අසන්නට අසන්නට මිහිරි වන කවියක්... | සිළුමිණ

අසන්නට අසන්නට මිහිරි වන කවියක්...

සී/රදාවානේ ආණ්ඩුවේ පිරිමි පාඨශාලාව. රදාවාන හන්දියේදී පාර තුනට බෙදී තුන් අතකට විහිද යයි. එක පාරක් කිරිඳිවැලට, අනෙක් පාර ගම්පහට, අනෙක් පාර කොළඹට. තුංමංහන්දියේ අන්දර ගහක් ඇත. බස් නවත්වන්නේ ඒ ගහ යට ය. ඒ එක්ක ම අම්බල ම. කඩ තුන හතරක්. ඉස්කෝලය...

සේකර කියූ පමණින් ම නිරායාසයෙන් ම මා මතකයට මේ වදන් පෙළ ගැසෙන්නේ එක්කෝ ‘තුංමංහන්දිය’ කියැවූ වාර ගණන නිසා විය යුතු ය; නැත්නම් තුංමංහන්දියට යන සෑම විටෙක ම මේ වැකි මතක ඇති බැවින් අවිඥානකව ම වාගේ අදාළ පැත්තට යන බැවිනි. රදාවාන තුංමංහන්දිය ගැන තරම් මා මගේ ගමේ හන්දි ගැන දන්නේ නැත;

‘මගෙ කවියෙන් මා නොසොයන්’ කියා කියූ සේකරගේ අධ්‍යාත්මය ඔහුගේ ම නිර්මාණයන්ගෙන් විකසිත වී දසත සුවඳ හැමුවේය . ඉදින් ඔහු ගේ කවියෙන් ඔහු පමණක් නොව අපට, අප ම ද පෙනෙන්නට පටන් ගත්තේ ය. නිර්ව්‍යාජ කලාකරුවා සැම විට ම හෘදය සංවාදයක නිරත වීම මෙයට හේතුව වන්නේ ය.

‍සේකරයන්ගේ නිර්මාණ හැම එකක ම පාහේ “මහගමසේකර ලකුණ” පැහැදිලි ව සටහන් වෙයි. මහගමසේකර ලකුණ යන්නට අයත් වන්නේ මොනවාදැයි කිසිවකු හෝ විමැසුවහොත් මේ ලිපිය ආරම්භයේ කියූ වදන නැවත වාරයක් සිහිපත් කරන්නට වන්නේ ය. ඔහු සෑම විට ම ලියූයේ අපේ මහ පොළොව ගැන ය; අපේ මිනිසුන්ගේ දහඩිය කඳුළු ගැන ය; අප සැම මුහුණ දෙන පොදු ධර්මතා ගැන ය; සමස්තයක් ලෙස ගත් කල ඔබ ගැන ය; මා ගැන ය. සේකරයන්ගේ කවර කලා කෘතියක වුවද යථෝක්ත අංග දැකිය හැකි ය. ඔහු ඒ සඳහා ආභාසය ලබන්නට ඇත්තේ ඔහුගේ ම ගම් පියසෙනි; අම්මාගේ කරුණාවෙනි. රදාවාන පිරිමි පාසලෙන් අකුරු උගෙන බඩගින්නේ ගෙදර දුව එන සේකරට අම්මා හැමදාම බත් බෙදන ගමන් අහන ප්‍රශ්නය ඊට නිදසුනකි. “මොකද පරක්කු”... පරක්කු වුවත් නැතත් අමමා හැමදාම ඒ ප්‍රශ්නය අසන්නී ය. කුඩා සේකරට උත්තර දෙන්නට සිහියක් නැත... ඔහු බත් පංගුව කටට දෙකට කා දමයි. මේ අව්‍යාජ සුවඳ ඔහුගේ ජීවිතයට මෙන්ම නිර්මාණයට ද අව්‍යාජත්වය නමැති සළුපොට දැම්මේ ය. ඉදින් අපටත් නොදැනීම ඔහු අපේ ජීවිත කියවන්නේ ය.

