‘සිළුමිණ’ට පින් නයි කරදරෙන් අපි බේරුණා

සිළුමිණ සිත්මල්යායේ පසුගිය සතියේ පළවූ 'නයෙක් නම් අමතන්න' නමින් වූ ලිපිය නිසා පසුගිය සතිය පුරාම එහි කතානායකයා වූ ලෙස්ලි පෙරේරා මහතා ලද ඇමතුම් සිය ගණනකි. ඉන් බොහෝ නයින් නිසා කිසියම් ආකාරයක භීතියකට හෝ අපහසුතාවකට ලක්ව සිටි උදවියයි. ඒ අතරින් අප ඇමතූ කළුතර ඉත්තෑප‍ානේ පදිංචි යුවළක් නාගයකු නිසා සති කීපයක් තිස්සේ නිදි නැතිව පීඩා විඳි ආකාරයත් සිළුමිණ ලිපිය දැක නයි කරදරයෙන් නිදහස් වූ බවත් පැවැසීය.

විශ්‍රාමික විගණන නිලධාරි පාලිත බණ්ඩාර සියඹලාපිටිය මහතා පදිංචිව සිටින්නේ ඉත්තෑපානේ තමන්ට අයත් අක්කර හතක ඉඩමකය.

ඔවුන්ගේ නිවෙසේ පදිංචිකරුවන් වන්නේ ඔහුත් බිරියත් පමණි.

බිරිය විශ්‍රාමික මහාචාර්ය නාලනී ගුණතිලක මහත්මියයි. එම ඉඩම තේ හා රබර් වගාවලින් යුක්තය. වත්තේ වැඩට දිනපතා ගමේ කාන්තාවෝ හතරපස් දෙනෙක් පැමිණෙති. දිනක් උදෑසන සියඹලාපිටිය මහතා නිවෙසින් එළියට පැමිණියේ එසේ පැමිණි කාන්තාවකගේ කෑගැසීමෙනි.

“මහත්තයෝ... මහත්තයෝ... මෙන්න අලි නයෙක් ගැරේජ් එ‍කේ ගුලකට රිංගනවා”

ඒ වෙද්දීත් නයා ගරාජයේ අත්තිවාරමේ ගුලකට රිංගා අවසානය. එතැන් පටන් ඔවුනට සිතේ සැනසීමක් නොවීය.

සියඹලාපිටිය මහතා පසුගිය දින කිහිපයේ විඳි නයි භීතියේ කතාන්දරය අපට හෙළි කරන්නට වූයේය.

“අපේ ගෙදර ඉන්නෙ මමයි මගේ නෝනයි විතරයි. නෝනා ලෙඩ ගා‍ෙන් රෝද පුටුවෙ ඉන්නෙ. අපි දෙන්නටම අවුරුදු 70 පැනලා. අපට දුවක් ඉන්නවා. ඇයගේ පදිංචිය කැලණියේ. පසුගිය තුන්වැනිදා උදේ දහයට විතර වැඩ කරන්න ආපු ගෑනු කෙනෙක් තමයි මේ නයා මුලින් දැකලා තියෙන්නෙ. ඇය කෑගහලා මට කතා කළා.”

“නයා ගුලට රිංගලා දින ගණනාවක් ගත වුණා. වැඩේ කියන්නෙ ඌ උදේට දවල්ට ගුලෙන් එළියට ඇවිල්ලා එළිය පහළියේ සැරිසරනවා වැඩ කරන්න එන ගෑනු උදවිය සැරෙන් සැ‍ෙර් දැකලා තිබුණා. මං උදේට, හැන්දෑවට ගුලට ටෝච් එක ගහලා බැලුවම ඌ ඇතුළේ ඉන්නවා. අපි දෙන්නා රෑට පණ බයේ ඉන්නෙ නයා ගෙටවත් රිංගුවොත් කියලා. තව ප්‍රශ්නයක් අපි දෙන්නගේම ඇස් ඔපරේෂන් කරලා හරියට ඇස් පේන්නෙත් නෑ.”

