ගීතයත් සාහිත්‍ය කෘතියක් | සිළුමිණ

ගීතයත් සාහිත්‍ය කෘතියක්

මහගම සේකර ගීත රචනා කලාවට අවතීර්ණ වන විට, ඔහුට පූර්වාදර්ශ වශයෙන් ආනන්ද සමරකෝන් - චන්ද්‍රරත්න මානවසිංහ - මුනිදාස කුමාරතුංග - එදිරිවීර සරච්චන්ද්‍ර ආදීහු සිටියහ.

“ආනන්ද සමරකෝන් - සුනිල් සාන්ත ආදීන්ගේ ගීත ගුවන් විදුලියෙන් අසා මහත් ආස්වාදයක් ලැබුවෙමි. හෙළ මීයැසිය කියවීමට මට ලැබුණේ ඊට පසුව ය. උසස් ගීත රසයක් මෙන් ම, දේශානුරාගී හැඟීම් ද ජනිත කරවීමට හෙළ මීයැසිය සමත් විය.”

“මට බොරැල්ලේ තරුණ බෞද්ධ සමිති ශාලාවේදී ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහගේ දේශනයකට සවන් දීමට අවස්ථාව ලැබිණ. ගීත රචකයකු වීම තම ජීවිතයේ එක් අරමුණක් ඉෂ්ට වීම කැයි ඒ මහතා සඳහන් කළේ ය. මා ද ගීත රචකයකු වුවහොත් මැනවයි එවේලේ මට නිකමට සිතිණ.”

“මා ස්වර්ණතිලකා නාට්‍යය... රචනා කළේ ගීත රචකයකු වීමේ අදහසින් නොවේ. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාටකය නරඹා ලද ආස්වාදයෙන් මෙහෙයවනු ලැබීමෙනි.”

එහෙත් සේකරගේ ගීත රචකයකු වීමේ අභිලාෂය නිසා ම මනමේ නාටකයේ ගීතවලට ආසන්න වූ බවට ලකුණු ස්වර්ණතිලකා ගීතයන්හි විද්‍යමාන වන බව කිව හැකි ය. (බලන්න - මහගම සේකර හදවතේ ගීතය (සංස්: සමන්ත හේරත් - මහගම සේකරගේ ගුවන් විදුලි ගීත ලිපිය)

සේකරගේ ගීත රචනා පියුම්විලට සූර්යයා වූ පණ්ඩිත් අමරදේව සංගීත කාර්යයට එළඹෙන විට ද ආනන්ද සමරකෝන් - ලයනල් එදිරිසිංහ - සුනිල් සාන්ත - ඩබ්ලිව්. බී. මකුලොලුව වැනි පූර්වගාමියෝ බිහිව සිටියහ.

බ්‍රිතාන්‍ය ජාතික කවියකු වන හාර්ඩි කීවාක් මෙන්, සංගීතය වූකලී නාදයේ කාව්‍යය බව අමරදේවයන් අවබෝධ කරගෙන සිටි අතර, කාව්‍යය වූකලී වචනයේ සංගීතය බව සේකර ද වටහාගෙන සිටි බව ඔවුන්ගේ නිර්මාණ විමර්ශනය කරන විට පැහැදිලි වෙයි. පදයන්ගේ ද ස්වරයන්ගේ ද සමවාය ගීතය යනුවෙන් සෝමේස්වර දක්වන්නේ ද හාර්ඩිගේ කියුමට සමාන අරුතකැයි කිව හැකි ය.

