සම­නොළ පාමුල දිදු­ලන මිණි­රු­වන සිය­වස සපු­රන ෆර්ග­සන් බාලි­කාව | සිළුමිණ

සම­නොළ පාමුල දිදු­ලන මිණි­රු­වන සිය­වස සපු­රන ෆර්ග­සන් බාලි­කාව

විදු­හ­ල්ප­ති­නිය 
මර්සි ගල­ගම

සියවසක් යනු සුළු පටු කාලයක් නොවේ. සිය වසකට එපිට අරඹා කාලානුරූපව අත්පත් කරගත් ජය දද හා කිතුගොස අද දක්වාම රැකගන්නට සමත් වූ විශිෂ්ට ගණයේ බාලිකා පාසලක් ලෙස රත්නපුර ෆර්ගසන් උසස් විද්‍යාලය හැඳින්විය හැකි ය.

සබරගමු පළාතේ දැරියන් සඳහා පාසලක් ලබා දෙන ලෙස පළාත් වාසීන් විසින් එවකට සබරගමු ප්‍රදේශයේ මිෂනාරි සේවයෙහි යෙදී සිටි ගරු ජේ.බී. රැඩ්ලි යුවළගෙන් කරන ලද ඉල්ලීමකට අනුව 1917 ජනවාරි මාසයේදී රත්නපුර උසස් බාලිකා විදුහල ආරම්භ කරන ලදී.

ආරම්භයේදී ෆ්ලොරි රැඩ්ලි මහත්මිය ළමයින් සිව් දෙනකුට දේවස්ථානයේ වෙස්ට්‍රි කාමරයේ ඉගැන්වීම් කළා ය. පළමු සිසුවිය වූයේ ඔගස්ටා පෙ‍ෙර්රා ය. රැඩ්ලි මහත්මිය යටතේ දේවගැතිතුමාගේ දියණිය වූ එලිසබෙත් මල්දෙනිය මෙනෙවිය පළමු ගුරුතුමිය ලෙස කටයුතු කළා ය. ඇයගේ සහයට එස්. කාශිෂෙට්ටි මෙනෙවිය පත් කරගන්නා ලදී.

කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයෙහි රත්නපුර නගරයට නුදුරින් සුන්දර කඳු ගැටයක් මත පිහිටි දේවස්ථානයෙහි ඇරැඹි මේ පාසල ‘බැප්ටිස්ට් මිෂනාරි පාසල (BMS) ලෙස නම් කරනු ලැබිණි. සබරගමු පළාතේ විසූ ප්‍රභූ පවුල්වල දරු දැරියන් සඳහා වෙන් වූ මේ පාසලට සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් යන සියලු ජාතීන්ගේ ළමයින් පැමිණෙන්නට වූයෙන් ශිෂ්‍ය සංඛ්‍යාව වර්ධනය වෙත්ම ඒ සඳහා වෙන්වූ ගොඩනැඟිල්ලක අවශ්‍යතාව ද මතු විය.

1918 වස‍රේ ජෝන් ෆර්ගසන් සිහිවටන අරමුදලින් ආධාර හා සල්පිලක් පැවැත්වීමෙන් ලද ආධාර යොදවා නව ගොඩනැඟිල්ලක් තැනීම අරඹන ලදී. 1919 මාර්තු මස 10 වැනි දින එච්.ආර්. ෆිගට් මිෂනාරිතුමාගේ දියණිය වූ බවුසර් මහත්මිය අතින් විවෘත කරන ලද එම ගොඩනැඟිල්ලට පාසල ගෙන යනු ලැබූ අතර, එය ‘එතරිටෙන් නිවාසය’ යනුවෙන් නම් කරනු ලැබිණි.

1920 දී විජේසිංහ සහ නෙස්ට්‍රා වැන්ඩර් ස්ට්‍රාටන් යන මෙනෙවියන් ගුරු මණ්ඩලයට එකතු වූහ‍. ප්‍රධාන ගුරුතුමිය ලෙස කටයුතු කළේ ප්‍රනාන්දු මෙනෙවියයි. 1921 දී ජොයිස් කොලියර් මෙනෙවිය විදුහල්පති ධූරයට පත්වූ අතර පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව පණහක් විය. 1921 පෙබරවාරි මාසයේ රජය මඟින් පවත්වන ලද පරීක්ෂණයකින් අනතුරුව පාසල ආධාර ලබන ඉංග්‍රීසි පාසලක් ලෙස ලියාපදිංචි කරනු ලැබිණි. 1922 දී ජොයිස් කොලියර් මෙනෙවිය අස්ව ගිය අතර ඊ.ඒ. ඕල්සොප් මෙනෙවිය විදුහල්පති ධූරයට පත් වූවා ය. විද්‍යාලයේ අධ්‍යාපනික හා භෞතික සංවර්ධනයට ඉමහත් කැපවීමකින් කටයුතු කළ ඕල්සොප් මෙනෙවිය 1948 දක්වා විදුහල්පති තනතුර හෙබැවූවා ය. 1923 දී පාසලට ඇතුළත් කළ සිරිමා රත්වත්ත ළදැරිය පසු කලෙක ලෝකයේ ප්‍රථම අගමැතිවරිය ලෙස පත්වූවා ය.

