සංහිඳියාවේ අරුත පෙන්වූ කච්චතිව් මංගල්‍යය

ලෝක සිතියමේ ඉතා කුඩාවට පෙනෙන ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර පිහිටා ඇති දූපත් සමූහය අතර නාගදීපය, ඩෙල්ෆ්, කයිට්ස්, කරෙයිනගර්, මන්ඩතිව් සහ පුංකුඩුතිව් මෙන්ම කච්චතිව් පිළිබඳ නොදන්නා කෙනෙක් නැත. කුරිරු යුද්ධයේ සාපය නිසා මෙම දුපත් සංචාරය අපේ ශ්‍රී ලාංකිකයන්ට අහිමි වුවද යුද්ධයේ නිමාවත් සමඟ මේ සියල්ල නැවතත් අවධානයට පාත්‍රවී තිබේ.

ජන ශුන්‍ය දූපතක් වුවද, කච්චතිව් හි සාන්ත අන්තෝනි දේවස්ථානයේ වසරක් පාසා ශ්‍රී ලාංකික ධීවරයන් සහ ඉන්දියානු ධීවර ජනතාව එක්වී ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ අනුග්‍රහයෙන් යුතුව ශාන්ත අන්තෝනි මුනිතුමන්ගේ වාර්ෂික මංගල්‍යය පවත්වන අතර දෙරටේ මෙන්ම දෙමළ සිංහල ජාතීන් අතරත් බෞද්ධ හින්දු කතෝලික ආගම් අතරත් සහජිවනය, සංහිඳියාව අරභයා සිදුකෙරෙන මෙම මංගල්‍යයට නාවික හමුදාව පුර්ණ අනුග්‍රහය ලබා දෙනුයේ ජාතීන් අතර සුහදත්වයේ අග්‍රඵලය රටක් ලෙස බුක්ති විදිමේ අරමුණෙනි.

මාර්තු 12 වැනි දින පැවැත්වූ මෙම මංගල්‍යය ආවරණය කිරීම පිණිස මාධ්‍ය කණ්ඩායම කන්කසන්තුරෙයි බලා පිටත් වූයේ පසුගිය 11 වැනිදා හිමිදිරි පාන්දරය. ඊට පසුදින මාධ්‍ය කණ්ඩායම රැගත් එස්.එල්.එන්.එස් ප්‍රතාප් නෞකාව කන්කසන්තුරෙයි ජැටියෙන් කච්චතිව් බලා පිටත්වන විට වේලාව හිමිදිරි පාන්දර 3 ට පමණ විය. මහා සයුරේ රැලි සිප ගනිමින් නෞකාව ඉදිරියට ඇ දී යයි. නිදන ඇඳන් 40කින්, මුඵතැන්ගෙය, කෑම කාමරය ආදියෙන් සමන්විතව මේ නෞකාවේ ප්‍රධාන අණදෙන නියමුවා වූයේ අද්මිරාල් රුවන් රූපසිංහ මහතාය. කන්කසන්තුරෙයි සිට කච්චතිව් දක්වා දුර නාවික සැතපුම් 48.5 කි. මුඵ ගමනටම පැය 3 මිනිත්තු 15 ක පමණ කාලයක් ගතවූ බව දැනුණේවත් නැත. හිරු කිරණ දියමත පතිතවෙමින් හිරුගේ රශ්මි දහර කච්චතිව් දූපත සිසාරා විහිදෙන්නට විය. ගමනාන්තයේ කෙළවර වූ කච්චතිව් දුපතේ වෙරළ දිස්වෙද් දී මහ සයුර මැද නෞකාව නතර කෙරිණි.

''අර පේන්නේ දුපත. මෙතනින් දුපතට යන්නේ බෝට්ටුවෙන්".

අප රැගෙන යෑමට පැමිණි නාවික බෝට්ටු සයුරු රළ පෙළ හා ගැටෙමින් ඒ මේ අත පැද්දෙයි. පය පැකිළුණොත් වැටෙන්නේ පරක් තෙරක් නොපෙනෙන මහ මුහදටය.

"පනින්න . බය වෙන්න එපා."