“සංගීතඥයාට සාහිත්‍යයෙන් ආවේශයක් ලබන්න පුළුවන්. සංවේදීතාවක් තියෙන්න ඕන. මහගම සේකරයි මායි එක්කාසු වෙලා කරපු ‘මධුවන්ති’ ගී සංකල්පනා සාර්ථක වුණේ මොකද කියලා මට වැටහුණේ සරච්චන්ද්‍රගේ වෙස්සන්තර නාට්‍යයේ ගීතවලට තනු දාන්න ගිය වේලේ. සාහිත්‍යමය වචනයත් සංගීතයේ වචනයත් දෙයාකාර අර්ථයක්, ආකෘතියක් ඇති සත්තාවන් දෙකක්. වචනයේ ගමනත් - නාදයේ ගමනත් පරස්පර විරෝධීයි. වචනයෙන් ආරම්භ කරන සාහිත්‍ය රසය සංගීත රසයකට හරවන්නට ඉදිරිපත් වන සංගීතඥයා දැනගෙන සිටිය යුතුයි, වචනයේත් නාදයේත් ආවේණික සීමාවන් මොනවාද, ඒවායේ පටහැණි පෘථුලතා මොනවාද කියන එක. වචනයේ සීමාවන් දැනගෙන වචනයෙන් කොටසක් නොවී, වචනය නාදයේ කොටසක් බවට පත් කොට, සංගීතයට විකාශනය කිරීම බොහෝම පරිකල්පන ශක්තියකින් ලොකු ශිල්පීය දැනුමකින් කරන්න ඕන වැඩක්” බව පණ්ඩිත් අමරදේව සයිමන් නවගත්තේගම සමඟ කළ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත. (අමරදේව - ජාතියේ ස්වර්ණ ස්වරය/ සංස්: සමන්ත හේරත්/ ප්‍රණීත් අභයසුන්දර) 168 පිටුව

අමරදේව - සේකර සුසංයෝගයට මඟ පෑදුණු පසුබිම ගැන සේකර කියන්නේ, “ගීත රචනා කලාවට මා නියම වශයෙන් පිවිසුණේ ගුවන්විදුලි කාර්යාලයේ නිබන්ධ සම්පාදකයකු ලෙස බැඳුණු පසුව බවයි. එහෙත් සේකර 1960 දී ලියා 1961 දී පළ කළ ‘සද්දන්ත සහ තවත් නාටක’ කෘතියේ සොර පවුව’ (ඇතැම් තැනක චෝර පබ්බත යනුවෙන් ද සඳහන් ය.) 1985 ඔහුගේ අභාවයෙන් පසු පළ කෙරෙන මහගම සේකර හංස ගීතය සහ තවත් නාටක (සංස්: රත්නසිරි අරංගල) කෘතියේ කුණ්ඩලකේශී නමින් ද සඳහන් නාට්‍ය පිටපතේ සේකරගේ උසස් ගීත ප්‍රබන්ධ කිහිපයක් විද්‍යමාන වෙයි.

ක්ලේශ බර ගෙන කරට‍
කම්කටොලු පිරිවරට
සංසාර ගිරි දුර්ග නඟිනා
මඟ නොදැන ගනඳුරෙහි
යන කටුක මෙම ගමන
නතර වෙද කොයි ලෙසක කෙදිනා....

(66 පිටුව)

සොර පවුවේ එන සේකර ලියූ අනෙක් නිර්මාණාත්මක ගීතයේ පදමාලාව විමසිය යුතු තරම් ය.

රළු ගස් කඳ වැලඳ බදා
නව දළු ලා ඉහළ ගොසින්
මල පිපුණා ප්‍රේම ලතාවේ
ගල් පරුවතයේ හැපිලා
ජල ධාරා ඇද හැලිලා
ගිනි නිවුණා ඇවිළි - ළසෝකේ...

(52 පිටුව)

සද්දන්ත කෘතියේ සොර පවුවට අයත් නොවන හංස ගීතයේ කුණ්ඩලකේශී පෙළට අයත් අනෙක් විශිෂ්ට ගීතය එදත් අදත් එකසේ ජනප්‍රසාදය දිනාගත්තකි. සේකර මුල් අවදියේ දීම දැක්වූ ප්‍රතිභාවට මෙය කදිම නිදසුනකි.

අන්න බලන් සඳ රන් තැටියෙන්
සුදු සීත ගඟුල් ගලනා
හද සෝක තැවුල් නිවනා...

