හේමාස් අත්වැලෙන් ඇත් අතුරු සෙවනෙන් යළි වන දහනට | සිළුමිණ

හේමාස් අත්වැලෙන් ඇත් අතුරු සෙවනෙන් යළි වන දහනට

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් හේමාස් හෝල්ඩින්ග්ස් සමූහ ආයතනය විසින් නිර්මාණය කර අනුග්‍රාහකත්වය දැක්වූ උඩවලව ඇත් අතුරු සෙවණේ නිල වෙබ් අඩවිය දියත් කිරීමේ උත්සවය වනජීවී අමාත්‍යාංශයේ, වනජීවී දෙපාර්තමේන්තුවේ හා හේමාස් ‍හෝල්ඩින්ග්ස් සමූහ ආයතනයේ අධ්‍යක්ෂවරුන් ඇතුළු ගෞරවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් හේමාස් ප්‍රධාන කාර්යාලයේදී පවත්වන ලදී. මෙහි ප්‍රධාන පරමාර්ථය වන්නේ මෙම ලෝක ප්‍රසිද්ධ අලි ඇතුන්ගේ පුනරුත්ථාපනය මධ්‍යස්ථානය පිළිබඳ දේශීය හා විදේශීය ප්‍රජාව දැනුවත් කිරීමයි.

උඩවලව ඇත් අතුරු සෙවණ යනු අනාථ අලි පැටවුන් රැකබලා ගැනීම සඳහා වූ ආසියාවේ ඉදිකර ඇති පළමු හා එකම පුනරුත්ථාපන මධ්‍යස්ථානය වන අතර ලෝකයේ දෙවන පුනරුත්ථාපන වැඩසටහනයි. ඇත් අතුරු සෙවණ අනාථ අලි පැටවුන් සඳහා නිදහසේ ජීවත් වීමට අවස්ථාව සලසා දෙයි.

උඩවලව ජාතික වනෝද්‍යානයට ආසන්නයේ පිහිටි ඇත් අතුරු සෙවණ ශ්‍රී ලංකාව තුළ අනාථ වූ කුඩා අලි පැටවුන් රැකබලා ගැනීම සඳහා වූ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ලෙස ආරම්භ කරන ලද්දේ 1995 වසරේ දීය. එහි ප්‍රථම කුඩා අලි රැඳවිය යූයේ “කෝමලී” නම් කුඩා අලි පැටවාය. මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආරම්භ කළ දින පටන් මේ වන විට අනාථ අලි පැටවුන් 3000 කට පමණ සෙවණ දී ඇත.

මෙම අලි ඇතුන් දිවයිනේ නන් දෙසින් රැගෙන විත් ඇති අතර ඔවුන්ට තනිව ජීවත් වීමට හැකියාව ලැබෙනතුරු ඇත් අතුරු සෙවණේ රැකබලා ගන්නා අතර ඉන්පසුව ඔවුන්ට අයත් වනයට මුදා හරිනු ලැබේ. ඔවුන් ඇත් අතුරු සෙවණේ සිටින තුරු ඔවුන්ට අවශ්‍ය පෝෂණය, සුවපහසුව, ආදරය හා රැකවරණය උපරිමයෙන් ලබා දුන්නද, අවම අලි - මිනිස් සම්බන්ධයක් යටතේ ඔවුන්ව තබන්නේ වනයට මුදා හැරීමේ දී මතුවන ගැටලු අවම කර ගැනීම සඳහාය. ඇත් අතුරු සෙවණේ අවසාන පරමාර්ථය වන්නේ අලි ඇතුන් වනයට මුදා හැරිය පසු වනයේ වෙසෙන අලි රංචු සමඟ එක්වී ඔවුන්ට හිමි නියම අයිතිය භුක්ති විඳීමට අවස්ථාව සලසා දීම වේ.

පරිසර හිතකාමී හේමාස් “Green Club” හි සාමාජිකයන් විසින් නිර්මාණය කර අනුග්‍රාහකත්වය දැක්වූ www.eth.dwc.gov.lk යන වෙබ් අඩවියේ අලි ඇතුන් හා ඔවුන්ගේ ජීවන කතා පිළිබඳ හදවතට සංවේදී කෙටි වීඩියෝ පට හතරක් ඇතුළත් අතර එම වීඩියෝ පට සඳහා අනුග්‍රාහකත්වය දැක්වූයේ හේමාස් හි විවේකාස්වාද (Hemas Leisure) හා සංචාරක හා ගුවන් සේවා (Travel and Aviation) යන සමාගම් විසිනි. මෙය ඔබ විසින් නැරඹිය යුතුම වීඩියෝ පටයන් වන්නේ ඇත් අතුරු සෙවණේ ඔබට දැකිය නොහැකි අවස්ථාවන් වන අනාථ වූ පැටවුන් රැකබලා ගන්නා ආකාරය, ඔවුන්ව ඇතිදැඩි කරන ආකාරය හා පුනරුත්ථාපන ක්‍රියාවලියේ සාර්ථක කතන්දර කිහිපයක්ම මෙහි අඩංගුව ඇති නිසාය.

