සිංහල දෙමළ මුස්ලිම් දරු­වන් එක්ව | සිළුමිණ

සිංහල දෙමළ මුස්ලිම් දරු­වන් එක්ව

 

අක්කරපත්තුව නගරයේ පිහිටි එකම බෞද්ධ විහාරස්ථානය වන ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ හමු වී උන් වහන්සේගේ සුවදුක් විචාළ අපි විහාරස්ථානය අසලින් වැටී ඇති ශ්‍රී ධම්මරතන සිංහල පාසල වෙත ගියෙමු. දස වන ශ්‍රේණියේ සිසුන් කිහිප දෙනකුම ඒ අවස්ථාවේ පන්ති කාමරයේ නොසිටි අතර, අප ගිය සැණින් ඒ සිසුහු කඩිනමින් පන්තියට දිව එන්නට වූහ.

"කට්ටි පැන්න නේද?" ඡායාරූප ශිල්පී රුක්මල් ඇසුවේය.

"අනේ නෑ සර්... අද සිකුරාදනේ. ආගම කියන්න ගියා."

රුක්මල් මා දෙසත් මම ඔහු දෙසත් මුහුණට මුහුණ බලාගතිමු.

"ආගම කියන්න ගියා? ඒ කියන්නෙ මේ ඉස්කෝලෙ සිංහල ළමයි නෙමෙයිද ඉන්නෙ?" මම විමසුවෙමි.

"අපි මුස්ලිම් වුණාට සිංහල තමයි ඉගෙනගන්නේ. ආගම හැටියට ඉගෙනගන්නෙත් බුද්ධාගම. ඒ වුණාට සිකුරාදාට ආගම කියනවා."

"මේ පැත්තෙ තියෙන තරමක් තියෙන්නෙ මුස්ලිම් ඉස්කෝල. එහෙම එකේ ඇයි මේ ඉස්කෝලෙට එන්නෙ?"

"මේ ඉස්කෝලෙ සිංහල දෙමළ මුස්ලිම් තුන් වර්ගයම ඉන්නව. ඒ සේරම සිංහල ඉගෙනගන්නෙ, ආගම විදිහට බුද්ධාගම ඉගෙනගන්නේ."

අපි විදුහල්පතිවරයා සොයා ගියෙමු. එදින හදිසි අවශ්‍යතාවකට ඔහු නිවාඩු ගොස් සිටි බැවින් අපට හමු වූයේ නියෝජ්‍ය විදුහල්පතිවරයාය. ඔහු නමින් ජේ.ඒ. පියදාසයි. ඔහුගේ ගම දෙවුන්දරය. ඔහු පාසලේ අතීතය අපට විස්තර කළේය:

"මේ පාසල 1941 අවුරුද්දේ පටන් අරගෙන තියෙන්නේ අක්කරපත්තුව පන්සලේ හිටපු ධම්මරතන ලොකු හාමුදුරුවො. ඒ හාමුදුරුවන්ට උපහාරයක් විදිහට තමයි පාසලේ නම 'ධම්මරතන විද්‍යාලය' කියලා දාල තියෙන්නේ. ධම්මරතන හාමුදුරුවන්ගේ බලාපොරොත්තුව වෙලා ති‍යෙන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් දරුවො සේරම එක පාසලේ ඉගෙනගන්න එකයි‍.

අවුරුදු ගානක් මේ ඉස්කෝලෙ ඒ විදිහට තිබිල තියෙනව. මේ තුන් වර්ගයේම දරුදැරියන් බොහොම සන්තෝෂෙන් තමයි පාසල් ඇවිත් තියෙන්නෙ. ඒත් 1990න් පස්සෙ සිසු දරුදැරියන්ගේ පැමිණීම අඩු වෙලා තියෙනවා. ළමයි 350ක් විතර ඉස්සර හිටපු පාසලේ අද ඉන්නේ එයින් බාගයකටත් වඩා අඩු සංඛ්‍යාවක්. මේ සේරම යුද්ධයේ විපාක තමයි.

"කොහොම වුණත් මේ පාසල යළි ගොඩගන්න ගත්ත මහන්සිය ගැන අපි සතුටු වෙනවා. පාසලේ අපොස සාපෙළ දක්වාම පන්ති පැවැත්වෙනවා. ගුරුවරුන් 13 දෙනෙක් ඉන්නවා. සිංහල, දෙමළ වගේම මුස්ලිම් ළමයි සේරම දරුදැරියන් බුද්ධාගම ඉගෙනගන්නව. ‍සේරම අය ඉගෙනගන්නේ සිංහල මාධ්‍යයෙන් ආගම වෙන්නේ බුද්ධාගම. සමහර විට ගෙදරදී මුස්ලිම් පල්ලි යනවා වෙන්න ඇති, හින්දු කෝවිල් යනවා ඇති. ඒත් මේ පාසලේදී හැම කෙනෙක්ම ඉගෙනගන්නේ බුද්ධාගම උදේ රැස්වීමේදිත් හැම දරුදැරියක්ම අත්දෙක හිස් මුදුනට අරගෙන පන්සිල් ගනිද්දී ඇත්තෙන්ම අපටත් දැනෙන්නේ පුදුමාකාර වින්දනාත්මක සතුටක්.

"පාසලේදී දරුදැරියන් වාඩි වෙන්නෙත් එකටමයි. මුස්ලිම් දරුවාගේ ගෙදර ගිහින් තමයි සිංහල දරුවා පාඩම් කරන්නේ. නැත් නම් දෙමළ දරුවා සිංහල දරුවාගේ ගෙදර යනවා පාඩම් වැඩ කරන්න. එකටයි ඒ අය කන්නෙ බොන්නෙ. පුදුමාකාර සුහද බැඳීමක් මේ දරුදැරියන් අතර තියෙන්නේ.