"පනින්න ගිහින් මුහුදට වැටෙයිද?"

"අපි අල්ලගන්නම්" නාවිකයෝ අපේ බිය සැක දුර කළහ.

මාධ්‍ය කණ්ඩායම බාරව සිටි ලුතිනන් කර්නල් දිනේෂ් කරුණාරත්න සහ ලුතිනන් ස්වර්ණහංස අපගේ ආරක්ෂාව පිළිබඳ සිටියේ දැඩි අවධානයකිනි.

දුපත එකම හිස් ගොඩකි. ඒ අතර වන්දනාකරුවන් රැගෙන වෙරළට සේන්දු වන තවත් බෝට්ටු ගණනාවකි.

''මේ තරම් සෙනඟ කන්දරාවක්''. මඩුපල්ලිය, තලවිල සාන්ත ආනා පල්ලියේ රූප පෙළක් මා ඉදිරියේ මැවී පෙනිණි. කොහොඹ ගස් සෙවෙණේ තැන තැන නාවික හමුදාවෙන් ලබා දුන් කුඩාරම්වල තාවකාලික වාඩිලා සිටින පිරිසකි. ඇතැමෙක් ආහාර අනුභව කරති. ඇතැමෙක් මංගල්‍යය පූජාවට යෑමට ලහි ලහියේ ලක ලෑස්ති වෙති. ජන ශුන්‍ය දූපතක් බැවින් වන්දනාකරුවන්ට ආහාර පාන, ජලය පමණක් නොව සනීපාරක්ෂක පහසුකම් සියල්ලක්ම ලබා දෙනු ලැබුවේ නාවික හමුදාව විසිනි. මේ සඳහා නාවිකයෝ 150 කින් සැදුම් ලත් කණ්ඩායමක් පෙබරවාරි අග සිට වන්දනාකරුවන්ට අවශ්‍ය පහසුකම් සැලසීමේ නිරත වූහ.

මංගල්‍යයක් ආරම්භ කෙරෙනුයේ දේවස්ථානවල එසවෙන කොඩි ගසිනි. මෙහිදීද කහ සහ දුඹුරු වර්ණයෙන් යුත් කොඩි ගස ලෙළ දෙයි. ජංගම පොලීසියක්, ආගමන විගමන අංශයක්, උසාවියක් හා බැංකුවක් මෙන්ම හදිසි අනතුරක දී ප්‍රතිකාර කිරීම පිණිස ගිලනුන් ගෙන යන බෝට්ටුවක් ද තිබෙනු දක්නට ලැබිණි.

මංගල මහා දිව්‍ය පූජාව පැවැත්වූයේ පෙ. ව. 7.30 ට යාපනය පදවියේ අනුනායක ජෝසප්වාස් ජෙබරත්නම් පියතුමා විසිනි. උන්වහන්සේ සමඟ සෙසු පියතුමන් සත්දෙනකු එක්ව සමූහ දිව්‍ය පූජාව පැවැත්වුණු අතර දෙමළ බසින් ගැයුණු කන්තාරු කණ්ඩායමේ ගීතිකා කන්කලුය.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණවර්ධන, උතුරු නාවික ආඥාපති රියාර් අද්මිරාල් පියල් ද සිල්වා ප්‍රමුඛ උසස් නාවික හමුදා නිලධාරීන් මෙන්ම උතුරේ මිසම් බාර පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියෝ රැසක් ප්‍රධාන අමුත්තන් ලෙස මංගල්‍යයට සහභාගි වූහ.

කච්චතිව් දූපත වර්ග කි.මී.1.15 යුක්තය. දූපත අළු හුණු සහිත වැලි පසෙකින් යුක්ත වුවද උතුරට ආවේණිකවු තල් ගස්ද ශුෂ්ක කලාපයට ආවේනික වූ පලු, වීර, කොහොඹ වැනි ශාඛවලින් යුක්තය.