මෙම වෙබ් අඩවිය තුළ ඇත් අතුරු සෙවණේ හැදී වැඩෙන නාමල් නම් අවුරුදු 05ක් වයසැති කුඩා අලිපැටවා හට විශේෂ පිටුවක් වෙන්කර ඇත. ඔහු එතරම් විශේෂ වන්නේ කෘත්‍රිම පස්සා පාදයක් සහිත ලොව එකම අලියා වන්නේ නාමල් වන බැවිනි. මෙම කෘත්‍රිම පාදය ලබා දී නාමල් හට දෙවන වරටත් ජීවිතය ලබා දීම තුළින් නැවත වරක් උඩවලව ඇත් අතුරු සෙවණ ඉතිහාසගත වෙයි.

මෙම සද් ක්‍රියාවට දායක වීම සඳහා අලි ඇතුන් සඳහා පරිත්‍යාගයන් කළ හැකි ආකාරය පිළිබඳව දැක්වෙන පිටුව සඳහා ඉන් පසුව පිවිසෙනු ඇත. අනාථ අලි පැටවුන් සඳහා අනුග්‍රාහකත්වය, මුදල්මය ආධාර, ඇත් අතුරු සෙවණ සඳහා හෝ ස්වේච්ඡා සේවය සඳහා අවශ්‍ය උපකරණ සම්බන්ධ සියළු විස්තර වෙබ් අඩවියේ ඇති ‘Wish List’ පිටුවේ සඳහන් කර ඇත.

ඇත් අතුරු සෙවණේ රැකවරණය යටතේ හැදී වැඩෙන වයස අවුරුදු 2ක් වූ “අභිමන්” නම් කුඩා අලි පැටවා හට අනුග්‍රාහකත්වය දැක්වීම හේමාස් “Green Club” මඟින් සිදු කරන අතර ඔහුට “අභිමන්” යන නම තැබීමට හේතු වූයේ හේමාස් විසින් තම කාර්ය මණ්ඩලයේ යහ පැවැත්ම සඳහා දියත් කර ඇති “අභිමන්” නම් වැඩසටහන පදනම් කරගෙනය.

හේමාස් “Green Club” යනු හේමාස් හි පරිසර හිතකාමී, පරිසරය සුරැකීම සඳහා හැකි පමණින් තම දායකත්වය දක්වන කාර්යමණ්ඩල සාමාජිකයන් පිරිසකගේ සහභාගීත්වයෙන් සැදුම් ලත් සංසදයක් වේ. හේමාස් “Green Club” විසින් මෙම කුඩා අලි පැටවාට අනුග්‍රාහකත්වය දක්වන අතරම පැල බෙදා දීම, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය ඇතුළු පරිසර හිතකාමී ව්‍යාපෘති රැසක්ද ක්‍රියාත්මක කරයි.

උඩවලව පසුකර යන ඔබට දිනපතා අලි පැටවුන්ට කිරි දෙන වේලාවන් (අලින් නැරඹිය හැකි වේලාවන්) වන පෙ.ව. 9.00, මධ්‍යහන 12, ප.ව. 3.00 හා ප.ව. 6.00 යන වේලාවන්හිදී ඇත් අතුරු සෙවණට පැමිණීමෙන් ඔවුන්ගේ දඟකාරකම් මෙන්ම හදවතට දැනෙන සංවේදී දසුන් නැරඹීමට ද අවස්ථාවක් කර ගත හැක. www.eth.dwc.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට මෙහි වැඩි විස්තර දැන ගත හැක.

මෙම අවස්ථාවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලියු. පතිරත්න, ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය විජිත පෙරේරා, හේමාස් ‍සමූහ සමාගමේ සමූහ අධ්‍යක්ෂ සහ සභාපති ඉමිටියාස් එසුෆලී සහ හේමාස් අවුට්රීච් පදනමේ අධ්‍යක්ෂිකා ශිරෝමි මාසකෝරාළ සහ හෙරිටේජ් ආයතනයේ සභාපති හේම නලින් කරුණාරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


Comments