මහගමසේකර ලකුණ මෙරට බොහෝ කලාකරුවන් අතර මහත් සම්භාවනාවට ලක් ව තිබුණේ ය. කලෙකදී හොඳ පොතක් වීමට නම් සේකරගේ තෙලිතුඩින් ඇඳුණු චිත්‍රයකින් කවරය සැරසිය යුතු යැයි ද, හොඳ චිත්‍රපටයක් වීමට එක් ගීයක් හෝ සේකර ලවා ලියා ගත යුතු යැයි ද, වෙනයම් නිර්මාණයක් නම් සේකරගේ අදහස් කෙසේ හෝ ලබාගත යුතු යැයි ද සමාජ සම්මතයක් ගොඩනැඟුණේ ඒ නිසා ය. අද පායා හෙට මිලින ව යන තාරකා බහුල අද වැනි දවසක සැම හදවත්හි නොමැකෙන ලකුණක් ව සේකර සටහන් ව තිබ‍ුණේ එපරිද්දෙනි.

සේකරගේ කලා නිර්මාණයන්හි ඇති ශිල්පීය ක්‍රම කලා කෘතියේ ආත්මය විසින් බිහිවුණු ඒවා විනා ඒවා බටහිරින් ආ ශිල්ප හරඹයන්ගෙන් සැරසිලි කළ ඒවා නොවී ය. මේ නිසා සේකරට ම ආවේණික වූ ශිල්පීය ක්‍රම, සෞන්දර්ය ගුණ බිහි විණි. තුංමංහන්දිය මෙන්ම නොමියෙමි, මක්නිසාද යත් කාව්‍ය සංග්‍රහ ද මීට කදිම නිදසුන් ය. ඔහුගේ චිත්‍ර ඔහුට ම ආවේණික වූ ඒවා වීය. ඒවා සරල නව ආරක ගොඩනැඟුණේ වෙයි. ඔහුගේ ගී චිත්‍රපට මාධ්‍යයේදී ලද ජනප්‍රියත්වය, නිර්මාණකරණයේදී සරල, යුගම, අව්‍යාජත්වය මතු කරනා බවට කදිම නිදර්ශනයකි.

අද බොහෝ නිර්මාණවල ඇත්තේ බොල් පිළිම ය; ඒවා ශෝභනීය ය; මනකාන්ත ය; එහෙත් ඇතුළ හිස් ය. සේකරගේ නිර්මාණයන්හි පැහැදිලි ජීවන දෘෂ්ටියක් ගොඩනැ‍ඟෙන බැවින් ඒවා ගල් පිළිම සේය. ඔහුගේ නිර්මාණ සර්වකාලීන, සර්ව භෞමික නිර්මාණ බවට පත් කර ඇත්තේ මේ ජීවන දෘෂ්ටියයි. තුංමංහන්දිය , මනෝමන්දිර නවකතා ද සක්වාලිහිණි, හෙට ඉරක් පායයි, මක්නිසාද යත්, බෝඩිම, නොමියෙමි කාව්‍යයත් මේ ජීවන දෘෂ්ටිය හෙළි කරයි. සරල, චාම් පැවැත්ම ඇතුළත මනුෂ්‍යත්වය උදාරත්වයට පත්වන අයුරු ඔහු සියුම් ව ගොඩනඟන්නේ අපට නැවත, අප දෙසම හැරී බලන්නට ඇරියුම් කරමිනි.

ධර්මේ
කාසිම්
සුන්දරම්
මෙහෙ වරෙල්ලා
අපි ඔක්කොම එකතු වෙලා
මේ ලෝකය
යහපත් තැනක් කරමු මීට වැඩිය...

සංහිඳියාව ගැන කතා කරන අද වැනි දවසකට දශක ගණනකට කලින් සේකර සංහිඳියාව ප්‍රාර්ථනා කළේ ය. කලාකරුවා දකින්නේ අද නොවේ, හෙට ය.