(22 පිටුව)

සේකර ගුවන්විදුලියේ නිබන්ධ සම්පාදකයකු වශයෙන් බඳවා ගනු ලබන්නේ ‘ගුවන් විදුලියේ ප්‍රචාරය වන සරල ගී වැඩසටහන්වල තත්ත්වය උසස් කරලීමට මඟ පෙන්වීමක් වශයෙන් සංගීත වැඩසටහනක් සකස් කොට ඉදිරිපත් කරනු පිණිස මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ යෝජනාවක් අනුවය.

ගුවන් විදුලියේ ගීතමය වැඩසටහන්වල තත්ත්වය උසස් කරලීම භාර ගන්නා මහගම සේකර හොඳ ගීත ප්‍රබන්ධය අර්ථ විවරණය කරන්නේ මෙසේ ය‍.

“හොඳ ගීත ප්‍රබන්ධයක ද කවියක මෙන් ගීතමය ස්වභාවයක් තිබිය යුතු ය. වෙන වචනවලින් කියතොත් ගීත ප්‍රබන්ධය සංගීතයෙන් වෙන් කර ඉවතට අරගෙන බලන කොටත්, සාහිත්‍ය කෘතියකින් ලැබෙන විදියෙ රසයක් එයින් ලැබෙන්න ඕනෑ. ගීතයක් සාහිත්‍ය කෘතියක් ම මිස, නිකම් වචන ගොඩක් හෝ වාර්තාවක් නොවෙයි. මේ නිසා සාහිත්‍ය නිර්මාණයේදී සාහිත්‍යකරුවකුට අවශ්‍ය වන අත්දැකීම් සහ නිර්මාණ ශක්තිය, ගීත රචකයාටත් අව‍ශ­්‍යයෙන් ම තිබිය යුතුයි. සාහිත්‍ය කෘතියකින් මෙන් ම, ගීතයකිනුත් අපි කරන්නෙ, අසන්නන්ගේ හැඟීම් ප්‍රබෝධ කරවා, එමඟින් රසයක් ජනිත කරවීමයි. හැඟීම් පහළ වෙන්නෙ අත්දැකීම් ආශ්‍රයෙන්. එනිසා කවියකට කෙටි කතාවකට වගේම ගීතයටත් වස්තු බීජය වෙන්නෙ අත්දැකීමක්.”

අත්දැකීම් කවියක් වන්නේ කවියාගේ ප්‍රතිභාව නිසයි. අත්දැකීම් විලෙහි පිපී ඇති නෙළුම් මලකි. කවිය දඹුලු විහාරයෙහි ඇඳ ඇති නෙළුම් මලක් වැන්න. බිතු සිතුවමක් බවට පරිවර්තනය වීමේදී සැබෑ නෙළුම් මලේ රූපකායට යමක් එකතු වී ද එය ප්‍රතිභාව වේ.

කවියා තුළ පහළ වන විචිත්‍ර පරිකල්පනයක් වාචෝද්ගත කළ හැකි වන්නේ පෘථුල වාග් කෝෂයක් ඇති වාචස්පතියකුට පමණි. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහටත් ආනන්ද සමරකෝන්ටත් මහාචාර්ය සරච්චන්ද්‍රටත් මෙන් ම පරිපුෂ්ට වාග් ධාරිතාවත් සේකර සතු බවට සාක්ෂි අපමණ දැක්විය හැකි ය.

විනාඩි තුනක ධාවන කාලයකින් අර්ථ පූර්ණ රස කල්පනාවක් පරිසමාප්තියට පත් කළ හැක්කේ භාෂාධිපත්‍යය ඇත්තෙකුට පමණි.

රත්නදීප ජන්ම භූමි
ලංකාදීප විජය භූමි
මේ අපේ උදාර වූ - මාතෘ භූමියයි...