දේවස්ථානයේ ඉතිහාසයේ සඳහන් පරිදි ශ්‍රී ලාංකික මෙන්ම ඉන්දියානු ධීවරයන් ඈත මුහුදේ ධීවර කටයුතු කිරීමෙන් අනතුරුව ධීවර ආම්පන්න වේළාගැනීමට සහ විවේක ගැනීම ආදිය සඳහා මෙම දූපත භාවිත කර ඇති බව කියැවේ. මේ අතර කතෝලික ධීවරයන් විසින් ශාන්ත අන්තෝනි මුනිතුමන්ගේ ප්‍රතිමාවක් මෙම දුපතේ තැන්පත් කර දූපතට ගොඩබසින සැම අවස්ථාවකම ශාන්ත අන්තෝනි මුනිතුමන්ගේ ප්‍රතිමාවට යාඥාකොට ඔවුන්ගේ ධීවර කටයුතු සාර්ථක කරදෙන මෙන් පිහිට අයැදීම සිරිතක් කොට ගත්හ. ඔවුන්ගේ අයැදීම ඒ ආකාරයටම ඉටුවූ බැවින් 1906 දී ධීවරයන් විසින් මෙම ප්‍රතිමාව ආරක්ෂා කරමින් කුඩා පල්ලියක් ඉදිකරන ලදුව ශ්‍රී ලාංකික ධීවරයන් පමණක් නොව දකුණු ඉන්දියානු ධීවරයන්ගේද සාන්තුවරයා ලෙස මෙම දේවස්ථානය ශාන්ත අන්තෝනි මුනිතුමා නමින් කැප කෙරුණි.

නමුත් 30 වසරක කුරිරු යුද්ධයේ සාපය නිසි 1982 වසරේ සිට වසර 27 ක් පුරා කච්චතිව් දූපත තහනම් ප්‍රදේශයක් විය. 2009 යුද්ධය නිමාවත් සමඟ 2010 වසරේ සිට කච්චතිව් දූපතේ පෙර පරිදි ශාන්ත අන්තෝනි මුනිතුමන්ගේ මංගල්‍යය පැවත්වීම ඇරඹුණේ නාවික හමුදාවේ අනුග්‍රහය ඇතිවය. කච්චතිව් දූපතේ දේවස්ථානයේ භාරකාරත්වය දරන්නේ යාපනයේ පදවියේ රදගුරු ආචාර්ය ජස්ටින් බර්නාඩ් ඥානප්‍රකාශම් රදගුරුතුමාට වුවද ඩෙල්ෆ් දුපතට කි. මි. 20 ඈතින් පිහිටා ඇති බැවින් දේවස්ථානයේ මංගල්‍යය භාරව කටයුතු කරන්නේ ඩෙල්ෆ් දුපතේ මීසම භාර පියතුමාවූ ඇන්තනි ජේරාජන් පියතුමාය.

වසර ගණනාවක් එපිට ධීවරයන් විසින් ගොඩනඟන ලද මෙම දේවස්ථානය ගරාවැටුණු තත්ත්වයක පැවතුණු බැවින් 2016 වසරේ මංගල්‍යය පැවැති මාර්තු 23 වැනිදා යාපනයේ රදගුරු ආචාර්ය ජස්ටින් බර්නාඩ් ඥානප්‍රකාසම් රදගුරුතුමා විසින් නාවික හමුදාපති වසිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණවර්ධන මහතා වෙත කරන ලද ඉල්ලීම වූයේ 2017 මංගල්‍යයට පෙර මෙම දේවස්ථානය පිළිසකර කර දෙන ලෙසය. මෙම කටයුත්ත නාවික හමුදාපති විසින් උතුරේ ආඥාපති රියාල් අද්මිරාල් පියල් ද සිල්වා මහතාට භාර දුනි. ඒ අනුව 2016 මැයි මාස 09 වැනි දින මුල්ගල තබා ඉදිකිරීම් ආරම්භ කළ මෙම නව දේවස්ථානයේ වැඩ කටයුතු මාස 07 වැනි සුඵ කාලයක දී නිමාවට පත්කිරිමට නාවික හමුදාවේ සිවිල් ඉංජිනේරු බළකාය සමත්විය. නව දේවස්ථානය ඉදිකිරිමේ ලා සියලු බරපැන දරන ලදදේ නාවික හමුදාව විසිනි.