"අක්කරපත්තුව කියන්නෙ යුද්ධයෙන් හොඳටම පීඩා විඳපු නගරයක්. පන්සලේ බෝධිය පවා ත්‍රස්තවාදීන් කපලදැම්ම.

"අපට ඕනෑ කරන්නේ මේ තත්ත්වය දිගින් දිගටම පවත්වාගෙන යන්න මේ දරුදැරියන්ට අධ්‍යාපනය හරාදරන්න තියෙන අඩුපාඩු බොහොමයි. ශිෂ්‍යත්ව විභාගෙ වුණත් හොඳින් පාස් වෙන්න පුළුවන් දරුදැරියන් ඉන්නවා. ගුරුවරුත් උපරිම කැප වීමක් කරනවා. ඒත් මේ පාසලේ ඉන්න ගුරුවරු සේරම පිට පළාත්වලින් ආපු අය නිසා ඒ අයටත් නිවාඩුව හරියට වටිනවා. නැත් නම් අමතර පන්ති දාල හරි මීට වඩා ප්‍රතිඵල දෙන්න අපට පුළුවන්."

අපි පාසලේ පන්තියක් ගානේ ඇවිද ගියෙමු. යුද්ධයේ විනාශය ක්‍රමයෙන් මැකෙමින් පවතී. පාසල පිබිදෙන්නේ ඉබි ගමනිනි. අධ්‍යාපන බලධාරීන්ද මේ පාසල දෙස නෙත් හෙළන බවක් නොපෙනේ. ප්‍රදේශයේ ඇති එකම සිංහල මාධ්‍ය පාසල නම් එයට අවශ්‍ය සියලු පහසුකම් සපයන්නට බලධාරී්නට කිසිදු ගැටලුවක් ඇති නොවන අතර, එය කළ යුතුමද වන්නේය. එහෙත් බලධාරීන්ට මේ ගැන කිසිදු අවශ්‍යතාවක් ඇති බවක් නම් අප‍ට නොපෙනේ.

පාසලේ විනාශ වී ගිය පුස්තකාලය යළි ගොඩගැනීම පිණිස කටයුතු කරන්නේද නැඟෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ මෙහෙයවීමෙන් අම්පාර 24 වැනි බළ සේනාංකයට අනුබද්ධ අතුරු ව්‍යාපෘතියක් ලෙසිනි.

අපි 7 ශ්‍රේණියේ ඉදිරි‍ පෙළ සිටින සිසු දරුදැරියන්ගේ නම් විමසා බැලුවෙමු. එයින් පළමු වැන්නා නිලන්තිකාය, දෙවැන්නිය ඉල්මා (මුස්ලිම්) ය. තුන්වැන්නිය වසූදා දෙමළ දැරියකි. ඊළඟට සිටියේ අනුෂ්කාය. ඇය ළඟින් ප්‍රියදර්ශනය.

ඔහු අසලින් ජනාත්තන් දෙමළ සිසුවෙකි‍. මේ පාසලේ ආගමික සංහිඳියාව කොතෙක් දුරට ඉටු කර ඇත්ද යන්න ඉන් මනාව පැහැදිලිය.

ශ්‍රී ධම්මරතන පාසල දස්කම් රැසකින් සපිරි සිසුන් පිරිසකගෙන් සමන්විතය. එහෙත් මෙහි දරුදැරියන්ට පොතක් පතක් බලන්නට ‍පුස්තකාලයක් නැත. ඔවුන්ට ප්‍රථමාධාර පුහුණුවක් ලබන්නට හැකියාවක් නැත. ක්‍රීඩා දියුණුවට ක්‍රීඩා උපකරණ නැති තරම්ය. සංගීතය නැටුම් වැනි විෂයයන් හදාරන්නට අවශ්‍ය පහසුකම් නැත. යාන්තම් ‍ගොඩනැඟිලි සහ ඩෙස් පුටු ටික පමණක් ලබා දීමෙන් පාසලක් ගොඩනැංවිය නොහැකි බව අධ්‍යාපන බලධාරීන් වටහාගත යුතුමය.

පාසලට පැමිණෙන දෙමවුපියන්ට රැඳී සිටින්නට හරි හමන් ස්ථානයක් නැත. පොල් අතු සෙවිලි කළ මඩුව ඔවුන්ගේ විවේකාගාරය වී ඇත. දරුවන්ට හදිසි ආහාරයක් ගන්නට භෝජනාගාරයක් නැත. ඔවුන් සියලු දෙනාටම ඇත්තේ ආත්ම ශක්තිය පමණි.

මුස්ලිම් හා දෙමළ ජනතාව වැඩි වශයෙන් දිවි ගෙවන පරිසරයක සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපන කටයුතු කරන, එමෙන්ම ආගම වශයෙන් බුද්ධාගම පමණක් උගන්වනු ලබන ලංකාවේ එකම පාසල මෙය වන බවට අපගේ විශ්වාසයයි.

ඒ තත්ත්වය තවත් දීර්ඝ කාලයක් රැක දෙන්නට සමත්කමක් මේ පාසලට ඇතත්, එහි අඩුපාඩු සකස් කරන්නට හැකියාවක් ඇත් නම් එය මේ දරු දැරියන්ට පමණක් නොව, ආගමික සංහිඳියාවටද කරනු ලබන මහත්ම වූ පිටිවහලක් වන්නේය.

(අක්කරපත්තුවේ සංචාරයකින් පසු) 

 

 

 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.