දේශාභිමානී ගීතවල දී උපයුක්ත සාම්ප්‍රදායික වාග් මාලාව ද සුලභ කාව්‍යෝක්ති ද මුළුමනින් ම බැහැර කරන සේකර, ජාතියේ ප්‍රෞඪත්වයත් ජාතිය වෙනුවෙන් දිවි පිදූ විරුවන්ගේ යශෝ ගීතයේ ප්‍රභාවත්, විරුවන් හෙළූ ප්‍රාණ වායුව පද්ම රේණුවෙන් සුගන්ධවත් වී රන් කරල් නවා හමා විත් සිත් ප්‍රබෝධවත් කරන බවත් කියන්නේ ව්‍යංජනා ශක්තියෙන් අනූන ව්‍යක්ත භාෂා භාවිතයකිනි. අප‍ූරු කලාත්මක විවරණයකි.

සරෝජිනී නායිදුගේ පද්‍යය ආශ්‍රයෙන් කළ සන්නාලියනේ ගීතය සේකර ස්වායත්ත කරගත්තේ මුල් රචනයේ එන බිලිඳා - රැජන සහ මිනිසා එකම ස්ත්‍රියකගේ උපත - විවාහය හා මරණය යන අවස්ථා තුන බවට පත් කරගනිමිනි.

මෙම සිද්ධීන් තුනම ඒකාත්මික කරන සේකර, එම වෙනස කරන්නේ තම පෞද්ගලික අත්දැකීමක ආභාසයෙනි.‍

රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලයේ රංගගත කළ ස්වර්ණතිලකා නාටකයේ එම චරිතය රඟපෑ සිසුවිය අකල් මරණයකට ගොදුරු වෙයි. සේකරගේ සිත සසල කළ එම සිදුවීමට පසු අනුවර්තනය කරන ඉන්දියානු කවිය කේන්ද්‍රීය එකම භූමිකාවක් බවට පත් කරයි. මෙය උත්පාද - ස්ථිති - භංග යන අවස්ථා තුන ලෙස අරුත් ගැන්විය හැකි ය. සේකරගේ කවි මහිමය නිසා මුල් කිවිඳියගේ ප්‍රබන්ධය වඩාත් අලංකෘත කිරීමට සේකරට හැකිවෙයි.

මේ පදවැලේ අසිරිය කවරාකාරදැයි බලන්න.

සන්නාලියනේ - සන්නාලියනේ
මේ හිමිදිරි උදයේ
සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
කාටද ඇඳුම වියන්නේ//

මෙහිදී ගායකයා අඥාත ප්‍රශ්න විචාරකයෙක් වෙයි. පිළිතුරු සපයන්නේ ද අඥාත දේවතාවියක විය හැකියයි මේ ගීතය විමර්ශනයට ලක් කළ ඒ. ඇම්. ජී. සිරිමාන්න පෙන්වා දෙයි. ගායිකාවන් පිරිස නොනැවතී ගලා යන ප්‍රවාහයක් මෙන් සපයන පිළිතුරින් ජීවිතයේ අනිත්‍යතාව පිළිබඳ ගැඹුරු දාර්ශනික, අර්ථයන් වෙත රසිකයා සමීප කරවයි. සේකරගේ අනුවර්තනය සරෝජිනී නායිදුගේ නිර්මාණය අතික්‍රමණය කරන බව විචාරක සිරිමාන්නගේ මතය‍.

මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර්තුමන්ට නොබෙල් සම්මානය අත්කර දුන් ගීතාංජලී කාව්‍යයෙහි එන පහත දැක්වෙන පැදි පෙළ ආශ්‍රයෙන් මහගම සේකර විශිෂ්ට ගීතමය පරිවර්තනයක් කළ හැටි අපූරු ය.‍ මෙය පහසුවෙන් පදානුගත පරිවර්තනයකට ලක් කළ හැකි පද්‍යයක් නොවේ; කිසියම් ගැඹුරු දාර්ශනික චින්තාවකි. මුල් කෘතියේ නිරවද්‍ය අර්ථ රැකෙන පරිදි ද කාව්‍යාත්මක ගුණ සම්පන්න බව රැකෙන පරිදි ද පරිවර්තනය කිරීම ප්‍රතිභාන්විත කවියකු විසින් ම කළ මනා කාර්යයකි. එම අභියෝගය සේකර ජයගන්නා ආකාරය එක්තරා වාග් වික්‍රමයක් බඳු ය.

