දළදා මාලිගාවේ ඇත් පන්තියට වාසනාව ගෙනා ඒකදන්තයා

ශ්‍රී දළදා මාලිගාවේ ඇත්පන්තිය ඇතුන් නව දෙනකුගෙන් හා අලි තිදෙනකුගෙන් සමන්විතය. මෙරට වැඩිම හීලෑ අලි ඇතුන් සංඛ්‍යාවක් සිටිනුයේ දළදා මාලිගාවටය. මාම්පිටිය දිසාව විසින් 1937 වසරේදී පූජා කරන ලද රාජා හා ස්කන්ධා යන ඇතුන් දෙදෙනා ගෙන් ඇරැඹි දළදා මාලිගාවේ ඇත් පන්තියට වාසනාව ගෙන ආවේ ඒකදන්තයාය. හිටපු ඇමැතිනී විමලා කන්නංගර මහත්මිය විසින් 1978 වසරේදී පින්නවල අලි අනාථාගාරයෙන් ලබාගත් ඒකදන්තයා හා කණ්ඩුල දළදා මාලිගාවට පූජා කර තිබේ. එදින සිට දළදා මාලිගාවේ ඇත් පන්තිය ශ්‍රීඝ්‍රයෙන් වර්ධනය වූ අතර එය ඒකදන්තයාගේ වාසනාව හේතුවෙන් සිදුවූවක් බවට දැඩි විශ්වාසයක් පවතී. එලෙස ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට වාසනාව ගෙනා ඒකදන්තයා පසුගිය මැදින් පුන් පොහෝ දින හදිසියේම මෙලොව හැර ගියේ කාගේත් දෙනෙතට කඳුළක් එක්කරමිනි.

අලියාට ඇත්තේ මිනිස් ආයුෂය. ඒකදන්තයා මියගියේ අවුරුදු පනහේ කඩඉම පසුකරමින් සිටියදීය. ඒ අනුව ඒකදන්තයා හස්තියාට අත්ව ඇත්තේ අකල් මරණයකි. එක් දළයක් ඇතිව උපත ලැබීම නිසා ඒකදන්තයා යැයි නම් ලද මේ හස්තියා ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර මංගල්‍යයේ සධාතුක කරඬුව වැඩම කරවීමට තරම් පුණ්‍යවන්ත වුයේය. මාලිගාවේ ඇත් පන්තියේ ඇතුන් නව දෙනකු සිටියත් එම භාග්‍යය හිමිව ඇත්තේ ඇතුන් දෙතුන් දෙනකුට පමණි. ඇසළ පෙරහර මංගල්‍යය අවසානයේ දියකැපුම් මංගල්‍යය පවත්වා දවල් පෙරහර වීදී සංචාරය කරත්දී සධාතුක කරඬුව වැඩම කිරීමේ වගකීම හැමදාම පැවරුණේ ඒකදන්තයාටය.

එම වගකීම ගෞරවය හා භක්තිය පෙර දැරිව ඉටු කරන්නට මේ පින්වන්තයා සෑම විටම වගබලා ගත්තේය. වයස අවුරුදු 10 දී පමණ දළදා මාලිගාවේ ඇත් පන්තියට එක්වූ ඒකදන්තයා මියයන තෙක් ගෙවා දැමූ වසර 40ක ජීවිතකාලය තුළ රටේ දේවාල හා විහාරස්ථාන රැසක පෙරහර මංගල්‍යයන් සඳහා සහභාගීවී ඇත.

“ඒකදන්ත ඇතා මියගියේ හදිසි රෝගී තත්ත්වයකින්. ඉතාම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිට ඇතා එකපාරටම මියගියේ කොහොමද කියන එක ගැන පශු වෛද්‍යවරු පරීක්ෂණ කරනවා. මේ ඇතාගේ කම්මුල් තෙමෙන්නේ ජනවාරී මාසයේ. මේ නිසා පසුගිය මාස කිහිපය පල්ලේකැලේ ඇත්ගාලේ ගාල්කර තැබුවා. ඉතාම වාසනාවන්ත ඇතෙක්. දළදා මාලිගාවේ ඇත් පන්තිය විශාල ලෙස වර්ධනය වූයේ ඇතාගේ වාසනාව නිසා කියලා පිළිගැනීමක් තිබෙනවා. ජනවාරියේ කම්මුල් තෙමෙන නිසා ඇතාට මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට සහභාගී වීමට කිසිම කිසිම බාධාවක් ඇති වන්නේ නැහැ. මේ නිසා නොවරදවාම ඇතා පෙරහරේ ගමන් කරනවා. පහුගිය පෙරහරේත් ඇතා ගමන් කළා. අද ඇත්තටම රටට ඉන්නේ ඇත්තු 18 යි. ඒ අතරින් 09 දෙනකුම ඉන්නේ දළදා මාලිගාවේ. මේ වගේ වටිනා සතෙක් අහිමිවීම පෙරහර මංගල්‍යයට ඍජුවම බලපානවා.” යැයි ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මේ ඇතා පිළිබඳ අදහස් දක්වමින් පැවසීය.

