සිනා කතා | සිළුමිණ

සිනා කතා

දෙක පැටළුණාවත් ද?

“මම යනවා අර ලෙඩා බලන්ඩ, මහ ඉස්පිරිතාලෙට ගිහින් එන්ඩ. අපේ මානෙල් අක්කා අද මෙහෙ එන්ඩ බැරි කමක් නැහැ, එයාට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ආපු ලියුම අරගෙන යන්ඩ. කෑම මේසෙ උඩ ඒක තියෙනවා. එයා ආවොත් ඒක දෙන්ඩ. අද කුණු ලොරියත් එන දවස. එහෙම ආවොත් අර එළියෙ අඹ ගහ යට තියලා තියෙන කුණු බෑග් ටිකයි, ඔය ප්‍රිජ් එකේ, ප්‍රීසර් එකේ ඉස්සරහින්ම සුදු බෑග් එකක දාලා තියෙන මාළු ශුද්ධ කරලා දාපු රොඩු බොඩු ටිකයි කුණු ලොරියට දාන්ඩ.” තමා ඉදිරිපිට මේසය මත වූ සුදු කඩදාසිය වෙත තම මුළු අවධානයම යොමුකොට කිසිවක් ලියමින් සිටි තම සැමියා දෙස බලා ශාන්ති කීවේ අත්බෑගය කරට දමාගෙන පිටත් වෙමිනි.

ඇය නික්ම ගොස් අඩ හෝරාවක් ගතවෙන්නටත් ප්‍රථම කුණු ලොරිය පැමිණි අතර තවත් පැයකට පමණ පසු පැමිණි මානෙල් දෙස බලා චන්ද්‍රසිරි ශීතකරණය හැර ඒ තුළ වූ සුදුබෑගය ඇය වෙත දිගු කළේ ය.

“මේ මොකද්ද? මේකෙ තියෙන්නෙ මාළු ඔළු වගයක්නෙ. මම ආවේ මගෙ ලියුම අරගෙන යන්ඩ.” බෑගය නැවත චන්ද්‍රසිරි වෙත දිගු කරමින් මානෙල් කීවේ නැහැය හකුළා ගනිමිනි.

“මළා...! එතකොට දැන් ටිකකට කලින් කුණු ලොරියට දැම්මේ මෙයාගෙ ලියුම ද?” චන්ද්‍රසිරි තමාටම මුමුණ ගත්තේ එක අතකින් හිස කසමිනි.

දුන්නෙ ඒ හින්දා

“ඔයාව බලන්ඩ ආපු චන්ද්‍රසිරිට ඔයාට තෑගි ලැබුණු අර නවකතාව, තෑග්ගක් විදියට දුන්න එක හොඳයි. එයත් ලියන, කියවන, දේවල්වලට බොහොම ලැදි කෙනෙක් හින්දා අලුත් නවකතාවක් වගෙ දෙයක් එයාට හුඟක් වටිනවනෙ, නේද?” බිරිඳ තම සැමියා දෙස බලා කීවේ, සාලයේ ටීපෝව මත තිබූ හිස් කෝප්ප දෙක ඉවත ගෙන යමිනි.

“ඔය නවකතාව මම චන්ද්‍රසිරිට දුන්නේ ඔයා ඔය කිව්ව විදියේ පරමාර්ථයකින් නෙමෙයි හාමිනේ. ඔය පොත කියෙව්ව වෙලේ ඉඳලා මම ඉවසිල්ලක් නැතුව බලා හිටියෙ කාගෙ ඇ‍ඟේ ගහලා ඕකෙන් ගැලවෙන්ඩද කියල.” සුනිල් කීවේ සැනසුම් සුසුමක් හෙළමිනි.

දැන් ඒ වගෙ දේවල් කනවයැ

“නාට්‍ය උලෙළේ වැඩවලට පහුගිය මාසෙම ඔයා දුවලා පැනලා මහන්සි වුණාට ඔයාගෙ ඇඟපත වෙනදාටත් වඩා ආරලා වගෙයි මට නං පේන්නෙ. උදේට මේ ඉස්කෝලෙ පිට්ටනිය වටේ රවුම් දෙක තුනක් ඇවිදලා ඔය ඇඟ ටිකක් අඩු කරගත්තොත් නරක ද?” කාර්යාලයට යාම සඳහා ලහි ලහියේ සූදානම් වෙමින් සිටින රුවිනි දෙස බලා සැමියා කීවේය.