පටු අදහස් නම් පවුරින් ලෝකය
කැබලිවලට නොබෙදී
ඥානය නිවහල් වී
බියෙන් තොරව හිස කෙළින් තබාගෙන
සිටිනට හැකි කොහිදෝ...

ඒ පිළිබඳව අදහස් දක්වන ගීත විචාරක ඩබ්ලියු. ඒ. අබේසිංහ කියන්නේ සිංහල කවියේ වෙන්ව ගීතයේ ද සම්ප්‍රදාය හා සීමාවන් මනා සේ හඳුනාගෙන, කවියේත් ගීතයේත් ශක්‍යතාවන් ‍උපරිම තලයට පත් කරමින් කළ මේ පරිවර්තනය අනාගත සාහිත්‍ය වංස කතාවේ නිසැක පරච්ඡේදයක් වීම නිසැක බව ය.‍

කවර හෝ ප්‍රස්තුතයකට අනුගතව ගීතයක් ලිවීමේදී පැනවෙන දේශ සීමා තුළ අර්ථාන්විත සාර්ථක ගීතයක් ලිවීම අතිශය දුෂ්කර කටයුත්තකි. මහවැලි ගීතය එබඳු අභියෝගයක ජයග්‍රාහී ප්‍රතිඵලයක් වන මහිමයයි මේ:

සිරිපදල’ස සමනොල සිරසේ
සිඹ සිඹ සිහිලස විඳ සොඳ සේ
ලෙළී දිලී ගලා බසී
මහවැලි මහවැලි මහාවැලී...

මහවැලියෙන් නිර්මාණය වන සෞභාග්‍යය කෙරෙහි බලාපොරොත්තු තබා ගෙන බලා සිටින්නේ කෙසේද? අතීත රජරට සිරිසර ඇස හැරගෙන ය. අමරදේවයන්ගේ මධුරතර තනුවත් සමඟ මේ ගීතය සේකරගේ කවි මහිමය පිළිබිඹු කරන්නකි.

භාරත නායක ශ්‍රී නේරු තුමන්ගේ වියෝගය නිමිත්තෙන් සේකර ලියන ගීතය තුළ නේරු තුමන්ගේ උදාර දර්ශනය - ජාති හිතෛෂීභාවය හා ඔහුගේ ජාතික මෙහෙවර කැටි කරගන්නේ අපූර්වාකාරයෙනි.

සාගතයෙන් කරව‍ූ මහ පොළොවේ
ඔබගේ දහදිය නිල් වරුසා වී
ගං හෝ උතුරා - කෙත් වතු වපුරා
දෙගොඩ තළා ගැලුවා...

සැහැල්ලක් සේ ලියැවෙන මේ ගීතය සේකරගේ නිර්මාණ අතර සුවිශේෂී ගුණ ගායනයන් සේ සැලකිය හැකිය.

ගුණසේන ගලප්පත්තිගේ මූදු පුත්තු නාට්‍යයට සේකර ලියන ගීත කිහිපය නාට්‍යයේ තේමාව පරිසරය හා අත්‍යන්තයෙන් බැඳුණු අර්ථපූර්ණ ඒවා වෙයි. දරුවන් නොලැබ සමාජයේ ගර්හාවට ලක්වූ ඇයගේ මානසික ව්‍යාධියේ තියුණු බව ප්‍රකාශ කරන්නේ ස්ත්‍රීත්වය පිළිබඳ ප්‍රබල සංකල්පයකිනි. මේ නාට්‍යමය අවස්ථාවේදී ඇගේ පීඩනය තීව්‍ර වන්නේ මේ ගීයත් සමඟිනි.