“සමහරදාට නයා එළියෙදි දැකලා වැඩ කරන අය කතා කරලා මට පෙන්නනවා අන්න අර කෙසෙල් පඳුර ළඟ ඉන්නවා. දෙහි ගහ ළඟ ඉන්නවා කියලා. ඒත් ඉතින් මට කරන්න කිසිම දෙයක් තිබුණේ නෑ. මට හරියකට පේන්නෙත් නෑ.”

ඔවුන් අන්තයටම අසරණ වූයේ නයා රිංගීම නිසා පැන නැඟුණු අතුරු ප්‍රශ්න කීපයක් නිසාවෙනි.

“අන්තිමට වත්තෙ වැඩ කරන්න ආපු ගෑනු උදවියත් වැඩට එන්න අදි-මදි කළා. ඒ අය කියන්න ගත්තා, ‘අනේ මහත්තයො අපටනම් බෑ වත්තෙ වැඩ කරන්න... බැරි වෙලාවත් නයා පෑගුණොත් මොන දෙයියන්ට කියන්නද’ කියලා. ඒ වගේම ඒ ගෑනු උදවිය ‘අපට කුලියක්-මලියක් කරගන්න, අනේ මේ ප්‍රශ්නෙ කොහොමහරි ඉක්මනට විසඳලා දෙන්ඩ කියලා මට පිංසෙණ්ඩු වෙනවා”

ඔහු නයි ප්‍රශ්නයට විසඳුම් සෙවීමට නොයෙකුත් උත්සාහ කළත් පිහිට පැතීම් කළත් ඒ කිසිවකින් පළක් නොවුණේය.

“ගමෙත් මේ කතාව ලොකුවට පැතිරුණා. ඒත් මෙහෙම සර්පයෙක් අල්ලන්න එළවන්න පුළුවන් කවුරුවත් හිටියේ නෑ අපේ පිහිටට. පස්සෙ මං 119ට කතා කළා. එතැනින් කිව්වා අපිටනම් ඔය වගේ වැඩ කරන්න අමාරුයි කියලා වනජීවි එකට කතා කරන්න නොම්මරයක් දුන්නා. ඊට පස්සෙ වනජීවි එකට කතා කළා. සත්ත්ව හිංසන සංවිධානයකට කතා කළා. ඒ කිසිම තැනකින් වැඩක් වුණේ නෑ. බැරිම තැන අහිගුණ්ඨික කෙනෙකුත් හොයාගෙන ගියා. ඒත් විසඳුමක් නෑ. මං දන්න කෙනෙක් කිව්වා මෙහේ ඉඳන් කිලෝමීටර් 20ක විතර ඈත තියෙන පන්සලක සත්තු අල්ලන මනුස්සයෙක් ඉන්නවා කියලා. මගේ ශරීර සෞඛ්‍ය අනුව එච්චර දුර වාහනය එළවන්නත් බෑ. පස්සෙ අමාරුවෙන් රියැදුරු ළමයෙකුත් හොයාගෙන පන්සල සොයාගෙන ගියා. ඒකෙනුත් වැඩක් වුණේ නෑ. ඒ මනුස්සයා අනුරාධපුරේද කොහේද දුරක ගිහිල්ලා එන්ඩ විදිහක් නෑ කිව්වා.”

නයි භීතියට විසඳුම් සෙවීමෙන් හෙම්බත්ව, අපේක්ෂා භංගත්වයට පත්ව සිටි ඔවුනට සැනසුමක් ගෙන දෙන පුවතක් අසන්නට ලැබුණේ පසුගිය සිකුරාදා එනම් 10 වැනිදා රාත්‍රියේය.

“සිකුරාදා රෑ මං දන්න කෙනෙක් කතා කරලා කිව්වා ‘දැන් ටීවී එකේ දැන්වීමක් ගියා ‘නයෙක් නම් අමතන්න’ කියලා නයි අල්ලන මහත්මයෙක් ගැන තොරතුරු මේ සතියේ සිළුමිණ පත්තරේ යනවා කියලා.” ඒක අහලා මට පුදුම සතුටක් දැනුණා.