ප්‍රථම වතාවට 1923 දී ඉංග්‍රීසි මාධ්‍යයෙන් පාසල් හැර යෑමේ English School Leaving විභාගයෙන් එල්සි ශිෂ්‍යාව සමත් වූවා ය. දුර බැහැරින් පැමිණෙන සිසුන් සඳහා නේවාසිකාගාරයක් ඇරැඹුණේ ද මේ වසරේදී ය. 1924 රත්නපුර බාලදක්ෂ ව්‍යාපාරය ඕල්සොප් මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් ඇරැඹිණි.

බී.එම්.එස්. ඉංග්‍රීසි බාලිකා පාසල ලෙසින් ඇරැඹුණු එය 1928 දී ‘ෆර්ගියුසන් උසස් බාලිකාව’ යනුවෙන් හැඳින්විණි. බැප්ටිස්ට් මිෂනාරි සමාගමේ අභිවෘද්ධිය උදෙසා මහත් මෙහෙවරක් ඉටු කළා වූ ද මුල් ම ලාංකික පුවත්පත වූ සිලෝන් ඔබ්සෝවර් පත්‍රයේ නිර්මාතෘවරයා වූ ද ඒ.එම්.අයි. ෆර්ගසන් මහතාගේ සොහොයුරකු වූ ද ළමා අධ්‍යාපනය පිළිබඳ සුවිශේෂී උනන්දුවක් දැක්වූ ජෝන් ෆර්ගසන් මහතා සිහිවීම සඳහා බාලිකාව එනමින් හඳුන්වනු ලැබිණි.

1939 දී සබරගමු ප්‍රදේශය භාරව සිටි වී.ඩබ්ලියු. අබේරත්න දේවගැතිතුමා මාරු වී යෑමෙන් පසු චැපල් හවුස් නම් වූ මිෂනාරී නිවාසය ෆර්ගසන් විදුහල්පති නිල නිවස බවට පත් විය. පරිසර හිතකාමී සොඳුරු හිතැති ඕල්සොප් මෙනෙවිය සිය නිවාස භූමිය අලංකාර මල් උයනක් බවට පත් කළා ය.

ඕල්සොප් මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් 1933 දී පාසලේ ආදි ශිෂ්‍ය සංගමය ඇරැඹිණි.‍ 1932 දී වැඩබලන විදුහල්පතිනිය ලෙස කටයුතු කළ ඩබ්ලියු.එෆ්. ගැජ් මෙනෙවිය පාසලට නිවාස ක්‍රමයක් හඳුන්වා දුන් අතර කොළ පැහැය පාසලේ වර්ණය ලෙස ප්‍රකාශයට පත් කළා ය. 1934 දී ප්‍රථම වරට ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගයට ඉදිරිපත් වූ ඔගස්ටා පෙරේරා ශිෂ්‍යාව ඉන් ඉහළින් සමත් වූවා ය.

1940 වසරේදී උප විදුහල්පතිනිය ලෙස ගුරු මණ්ඩලයට එකතු වූ එෆ්.ඒ. බෲක් මෙනවිය පාසලට විද්‍යාගාරයක් සහ ගෘහ විද්‍යාගාරයක් ඉදි කිරීමට කටයුතු කළා ය. ඒ වසරේදීම පාසල් අතර පැවැති තරගයෙන් ප්‍රථම ස්ථානයට පත් වෙමින් ෆර්ගසන් ඉරිදා පාසල සමස්ත ලංකා ශූරතාව දිනාගැනීමට සමත් විය. 1942 අගෝස්තු මාසයේදී පාසලේ රිදී ජුබිලිය පැවැත්විණි. 1944 දී අභිනවයෙන් ඉදි කරන ලද ප්‍රධාන ශාලාව විවෘත කැරුණේ එවකට ආණ්ඩුකාරවරයාව සිටි මුවර් මහතාගේ ආර්යාව අතිනි. 1947 දී විනීෂියා ස්ටෙන්බෝ මෙනෙවිය විදුහල් ගීතය නිර්මාණය කළ අතර, ඕල්සොප් මෙනෙවියගේ පාසලේ සේවය වසර 25 ක් ගෙවී යෑම නිමිත්තෙන් පැවැති උත්සවයේදී එය පළමුව ගයනු ලැබිණි.