බිලිඳු තොලක කිරි සුවඳ උරන්නයි
ළමැද දෙතන පුඬු උඩට හැරෙන්නේ
කුසෙහි පුතුට නිඳි යහන සදන්නයි
පළල් උකුළ පටු ඉඟට ලැබෙන්නේ

නියම කලට තන කිරට හැරෙන්නයි
නහර පුරා ලේ දහර දුවන්නේ
පුතෙකු නොමැති කල ඒ ඒ කිරි ලේමයි
සිරුර දවන විස බවට හැරෙන්නේ

සිය සැමියාගේ දරුවකු නොලත් ‘සරා’ නම් ස්ත්‍රිය සැමියාගේ සහෝදරයා වෙතින් දරුවකු ලබයි. දැන් දරුවා සිය සැමියාගෙන් ද සිය අනියම් සැමියාගෙන් ද සැලකුම් ලබන බව කලාත්මක ලෙස ප්‍රකාශ කරන ආකාරය සේකරගේ කවි මහිමයට තවත් ප්‍රබල නිදසුනකි.

මූදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිඳි කරවා
මුතු ඇටයක පා කරලා
මගෙ දෝතට පුතු ආවා...

උක්ත මූදු පුත්තු ගීතයේ නිර්මාණාඛ්‍යාන වික්‍රමය සිදු කරන්නේ හුදු කවි බසකින් නොවේ. ව්‍යවහාරික භාෂාවෙනි. එහෙත් නාට්‍යයේ තේමාව - චරිත හැසිරෙන පරිසරය - මානසිකත්වය පිළිබිඹු කිරීමෙහිදී නාට්‍යය හා ඓන්ද්‍රීයව බැඳුණු ගීයක් නිර්මාණය කරයි.

1964 ඔහු ගැටවරයෝ චිත්‍රපටයට එකම එක ගීතයක් ලියයි. බෝට්ටු නිෂ්පාදනාගාරයක සුළු සේවක පිරිසක මුවින් ගැයෙන ගීයකි. “ඈත ගව් ගණන් දුරින්” යනුවෙන් ඇරැඹෙන “හාරිච්චි බෝරිච්චි කම්බි කූරු බෝල මාල - පත්තරෙන් ඇවිත්, මෙහේ නැද්ද යම් කෙනෙක් - ගන්න ගන්න මාගෙ රූපෙ මං පොටෝ ජෙනික්” නූගත් සේවකයන්ගේ රැඟුමට - ඔවුන්ගේ දැන උගත්කමට සරිලන පරිදිය, සේකර ඒ ගීය ලියන්නේ, බස හසුරුවන්නේ.

වෙසතුරු සිරිත (1966) රුවන් වලා දුහුල් කඩින් ගීතය ලියන සේකර, දෙලොවක් අතර (1966) සමාජ ශාලා ගායන වෘන්දයට ලියන්නේ නටන නැටුම් - ගයන ගැයුම් යන ගීතයයි. සත්සමුදුර (1967) තේමා ගීතය කතාව දිග හැරෙන මහ සමුදුර හා එහි මතුපිට සුන්දරත්වය ගම්භීරත්වයත් රුදුරු බියකරු බවත් මැනවින් චිත්‍රණය කරයි.

සිනිඳු සුදු මුදු තලාවේ
පිපෙන පෙණ පිඬු සිනාසේ
සැලෙන රළ මත ගිලී ඉපිළී
ගලන සිතුවිලි මුළා වේ...

සාමයික පණිවිඩයක් කියන රන්සළු (1967) චිත්‍රපටයට ලියන ගීතය සිත් නිවන - සිත් පහන් කරන සුලු ය. ශාන්ත රස ජනනය කරන සුලු ය.

සිරිපා පියුමේ - රොන් සුනු තැවරී
ගිමන් නිවන පවන් හමා ඒ
නිවී පහන් වී ළය සැනහේ...

