ඉන්ෆ්ලුඑන්සාව දකුණට පැතිරෙන්න ඉඩ තියන්නේ නෑ | Page 2 | සිළුමිණ

ඉන්ෆ්ලුඑන්සාව දකුණට පැතිරෙන්න ඉඩ තියන්නේ නෑ

වැබඩලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

විශේෂඥ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර

උතුරු ප්‍රදේශයේ පැතිර යමින් පවතින ඒ එච් 1 එන් 1 වෛරස රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති අතර ඒ තත්ත්වය දකුණේ ඇති නොවන්නට කටයුතු යොදා ඇතැයි වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

වැසි සමය ඇරැඹීමත් සමඟ ඉන්ෆ්ලුඑන්සා වෛරසය පැතිර යාමේ අවධානමක් ඇති හෙයින් සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා උණක් වැළැඳණ ද ඒ ගැන වඩාත් සැලකිලිමත් විය යුතු බවද හෙතෙම පවසයි.

උණ, හිසරදය, ඇඟපත වේදනාව, උගුරේ අමාරුව සොටු දියර ගැලිම, කැස්ස, ඇතැම්විට වමනය හා පාචනය යන රෝග ලක්ෂණ ඉන්ෆ්ලුඑන්සා රෝග ලක්ෂණ විය හැකිය. මෙම රෝග ලක්ෂණ ඇත්නම් වහාම රෝහලකින් හෝ සුදුසුකම්ලත් වෛද්‍යවරයකු ගෙන් උපදෙස් හා ප්‍රතිකාර ලබා ගත යුතුය. දින දෙකක් හෝ ඊට වඩා උණ ඇත්නම් ඩෙංගු රෝගය සඳහා ද පරීක්ෂා කර ගැනීම සුදුසුය. ඩෙංගු හා ජැපනීස් එන්සෙෆලයිට්ස් වැනි වෛරස රෝගද පසුගිය සමයේ තැනින් තැන වාර්තා වූ බැවිනි. වර්ෂාව සමඟ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ද වැඩි විය හැකිය.

ළදරුවන්, කාන්තාවන් හා වයසක පුද්ගලයෝ රෝගය සඳහා වැඩි අවධානමක් දරති. පසුගිය සතිය තුළ රෝගය සහිත රටවල සංචාරය කළ පුද්ගලයෝ ද වැඩි අවධානමක් දරති.

ඉහත සඳහන් රෝග ලක්ෂණ ඇත්නම් පහත උපදෙස් පිළිපැදීමෙන් ඔබත් අන් අයත් රෝගයෙන් වළක්වා ගත හැකිවේ.

  • සෙනඟ රැස්වන ස්ථාන හා අවස්ථා මඟ හරින්න.
  • කැස්සක්, කිවිසුමක් ඇතිවිට මුව හා නාසය ලේන්සුවක්, ටිෂූ කොළයක් හෝ තම වැලමිටෙන් ආවරණය කර ගන්න.
  • දෑත් සබන් යොදා පිරිසිදු කරගන්න.
  • ඔබ භාවිතා කළ ලේන්සුව හොඳින් සෝදා පිරිසිදු කරන්න. භාවිතා කළ ටිෂූ ආරක්ෂිත ලෙස ඉවත් කරන්න.
  • රෝග ලක්ෂණ පහළ වූ වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.
  • රෝගීන් භාවිතා කරන ලේන්සු තුවා හෝ කෝප්ප භාවිතයෙන් වළකින්න. 

Comments