1949 දී ‍බෲක් මෙනෙවිය විදුහල්පතිධූරයට පත්වූවාය. ප්‍රාථමික අංශය භාරව කටයුතු කළ ජේ.ඊ. ස්ටෙම්බු මහත්මිය විසින් 1951 දී සිංහල හා දමිළ මාධ්‍යයෙන් ඉගැන්වීම් ආරම්භ කළා ය. 1952 දී චිත්‍ර විෂය භාරව කටයුතු කළ නාලනී ගුණසේකර මෙනවිය පාසල් නිල ලාංඡනය නිර්මාණය කළා ය. 1958 පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වුණේ ආදි ශිෂ්‍යාවක මෙන් ම ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙනි.

පාසලේ ප්‍රථම ශ්‍රී ලාංකික විදුහල්පතිනිය ලෙස ආදි ශිෂ්‍යාවක වූ පර්ල් පෙරේරා මෙනෙවිය පත්ව ආවේ 1960 දීය. 1963 දී පාසල රජයට පවරා ගනු ලැබිණි. මෙකල කලා අංශයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්ති ඇරැඹිණ. ඒ වසරේදීම ප්‍රථම වතාවට සුවිනීතා සුරවීර සහ එම්.ඩී. කරුණාවතී යන සිසුවියෝ පේරාදෙණි සරසවියට පිවිසීමේ වරම් ලැබූහ.

1967 දී පාසලේ රජත ජයන්තිය සමරන ලද්දේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපති අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

1972 දී මාලනී විජේනායක මහත්මිය විදුහල්පති ධූරයට පත් වූ අතර උසස් පෙළ විද්‍යා අංශය ඇරැඹිණි. 1974 දී එම්. තම්බයියා මහත්මිය විදුහල්පතිනිය ලෙස පත් වූවා ය. 1987 සිට බුද්ධි බමුණුසිංහ මහත්මිය ද, අනතුරුව ඒ.සී. සුබසිංහ මහත්මිය ද විදුහල්පති ධූරය දැරූ අතර 1987 යළිත් වරක් එම ධූරයට පත් වූ බුද්ධි බමුණුසිංහ මහත්මිය 1995 දක්වා එම තනතුර දැරුවාය.‍

විද්‍යාලය ජාතික පාසලක් බවට පත්වූයේ 1993 දී ය. හැත්තෑපස් වැනි උපන් දිනය එවකට ජනාධිපති ධුරය දැරූ ආර්. ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 1995 දී එම්. කොතලාවල මහත්මිය ද වසර 2000 දී බී.ආර්. දරිජු මහත්මිය ද 2004 දී බී.වී.ආර්.සී.‍ බණ්ඩාරවත්ත මහත්මිය ද විදුහල්පති ධූරයට පත් වූහ. 2007 දී පාසලේ 90 වැනි ජන්ම දිනයේ දී ගෘහස්ථ ක්‍රීඩාගාරයට මුල් ගල තැබිණි. 2010 දී වර්ණ ප්‍රදානෝත්සවය පැවැති අතර, Wisdom 2010 අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය පැවැත්විණි.

2012 වස‍‍රේදී නියෝජ්‍ය විදුහල්පතිවරියක ලෙස පත්ව ආ මර්සි ගලගම මහත්මිය වර්තමානයෙහි එහි විදුහල්පතිනිය ලෙස කටයුතු කරයි‍. විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යාවක වන ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී ගෞරව උපාධිධාරිනියකි. අධ්‍යාපන පශ්චාද් උපාධි ඩිප්ලෝමාධාරිනියක මෙන් ම අධ්‍යාපන පරිපාලන සේවාලාභිනිය ද වන ඇය පාසලේ අධ්‍යාපනික, පාරිසරික හා භෞතික සම්පත් සංවර්ධනයෙහි ලා වැදගත් මෙහෙවරක් ඉටු කරමින් සිටියි. පාසලට බලවත් අඩුපාඩුවක්ව පැවැති ජල හිඟයට දෙමවුපියකුගේ සහාය ඇතිව විසඳුම් ලබා දුන් ඈ එතෙක් ඇනහිට තිබූ ගෘහස්ථ ක්‍රීඩාගාරයෙහි ඉදිකිරීම් නිම කරවීමට ද, පාසලට සිවුමහල් ගොඩනැඟිල්ලක්, බස් රථයක් ඇතුළු භෞතික සම්පත් රාශියක් ලබා දීමට ද සමත් වූවා ය. විද්‍යා හා කාෂි විද්‍යා අංශයෙහි විශේෂ සංවර්ධනයක් ඇති කළ ගලගම මහත්මිය පාසලෙහි සිසු මනස සුවපත් කරවන මනරම් පරිසරයක් ඇති කිරීමෙහිලා ද වෙසෙසින් වෙහෙසෙයි.