තුංමංහංදිය චිත්‍රපටයේ සිරිසේන නම් ළමයා ගමේ ඇළ අසල සිට කරන අතීතාවර්ජනයක ස්වරූපයෙන් ලියන්නේ සිරිසේන නම් චරිතයට වැටී ඇති සෙවණැල්ල අබිලිං ය. සිරිසේන නිර්මාණය වන්නේ ඔහුගෙනි. සේකර එම අරුත් කුළු ගන්වන්නේ කෙසේද?

අතීතයෙන් ගඟ ගලා බසී
සිඳී බිඳී ගල්පර අතරේ
සිනාසිසී සුදු පෙණ පොකුරේ
ගලා බසී - ගඟ ගලා බසී...

ගීයේ සමුදයාර්ථය කැටි කර දක්වන්නේ ‘සොබා සොඳුරු සිරි මෙලොවේ - ඔබේ ඇසිනි මා දුටුවේ’ යන පද තුළින් ගමේ මේ ජල පහර ඔහුට‍ අතීතයට යන්නට කදිම නිමිත්තකි.

වැලිකතර (1971) චිත්‍රපටයේ තේමා ගීතය ඇරැඹෙන්නේම ඛේදවාචකයක් සිදුවන පසුබිම පරිසරය ගිනිගත් මරුකතර යන වදනිනි. කතා වස්තුවේ සමුදයාර්ථය ක්ෂුද්‍ර ගීතයක බහාලීම එතරම් පහසු කාර්යයක් නොවේ.

ගිනිගත් මරු කත‍රේ
ඔබ යන මඟ නොදැනේ
පිපාසිතව සැඩ කුණාටු ඉගිළෙයි
දෙපා දවා උණු කඳුළැලි උතුරයි...

ඔහු ගීත ලියූ චිත්‍රපට 16 දීම කතා වස්තුව, චරිත වින්‍යාසය - පරිසරය වටහාගෙන ඊට උචිත වාග් මාලාවක් භාවිත කරමින් අභිරමණීය ගීත නිර්මාණය කළේ ය. නාට්‍ය හා මුද්‍රා නාට්‍යවලදී ද ඔහු කතා වස්තුව - භූමිකා - කාලය - පරිසරය සැලකිල්ලට ගත් හැටි පැහැදිලි ය. නල - දමයන්ති මුද්‍රා නාට්‍යයට සම්භාව්‍ය සාහිත්‍ය ලක්ෂණ සමූපේත ගීතයකි නිර්මාණය කරන්නේ. මේ ගීතය ඔහුගේත් - අමරදේවයන්ගේත් ගීතාවලියෙහි අග්‍ර ඵලය ලෙස සැලකේ.

රනින් කළ වන් පුළුල් උරයෙන්
හසුන් ළමැදේ මුස කරන්නේ
හදේ මෝරන ආදරේ
සරාගි නිල් නුවන් බඳුනින්
නුරා ඉතිරෙන්නේ

මහගම සේකරගේ ගීත නිර්මාණ චාතුර්යයට ඔහුගේ කව් ලකුණු පිළිබඳ දැනුම - බහුශ්‍රැතභාවය - ජන්ම ප්‍රතිභාව - නව නගරය පිළිබඳ අවබෝධය - උචිතානුචිත විවේක බුද්ධිය - රසඥතාව - භාෂාධිපත්‍යය ආදී සාධනීය ගුණාංග සියල්ල බලපෑවේ ය.

මවිසින් මෙහිදී කරන ලද්දේ මෙතෙක් වැඩි විමසුමකට ලක් නොවූ ගීත කිහිපයක් විමසුමට ලක් කිරීම පමණි. ඔහුගේ චිත්‍ර කලාවට මූර්තියට නවකතාවට කෙටිකතාවට සහ සිනමාව ඇතුළු සකල කලාවේ සාර්ථකත්වයට බලපෑවේ ඔහුගේ අසහාය කවිත්වය බව හකුළුවා කිව හැකි ය.

Comments