සහනාධාර පතා නොඉඳ කය වෙහෙසා වැඩට බසිමු | සිළුමිණ

සහනාධාර පතා නොඉඳ කය වෙහෙසා වැඩට බසිමු

 ශ්‍රී ලාංකිකයන් යනු වවාගෙන කාපු ජාතියක් මිස ඉහගෙන කාපු ජාතියක් නොවන බවත් එම තත්ත්වයෙන් දුරස්වීම දැන්වත් අත හැර නැවත වතාවක් අප වවාගෙන කන මිනිසුන් බවට පත් වනතුරු රටට ජාතියට දියුණුවක් ඇති නොවන බවත් මවුබිම ලංකා පදනමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව දියුණු කිරීමට නම් රට වැසියන් සහනාධාර මානසිකත්වයෙන් ඉවත් කොට අතපය වෙහෙසා වැඩ කරන මිනිසුන් පිරිසක් බවට නැවත පත්කළ යුතුව ඇත. සෑම දෙයක් ම රජයකින් හෝ වෙනත් ආයතනයකින් ලැබෙන තෙක් කම්මැලිව බලා සිටීමේ පුරුද්දෙන් ජනතාව මුදා ගත යුතු ය.

එදා පිටරටවලට පවා සහල් අපනයනය කළ පෙරදිග ධාන්‍යාගාරය කියූ අප රටට අද පිටරටින් සහල් ගෙන්වන තුරු සහල් මිල අඩු කිරීමට නොහැකි වී තිබේ.

ශ්‍රී ලංකාව වට මහා සාගරයකි. නමුත් අප රටට අවශ්‍ය ආහාරයට ගන්නා මාළු පිටරටවලින් තවමත් ගෙන ඒමට සිදුව ඇත. එය මඳක් අපි අමතක කරමු. ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තය අතිවිශිෂ්ට තත්ත්වයක පවතී. මුළු රටේ ම වැව් දහසකට වඩා පිහිටා තිබේ. ‍ෙම් වැව් සමූහයෙන් මුළු රටටම කෑමට අවශ්‍ය මසුන් මිරිදිය ධීවර කර්මාන්තයේ නියැළීමෙන් පමණක් සපුරා ගත හැකි ය.

අප රටට අත් කර ගත හැකි ජයග්‍රහණ සංඛ්‍යාව අතිවිශාල ය. ජනතාවට මීට වඩා ඉහළ ආර්ථික, සාමාජික, තත්ත්වයන්ගෙන් ලොව අන් රටවල ජනතාව පසු කොට පෙර ආ හැකිව තිබේ. එනමුත් අප එම දියුණු තත්ත්වයට පැමිණීමට අවශ්‍ය ගමන තවම හරි හැටි ආරම්භ කොට ඇති ආකාරයක් දක්නට නොමැත.අපට බොහෝ විට ඇත්තේ මහා පරිමාණ සිහිනයක් ය. එය ඉතා ම හොඳ දෙයකි. එනමුත් ඒ සිහින ළඟා කර ගැනීමට අපි පුංචි පියවරක් හෝ ගත යුතුව ඇත.

අද දවසේ සිදුවනුයේ අපගේ දැවැන්ත සිහින සියල්ල පිටරැටියන්ගෙන් ඉටු කර ගැනීමට මාන බැලීම ය. ඇත්ත වශයෙන් ම අප තවමත් ජාතියක් ලෙස ආර්ථික වශයෙන් වේවා සාමාජික වශයෙන් වේවා, අත්කරගත යුතු ජයග්‍රහණ පිළිබඳ හරිහැටි දැක්මක්, අවබෝධයක් නොමැතිව කටයුතු කරන ස්වරූපයක් දක්නට ලැබේ. මේ තත්ත්වයෙන් වහාම අප මිදිය යුතුය.

ආහාර කල් තබා ගන්නා නව ක්‍රමවේද මේ වනවිට රට ගිල ‍ෙගන තිබේ. අප, අපට එදිනෙදා අවශ්‍ය ආහාර අවට පරිසරයේ වවාගෙන, අවශ්‍ය මොහොතට කඩාගෙන කා බි හුරුවූ ජාතියකි. අපට එවන් ප්‍රෞඪ ආහාර රටාවක්, වගා ක්‍රමයක් උරුමව තිබුණි. අද දවස වනවිට මේ සියල්ල කණපිට හැරවී තිබේ. සියලු දේ ක්ෂණිකව සපයා ගැනීමට අප සූදානම් මුත්, ඒවා නිපදවීමට වැඩපිළිවෙළක් අපේ නැත. සියලු දේ අන් අයගේ නිපැයුම් තුළින් බලාපොරොත්තුවේ. එවැනි ආකාරයට වෙනත් කෙනෙකුගෙන් නැතිනම් අන් අයගේ නිපැයුමක් දෙස බලා සිටීමට ජාතිය හුරු පුරුදු වීම රටේ ම අවාසනාවකට සිදුවූ දෙයකි.

