අවු­රුදු සංක්‍රා­න්ති­යට පසු!

තැම්බෙමින් තිබුණු බත් හැළියේ පැසෙන උණු වතුර මවගේ සිරුරට හැලීමෙන් ඒ විශ්‍රාමික මවට තුවාල සිදු කළ උපාධිධාරි සංවර්ධන නිලධාරිනියක වූ දියණියක ගැන හා පියාට තුවාල සිදු කළ නීති පීඨයේ ඉගෙනුම ලබන සිසුවකු වූ ඇගේ සොහොයුරකු ගැන පසුගිය දා වාර්තා විණි. එහි දී කැපෙන ආයුධයකින් පියාට තුවාල සිදු කර ඇත්තේ මවට තුවාල සිදු කිරීම නිසා දියණිය අත්අඩංගුවට ගැනීම පිණිස පැමිණි පොලීසියෙන් බේරීමට පියා ප්‍රාණ ඇපයට ගෙන කාමරයක සිර කර ගෙන සිටිය දී බව ද වාර්තා විණි. සැකකාරිය උපාධිධාරිනියක මෙන් ම සැකකරු නීතිය හදාරමින් සිටින්නකු වීම මේ පුවත කෙරේ විශේෂ අවධානයක් යොමු වීමට හේතුවකි. අනෙක් හේතුව වන්නේ මෙය මවුපිය - දූදරු සබඳතා සම්බන්ධයෙන් දුක්බර කතාවක් වීම යි.

මෙවැනි සිදුවීම් බහුල වීම නිසා මෙය එක් අතකට අද දවසේ 'උණුසුම් පුවතක්' නොවන තරම්ය. එහෙත් මෙය එදිනෙදා අසන්නට දකින්නට ලැබෙන සාමාන්‍ය සිදුවීම්වල සාරාංශයක් වීම සුළුපටු නොවේ. එබැවින් මෙවැනි පුවත් බහුල වීම හා රටේ සමාජීය කතාවේ සාරාංශය මෙය වීම සුළුවෙන් තකන්නට හැකි ද නො වේ; මඟහැර යා හැකි ද නො වේ. අලුත් අවුරුදු සැමරුම් නිම වෙමින් ඇති මේ අවස්ථාවේ සාමාන්‍ය ජන ජීවිතයේ පුරුදු වැඩකටයුතු අරඹන මේ අවස්ථාවේ උගත් සමාජයකින් ඇසෙන මේ දුක්බර කතාව ගැන අවධානය මුලට ම ගත යුතු ව තිබේ.

කතාබහකින් සංවාදයකින් විසඳා ගත යුතු ගැටලු ශාරීරික හෝ මානසික හෝ හිංසාවක් මඟින් විසඳා ගැනීමට අද රටේ ඇති සමාජීය නැඹුරුව මේ කතාවෙන් ද පිළිබිඹු වේ. පශ්චාත්-යුද සමයක් ගෙවන රටක් හෝ සමාජයක් හෝ බව පවසමින් මෙවැනි දේ තවදුරටත් නොසලකා හරින්නට නොහැකි යි; විසඳුම් සෙවීම ප්‍රමාද කරන්නට ද නොහැකි යි. මෙවැනි සමාජීය ගැටලුවක් මතු වී ඇත්තේ පිටින් ආ බලපෑම් නිසා ම නො ව, තම ඇතුළතින් ම මතු වූ බෙදීම් හෝ ආකල්ප හෝ නිසා වීම ද මෙහි දී සැලකිල්ලට ගත යුතු යි. තම අභ්‍යන්තරයෙන් පැනනැඟී ආ, එසේ නැති නම් ජනසමාජය වෙතින් ම ඇති වූ, මේ ඛේදවාචකය සියලු සමාජීය සබඳතා දෙදරවා හැර ඇති අයුරු කියා පායි. මවුපිය - දූදරු සබඳතා මෙතරම් පළුදු වන විට අනෙකුත් සමාජීය සබඳතා ගැන වටිනා කියන දෙයක් ඉතිරි විය හැකි ද?