“එහෙම දෙයක් කරන්ඩ ඕනැ වෙන්නෙ නෑ අනේ. නාට්‍ය උලෙළ තිබුණු මුළු කාලය පුරාම මම එහෙ මෙහෙ දුවලා පැනලා වැඩ කරපු එක ඇත්ත. ඒත් ඒ දවස් ටිකේම නාට්‍ය උලෙළේ විශේෂ අමුත්තන්ට කෙරුව සංග්‍රහයෙන් පස්සේ ඉතුරු වුණු කෝලිකුට්ටු, කේක්, බිස්කට්වලින් වැඩි හරියක් දවස ගානෙ ගිලලා දැම්මේ මමනෙ. දැන් ඉතින් ඒ වගේ දේවල් තැවෙන්නෙම නෑනෙ. ඒ හින්දා ව්‍යායාම ඕන වෙන එකක් නෑ අනේ.” රුවිනි කීවේ කණ්ණාඩිය වෙතට මුහුණ ළං කරමිනි.

අද අපේ දවස

“මොකද අද උඹ කැන්ටිමෙන් බත් එකක් ගත්තෙ? උඹ හැමදාම දවල් කෑම එක ගෙදරින් ගේනවා නේද?” බත් පිඟානක්ද රැගෙන පැමිණ තමන් අසල පුටුවේ වාඩිවුණු අජිත් දෙස බලා වීරක්කොඩි කුහුලෙන් විමසීය.

“ඔව් බං. ඒත් අද ජාත්‍යන්තර කාන්තා දිනය හින්දා මට උයන්ඩයි කියල අපේ ගෑනි එකහෙළා ම කිව්වනෙ. ඉතින් මට අද ගෙදරින් එන්ඩ සිද්ධ වුණේ බත් එක නැතුව.” අජිත් කීවේ නැඟී එන කෝපයෙනි.

ඒක ප්‍රශ්නයක් නෙමෙයි ද?

“මොකද අනේ ඔයා තේ කෝප්පයක් අතේ තියාගෙන අහස පොළොව ගැටගහන්ඩ වගෙ කල්පනා කරන්නෙ?” හදිසියේ ඇස ගැසුණු තම ස්වාමිපුරුෂයාගේ දසුනේ අමුත්තකින් වික්ෂිප්ත වූ ශාන්ති ඇසුවේ ඔහු දෙස බලමිනි. “නෑ මං මේ කල්පනා කළේ මට දැන් අවුරුදු හැටපහක් සම්පූර්ණයි කියල මම පිළිගත්තට සමහර අවයව ඒක කොහොමටවත් පිළිගන්නෙ නැහැනෙ හාමිනේ.” චන්ද්‍රසිරි කීවේ බැරැරුම් හඬකිනි.

ඊයේ ගහන්නෙ කොහොම ද?

“මොන වැරැද්දක් කළාටද ඔයා හිටපු ගමන් මගෙ කම්මුලට ගැහැව්වේ?” තුෂාරි ඇසුවේ පුපුරු ගසන කම්මුල අතගාමිනි. “ඊයෙ ඔයා මගෙ හොඳ ෂර්ට් එකක් අයන් කරන්න ගිහින් පිච්චුවා මතක නැද්ද?” සෙනෙවි කීවේ තම බිරිය දෙස රවා බලමිනි. “ඉතින් මනුස්සයෝ ඒකට ඊයෙම ගහන්ඩ තිබුණනෙ.” තුෂාරි කීවේ පුදුමයට පත්වෙමිනි.

“ඊයෙ ගහන්නෙ කොහොම ද හලෝ? ඊයේ ජාත්‍යන්තර කාන්තා දිනයනෙ.” චන්ද්‍රසිරි පැහැදිලි කළේය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.