බුදු­ද­හම සාමයේ මාවත ලෙස සැලකූ හින්දු බැති­මතා | සිළුමිණ

බුදු­ද­හම සාමයේ මාවත ලෙස සැලකූ හින්දු බැති­මතා

ශ්‍රී ලංකාවේ උතුරුකරයේ අති පෞරාණික මිතුදමකින් බැඳී සිටි අපේම සහොදර ජන කොට්ඨාසයක් වන දමිළ ජනතාව සාමය සම්බන්ධයෙන් විවිධාකාර මතිමතාන්තර දරමින් කටයුතු කළ අයුරු අපි දුටිමු. එහෙත් ඔවුන් අතර සිටි ඇතැම් දමිළ සොහොයුරන් සාමය සම්බන්ධයෙන් දැරූ අතිශය කාලෝචිත සර්වකාලීන වැදගත්කමකින් යුත් අව්‍යාජ මතවාදයත් වගකිව යුත්තන්ගේ අවධානයට යොමු නොවීම හා සාකච්ඡාවන්ට භාජනය නොවීම ජාතියේ අවාසනාවක් බව කිව යුතුය.

එබඳු සියලු ජන වර්ගයන් අතර සමගිය සංහිඳියාව එකමුතුකම ගොඩනඟන්නට උපස්ථම්භන වන අතිශය වැදගත් ආකල්පයක් දරන එය සමාජ ගත කරන්නට මහත් වෙහෙසක් දැරූ අව්‍යාජ මානව හිතවාදියෙකු, දේශප්‍රේමියෙකු ලෙස 1980 මාර්තු 22 වැනි දින අපෙන් සමුගත් උතුරේ යාපනය අර්ධද්වීපයේ කන්කසන්තුරේ උපත ලැබූ ෂම්මුගම් තම්බයියා සින්නදුරේ හඳුන්වා දිය හැකිය.

විසිවෙනි සියවසේ මුල් භාගයේ දී එනම් 1903 උපත ලද සින්නදුරේ තරුණයා යොවුන් වියේ දී කොළඹට පැමිණ ව්‍යාපාරික කටයුතුවල යෙදෙන අතරේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමි, සාගර පලන්සූරිය, පී.වී, ලැන‍රෝල්, මීමන ප්‍රේමතිලක, පියදාස පලන්සූරිය, ඇල්.පී. දේශබන්දු, චන්ද්‍රරත්න මානවසිංහ සහ කුමාරතුංග මුනිදාස වැනි සිංහල සාහිත්‍යධරයන් සමඟ එකට එක්ව සිංහලයෙකු මෙන් ශ්‍රී ලංකාවේ නිදහස් අරගලයට දායක විය.

මෙය තුළින් ගොඩ නැගුණු මිත්‍රත්වයන් හරහා බුදුරජාණන් වහන්සේ සහ බුදුදහම පිළිබඳව ද කරුණු දැනගන්නට ඔහුට හැකි විය. පෙර සසර පුරුද්දක් නිසාදෝ මෙම හින්දු තරුණයා තුළ බුදුරජාණන් වහන්සේ පිළිබඳවත්, උන්වහන්සේ ගේ උතුම් දහම පිළිබඳවත් විශාල ගෞරවයක් සහ පැහැදීමක් ඇති විය.

අගනුවර පිටකොටුවේ “ලීලා ස්ටෝර්ස්” නමින් ආරම්භ කළ වෙළඳසැල අසලම බෝධීන් වහන්සේ නමක් පැවතීම ගැනද ඔහු ඉමහත් සේ සතුටු විය. බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධත්වය ලබා ගන්නට සෙවණ සලසා දුන් ඉපැරණි බෝධීන් වහන්සේ ගේ සිසිලස විඳිමින් තම ව්‍යාපාරය පවත්වා ගෙන යාමට ලැබීම මහත් වාසනාවක් ලෙස මේ හින්දු බැතිමතා සැලකූහ. සෑම දිනකම උදෑසන පුද පූජා පවත්වා වෙළඳසැල විවෘත කිරීමට තරම් විශ්වාසයක්, භක්තියක් බුදුරජාණන් වහන්සේ පිළිබඳව මෙම උදාර මිනිසා තුළ ඇති විය.

