.

‍රටට ඉතා වැදගත් ව්‍යාපාර පහක් වන අප තෝරාගත් ආයතන පහ මින් ඉදිරියට සෑම මාස තුනකට මාස හයකටම පමණක් නොව අවුරුද්දකටම වරක් ළඟා කර ගත් ප්‍රගතිය දැඩි ලෙස නිරීක්ෂණයට නිරන්තර සුපරීක්ෂණයට ලක් කරනු ලැබේ.

මේ ආයතන විසින් සම්පාදනය කර ගනු ලැබූ උපායමාර්ගික සැලසුමට අනුව සෑම දිනකින් දිනයකටම මාසයෙන් මාසයට වෙනදාට වඩා පෙරට එන සැටියක් දක්නට ලැබිය යුතු වේ. එසේ නොවන්නේ නම් අඩුම තරමේ එවැනි ප්‍රතිඵලයක් හෝ අත්කර ගැනීමට සිදුවන දුර්වලතා අපහසුතා වුව අපට හඳුනාගත හැකිය. එසේ හඳුනාගත් කනගාටුදායක තත්ත්වයන් වලින් මිදීමට අවශ්‍ය පියවර ගැනීමට ඉන් පසු අපට හැකියාව ලැබෙනු ඇත. අප විසින් ළඟා කරගත යුතු ජයග්‍රහණ ප්‍රමාද කරන කරුණු කාරණා ගැන ඇමැති මණ්ඩලයට ‍පාර්ලිමේන්තුවට පොදුවේ ‍රටවැසි ජනතාවට යම් පණිවුඩයක් ලබා ගත හැකිය. ඒ අනුව සලකා බලන කළ මුල් පියවරක් ලෙස තෝරාගත් ආයතන පහක් සමඟ අවබෝධතා ගිවිසුම්වලට එළැඹීම ම අප ලද ජයග්‍රහණයක් බව කීව ද වරදක් නැත.

අප ගිවිසුම්වලට එළැඹි ප්‍රධාන ආයතන පහ ජාතික ආර්ථිකයට දක්වන දායකත්වය මදක් කතා කරමු.

ලංකා විදුලිබල මණ්ඩලය

විදුලි බලයෙන් සසිරිමත් දිවියක් ! යන දැක්ම අනුව කටයුතු කරන විදුලිබල මණ්ඩලය වසර 2014දී රුපියල් බිලියන 15ක අලාභයක් වාර්තා කරන ලදී. මුළු ජනගහනයෙන් සියයට 100කට විදුලිය සපයා ඇති මුත් දැඩි නියඟ තත්ත්වය මත ගත වූ කාලසීමාවේ විදුලිය නිෂ්පාදනයට ජලය වෙනුවට වෙනත් ප්‍රභවයන් වෙත යොමුවීමට සිදු විය. ඒ නිසා නිෂ්පාදන වියදම ඉහළ යෑම හේතුවෙන් තම ව්‍යාපාරික ලාභදායීත්වය අඩුවී ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරියේදී අඩු වියදම් විදුලි නිෂ්පාදන ක්‍රම වෙත පුනර්ජනනීය විකල්ප බලශක්ති වෙත යොමු වනු ඇත. නිපදවන විදුලිය පවා නාස්ති නොවන ලෙස රට පුරා බෙදාහැරීමට කටයුතු කරනු ඇත.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව

මේ වන විට වෙළෙඳපොළ තුළ සියයට 85කට ආසන්න කොටස් හිමිකාරීත්වයක් අත්පත් කරගෙන සිටින මේ ව්‍යවසාය වසර 2015දී අප රටේ අමෙරිකානු ඩොලර් මිලියන 18,935ක් වූ මුළු ආනයන වටිනාකමින් අමෙරිකානු ඩොලර් බිලියන 1867ක් හෙවත් සියයට 10ක ප්‍රතිශතයකට දායක වී ඇත.

තෙල් පිරිපහදු කිරීම, ප්‍රවාහනය ආදී ක්‍රියාකාරකම් වලදී සිදුවන අධික වියදම් සහගත තත්ත්වයෙන් මිදී අඩු පිරිවැයකින් ඒවා සිදු කිරීමට නව අවබෝධතා ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු වේ. ඉන් මුළු රටටම වාසි අත් වේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය

ශ්‍රී ලංකාව තුළ ආරක්ෂිත පානීය ජලය හා සනීපාරක්ෂක සේවා සපයන මූලික අධිකාරිත්වය හිමි මේ ආයතනය වර්තමානයේ සියයට 44ක පවතින නල ජල ප්‍රවේශය වසර 2020 වන විට සියයට 60ක් දක්වා වැඩි කර ගැනීමට කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය

ශ්‍රී ලංකා වරාය අධිකාරිය තම ප්‍රධාන කාර්යසාධකයන් ලෙස හඳුනාගෙන ඇත්තේ නැව් මෙහෙයුම් කිරීම සඳහා ගතවන කාලය (පැය ගණන) අඩු කිරීම, බහාලුම් නැව් ගත කිරීම වේගවත්ව සිදු කිරීම, වරායේ සේවා ලබාගන්නා නැව් සංඛ්‍යාව වැඩි කර ගැනීම වේ.

ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම

දැනට මෙරටට එන ගුවන් මඟීන් ගණන වන මිලියන 06ක ප්‍රමාණයට අවශ්‍ය ගුවන්තොටුපළ පහසුකම් වැඩි දියුණු කොට අනාගතයේදී (වසර 2020 - 22) මෙරටට පැමිණෙතැයි අපේක්ෂා කරන ගුවන් මඟින් මිලියන 20ට ඉතා පහසුවෙන් එම සේවා ලබාදීමට හැකි ලෙස සේවා පුළුල් කිරීම ගිවිසුම්ගත වීමෙන් අපේක්ෂා කරයි.

මේ අන්දමට අවබෝධතා ගිවිසුම්වලට එළැඹීමෙන් ඒ ඒ ආයතනවල සේවා ලබන පාරිභෝගික ජනතාවට සේවක ප්‍රජාවට නියාමන ආයතනවලට රජයට පොදුවේ මුළු රටවැසි ජනතාවටම වාසි අත්වනු ඇත.

සේයාරුව - සිරිපාල හල්වල 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.