අට වස­රක නිහැ­ඬි­යාව අව­සන් ඊට පස්සෙ මොකද වෙන්නෙ? | Page 2 | සිළුමිණ

අට වස­රක නිහැ­ඬි­යාව අව­සන් ඊට පස්සෙ මොකද වෙන්නෙ?

පහුගිය මාසෙ අග දවසක අට වසරක නිහැඬියාව අවසන් කරමින්, ජනාධිපති සිනමා සම්මාන ප්‍රදානය පැවැත්වුණේ, ජනාධිපතිතුමාගෙ ප්‍රධානත්වයෙන්, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ගරු ගම්භීර විදියට. ජාතික චිත්‍රපට සංස්ථාවත් ජනමාධ්‍ය අමාත්‍යාංශයත් ඉන්ද්‍රචාපගෙ සමීප රූප අතර. සිනමා රසිකයකු විදියට ඉන්ද්‍රචාපට මේ සම්මාන උලෙළ පේන්නෙ මේ රටේ සිනමා කලාවෙ, කර්මාන්තයේ නියැළි දහස් ගණනක් කලාකරුවන්, ශිල්පීන් වගේම, සිනමා රසිකයන් ද අගය කළ අවස්ථාවක් ලෙස. විශේෂ ජූරියකින් විනිශ්චයට ලක්කරන ලද 2015 වසරේ තිරගත වුණු චිත්‍රපට විසිහතරක් අතරින් සම්මානයට පාත්‍ර විය යුතු යැයි, විනිශ්චය මණ්ඩල සාමාජිකත්වය, තෝරාගත් කලාකරුවන් කලාකාරියන්, ශිල්පීන් ශිල්පිනියන් කවුරුන් ද කියා ඉන්ද්‍රචාප සමීප රූප අතරින් දකිනවා. ජූරි විනිශ්චයට අමතරව ගෞරව සම්මානයට පාත්‍ර විය යුතු යැයි වෙනත් මණ්ඩලයක් විසින් නිර්දේශ කරනු ලැබූ සිංහල සිනමාවේ විශිෂ්ටයන් සය දෙනකු හා පුරෝගාමීන් රැසකගේ සමීප රූප ද ඒ අතර තිබෙනු සමීප රූපයේ සටහන් ව හමාරය.

ස්වර්ණ සිංහ සම්මානය නම් වූ ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන සම්මානලාභීන් සය දෙනා ගේ ‍සොම්නස පිරුණු මුහුණු ඉන්ද්‍රචාපට පෙනේ.

වසන්ත ඔබේසේකර, ධර්මසිරි බණ්ඩාරනායක, ස්වර්ණා මල්ලවආරච්චි, විශාරද නන්දා මාලිනී, අනෝජා වීරසිංහ හා ඩොනල්ඩ් කරුණාරත්න ආදින් මෙන්ම සිනමාවේ පුරෝගාමීන් වූ තිස්ස ලියනසූරිය (අධ්‍යක්ෂණය) මහාචාර්ය ආරියරත්න (සිනමා ගීතය) ආතර් යූ. අමරසේන (සිනමා මාධ්‍යය) චන්ද්‍රා කළුආරච්චි (සිනමා රංගනය) ඒ. ඩී. රන්ජිත් කුමාර (සිනමා ලේඛනය) සුනිල් මිහිඳුකුල (සිනමා සාහිත්‍යය) කේ. පී. බාලසිංහම් (සිනමා ශබ්ද පරිපාලනය) ඩෙරික් ප්‍රනාන්දු (සිනමා අංග රචනය) ගාමිණි වේරගම (චිත්‍රපට විචාරය) ආදින් ද සම්මානයෙන් පුද ලැබ සම්මාන අතැතිව වේදිකාවට නැඟී ජනාධිපතිතුමා සමඟ ඡායාරූපයකට ද මුහුණ දී සිටිනු ඉන්ද්‍රචාප දිටීය.

වසර අටක නිහැඬියාවට තිතත් තබන්නට මෙතරම් පමා වූයේ කිම්දැයි සිනමා ක්ෂේත්‍රයේ තිරයෙන් පිටුපස නොයෙක් කතාබහ ඉන්ද්‍රචාපට ඇසුණ ද වසර දෙකක් තුළ තිරගත වූ චිත්‍රපට නරඹා විනිශ්චය මණ්ඩල විසින් අවසන් කොට ඇති ප්‍රතිඵල ලේඛන සංස්ථාවට භාර දෙන්නට සූදානම්ව සිටියද, ප්‍රතිඵල ප්‍රකාශ කොට සම්මාන ප්‍රදානය පිළිබඳ නිහඬ පිළිවෙතක් අනුගමනය කොට ඇත්තේ, කුමන විශේෂ හේතුවක් මත ද කියාත් ප්‍රශ්න කිරීමක් නොවූයේ සිනමාකරුවන්ගේ අවාසනාවට ද නොවේනම් හිටපු සංස්ථා බලධාරීන්ගේ අත්තනෝමතික දේශපාලනමය බලපෑම් නිසා ද යන්න ඉන්ද්‍රචාප නොදනී.

ජනාධිපති සිනමා සම්මාන ප්‍රදානය හෝරා දෙකකින් පමණ නිමා කරන්නට සැලසුම් කළ සැලසිනේ ආයතනය, TVT ආයතනය හා චිත්‍රපට සංස්ථාව අට වසරක නිහැඬියාව බිඳ දමමින් වාර්තාවක් පිහිටුවූයේ ද කියාත් ඉන්ද්‍රචාප කල්පනා කරයි.

සම්මාන දීමෙන් අනතුරුව ජනමාධ්‍ය ඇමැතිතුමා විසින් 2017 වර්ෂයේදී 2016 - 2017 දෙවසරේදීම තිරගත වූ චිත්‍රපට සඳහා සම්මාන උලෙළක් පවත්වන බවට ප්‍රකාශ කළ ද, ඉන්ද්‍රචාප කල්පනා කරන්නේ, 2016 වර්ෂයට අදාළ වර්ෂයේ දෙවැනි සම්මාන උලෙළ පැවැත්විය යුතු බවයි. සම්මාන උලෙළ ප්‍රතිඵල පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වෙන මෙසමයෙහි, ඊට ඉඩ හරිමින් සංස්ථාව විසින් දැන්ම සිට අතපසු වූ උලෙළ 2016 නිර්මාණ අගයමින් මේ වසර අවසන් වන්නට පෙර සම්මාන ප්‍රදානය අවසන් කරාවි යන්න ඉන්ද්‍රචාපගේ විශ්වාසයයි. 

 

Comments