ඇතැම් විටෙක මෙකී මවුපිය - දූදරු විරසකය මතු ව ඇත්තේ පාර්ශ්ව දෙකෙන් කාට හෝ නැති නම් පාර්ශ්ව දෙකට ම හෝ ඇති, එකිනෙකා නොරුස්සන ගතිසොබාවන් මානසික ආතතියක් දක්වා වැඩී යෑම නිසා ද විය හැකි යි. ඊට සාධාරණ හේතු ද ඉදිරිපත් විය හැකි යි. එහෙත් මෙහි දී මඟහැර යා නොහැකි විශේෂ කරුණු කිහිපයක් මතු වෙයි. මෙතරම් දරුණු අවස්ථාවක් කරා ගැටලුව වැඩී එන තුරු පිළියමක් නොයෙදුණේ ඇයි?

විශේෂයෙන් ම අධ්‍යාපනය අතින් ඉහළ ප්‍රතිඵලයක් ලබා ඇති, උගත් යැ යි පිළිගන්නා දූදරු, තරුණ පරපුර වෙතින් මෙවැනි ප්‍රවණතාවක් මතු වීම සාමාන්‍ය දෙයක් ලෙස බැහැර කළ නොහැකි යි. උගත්කම යනු උපාධි සහතිකය අත් කර ගැනීම පමණක් නො ව, ශිෂ්ට සම්පන්න භාවයෙන් ද ඉදිරියක් පෙන්විය යුතු බැවිනි. උසස් අධ්‍යාපනයෙන් ඉහළ ම ප්‍රතිඵල අත් කර ගත් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව අලුත් අවුරුදු චාරිත්‍ර වෙනුවට උද්ඝෝෂණ හා උපවාස ආදියට යොමු වීම මඟින් එකී ශිෂ්ටසම්පන්න භාවයට සිදු වූයේ කුමක් දැ යි ප්‍රශ්න කෙරෙනු ඇත.

රටේ සංවර්ධනය හෝ ඉදිරි සාර්ථකත්වය හෝ භෞතික ව පමණක් නො ව, ආධ්‍යාත්මික ව ද පවත්වා ගැනීම වැදගත් නමුත් ආධ්‍යාත්මික කොටස ගිලිහී රට දැන් බොහෝ දුරක් ගමන් කර ඇති බව ද මෙයින් කියවෙයි. මේ ආධ්‍යාත්මික කොටස මඟ හැර යෑමෙන් හෝ නොසලකා හැරීමෙන් හෝ අත් කර ගන්නට හැකි සංවර්ධනයක් හෝ දියුණුවක් හෝ නැත. අලුත් අවුරුද්ද උදා වූයේ මේ අභියෝගය ගැන කල්පනා කොට විසඳුමක් ලැබෙන අලුත් මඟක් ගැනීමට යි.

මඟහැරුණු අවස්ථා ගැන විමසීමටත්, හිතට නැඟුණු නොරිස්සීම් හෝ විරසක හෝ සමනය කර ගැනීමටත් වසරකට වරක් සොබා දහම සලසන ඒ සංක්‍රාන්ති කාලය අදින් නිම වෙයි. හෙට සිට යළි එදිනෙදා ජීවිතයේ තරගකාරි අරගලයට යොමු විය යුතු ව ඇත. එනම්: අලුත් අවුරුද්ද උදා වී සලසන 'සම්මුතිවාදය සඳහා වන සංක්‍රාන්ති කාලය' යොදා ගත යුතු වන්නේ සමාජීය වශයෙන් රට අද මුහුණ දෙන ආධ්‍යාත්මික පිරිහීම, සාරධර්ම බිඳවැටීම පිළිසකර කර ගැනීමට යි.

මානව සබඳතාවලට මුල පුරන මවුපිය - දූදරු සබඳතා ගැන නැවත හිතන්නට යි; එමෙන් ම එකිනෙකා අතර වූ හිත් පෑරීම්, වැරදීම් නිවැරදි කර ගැනීමට යි. අලුත් අවුරුදු උදාව දුන් පුළුල් පණිවිඩය වූයේ එය යි.

ළඟ ම අනෙකා සමඟ කතාබහෙන් සංවාදයෙන් සම්මුතියකට එළඹෙන ආකාරය යි, අලුත් අවුරුදු සැමරුම කළ මඟපෙන්වීම වන්නේ. එමඟ ගැනීම තවදුරටත් පමා කරන්න ඉඩක් නැති බව මෙවැනි සිදුවීම් මඟින් තහවුරු වෙයි. 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.