සිවු දෙනකුගෙන් ඇරැඹි පාසලෙහි අද වනවිට ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 4120 ක් ඉගෙනුම ලබති. ගුරු මණ්ඩලයෙහි 190 ක් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයෙහි 23 දෙනෙක් ද සේවය කරති. සිංහල දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යවලින් අධ්‍යාපනය ලබාදෙන අතර ප්‍රාථමික ශ්‍රේණිවල පිරිමි දරුවෝ ද ඉගෙනුම ලබති.

2013 අ.පො.ස. සා.පෙ. විභාගයෙන් දිවයිනේ හයවැනි ස්ථානයට පත්ව තිබේ.

2014 වෛද්‍ය විද්‍යායට රත්නපුර දිස්ත්‍රික්කයෙන් තේරුණු සිසුන්ගෙන් හරි අඩක් ෆර්ගසන් බාලිකාවෝ ය. වසරකට සිසුවියෝ 30 ක් පමණ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙති. පහ වසර ශිෂ්‍යත්වයෙන් සිසුවියන් 70 ක් පමණ සමත් වෙති. ජීව විද්‍යා, ගණිත, කලා, වාණිජ්‍ය හා විදේශ භාෂා සහ ක්‍රීඩා යන සෑම අංශයකින් ම සමස්ත ලංකා සහ අන්තර්ජාතික ශූරතා දිනන සංඛ්‍යාව ද ඉහළ ය. වර්තමානය වනවිට රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය දිනා ඇති විද්‍යාලය අනාගතයේදී දිවයිනෙහි හොඳම පාසල බවට පත් කිරීම තම අරමුණ බව විදුහල්පතිනිය පවසයි. ඉදිරියේදී තාක්ෂණ අංශයෙන් උසස් පෙළ පන්ති ඇරැඹීමට ද ඇය සූදානම් වෙයි. සියවස් සැමරුම වෙනුවෙන් විදුහලේ වැඩසටහන් රාශියක් පවත්වා තිබේ. 2017 ජනවාරි 12 වැනිදා සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක් පවත්වා පසුදින අටපිරිකර 100 ක් සහිතව සියක් නමක් විෂයයෙහි දානමය පුණ්‍යකර්මයක් සිදු කරනු ලැබිණි.

සිසුවියන් සිය දෙනෙකුට ශීර්ෂාභරණ පලඳවා පවත්වන ලද ‘සියපතක අසිරිය’ කලා මංගල්‍යය ද එහි අංගයකි. ආදි ශිෂ්‍ය සංගමය පාස‍ල් සංවර්ධන මණ්ඩලය හා ගුරු මණ්ඩලය එක්ව රත්නපුර හා අවට ප්‍රජාව දැනුවත් කිරීම සඳහා විශේෂ පාගමනක් පවත්වනු ලැබිණි.

2017 පෙබරවාරි 17 වැනිදා සුවිශේෂ ක්‍රීඩා උත්සවයක් පැවැත්විණි. 2017 මාර්තු 21 වැනිදා පාසල් උපන් දිනය සමරා කේක් ගෙඩියක් කපා සිසුවියන් අතින් කාසි 100 ක් තබා ආශිර්වාද පැතීමද 27 දා සිට 31 දක්වා අධ්‍යාපනික කෘෂිකාර්මික හා වෙළෙඳ ප්‍රදර්ශන පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ. මේ සියලු කටයුතු විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය පාසල් සංවර්ධන මණ්ඩලය, ගුරු දෙගුරුන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගේ සහයෙන් පැවැත්වේ.

 

මේ ලිපිය සකස් කිරීමේදී තොරතුරු ලබාදීමෙන් සහය දැක්වූ ඒ එම්.පී. අබේසිංහ, සී.කේ. වික්‍රමතන්ත්‍රි, ඉන්ද්‍රානි පළිහකෝන් ගීතාගුණවර්ධන, කුසුම් නිශ්ශංක කාංචනී තියඹරාවත්ත, නිර්මලී ලක්ෂ්මි ගුණවර්ධන යන නියෝජ්‍ය විදුහල්පතිනියන් හා සහකාර විදුහල්පතිනියනට අපගේ විශේෂ ස්තුතිය හිමි වෙයි.

Comments