අනාරක්ෂිතව පැවති මෙම බෝධීන් වහන්සේ දෙවතාවක්ම ඉංග්‍රීසි සුදු පාලකයින් විසින් කපා දමන්නට උත්සාහ කළහ. මේ අවස්ථා දෙකේදීම ඊට විරුද්ධව නැගී සිටියේ සිංහල බෞද්ධ නායකයන් නොව උතුරෙන් දකුණට සංක්‍රමණය වූ මේ හින්දු බැතිමතායි. අනතුරුව බෝධිය වටා ආරක්ෂිත වැටක් ඉදිකොට ගේට්ටුවක් දැමූ මොහු පසුව බුදු කුටියක් ඉදිකර බුද්ධ ප්‍රතිමාවක් ද තැන්පත් කර පුද පූජා පැවැත්විය.

පසුව පිටකොටුව සෙසු ව්‍යාපාරික ප්‍රජාව ද ඒකරාශී කර ගෙන එක්සත් බෝධිරාජ සමිති අරඹා ඔහු එහි ප්‍රථම භාණ්ඩාගාරිකවරයා ද විය.

මොහු මේ බෝධීන් වහන්සේ අසල දර්ශනීය විහාර මන්දිරයක් ඉදිකර එහි බුදු පියාණන් වහස්සේගේ ප්‍රතිමාවක් නෙළා එහි තැන්පත් කිරීමට ධාතූන් වහන්සේලා සොයා ගිය කථා පුවත ද සුවිශේෂී වැදගත්කමකින් යුක්ත වූවකි. සින්නදූරේ මහතාට සර්වඥ ධාතූන් වහන්සේලා ලබා දීමට මුලින් ඉදිරිපත් වූ ඇතැම් ස්වාමීන් වහන්සේලා ඒ සඳහා මුදල් අපේක්ෂා කළහ.

බුදුරාජණන් වහන්සේ ගේ වටිනාකම මිල කළ නොහැකි යැයි එම අවස්ථාවේ අභීතව ප්‍රකාශ කළ සින්නදුරේ මහතා මුදල්වලට ධාතූන් වහන්සේලා ලබා ගැනීම ප්‍රතික්ෂේප කළහ. අනතුරුව නොමිලේ සර්වඥ ධාතූන් වහන්සේලා ලබා දුන් පළමු ගෙදර ශ්‍රී සෝමානන්ද නායක ස්වාමීන් වහන්සේ ගැන ඉමහත් සේ පැහැදී පොල් අතු සෙවිලි කොට තිබූ උන්වහන්සේගේ විහාරස්ථානය තමාගේ පෞද්ගලික ධනය මෙන්ම බෝධිරාජ සමිතියේ පරිත්‍යාගයන් ද යොදා ගෙන දර්ශනීය ලෙස මුළුමනින්ම ඉදිකරවා දුන්හ.

ශ්‍රී ලංකාව තුළ සාමය ස්ථාපිත කිරීමට නම් සියල්ලන්ටම බුදු දහම ඉගැන්විය යුතුයැයි යන අදහස තරයේ පිළිගත් මෙතුමා ශ්‍රී ලංකාව පුරා විහාරස්ථාන රැසක් ඉදි කරන්නට, සංවර්ධනය කරන්නට නොමසුරුව දායක විය. මහව පළමුගෙදර ශ්‍රී මංගලාරාමය, වැල්ලවත්තේ ශ්‍රී ධර්මෝදය පිරිවෙන, අනුරාධපුර කුරුන්දන්කුලමේ සද්ධර්ම විවේකාශ්‍රමය, ඇහැලියගොඩ සාම මහා විහාරය සහ සිංහරාජ වන පෙදෙසේ ශ්‍රී සුමංගල ජන විජය විහාරය ආදිය ඉන් කිහිපයකි.

මේ අනුව බුදු දහම සාම මාවත ලෙස සැලකූ සාම විනිසුරු ඇස්.ටී. සින්නදුරේ මැතිතුමාගේ ජීවන දැක්ම සාමය, සංහිඳියාව ස්ථාපිත කරලීම උදෙසා ආදර්ශයට ගත හැකි ප්‍රායෝගික වැඩපිළිවෙළක් වශයෙන් හැඳින්විය හැකි අතරම මේ සම්බන්ධයෙන් ඔහුට ජාතියේම ප්‍රණාමය පුද කළ යුතු බව කිව යුතුය.

 

ඇහැළියගොඩ
සාම මහා විහාරාධිපති
දන්දෙණියේ විපුලසීහ හිමි

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.