සේකර සලකුණ සටහන් වන තවත් සුවිශේෂ ලක්ෂණයක් වෙයි. ඒ සිය කෘති මඟින් සමකාලීනයන්ට හා පසුකාලීනයන්ට මඟ පෙන්වීමයි. ඔහු නව සම්ප්‍රදායක් බිහි කළේ ය; පැවැති සම්ප්‍රදාය පෝෂණය කළේ ය. කාව්‍ය නිර්මාණයේදී සිංහල කාව්‍ය සම්ප්‍රදායෙන් ඔහු ලද ආභාසය වැදගත් ය. කාව්‍යකරණයේදී එසේ වුවද ගීත නිර්මාණයේදී එසේ ගුරුකොට ගන්නට ඔහුට පෙර මාධ්‍යයක් තිබුණේ නැත. සේකර පමණක් නොව ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මර්සලීන් ජයකොඩි පියතුමා ආදීහු ද මේ ප්‍රශ්නයට මුහුණ පෑහ. ගීත රචනයෙහි වඩාත් ම නිමග්න වූයේ සේකර බැවින් මේ ගැටලුවට වඩාත් ම මුහුණ දුන්නේ ද ඔහු ය. එහෙත් ගීයෙහි හා කාව්‍යයෙහි ෙවනස ඔහු හොඳින් වටහා ගත්තේ ය. එපමණක් නොව චිත්‍රපට ගීත හා නාට්‍ය ගීත අතර වෙනස පවා ඔහු වටහා ගත්තේ ය. සරල ගීත, ශාස්ත්‍රීය හා ප්‍රබුද්ධ ගී අතර වන වෙනස ද හඳුනා ගත්තේ ය. පසු පරම්පරාවට ඔහු ගොඩනැඟූ මේ මඟ සරල සුගම වූයේ ඔහු පෙර කළ කැපවීම නිසා ය.

සේකර ඕමාර් ඛයියාම්, ඛලීල් ජිබ්රාන්, සරෝජිනී නායිදු සහ රවීන්ද්‍රනාත් ඨකූර්යන්ගේ කාව්‍ය කිහිපයක් සිංහල බසට නඟන ලද්දේ අතිශය ගීතාත්මක රීතියකිනි. ඒ ගී අතරින් ඕමාර් ඛයිසාම්ගේ රූබයියාට් කාව්‍යයෙන් සිංහලට නඟන ලද “ගලා බසින ජල ධාරාවක් සේ - මතු වී මෙහි එනවා” ගීතයත් “ඔබ මා තුරුලේ ගී ගයනා වේලේ මේ වන රොද මට ස්වර්ග රාජ්‍යයයි” යන ගීතයත් ප්‍රකට නිර්මාණයෝ වෙති. “මුළු ලොව ම සිහිනයයි - මුළු සිරුර සිරගෙයයි” පබඳින ලද්දේ, ඛලීල් ජිබ්රාන්ගේ කවියක් ඇසු­ෙරනි. “සන්නාලියනේ...” නම් සුප්‍රකට ගීතය සරෝජිනී නායිදුගේ කවියක් අනුසාරයෙන් පබඳින ලද්දකි. මහගමසේකර කවියා එකී කාව්‍ය නිර්මාණ සිංහල ගීතයට ගෙන එන්නේ අපේ කාව්‍ය සම්ප්‍රදාය අනුසාරයෙනි. එහෙයින් එහි කිසිදු ආගන්තුක ලක්ෂණයක් පළ නොවෙයි. මේ සියල්ලම අබිබවා සුප්‍රකට ගීතාංජලියේ එන “පටු අදහස් නම් පවුරින් ලෝකය...” ගීතය කාව්‍ය පරිවර්තනයේ අපූරු නිසඟ හැකියාව පළ කරයි. සිංහල කවියේ මෙන් ම ගීතයේ ද සම්ප්‍රදාය හා සීමා හඳුනාගෙන කවියේත්, ගීතයේත් අපූර්ව ලක්ෂණ සංකලනය කරන සේකර පරිවර්තනයේ ලා දක්වන ප්‍රතිභාව ද අපූර්ව ය ය.

අන් කුමන කාර්යයකදී බොරු කළත්, සාහිත්‍යයේදී බොරු කළ නොහැකි යැයි වරක් ඇන්ටන් චෙකොෆ් පැවසුවේ ය. කිසිදු ව්‍යාජ නිර්මාණයක් අවසන මහපොළොව මත මුල් ඇද ගන්නේ නැත. සේකරගේ නිර්මාණ ද එපරිදි ය. එය දිනෙන් දින ඔපවත් වන්නේ ය; ජන මන පොබයන්නේ ය; හදවත විදාරණය කරන්නේ ය; අවසන හෘදය සංවේදී මිනිසුන් නිර්මාණය කරන්නේ ය.

ඇසූ ගී මිහිරි ය; නොඇසූ ගී වඩාත් මිහිරි ය. යනුවෙන් ඉංගිරිසියේ කියමනක් ඇත. සේකර ද එපරිදි ය; කියවන්නට, කියවන්නට, සොයන්නට, සොයන්නට වඩාත් මිහිරි ව දැනෙන්නේ ය.

Comments