කිසිදා කලබලයක් නොකළ නිසාම ඒකදන්තයා පෙරහර මංගල්‍යයන් සඳහා සහභාගී කරවා ගැනීමට කැමැති බව වසර 25 ක් ඇතා සමඟ ළඟින්ම ඇසුරු කළ සරත් පුෂ්පකුමාර ඇත්ගොව්වා පවසයි. “මම දළදා මාලිගාවේ අලි බලන්න සම්බන්ධ වුණේ හිටපු දියවඩන නිළමේ නෙරංජන් විජයරත්න මහතාගේ කාලයේ. නිලමේ තුමා තමයි මීට අවුරුදු 25 කට විතර කලින් මේ ඇතා බලාගන්න කියලා මට දුන්නේ. එතකොට ඇතැට අවුරුදු 25 ක් විතර ඇති. අවුරුදු 25 ක් පුරා අපි දෙන්නා අතර පුදුම බැඳීමක් ඇතිවුණා. මගේ තාත්තා නැහැ. මේ ඇතා තමයි මට තාත්තා වගේ හැමදේම ලබා දුන්නේ. අද මගේ දෙවැනි තාත්තා නැතිවුණා වගේ. මම අද ගෙයක් හදලා දරුවෝ ඉස්කෝලේ දාලා හොඳට ජීවත් වෙන්නේ මෙයා නිසා. ආදරේට මම ඇතාට කියන්නේ නිලමේ කියලා. අද මම තනිවෙලා...මහත්තයා.

මීට අවුරදු 20 කට විතර කලින් දවසක් නෙරංජන් විජයරත්න නිලමේ තුමා මට කිව්වා කරඬුව වැඩම කරන්න ඇතා ලෑස්ති කරන්න කියලා. මොකද එදා කරඬුව වැඩම කරන්න හිටි ඇතා ටිකක් නොසන්සුන් වෙලා. මම ඉක්මනට ඇතා රන්සිවි ගෙය බඳින තැනට අරන් ගියා. එදා තමයි නිලමේ (ඒකදන්තයා) පළමුවැනි වතාවට පෙරහරේ කරඬුව වැඩම කළේ. අපේ ගෙදර තියෙන්නේ රඹුක්කන. ඇතා එහේ යන්නේ එන්නේ පයින්. මෙයා අපේ ගෙදර අයටත් හරිම ළැදියි.‍ දරුවෝ තුන් දෙනත් බය නැතිව ඇතා ළඟට යන්නේ ඒ නිසයි. හදිසියේ වෙන අලියෙක් බලන්න මට යන්න සිද්ධ වු‍ණොත් නෝනට ඇතා බාර දෙනවා. එයා එක්කත් මෙයා හරිම යාළුයි. මහනුවර ඇසළ පෙරහරේ රන්දෝලි හා කුඹල් පෙරහරවල බොහෝ අවස්ථාවල ගජනායක නිලමේ ගමන් කරන්නේ මේ ඇතා පිටයි” යැයි පුෂ්පකුමාර පවසයි. ඒකදන්තයාගේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචර්ය අචාර්ය කවීන්ද්‍ර විජේසුන්දර මහතා ඇතුළු සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුවේ හා වනජීවී දෙපාර්තුමේන්තුවේ පශු වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදුකළ අතර එහිදී නිගමනය වූයේ ඇතාගේ අන්ත්‍රවලින් අධික ලෙස රුධිර වහනය හා රුධිරය කැටී ගැසීම හේතුවෙන් මරණය සිදුව තිබෙන බවයි.

ඇතාගේ සෙසු ඉන්ද්‍රියන්වල කිසිදු වෙනසක් දැකීමට නොහැකි බවත් එම ශරීර කොටස් පශු වෛද්‍ය පීඨයේ ව්‍යාධිවේදී අංශය වෙත යොමුකර පරීක්ෂණ සිදුකරන බවත් ආචාර්ය කවීන්ද්‍ර පැවසුවේය.

වසර 40 ක කාලයක් මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය හැඩකරන්නට දායක වූ ඒකදන්තයා හස්තියාගේ මළ සිරුර භූමදානය කිරීම ඉකුත් 13 දා පල්ලේකැලේ දළදා මාලිගාවට අයත් ඇත්ගාල ආසන්නයේ සිදුකෙරුණි. මහාසංඝරත්නය වැඩමකර මතක වස්ත්‍ර පූජාවක් සිදුකර ඒකදන්තයාට පින් අනුමෝදන් කළේ මතු භවයක මිනිස් ආත්මයක් ලැබ යළි අප අතරම ඉපදේවායි යන ප්‍රාර්ථනයද සමඟිනි. 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.