අප, අප විසින් ම රවටාගෙන සිටින කරුණක් තිබේ. එනම් අපට බැහැ. අපට අවශ්‍ය සම්පත් නැහැ. දැනුම නැතැයි සිතීමය. නැත! අපට සියලු භෞතික සම්පත්, මානව සම්පත් උවමනාවටත් වඩා හිමි වී ඇති බව අප සිතන්නේ නැත.

අප රටේ සෑම වසරක් පාසාම අලුතින් පළමු ශ්‍රේණියට ළමයින් ලක්ෂ 3 ක් 5 ක් අතර පිරිසක් එක් වෙති. එමෙන් ම ඒ හා සමාන පිරිසක් පාසල් අධ්‍යාපනයෙන් පිටවෙති.

මේ පාසල් තුළින් පිට වන දරුවන් අතුරින් සියලුම දෙනා ඉංජිනේරුවරුන්, වෛද්‍යවරුන් ආදී ඉහළ රැකියාලාභීන්ම නොවන්නට පුළුවන. එසේ සියලුම දෙනා ඉහළ පිළිගැනීමක් හා ආකර්ෂණයක් සහිත රැකියාවලට ම යොමු කරන්නට යෑම කිසිදාක සපුරා ගත හැකි ඉලක්කයක් නොවේ. ඒ නිසා අප සිදු කළ යුත්තේ හැකි තරම් ඉහළ වෘත්තීය දැනුමක් අප සමාජයේ නව රැකියා අවස්ථා අපේක්ෂා කරන තරුණ තරුණියන්ට ලබාදීමට පියවර ගැනීම ය. පාසල් අධ්‍යාපනය හමාර කළ සියලුම දරු දැරියන්ට වෘත්තීය අධ්‍යාපනයක් ලබාදීම ඒ ඒ වෘත්තීන්ට ඉහළ පිළිගැනීමක්, ගෞරවනීය බවක් රටේ සමාජයේ ඇති කිරීමට කටයුතු කළ යුතු ය. වඩු කාර්මිකයා, පෙදෙරේරුවා, විදුලි කාර්මිකයා මෙන් ම මේ හා සමාන රැකියාවල නිරතවීමට එසේම සාම්ප්‍රදායික රැකියා රාමුවෙන් මිදී නව ලොවට ගැළැපෙන නව රැකියා අවස්ථා කරා අභීතව ගමන් කිරීමට අපේ තරුණ පරපුරට මඟපෙන්වීම, ඉගැන්වීම සිදු කළ යුතුව තිබේ.

රජයේ වෛද්‍ය විද්‍යාලවලින් බිහිවන තරුණ වෛද්‍යවරුන් ඉතා දැඩි වෙහෙසකාරී ප්‍රායෝගික පුහුණුවීමකින් පසුව වෘත්තීය වශයෙන් වෙද සේවයට එක්වේ. මේ හා සමානව ඉංජිනේරු සේවයට එක්වන තරුණ උපාධිධාරීන්ට ද හැකි තරම් දැඩි ප්‍රායෝගික පුහුණුවක් ලබාදීමට වැඩපිළිවෙළ සකස් විය යුතු ය.

පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළින් පොතපතේ දැනුම ඕනෑවටත් වඩා තිබෙන, ගිරාපෝතකයන් මෙන් කට පාඩම් කොට විභාග සමත්වී උපාධි, ඩිප්ලෝමා, පශ්චාත් උපාධි ආදී නොයෙක් කඩදාසිවල සඳහන් සුදුසුකම් තිබුණ ද, හදිසියේ හෝ යම් ප්‍රායෝගික ක්‍රියාකාරකමක් කිරීමට අසමත් වෘත්තීයවේදීන් පිරිසක් අප රටේ සිටිති. ඒ පිරිස්වලට පමණක් දොස් කීමෙන් ඵලක් නැත.

මේ අවශ්‍යතාවය තේරුම් ගත් පෞද්ගලික අං‍ශයේ ඉංජිනේරු සංගමය නවක ඉංජිනේරුවන්ට, පාසල් දරු දැරියන්ට ප්‍රායෝගික අධ්‍යාපනය ලබාදීමට පියවර ගෙන තිබීම අගය කළ යුතු ය.

නව නිර්මාණ, නව සොයා ගැනීම් කරන මානුෂ්‍යවාදී, තරුණ පරපුරක් අපි බිහි කළ යුතුය. එහිදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැනට වඩා ප්‍රායෝගිකව සිතා බලා කටයුතු කළයුතුවේ. තම තමන්ගෙන් රටට, ජාතියට ඉටුවිය යුතු යුතුකම් මනාව හඳුනාගෙන, අනාගත පරපුර ගොඩනැඟුමට ඔවුන් සිය දැනුම, කාලය, ශ්‍රමය වැය කළ යුතු වේ.