2017 වසරේ තිබෙන විශේෂත්වය වුයේ නාවික හමුදාව විසින් ගොඩනඟන ලද නවතම දේවස්ථානයේ ශාන්ත අන්තෝනි මංගල්‍යය පැවැත්වීමට හැකිවීමයි.

දේවස්ථානය ඉතා අලංකර ලෙස අංගසම්පුර්ණව ඉදිකර තිබේ. දේවස්ථානයේ සියලු වැඩ නිමකර 2016 දෙසැම්බර් 23 වැනිදා නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණවර්ධන මහතා විසින් කතෝලික සභාවේ යාපනය පදවි භාර රදගුරු ආචාර්ය ජසිටින් බර්නාඩ් ඥානප්‍රකාශම් රදගුරුතුමාට මෙම දේවස්ථානය භාරදීමෙන් අනතුරුව උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් දේවස්ථානයේ නිල විවෘත කිරීමේ උත්සවය පැවැත්විණි.

මෙවර මංගල්‍යයට වන්දනාකරුවන් 6600ක් පමණ සහභාගි වු අතර විශේෂත්වය වුයේ උතුරේ මෙන්ම දකුණේ ජනතාවද මංගල්‍යයට සහභාගි වීමයි. මිගමුව, ගම්පහ කොටහේන, වැලිවේරිය වැනි ප්‍රදේශවලින් ජනතාව පැමිණීම නිසා දෙමළ සිංහල ජාති භේදයකින් තොරව සියලු දෙනා එක්සේසත් කරමින් මංගල්‍යය පැවැත්විණි.

කච්චතිව් දූපතට පැමිණීම සඳහා කුරිකට්ටුවාන් දුපතේ සිට බෝට්ටු ක්‍රියාත්මක වේ. මඟීන් 100 දෙනෙකුට පමණ යා හැකි නාවික හමුදාවේ වඩතාරකී බෝට්ටුවෙන් නොමිලේ වන්දනාකරුවන් ප්‍රවාහනය කළ අතර සිවිල් බෝට්ටු ගණනාවක්ද මුදල් අය කරමින් මඟින් ප්‍රවාහනය සිදු කෙරුණි. නමුත් මඟීන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් මතු නොවීම සඳහා නිරන්තරයෙන් නාවික හමුදාව සිවිල් බෝට්ටු ප්‍රවාහනයට සුදුසුද නැද්ද යන්න සොයා බලා ප්‍රවාහනයට සුදුසු බෝට්ටු පමණක් යොදවන අතර ප්‍රමාණයට වඩා ගමන් කිරීම ඉඩ නොසැලසේ. තවද බෝට්ටුවල යන වන්දනාකරුවන් නාමලේඛන ගතකොට ටෝකන් (තුණ්ඩු ) ලබාදීමද සිදු කෙරෙනුයේ ආරක්ෂාව පිණිසය.

මෙම ලිපිය අවසන් කිරීමට පෙර කතෝලික බැතිමතකු ලෙස මම අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වෙතින් ඉල්ලීමක් ඉදිරිපත් කරන්නට කැමැත්තෙමි.

ඒ ලබන වසරේ පටන් මෙම මංගල්‍යය දෙමළ මෙන්ම සිංහල යන භාෂා ද්විත්වයෙන්ම පවත්වන ලෙසයි. එවිට ඉන්දියානු, උතුරුකරයේ දෙමළ බස කතා කරන ශ්‍රී ලාංකිකයන්, මෙන්ම දකුණේ සිංහල භාෂාව කතා කරන ශ්‍රී ලාංකික සියලු ජන කොටස් බලාපොරොත්තු වන සාමය සහජීවනයට එය මහඟු පිටිවහලක් වනු නොඅනුමාන වන බැවිණි.

විශේෂ ස්තුතිය ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය මධ්‍යස්ථානයේ ලුතිනන් කොමාන්ඩර් දිනේෂ් කරුණාරත්න, නාවික හමුදා මාධ්‍ය සම්බන්ධීකරණ අංශයේ ලුතිනන් ස්වර්ණහංස

සේයාරූ - සමන් ශ්‍රී වෙදගේ

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.