“මට ඉතින් උදේ වෙනකල් ඉස්පාසුවක් නෑ සිළුමිණ පත්තරේ බලන්න. ඒත් සිළුමිණ අපේ පැත්තට එනකොට සෙනසුරාදා හවස දෙක, තුන වෙනවා. දැන් මට සිළුමිණ බලනකල් ඉන්න බෑ. අන්තර්ජාලෙට පිවිසුණා. මට ඒවයි දැනුම අඩු නිසා හොයාගන්න බැරි වුණා. පස්සෙ මට දුව මතක් වුණා. මං දුවට කෝල් කරලා කිව්වා ‘සිළුමිණේ මෙහෙම ලිපියක් යනවා ඉක්මනට බලලා විස්තර කියන්න’ කියලා. වාසනාව කියන්නෙ සිළුමිණ එම මහඟු කාර්ය කරන ලෙස්ලි මහතාගේ දුරකථන අංකයත් පළ කරලා තිබුණා” යැයි පවසමින් හෙතෙම දුරකථන අංකය පළ කිරීම ගැන සිළුමිණට විශේෂයෙන් ස්තූතිය පළ කළේය.

ඒ අනුව ලෙස්ලි මහතාට, සියඹලාපිටිය මහතාගේ නයි කරදරය පිළිබඳ ඇමතුම ලැබිණ. ඉන් අනතුරුව පසුගිය පොහෝ දිනයේදීම ඒ දැවැන්ත නයාගේ ජීවිතයටද අභයදානය දෙමින් තමාගේ, බිරියගේ සේම සෙස්සන්ගේ ද නයි භීතිය විසඳූ බව ඔහු කීවේය.

“සිළුමිණ පත්තරේට පින් අයිති වෙනවා අපි දෙන්නා විඳපු නයාගේ භීතියෙන් මුදවාගන්න පොටක් පාදල දුන්නට. ඇත්තටම සිළුමිණේ මෙවැනි ලිපියක් පළ නොවුණනම් තවම අපි නයාගේ ප්‍රශ්නයෙන් පීඩා විඳිනවා. ලෙස්ලි මහත්මයලා වගේ සමාජයට සේවය කරන උදවිය ගැනයි අද මාධ්‍යයෙන් අනාවරණය විය යුත්තේ. නමුත් එවැනි දේ සිදු වෙනවා අඩුයි. එම නිසා මම නැවතත් සිළුමිණ පුවත්පතට ස්තූතිවන්ත වෙනවා අපි විඳපු දුකෙන් මුදවගත්තට. මොකද අපි මුහුණ දුන්න ප්‍රශ්නයේ බැරෑරුම්කම තේරෙන්නෙ එවැනි අකරතැබ්බයකට මුහුණ දුන් කෙනෙකුටමයි.”

කළුතර ඉත්තෑපානේ නයි මෙහෙයුමේ තොරතුරත් සමඟින් පසුගිය දින කිහිපයේ තමාගේ දුරකථනයට ගලා ආ සිය ගණනක ඇමතුම් පිළිබඳ ලෙස්ලි මහතා අප හා විස්තර කළේය.

“ඇත්තටම කියන්න සතුටුයි මීට පෙර මා කරන කර්තව්‍යය ගැන විද්යුත් නාළිකා කීපයකම වැඩසටහන් විකාශය වුණා. ඒත් මට කිසිම අවස්ථාවක මෙතරම් ප්‍රතිචාර ආවේ නෑ. මේ දවස් කීපයේ ඇමතුම් සිය ගාණක් ආවා.

සමහරුන්ගෙන් ප්‍රශංසා, දිරිමත් කිරීම්, තව සමහරුන්ට නයි කරදර. තවත් අයට දැනුවත් වීම් සඳහා. ඒ වගේම මගේ උපකරණ කට්ටල ගැනත් විමසුවා.”

සිළුමිණ ලිපිය දැක නයි කරදරවලට විසඳුම් පැතූ පිරිස සේම රටේ සමාජයේ නොයෙකුත් දුක් කම්කටුලු බාධක පීඩනවලට ලක්ව සිටින පිරිස් සඳහා යම්බඳු සහනයක් සිළුමිණ පුවත්පතෙන් ලබාදීමට හැකිනම් එය අපට ද සතුටකි. 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.