සතියේ මියු­සික් වීඩි­යෝව | Page 2 | සිළුමිණ

සතියේ මියු­සික් වීඩි­යෝව

අන්තර් ජාලයෙන් ඇසෙන මවුගුණ ගීය

දෙතනගල ගිරි ශිඛර තරමට...

 

දෙතනගල ගිරිශිඛර තරමට

දෙතනකිරිදී මා හදා

සතර ජයගෙන කිරුළ ලූ දා

ලොවම හැරගොස් මා දමා නුඹ

කියන් මට අම්මේ - ඔබ කොහේදැයි

කියන් මට අම්මේ

ඉසුර සොයමින් සැරිසරද්දී

ගෙවුණ එදවස අප දුරස් වී

ගිලන් වී නුඹ ලොවින් නික්මී

වරම් නොලැබුණි ළඟින් ඉන්නට

කියන් මට අම්මේ - නුඹ කොහේදැයි

කියන් මට අම්මේ

ඈත සමනොල සිරස සිප එන

සීතමදනල හා බැඳී

පීර පීරා ඈත ගම්දුර

සොයා එන්නම් සසර කතරේ

කියන් මට අම්මේ - නුඹ කොහේදැයි

කියන් මට අම්මේ..

 

රණවීර කරන්ගොඩ ගායනා කරන ‘දෙතනගල කඳුළ - අම්මා’ ගීතය මේ දිනවල Face Book හා you Tube හරහා විකාශය වෙයි. ගීතය අසමින් එහි රූප රචනාව නරඹන විට බහුතර ශ්‍රාවකයින්ගේ සිත් සතන් කම්පනයට පත්කරවන්නට සමත් වෙයි.

මෙම ගීතයේ පදමාලාව, ගායනය, සංගීතය සහ රූප රචනාව තුළින් අප කාගේත් නෙතට කඳුළක් නංවන්නට සමත් වන නිසා ම අද රසඳුන සතියේ ‘මියුසික් වීඩියෝව’ සඳහා ‘තෙතනගල කඳුළ - අම්මා’ තෝරා ගත්තා.

මෙම ගීතය ගායනා කරන රණවීර කරන්ගොඩ වෘත්තියෙන් ඉංජිනේරුවෙකි. මේ වන විට ගම්පහ පදිංචිව සිටියත් ඔහුගේ ගම බලංගොඩ වන අතර බලන්ගොඩ පින්නවල අටවක්වෙල ශ්‍රී රතනපාල විද්‍යාලය, උඩගම මහා විද්‍යාලය සහ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යලය යන පාසල්වල ආදි ශිෂ්‍යයෙකි.

පාසල් අධ්‍යාපනයෙන් පසු උසස් අධ්‍යාපනය නිම කරන ඔහු ඉංජිනේරුවරයකු ලෙස සිය උපාධිය අවසන් කළේය. මේ ව විට පෞද්ගලික ආයතනයක සේවය කරන ඔහු රුචිනි රණවීර සමඟ විවාහ වී සිටින අතර පුතුන් දෙනෙකුගේ පියෙකි.

සිය කාර්ය බහුල ජීවිතයේ ලබන ඉතා සුළු විවේකයකදී යහගුණ සමාජ ගත කිරීම සඳහා ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය මුසුකරගත් භාවාත්මක ගීත කීපයක් නවීන මාධ්‍ය වෙත දායාද කරමින් සිටී.

‘දෙතනගල කඳුළ - අම්මා’ ගීතය ඒ අතරින් සුවිශේෂී ගීතයකි. එය නිර්මාණය කිරීම පිටුපස ඇත්තේ ද අපූර්ව හදට දැනෙන කතාවකි.

සමනොල කඳුවැටියට පරිවාර කඳුවැටියක් ලෙස ප්‍රචලිත මනරම් කඳුවැටියක් වන දෙතනගල කඳුවැටියට නම පටබැඳී ඇත්තේ ළඳකගේ පියයුරු ආකාරයට නිර්මාණය වී ඇති බැවිනි.

දාරක සෙනෙහසින් සියලු දුක් කම්කටොලු විඳ දරා දරුවන් ඇති දැඩි කළ ද මවුවරුනට එහි ප්‍රති සැලකිලි දරුවන්ගෙන් නොලැබෙන අයුරුත්, තරගකාරී වානිජ ජීවන රටාව හේතුවෙන් දරුවන්ට ද දෙමාපියන් පිළිබඳ සැලකිලිමත් වීමට නොහැකිවීම ගැන ඉතා කෙටියෙන් මෙම ගීතය රචනා වී ඇත.

මෙහි ගීත රචකයා එම්.කේ. සෙනෙවිරත්නයි. සෙනෙවිරත්න සහ මෙම ගීතය ගායනා කරන රණවීර කරන්ගොඩ දෙදෙනාම ඉපදී ඇත්තේ මෙම කඳුවැටියට මායිම්ව ඇති ගම්මාන දෙකකය. දෙදෙනා ම ගම හැරගොස් බොහෝ කාලයකි.

මෙම ගීතය ගායනා කරන ශිල්පියාගේ මව හදිසියේ වියෝවීමෙන් ඇති වන මහා සිත් තැවුල නිර්මාණයට හේතුපාදක වී තිබේ. විශාරද කරුණාරත්න වි‍ෙජ්වර්ධන ගීතයේ ගැඹුර කියාපාන, හදවතට දනවන සංවේදීතාවක් සහිත සංගීතය නිර්මාණය කිරීමෙන් ගීතයට උපරිම සාධාරණත්වයක් ඉටුවී තිබේ.

මෙම ගීතය පටිගත කර ඇත්තේ මීට වසර 10කට පමණ පෙරදීය. එහෙත් මෑත කාලයේ නව සංගීත සංයෝජනය කරමින් පටිගත කර ඇත්තේ විශාරද සුජිත් හා ලෙන්ස් ඇන්ඩ් ෆීල් ශබ්ධාගාරයයි.

නිලන්ති හීන්දෙණිය මවගේ චරිතයත්, ගායක රණවීර කරන්ගොඩගේ පොඩි පුතා වන දුමිඳු මිහිසර පුංචි පුතුගේ චරිතයත් නිරූපණය කරයි. ලක්ෂිත තිලංග බණ්ඩාර, සේනක සෙනෙවිරත්න, චතුරිකා ලක්මාලි, එම්.ජී. විමලසිරි සෙසු චරිතවලට දායක වෙති.

සමාජයේ සිටින විවිධ තරාතිරම්වල අසන්නන් සඳහා සුභාවිත ගීත හතරක් රණවීර දැනට සමාජගත කර ඇත. ඉදිරියට තවත් ගීත 8ක් එළිදැක්වීමට කටයුතු කරමින් සිටී. මෙම CD තැටිය ලෝකයේ වෙනත් රටවල වෙසෙන ශ්‍රී ලාංකේය හිතවතුන්ට ලබා දීමෙන් ලැබෙන මුදල් තම ගම වන අටවක්වෙල පිහිටි සුගතාරාමය වැඩි දියුණු කිරීමටත් එහි වමත් පැවැත්වෙන ළදරු පාසල වැඩිදියුණු කිරීමටත් යොදාගැනීමට ඔහු බලාපොරොත්තු වන්නේ දෙමාපියන්ට පිං පිණිස ඔවුනට කරන කෘතගුණ සැලකීමක් ලෙසිනි. 

 

 
 

Comments