අප රටේ මේ වනවිට නව නිර්මාණ, නව නිපැයුම් කිරීමට සමත් පිරිසක් ජීවත් වෙති. නමුත් ඔවුන්ට දිරියෙන් ඉදිරියට ඒමට අවශ්‍ය සහ‍යෝගයත් නිසි ලෙස ලබාදී තිබේ දැයි අප තුළ පවතිනුයේ සැකයකි.

අප ර‍ෙට් පා පැදි නිපදවීමේ කටයුත්තේ ලුමාලා සමාගම නියැළේ. ඔවුන්ගේ නිෂ්පාදන අද ලොව බොහෝ රටවලට යැවීමට හැකි තරම් ඉහළ අයුරින් සිදුවේ. මේ පාපැදිය අප රටේ ජනතාව අතර අලෙවි කිරීම සිදුවන්නේ මන්දගාමීව බව කිවයුතු ය. ඒ නිසා අප අපේ රටේ නිෂ්පාදකයන්ට වඩාත් ඉහළ අවස්ථා හිමිකර දිය යුතුවේ.

අප න්‍යායාත්මක දැනුම් සම්භාරයකින් යුතු මානව සම්පත වෙනුවට ප්‍රායෝගික දැනුම ද මුසු මානව සම්පතක් බිහි කළ යුතු ය. කුඩා කල සිට ම ශිෂ්‍යභට, බාලදක්ෂ, ක්‍රීඩා, සෞන්දර්යය, නව නිර්මාණාත්මක අධ්‍යාපන වැඩපිළිවෙළක් දරුවන්ට හිමිකර දිය යුතු ය.

අපි එක් උදාහරණයකට නවසීලන්තය ගනිමු. එරට ජනගහනය මිලියන තුනකි. ගවයින් මිලියන නවයක් සිටිති. එහි පශු සම්පත් අංශයේ දියුණුව සඳහා මානව සම්පතට වඩා නව තාක්ෂණය යොදා ගැනීම හේතු වී තිබේ. අපත් එවැනි වූ රටවල ආදර්ශයන් ගෙන, අපට අවශ්‍ය ආකාරයට අපේ රටට ගැළැපෙන ආකාරයට ඒවා සැලසුම් කොට භාවිතයට ගත යුතු වේ.

අප ජාතියේ පියා ලෙස විරුදාවලිය ලැබූ දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක ශ්‍රීමතා එදා රටේ කෘෂි කර්මාන්තය දියුණු කිරීමට ක්‍රියා කළේ සීත කාමරවල සිට නොව, ප්‍රායෝගිකව කුඹුරට බැස ය. අත පය මහන්සි කොට ඇඟපතේ මඩ තැවැරුණු පසු ඒවා වෙලේ වක්කඩින් සෝදා ගැනීම අම්බරුවන් බැඳ සී සෑම ආදිය සිදු කොට, ඔවුහු අප රට යායුතු, ගමන් කළ යුතු මඟ පෙන්වා දුන්නා. නමුත් අවාසනාවකට එම තත්ත්වයෙන් රටේ නායකත්වය මිඳී සෑම දෙයක් ම පිටරටින් ගෙන එන තැනට තල්ලු වී ගිය බවක් වර්තමානයේ දක්නට ලැබේ.

අද අප යා යුතු මඟ නොව, ඊට වඩා හාත්පසින්ම වෙනස් මඟක ගමන් කරමින් සිටියි. අප රටක් ලෙස අපේ අනන්‍යතාව අපේ දේ රැකගෙන, වඩාත් වර්ධනය කරගෙන ඉදිරියට යා යුතු ය.

එසේ කළ යුතු නමුත්! අප අද දවසේ මේ ගමන් කරන වැරදි මාවතින් ඉවත් නොවන තුරු රටට, ජාතියට ආලෝකමත් දිනක් උදා නොවනු ඇත. එබැවින් අප දැන් කළ යුතු වන්නේ. ඒ සඳහා සූදානම් බව උදේ සවස ජප කරමින් නොසිට ක්‍රියාවෙන් ම ඔප්පු කිරීමට කටයුතු කිරීම ය.එසේ කළ යුතු නමුත් අප අද දවසේ මේ ගමන් කරන වැරදි මාවතින් ඉවත් නොවන තුරු රටට, ජාතියට ආලෝකමත් දිනක් උදා නොවනු ඇත. එබැවින් අප දැන් කළ යුතු වන්නේ. ඒ සඳහා සූදානම් බව උදේ සවස ජප කරමින් නොසිට ක්‍රියාවෙන් ම ඔප්පු කිරීමට කටයුතු කිරීම ය.

අප, රට දියුණුවට දහඩිය මහන්සියෙන් අවංකව ඇප කැප වී වැඩ කිරීමට අද සිටම පටන් ගත හොත් ඉන් සැමටම ජය ලැබෙනු නියතය.

ඡායාරූප - සමන්ත වීරසිරි

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.